Wednesday, November 20, 2019

උඩගෙදර කතා 195 ලිං කටෙං වැටුන එකා 58

ලිං කටෙං වැටුන එකා   58

"ම්හ්ම්.. නෑ ලයනල්... බැරි වෙන්නෙ නෑ කොහොම හරි ඒ ගාන එකතු කර ගනිමු.  අතාරින්නේ නං නෑ. සර්ලා මැඩම්ලා දෙන ආධාර දවස් පතා ඉල්ල ඉල්ල යංට බෑ. ඒ වුනාට කී සැරයක් ගිහින් හරි වෙළඳ දැන්වීම් ටික නං ගංටම ඕනෑ. මං හිතාගෙන ඉන්නේ මේ සතියෙම ආයෙත් බරිගම යංට. ඉන්ද්‍රා මුදලාලි මුණ ගැහෙංට. අපිට තිබුනේ ගිය සැරේ එයාගෙ රැස්වීම ඉවර වෙනකල් ඉඳල කතා කරලම එංට."
"කොහෙද මචං ... ඒ මනුස්සයා කිය කිය හිටිය කතාව අපිත් රැස්වීමෙම ඉඳල අහගෙන ඉන්නවා වාගේ ඇහෙනවානේ... මතකද... 'අපෙ බීඩි වලට දුංකල එක්ක පැපොල් කොල එක්කරනවා කියන කතාව තදටම යනවා....'  "
"ඔව්.. ලයනල් ඒ කතාව ඇහෙනකොට නං එතනිං නැගිටල පාරේ ඇවිත් ඉංට මට හිතුනා. අපි බොරුවක් කරලා ඇවිත් හොරෙං ඒ කතාව අහනවා වාගේ වැඩක්නෙ වුනේ.. මොකද වෙල තියෙන්නේ... බීඩ් බිස්නස් බැහැලද දැං?"
"මොන බැහිල්ලක්වත් නෑ... මරවානාගොඩ මහත්තයා චිත්තරපටි හදන්ට පටං ගෙන බීඩි වැඩේ ගැන බලන්ට වෙලාවක් නැතිලු."
"එයා තව තව බිස්නස් වලට අත ගහලලු නේ?"
"ඔව්.. ඔය මොකක්දෝ ලොකු වලව්වක් ගන්ටත් යනවා කියලයි කතාව තියෙන්නේ. ඒක දිග කතාවක්.. අහලා තියෙනවා නේද...?"
"සාමාන්ය අපෙ මනුස්සයෙක් ඉහලට එනකොට හරි සතුටුයි ලයනල් ඉස්සර බීඩිත් ආවේ ඉන්ද්දියාවෙන්. බීඩි බිස්නස් එක කාලයක් තිස්සේ අල්ලාගෙන යන සිරිසේන මන්ත්‍රී තුමා නං ආයෙ වැටෙන්නෙ නෑ."
"උඹ දන්නවද.. එයාට ලඟදී උප ඇමතිකමකුත් ලැබෙන්ට යනවලු. එයාට මිනිසු ඉන්නවා සපූ... ඔය පොඩ්ඩක් ගම ඇතුලට ඔලුව දාල බලන්ට එපායැ... හැම ගෙදරකම ඉස්සරහ බීඩි තට්ටුවක් තියෙනවා. බත් ටික ලිපේ තියල ඇවිත් ඒක ඉදෙනකලුත් ගෑණු අය බීඩියක් ඔතන එකලු කරන්නේ. පුරුද්දට හොඳ වේගෙන් කරනවා. ඔය බීඩි තට්ටුවේ බීඩි කොල, කුඩු කරපු දුංකල, පුංචි කෝටු කැල්ලක්, අර පුංචි ලේබල් තමා තියෙන්නේ. බීඩි කොලේට දුංකල ටිකක් දාල රෝල් කරනවා. කෝටු කෑල්ලේ උල් කරලා තියෙන පැත්තෙන් කොලේ අග නවලා බීඩිය දිගෑරෙන්නෙ නැතිව තියෙන්ටයි කොම්පැනියේ ප්‍රචාරයටයි අර චූටි ලේබල් එකක් අලවනවා. ඕන්න ඕකයි බිඩි එතිල්ල."
"Cottage industries කියන්නේ ඔය වගේ ඒවට වෙන්ට ඇති නේද ලයනල්?" 
"අන්න හරි... 'ලංකාවේ ගෘහස්ථ කර්මාන්තයක්' ගැන ලියන්ට ආවොත් මේ ගැන ලිව්වහැකි අතින් කැටයම් ටිකකුත් දාල."
"අතිං දාංට ඕන්නැති තව විශේෂ එකක් තියෙනවානෙ. අර විශාකා බීඩි තෑගි දුන්න එක. එව්වා හොඳ බිස්නස් උපක්‍රම. කොච්චර අල්ලල ගියාද... කාලයක් ගියත් තවම මිනිස්සු බිබී යන බීඩිය නිවෙංට හදනවානං ගලවල බලනවලු ලයනල්... තඹ තහඩු කෑල්ලක්ද කියල. වංචාවක් නැතිව හරියටම ඒ තහඩුවේ තියෙන අංකයේ තෑග්ග දුන්නලු. අර ගමගේ දවසක් එයාගෙ මාමට ඒ වාගේ ලැබුන රිස්ට් වොච් එක බැඳගෙන ආවා. ඒකට මටත් ආසා හිතුනා. ෆාවේලූබා කියල වර්ගයක්. හරිම තුනීයි. ලස්සනයි. ස්ටෑන්ඩර්ඩ්...."
"මචං.... ෆාවේලූබා වොච් දුන්නේ ..... පත්තරේ ගිය 'ගුරු ගෝල චිත්‍ර' තරඟෙට කියල මට මතක."
"මේකෙත් පලවෙනි තෑගි දෙක තුනට ඒ ඔරලෝසු තමයි දුන්නේ.."
"අපිත් ඉඳහිට.. 'හෝතා හෙයි' කියල  ඉල්ලාගෙන.. බීඩියක් බීවට ඔය තෑගි එව්වා ඇතුලේ නෑ... එව්වා අමු ලෝකල් වැඩනෙ..." ලයනල් එහෙම කියල අපි දෙන්නම හිනාවුනා.

                     මේ වාගේ බීඩි බීල වෙන්ට ඇති පෑලිස් අයියටත් කාස රෝගේ හැදුනේ. ඒ සිද්ධිය මට හිතට මහ බරක්. ජිනා නංගී ඒ ගැන ලියල තිබුන හැටි ඊට වඩා දුක හිතෙන්නේ. 

"අපෙ පව්ලට මහා අභාග්‍යයක් අයියා. මයෙ අයියට කාස රෝගේ. අර ටී.බී. කියලයි, ක්ෂ රෝගය කියලයි කියන්නේ... අන්න ඒක. දොස්තරලගෙ තහවුරුවත් ඇවිත්. මේක ගමට වහං කරංට බැරි තැනට ඇවිත් තිබිල, අයියගෙ යාලුවෝ හින්දා. මයෙ අයියා දැං හිටියායිං බාගයක් නෑ. කෙට්ටු වෙල... හැම වෙලාවෙම කහිනවා. කොයි..... ඒත් තවම ඔය කැහි කූරු බොන එක නවත්තලයැයි.

මයෙ අයියා සල්ලි වියදං කරල දක්ෂම දොස්තර මහත්තයෙක් අල්ලල විස්තර ඔක්කොමත් අහගෙන. එයා සහතික කරල කියල තියෙන්නේ අනාගතේටවත් අවදානමක් නැතිවෙංට, තව කෙනෙකුට බෝ නොවෙංට නිට්ටාවටම සනීප කරල දෙන්නං කියල. එහෙම සනීප කරපු ප්‍රසිද්ධ අය කීප දෙනෙකුගෙ නම් එක්ක කියල තියෙනවා. ඔයිං පස්සෙ මං හොයාගෙන කියෙව්ව ලිපි දෙක තුනක් තිබුනේ..... "Tuberculosis.... Now a Completely Curable Desease..." වගේ Headings.  ඒත් අයියා, ඕක පිට මිනිස්සු පිළි ගනීයැ.

අනික අයියා වෙංට ඕනෑ හරිය දැනටම වෙල තියෙන්නේ කියල මට හිතෙනවා. ඩිංගිරි අක්කා තුං තිස් පැයේම ඇඬු කඳුලෙං. අර සමනල පැටව් දෙන්නට යන කල දවස කොහොම වෙයිද.... දැනටම ගමේ දෙතුං දෙනෙක් මයෙ අයියව මගාරිනවලු. ඔය තත්වේ පවුලේ ගැමෝටමත් ඇති වුනොත් මයෙ අධ්‍යාපනයට මොනවා වෙයිද.... අයෙත් ඉස්කෝලේ ලමයි මං කොං කරංට පටං ගනියිද? එහෙම වුනොත් මට හොස්ටල් එකෙයි ඉස්කෝලෙයි දොරවල් වැහෙයිද? මයෙ බය ගැන අයියට ඒකින්නේ ඔයාට කිව්වා විනා වෙන කෙනෙකුට කෙල බ්න්දුවක් මං හලන්නෙ නෑ. මයෙ අයියට කරදරයක් වෙල තියෙද්දී මං මයෙ අනාගතේ ගැන හිතංට තරං ආත්මාර්ථකාමී වෙල වාගේනෙ. 
මාත් එක්ක කතා බහ කරන එක, ආස්සරේ කරන එක අයියලගෙ ගෙදරිං අයියටත් තහනං කරයිද කියල මට බයක් දැනෙනවා. ඒ එක්කම මයෙ ඇස් දෙක තෙත් වෙනවා. පපුව හෝස් ගාල පත්තු වෙනවා. එහෙම දෙයක් වුනොත් නං මම නෙවෙයි ආපහු ගමට යන්නේ අයියා. 

හොඳයි.... ඒ තහනං කෙරිලි කොයි හැටි වුනත්, මයෙ සපූට... මයෙ සපූ අයියට මං කකුල් දෙක අල්ලල වැඳල කියන්නං... මයෙ දෙයියෝ එහෙම කව්රු බල කෙරුවත් අත් හදා බලංට කියල හිතලවත් ඔය ජරාව, ඔය කැහි කූරු නං බොංට එපා ජීවිතේ ඇති තුරාවට. 

මයෙ සපූ අයියට දළදා හාමුදුරුවන්නේ පිහිටයි රැකවරණයි.!

මයෙ හිත තැනෙංට වචන දෙකක් ලියල එවංට මයෙ රත්තරං අයියා."

                     මේක කියෙව්ව ගමං මයෙ ඔලුවට දැනුන බර මේ දැමුත් දැනෙනවා වාගේ. "නෑ මිනිස්සු එහෙම හිතන්නෙ නෑ" කියල මං කියංටයැ.. අනික, මට පෑලිස් අයියා ගැනත් හරිම දුකයි. කොයි තරං පිබිදීගෙන ආව චරිතයක්ද? ඇත්තටම අනේ අර කිසි දෙයක් නොදන්න පැටව් දෙන්නට මොන මොන දේට මූණ දෙංට වෙයිද.. ඇත්තටම ජිනාගෙ ඉගෙනීමට මොනවා වෙයිද. දිගටම ගෙවන ඉස්කෝලෙකට යංට පුලුවං වෙයිද? 

                      නංගී ඔහොම කිව්වට.. බීඩියි සුරුට්ටුයි හින්දම නෙවෙයි. යන එන තැන්වල ආස්සරේට ලැබුන කයෙං හරි බෝවුනා වෙංටත් බැරිද.? කොහොමවත් බීඩි සුරුට්ටු මිනිස්සුංට හොඳ දෙයක් නෙවෙයි. ඒකේ තර්කයක් නෑ. අපෙ සඟරාවට ආර්.ජී. දුන්න ලිපියත් ඔය දුම් පානය ගැනනෙ. ආර්.ජී.ගුණතිලක.

                       "මයෙ සපූ...",  "ඔයා.." වාගේ කවදාවත්  නැතිව නංගී ඒ ලියුමේ ලියල තිබ්බ ආදරණීය වචන වලිං දැනුන කිතිය මට හරියකට විඳ ගංටවත් ලැබුනෙ නෑ... රවුළ ගිනිගෙන ඉන්න එකාගෙං සුරුට්ටු පත්තු කරංට මට බෑ.

"සපූ හුඟාක් දිග කල්පනාවකටනේ වැටුනේ...!"
"ඔව් ලයනල්...  දුම්බීමේ පාපයේ ලොකු කොටස් කාරයෙක් දැං අපෙ ගමත්. සිගරට් දුම්කොල වගාව පටං ගත්තට පස්සේ. ඒකට කියල දැං ඉතිං නවත්තංටයැ."
"මචං අපෙ පැත්තේ, විශේෂයෙන් ගලේවෙල පැත්තේ පටන් ගෙන තියෙන්නේ දැං අවුරුදු පහලවකටවත් කලින්. ඕවා ගැන ඔච්චර හිතන්ට යන්ට එපා සපූ. අපි හිතුවා කියලා මොනවා කරන්ටද මචං. ජාත්‍යන්තර කොම්පැනි එක්ක හැප්පෙන්ටද?"
"අර අලුත් සර්, මිස්ටර් යාපා කියනවා වාගේ මිනිස්සුන්ට අවබෝධයක් දෙංටවත් පුලුවන් නං කොච්චර දෙයක්ද ලයනල්..."

"සපූ.... සර්ලා තුන් දෙනා ආර්ටිකල්ස් ටික නං පමා නොකර බලලා දෙයි. අච්චු  කන්තෝරුවේ ගණං හිලව් ගැන අවසන් තීරණයකට එන්ටත් ආර්ටිකල්ස් ඔක්කොම පෙන්නන්ට වෙනවා. සර්ලගෙන් ලැබුන ගමන් අපි පූජාපිටියේ යමු. දයා ප්‍රින්ටර්ස් එකට."

"ලයනල් එදා කිව්ව.. අර තෑගි කූපන් එකක් ඉන්ට්‍රොඩියුස් කරන එක ආයෙ අපිට කතා කරංටවත් බැරි වුනානෙ. ඒක හොඳට අල්ලල යයි ලයනල්."
"මම ඒකටත් කෙටුම්පතක් හැදුවා සපූ.. තැගි තුනක් කාගෙන් හරි පරිත්‍යාගයක් හැටියට ගංට බලමු. ඒ අයගෙ වෙළඳ දැන්වීමකට සඟරාවේ ඉඩ දෙමු... ස්තුතියකුත් එක්ක"
"එම්බිට කියල ඉස්කෝලෙයි ග්‍රවුන්ඩ් එකයි එක්ක ලමයි කට්ටියකගෙ අර ඉරි චිත්‍රයක් ඇඳල ඒක කවරෙට දාංට පුලුවං වුනා නං මොන තරං හැඩද මචං."
"ඒක නම් ඇත්ත... ඒත් කොහෙ තියෙන සල්ලිද මචං.
"හරි ලයනල්. මේ.... හෙටම හරි කමක් නෑ... ලොකු සර් මුණ ගැහෙමු. මට  විශ්වාසයි ආව අලුත හින්දම ලොකු ආධාරයක් ලැබෙයි කියල. අනික ලොකු සර්ගෙ පණිවිඩයකුත් දානවනෙ."

"සපූ... කොහොම හරි ඔක්තෝබර් පල වෙනිදට  * උදාව  *  උදා වෙලා ඇති හොඳේ....!
"ඔව්ඌඌඌ ..... කාටද ආඩම්බරරර....!"

                                                                                                  simple "s"
2019.11.07

පළමු වැනි පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

No comments:

Post a Comment