Wednesday, November 20, 2019

උඩගෙදර කතා 193 ඡන්ද රාජකාරි 02

ඡන්ද රාජකාරි..... 02.

                 
"මේ සැරේ නම් ඡන්ද කලබල වැඩි වෙයි වාගේ. මම යන්නෙ නෑ ඉලෙක්ෂන් ඩියුටි.. "

                     ඔහොම හිතලා මැතිවරණ රාජකාරි මගාරින්ට පුලුවන්ද? බෑ.. ඔහොම හිතෙන් මවාගත්ත දේකට තියා ඇත්තම ලොකු හේතුවක් හින්දාවත් එහෙම රජයේ නිළධාරියෙකුට තමන්ගෙ හිතූමතේට මැතිවරණ රාජකාරි වලින් ඉවත් වෙලා ඉන්ට බෑ. එහෙම කළොත් ලේසියෙන්ම රස්සාව නැතිකර ගන්ට පුලුවන්. එහෙම නිළධාරීන් හැම දෙනාම මැතිවරණ රාජකාරියෙන් බැහැර වුනොත් ඡන්දයක් පවත්වා ගන්නේ කොහොමද? මැ.කො. තුමා (හැමදාම බොහොම ජනප්‍රිය චරිතයක්!) ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට විතරක් කරන්ට පුලුවන් දෙයක්යැ. අත්‍යාවශ්‍ය දේකට
මැතිවරණ රාජකාරිවලින් ඉවත් වෙන්ටත් නීත්‍යානුකූල විදියක් පෙන්වලා තියෙනවා. අදාල නිළධාරියා අයත් වන අමාත්‍යාංශයේ ලේකම් තුමාගෙන් අනුමැතිය ගන්ට ඕන. ඒකට ඉතින් 'මගින්... මගින්... මගින්... ලේකම් තුමා වෙත.' ලියුමක් යවලා අනුමැතිය ගන්නවට වැඩිය ලේසියි වැඩට යන එක!

                     ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් භාරව ප්‍රධාන ගණන් කිරීමේ නිළධාරි වෙලා යන එකත් හොඳ විනෝදයක්. ඡන්ද මධ්‍යස්ථාන වල රාජකාරි කරපු හැම දෙනාම වාගේ ගණන් කිරීමේ රාජකාරිවලටත් කැඳවනු ලබනවා. 

                     (කිසිම පාටක් නැති, පියුරිට් එකකින් එන වතුරට වැඩිය පැහැදිලි දියර  ජාතියක් තිබ්බා ඩයමන්ඩ් කියලා. ඕකටම තකට තක සොෆ්ට් ඩ්‍රින්ක් එකකුත් තිබ්බා සෙවන් අප් කියලා. කිසි පාටක් නෑ. බැක් ෆයර් වෙනවත් අඩුයි... වුවමනාවදී ගන්ට ඕකත් මතක තියා ගනිමුකො....).

                     විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් දවල් ඡන්දය පවත්වපු හැටි බලලා හවස් වෙනකොට මේ ගණන් කරන හැටි නිරීක්ෂණය කරන්ටත් එනවා. උනුත් ඔය පොඩි ආතල් එකකුත් අරන් කීයක් හරි සාක්කුවේ දාගෙන යන්න හිතාගෙන එන ජාතියක්ද කව්ද දන්නේ. 

                         **                                        **                                         **

                     අපෙ කලූටත් හත් අට වතාවක්ම ඔය විදේශීය නිරීක්ෂකයින් (Foreign Observers) සම්බන්ධීකරණය කරන්ට සිද්ද වුනා. කොලඹින් දෙන දේශීය සම්බන්ධීකරණ නිළධාරියෙකුත් එනවා. ඒ වගේම ඔය ඡන්දය පැවැත්වෙන හැටි ගැන කොලඹදිත් කියලා දීලයි එවන්නේ. ඒත්, ‍ඒ හැම දේම, ගණන් කරන හැටි වගේම ඒ අය ඇහුවොත් මැතිවරණ වැරදි සිදු වෙන්ට පුලුවන හැටිත් ඇතුලුව අ යන්නේ ඉඳලා අං අඃ දක්වා හැම දේම ආයෙ කියලා දෙන්ටත් කලූට සිද්ද වෙලා තියෙනවා. 

                      මොකද ඒ අයත් බ්‍රහ්ම ප්‍රශ්ණනෙ හිටිය ගමන් අහන්නේ. (මැතිවරණ දූෂණ ක්‍රියාවක් සිද්ධ වෙන්ට පුලුවන් විදිහක් මෙතන ලියලා කපා හැරියා. මොකද, එහෙම දෙයක් කරන්න හිත් ඇවිස්සීමක් වෙන්ටත්, මඟ පෙන්වීමක් වෙන්ටත් බැරි නැති නිසා...!) මේ සුදු මහත්තුරු නෝන මහත්තුරුත් අමුතු මායම් තියෙන අයත් ඉන්නවා. කලුවර ගස් නැත්තං කලු මැදිරිය ගහකවත් එලය අයින් කරලා අරටුව කොටස පාදාගත්තම වාගේ සුදු මහත්තුරු නෝන මහත්තුරුත් එනවා. මාසේ පෝය ආවත් ආවේ පිට රටකින් නම් ඒ අපෙ දෙයියලාට සුද්දෙක් සුද්දියක්නෙ. 

                     වතාවක් ඔහොම ආව, කලූ සම්බන්ධීකරණය කරපු මහත්තුරු කීප දෙනෙක් රෑ නතර වුනේ කන්ඩලම හෝටලයේ.  ඒ වතාවේ හිටියේ පිරිමි අය විතරයි වගේ මතක. ප්‍රධානියා පකිස්තාන් ජාතිකයෙක්. නම ඉම්රාන් ඛාන් වගේ මතක. එයා නෙවේ නම් වෙන ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙ නමක් තිබුන කෙනෙක්. හප්පා..බලන්ට එපායැ ආව ගමන් තිබ්බ ලොකුකම...! ඒත් කලූ දන්නවා ඔය ලොකුකම බොහොම තාවකාලිකයි කියලා! එදා මැතිවරණ ලිපි ද්‍රව්‍ය බෙදා දීලා, ඡන්ද මධ්‍යස්ථාන වලට නිළධාරීන් පිටත් කරන දවස. ඒ කියන්නේ ඡන්දේ පහුවදා. 

                    ඒ දවසේ කච්චේරියේ නිරීක්ෂණය කරන්ට ඕන දේ කරගෙන හෝටලේට යන්ට පිටත් වුනා. යන ගමන් බලන්ට වැදගත් තැන් තියෙනවද ඇහුව හින්දා අලු විහාරෙටයි දඹුල්ලටයි එක්ක ගියා. කලූ එතනදී ටුවරිස්ට් ගයිඩ්ඩ් කෙනෙකුත් වුනා. අලුවිහාරෙදි ලොක්කා අහනවා "උඹේ වාහනේට එන්ටද?" කියලා. ඒකට මිස්ටර් පෙරේරා හරි පොලීසියේ මහත්තයා හරි කැමති වුනේ නෑ. 
"ඉතින් උඹටත් ඕන නම් ඒකට වරෙන්." සුද්දා මිස්ටර් පෙරේරට කිව්වා!

                     කන්ඩලමේ ස්විමිං පූල් එක දැක්කම කලූ කිව්වා, "මේ සංකල්පය වෙන විදියකට මම යොදලා තියෙනවා" කියලා.
"ඒ කිව්වේ?"
"මගෙ මිදුලේ මීගොන් තණ කොලයි පල්ලේහායින් කුඹුරේ ගොයමයි, මේ පූල් එකෙයි වැවෙයි වතුර වගේ, එකට පෙනෙන්ට හදලා තියෙන්නේ."
"හෙට ඒක බලන්ට යන්ට ඕන."
"ෂුවර්!"

                     පහුවදා උදේ හතට කලින්, ඡන්ද පෙට්ටිය ලෑස්ති කරන පියවරේ ඉඳලම නිරීක්ෂණය කරන්ට ඕන කිව්ව හින්දා කුකුල්ලු දෙතුන් බානක්ම කරගහගෙන කලූ හෝටලේට යනකොට ඒ අය ලෑස්ති වෙලත්. තදියම! ඒත් අර පෙරදිගට නෑදෑකමක් තියෙන හින්දා වෙන්ට ඇති... "තේ බීලා යනවද...?" ඇහුවා. පොඩි වැරදි වැඩකට කටට ගතිය ගන්ට ඕන හින්දා කලූ, බඩගිනි තිබුනත් තේ එකකට විතරක් වෙලාව ඉල්ලා ගත්තා. හතට ඡන්දේ පටං ගන්ට කලින් පෙට්ටි නිරීක්ෂණය කරන්ට, හෝටලේට කිට්ටුවෙන් තියෙන මධ්‍යස්ථාන තුන හතරකටම ඇදගෙන ගියා. 
"දවල් අපේ කෑම කොහොමද?"
"විකල්ප දෙකක් තියෙනවා. මෙච්චර ඈත ඇවිත් යන වෙලේ ටවුමේ රෙස්ට් හවුස් එකේම කෑම කාලා.. ඒ අවට බලමු. එහෙම නැත්තම් මෙහෙ ඇවිත් කෑම අරන්..."
"නෑ.. නෑ.. කලින් කිව්ව විදිය හොඳයි."
"මොනවගේ දේ ලෑස්ති කරවන්ටද?"
"බතුයි... දේශීය එලවලු වර්ගයි... "

                     දෙසැරේ තුන් සැරේ අරන් මේ අය දවල්ට වැඩිපුර  කෑවේ... අඟුන කොල සම්බෝලෙයි, තෙල් දාපු කෙහෙල් මුවයි, නෙලුම් අලයි!. 

                     ඔය දිස්ත්‍රික්කයට ආසන හතරක් තියෙනවා. දවස ඇතුලත ආසන හතරෙම කොටස් ආවරණය වෙන්ට විදියට කලූ හදාගෙන තිබුන රූට් එකට හැම දෙනාම කැමති වුනා. ලොක්කා දැන් හැරෙන්නේවත් නෑ කලූගෙ එකඟතාවය නැතිව..!

                     කිව්වා වාගෙම පිරුන ඡන්ද පෙට්ටි කොටසක් කච්චේරියට ආවටත් පස්සේ මේ අය කලූගෙ ගෙදරට ගියා. මේ අය වෙනුවෙන් දීලා තියෙන ගිණුමටම හර ද බැර ද කරලා මොන මොනවාදෝ අරගෙනත් ගියා. කජු දීසි එහෙම ඉවර වුනේ එකක් පස්සෙන් එකක්. පෙර දිග නෙ! ඒත් ඔය මුතු ඇටේ අය වගේ නම් නෙවෙයි!

                     ඊට පස්සේ ඒ අය ගණන් කිරීම් නිරීක්ෂණය කරන්ට ගියා. කලූ ප්‍රථිපල සම්බන්ධීකරණයට ගියා. පහුවදා වැඩ ඉවර කරලා ආපහු කොලඹ යන අතරෙත් ඒ අය කලූගෙ ගෙදරට ගොඩ වුනා. 

"අප්පච්චි.... මේකා හින්දි කතා කරනවා ඇතිද?" කලූගෙ දුව ඇහුවා. ඒ දවස් වල එයත් රැල්ලට අහුවෙලා හින්දි පිස්සුවක් හැදිලා හිටිය කාලේ, ඕ ලෙවල් කටේ...." නැත්තං ගෙදරට ගොඩ වෙන එක්කෙනෙක් ජරුමං කතා කරනවද අහයියැ. ඒ වුනාට හින්දි කියන වචනේ ඇහුන ගමන් මෙන්න, සුද්දා කලූගෙ දුව එක්ක හින්දියෙන් කතා කරනවා... දුවත් හොඳ පුරුදු කාරියක් වාගේ එක දිගට කොටනවා. එතනින්ම කලූ දුවගෙ හින්දි පිස්සුවට ගරහපු එකත් කෙලවර වුනා.

                           **                                       **                                           **

                    අපි කලින්ම කතා කර කර හිටියේ ඔය ගණන් කිරීමේ රාජකාරිය ගැනනෙ.

                    ඡන්දේ පවත්වපු දවසේ දවල් කලූ නාලා, කෑම කාලා එහෙම අවශ්‍ය පොඩි පොඩි බඩු ටිකකුත් බෑග් එකක දාගෙන කච්චේරියට ගියා.  එයාට වෙන් කරලා තිබුනේ හොඳම ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්. ඒ දවස්වල ප්‍රධාන රැස්වීම් ශාලාව. ඒසී කරලා, ඇටෑච් බාත් රූම්, හොඳට ඉඩකඩ! කලූගෙ සුවච කීකරු ගෝලයත් ආවා. ජයලත්. 

                    නිළධාරීනුත් ආවා. පමා වුනා, බ්ලොක් වුනා, වාහනේ කැඩුනා වාගේ ඤරු ඤුරු නැතිව මේ මධ්‍යස්ථානයට නියමිත ඡන්ද පෙට්ටි ඔක්කොමත් ලැබුනා. පක්ෂ නියෝජිතයොත් ආවා. ඒ අය කව්රුත් නොආවත් ගණන් කිරීම පටන් ගන්ට තහනමක් නෑ. නිළ වශයෙන් ගණන් කිරීම් පටන් ගන්නේ රෑ හතේ ඉඳලා. හුඟක් තැන් වල පමා වෙනවා. ඒත් කලූට නම් හරියටම නියම කරලා තියෙන වෙලාවටම වුනත් පටන් ගන්ට පුලුවන්.

                    ජයලත් සෙවනප් බෝතලේකුත් ගෙනත් මේසෙන් තිබ්බා.ස්ට්‍රෝ එකකුත් එක්ක. ඒ පළවැනි එක නෙවේ.... !

                    පළමු පියවර පෙට්ටි ඔක්කොටෝම වැටිලා තියෙන ඡන්ද පත්‍රිකා ගණන් කිරීම. ඒ වෙලාවේ ඒවයේ ඡන්දේ ලකුණු කරලා තියෙන්නේ වෙසමුණියටද, මහසෝනටද වගේ බැලීමක් නෑ. ඒ වගේම ඒ හිස් හාෆ් ශීට් කෑල්ලක්ද, පොලොන්නරුව ඡන්ද පත්‍රිකාවක්ද (මෙහෙම එකක්, පිට පැත්තේ අංකය පැහැදිලිව පිටට පේන්ට ඡන්ද පෙට්ටියට දාන්ටත් පුලුවන්නෙ.!) වගේ කරුණු බැලිමක් නෑ. අවසානයේ, අපේක්ෂකයින්ට වෙන වෙනම ලැබුනු ගණන, ප්‍රතික්ෂේප වුන ගණන වගේ ඔක්කොම එකතුව ඔය පෙට්ටිවල තිබුන ගණනට ටැලි වෙන්ටත් එපායැ. 
      
                     මේ පියවරේ බාගයක් විතර යනකොට මෙන්න සුද්දෝ සුද්දියෝ විස්සක් විසි පහක් විතර පෝලිමේ අංක එක ගණන් කිරීමේ මධ්‍යස්තානයට රිංගනවා. එහෙම වුවමනාවක් වුනොත් කියලා වෙන් කරලා තිබුන පුටුත් මදි වුනා. දොර ලඟට ගෙනත් දුන්න පුටු ඇතුලට අරගෙන පිලියෙල කරෙත් නිළධාරීන්මයි. 

                    මේ අය ආව එකේ ප්‍රථිපලය දන්න අයගෙ නම් මූණු ඇඹුල් වුනා. වෙන එකක් නෙවෙයි... ටිකක්වත් අමතර පමාවක් වෙන හින්දා...!
ඡන්ද රාජකාරි 02.02
                      ඉස්සර දවසක ඔහොම මැතිවරණ නොවන විදේශ නියෝජිතවරියක් එක්ක කලූ රාජකාරියකට, කලුතර ඉඳලා හොරණට යනවා. එක තැනකදී එයා කලූගෙන් මෙහෙම අහනවා: 
"Why don't you keep girls?"
"Sorry, I can't follow you... Miss Palmer.."
"Why... don't... you... keep... girls?"

                     යකෝ... බාප්පගෙ එකම අයියට... !  මේකී මොකාටද එන්ට හදන්නේ කියලා හිත හිත කලූ ආයෙත් කිව්වා, ප්‍රශ්ණේ පැහැදිලි  නැති බව. කලූට ඇහෙන විදියට ඒකී ආයෙ ආයෙ අහන්නේ ඒකමයි. කොහෙ තේරෙන්ටද... සූප්පු කරලා, ලොඹුටලා තොලේ (ඒ ගැන විස්තර ඕන්නෑ.. කතාව අහන්ටකො...) නොගෑවෙන්ට එලියට දාන මිහිරි වචනනෙ. හරි... කලූ එයාගෙ නෝට් පොතයි පෑනයි දුන්නා.. ගෑණිත් ලිව්වා:
"Why don't you keep goats?    කිසිම වෙනසක් නොපෙන්නා කලුත් ඉතින් මොනවාදෝ උත්තර දුන්නේ හිනාව තද කරගෙන! ඒත් වෙච්ච පටලැවිල්ල කලූ පස්සේ එයාට කිව්වා. කැකිරි ඇට වාගේ දත් හතලිස් අටම පෙන්නලා Miss Palmer කලූට හිනා වෙල ඇස් දෙක ඉඟි මැරුවා.

                     ඔන්න ඔය වාගේ අතුරු ආන්තරාත් මඟෑර මඟෑර, එච්චර වෙලා කරපු ටිකත් කලූ .... සුද්දන්ට පැහැදිලි කෙරුවා. එතන ඉඳලත් Counting Staff එකටයි නිරීක්ෂකයින්ටයි දෙසැරේ ගානේ හැම දේම කියවන්ට වුනා. ඔය අතරේ විටින් විට, තල කැරළි, බිස්කට් (විශේෂ්‍යෙන් ඉඟුරු විස්කෝතු) තේ, කෑම එහෙම අඩුවක් නැතිව ලැබුනා.  කලූට ජයලත්ගෙ සප්ලයිසුත් නිර්බාධිතව ලැබුනා. 

"උඹ ... අරන් නේද?" පාන්දර එක වෙලාවක ලොකු සුද්දා කලූගෙන් ඇහුවා.
"අපොයි ඔව්..." ගැස්සෙන්නේ පැකිලෙන්නේ නැතිව අපෙ කලුත් කිව්වා.
"ගණන් ගන්ට එපා... වගකීමකින් වැඩක් කරනකොට මමත් හැම වෙලාවෙම එහෙමයි."
"Thank you..."

"....... අපරාදේ කලින් දන්නවා නම්....! "කලූ ගෙදර ගිහින් මේ කතාව කිව්වා.
"නොදකින්... නොදෝමකින්... තිරිසන් හැත්ත." උත්තර ලැබුනා!

                                                                                              simple "s"
2019.11.06

පින්තුර අන්තර්ජාලය ඇසුරින් ....

No comments:

Post a Comment