ලිං කටෙං වැටුන එකා 61.
හුන්නස්ගිරියෙන් බහිනකොට හිරිකඩ ඇල්ලක් වැටෙනවා. ගමනක් බිමනක් වැඩක් පලක් පාඩු කරංට තරමට විනා පාරක තොටක වතුර ඩිංගක් එකතුවෙල ගලාන යංට තරමටවත් නෙවෙයි. ඒත් ඉතිං පිස්සෝ වාගේ වැස්සේ යංටයැ. වැහි සූරල් වෙනකල් වත්තේගම කඩේ අගුවට වෙල අපි ඩිංගක් වෙලා හිටියා.
"හාංංං අයියත් නුවර ගියාද? " ජිනා නංගියි එයාගෙ අප්පච්චියි දෙන්නත් කොහෙංදෝ මතු වුනා.
"හෙට ඉරිදා... අයෙ සඳුදා බදාදා දෙකත් නිවාඩු. ඉතිං හෙට අනිද්දා දෙක ගෙදර ඉංට කියල හීං පුතා එක්කොන්න එංට හිතා ගත්තා.ලොකු පුතත් අද එනවා කියල තිබ්බා."
"හැබෑටම බදාදත් නිවාඩු ඕද කියල මට ගනිව්චියක් නැතුව ගියා.
මයෙ දුව... මයෙ දුවත් අනිද්දත් ඉඳල පහුවදාම යං." ජිනාගෙ අප්පච්චී දෙපැත්තටම කිව්වා.
"අප්පච්චි ඒත් බදාදා මට...."
"හා හා.. එව්වා තිබ්බදෙං.. අපිත් බදාදා ආපහු යං."
ජිනා බොරුවක් කෙරුවේ කියල මට හිතෙනවා. ඉබ්බා දියට දමන කතාව මතක් වෙන්නේ...!
ඒ දෙන්නත් එතෙන්දී හකුරු එක්ක කහට බිව්වා.
"අයෙ කහට ඩිංගක් බොංට පුතාටත් බැයිද?"
"දැන්නේ බීවේ.. අයෙ එපා."
"ඇයි .. අද නංගී එක්ක එංට පෑලිස් අයියා ආවෙ නැද්ද?" වැහි පොද අඩු වෙනකොටම අපි පිටත් වෙල යද්දී මං ජිනා නංගිගෙං ඇහැව්වා."
"නෑ අයියා.. බෑ කිව්වලු. මං පස්සේ අයියට විස්තර කියන්නං. මයෙ අයියා සමාජෙට මූණ දෙංට දැං කැමැත්තක් නෑ. හොඳටම කෙට්ටු වෙලත්. මයෙ අයියගෙ මුලු ලෝකෙම
ආපහු හැරිල අයියා. ඒ කතාව ටික්කට වෙනස් කරමු.
අයියා විභාගේ පාස් වුනාට මට හරිම සතුටුයි. අල්ලාගෙන පොඩි කරගෙන පොඩි කරගෙන යංට හිතෙනවා..."
"ම්ම්.. හිතේ ඇති..."
"අප්පච්චි මොකද කිව්වේ..?"
"මම ම කිව්වා. පාස් කියල. තුනුරුවන්නේ පිහිටයි කිව්වා, ඔලුව අත ගාල... පාස් පේල් දෙකේ වෙනස විනා ඒ පාස් පේල් ගැන වැඩි හැඟීමක් නෑ නංගී. වෙන සමහර අයගෙ අම්මලා තාත්තලා ඊලඟට මොකද කරන්නේ කියලත් සාකච්ඡා කරනවා. අපිට ඉතිං ජීවිතේටම එහෙම මඟ පෙන්වීමක් බලාපොරොත්තු වෙංට බෑ නංගී. කමක් නෑ.. අපිත් ඔහේ වැටි වැටී, නැගිට නැගිට, දණ ග ගා යං නංගී."
"හිතට ගංට එපා අයියා. එහෙම මව්පියන්නෙ පහසුකං තියෙන අයටත් හැමෝටම හරි යන්නේ නෑනේ. කී දෙනාද සාර්ථක වෙන්නේ."
"ඒකත් ඇත්ත.
ඒ වුනාට දුක හිතෙන වෙලාවල් එනවා නංගී.."
අපි ගෙදර එනකොට අයියාලා ගෙදර ඇවිත්. තේ වතුර ඩිංගක් බිව්ව පමා වෙං අයියා පෑලිස් අයියා බලංට දුවල. පියෝති අක්කයි සාමා දුවයි ගෙදර.
"නෑ නෑ... රෑ ගිහිං වැඩක් නෑ. මිනිසුංට පේංටයි මට යංට ඕනැන්නේ." කියලත් කිව්වලු. ඒත් අපෙ අම්මා නං ඒකට මනාපයක් නෑ. "මට තොරතුරු හුඟක් ලැබුනා."
"මේ නිවාඩු කාලේ නං බාප්පා ගොඩාක් මාත් එක්ක සෙල්ලං කරංට ඕනෑ." මං ගෙදෙට්ට ගොඩ වෙනකොටමයි සාමා දුව මයෙ අතේ එල්ලිල එහෙම කියව්වේ.
"බාප්පලා දන්න සෙල්ලං ඔයා දන්නවායැ මයෙ දුව.."
"බාප්පා කියංට එකක්."
"ඔළිඳ කෙලිය."
"ඒක මං දන්නවා."
"එහෙනං කියංට... ඒක සෙල්ලං කරන්නේ මොකේද?"
"අර කිරි බෙල්ලෝ ටිකක් හොල්ලල.. මුනිං අතට තිබ්බ පොල් කට්ටකට දාන එක නේද..?" දුව තොඳොල් වෙවී කිව්වා.
"නෑ දුව... අර බංගුවක වලවල් වලට ඔලිඳ ඇට දාල 'මේකේ ඇස්සෙං මේ ටික මට' කියල ඊලඟ වලේ ඔළිඳ ඇටටික ගන්න එක. කමන්නෑ.. මං දුව එක්කත් මුනුවා හරි සෙල්ලං කරන්නංකො."
ජිනාගෙ අප්පච්චී වාගේ ඉන්නවා කීප දෙනෙක්.. ඒ අය එක්ක කතා කරාම තරමක් වැඩියෙං පරණ වචන ඇහෙනවා. මටත් එව්වා මතකේ හිටිනවා. අපෙ අප්පච්ත් ඒ තරමටම නැතත් වැඩියෙං පරන වචන කියන එක්කෙනෙක්... ඒ තියා මාත්! ඒකනේ ඉස්කෝලේදී කීප සැරයක්ම කොල්ලෝ ටික පල් එක ගැහැව්වෙත්. ආලිස්සං කරනවා.. කැහුලා කම, කැටියක් වාගේ එව්වා කියල! ඒකටම සාමා දුවත් මට පේන හැටියට ඒ වාගේ වචන නොසෑහෙංට කියනවා වාගේ.
"මල්ලී... ප්‍රතිපල ගැන සතුටුයි ගොඩක් කොල්ලෝ.." මං හිනා වෙවී අයියයි අක්කයි දිහා බලාගෙන හිටියා. අයියා ඔය කතාවට එන කඩඉම පහුවෙනකල් මයෙ හිතේ මහ බයක් තිබ්බේ. "මෙහෙම වැඩක්ද බොල?" කීවා නං මං පත්වෙන තත්වේ මට හිතා ගංටත් බෑ. ඒ වෙනුවට අයියා එක්ක කතාව ගියේ මේං මෙහෙම..
"තව සැරයක් කරනවා නේද.... කරමු මල්ලී... තව ඩිංගක් මහන්සි වෙල."
"ඔව් අයියා කරනවා."
"නරකද විෂය දෙක තුනක් මාරු කරල කෙරුවොත්."
"මඩුගල්ලෙ සර්ගෙ හිතත් කැඩිල තියෙන්නේ සර් කරපු botany නැතිව මම applied maths කරාට. ඒත් දැන් ඒ වගේ පුලුල් විෂය මාරුවක් කරංට නං බැරිවෙයි අයියා. Puremaths වලටත් සම්බන්ධ හින්දා සිංහල සාහිත්‍ය අයින් කරල advanced maths කරමු කියල ලමයි දෙතුන් දෙනෙක් එක්ක කතා වෙල ඉන්නේ. තව ඉඩක් හදා ගංට පුලුවං වුනොත් ඉංග්‍රීසි සාහිත්‍යයත් කරමු කියල කතා වුනා."
" එහෙම හොඳයි. විභාගේදී ඔය විෂය එක උඩ එක වැටෙන්නෙ නෑ නේද කියලත් හරියටම බලා ගංට ඕනෑ.
හැබැයි මට නං මෙලෝ උදව්වක් කරංට තේරෙන්නෑ. අනික විසේසෙං මතක තියා ගංට.. උසස් පෙළටත් පාඩම් කර කර අලුත් එව්වයි, දුර්වල පරන එව්වයි ඔක්කොම කරංට තියෙන්නේ එකවැර. තේරුනා නේද.?"
"ඔව් අයියා."
මට මඟ පෙන්නීමක් නෑ කියල මං හිතාගෙන හිටියටම ඔන්න... ! හැම වෙලේම ඒක මන්තරේ වාගේ කියව කියව නොහිටියට කෙලිංමත් වක්‍රවත් මගෙ යහපත ප්‍රාර්ථනා කරන තව කී දෙනෙක් ඉන්නවා ඇතිද! මට ඒක මහා සන්තෝශයක්. පිටු පසින් ඉඳල මං ඉස්සරහට තල්ලු කිරීමක්...
හවස එයාගෙ අම්මත් එක්ක ජිනා අපෙ ගෙදර ආවා. අර පුරුදු දඟේ අඩු වෙලද කියල මට හිතුනා. තමන්නෙම ගෙදර වාගේනෙ ඉස්සර මෙහෙ කරක් ගැහැව්වේ. අයියගෙ අස්නීපෙයි මිනිසු ඒකට පවරල තියෙන අනවශ්‍ය බරයි හින්දානෙ ඔය.
"මයෙ දුවට පුතාගෙං මේ මොකොදෝ කාඩ් එව්වා එකක් හදා ගංට තියෙන එකක් ගැන අහ ගංටත් එක්ක ආවේ අක්කා." ඒ කියනකොටත් ජිනා නංගී මයෙ මේසේ ලඟ.
"ආ.. මෙන්න මේක හදන හැටි තමයි මටත් අහ ගංට තියෙන්නේ."
"ඉතිං ඊයෙම අහංට තිබ්බානේ බං..."
"ඇයි උඹ කැමති නැද්ද මං උඹ ලඟට එනවට... ඇත්ත කියපං." මේ ටික කියල ඉවර වෙද්දී ජිනා නංගිගෙ ඇස් රතු වෙල.
දෙයියනේ එහෙමත් මඟුලක් තියෙනවා නේද කියල මට මතක් වුනේ ජිනා එහෙම අහනකොට.
"උඹට මොලේ නරක් වෙලද? උඹ නාවත් හෙට උඹලගෙ ගෙදර එංට මං හිතාගෙන හිටියේ. උඹ ඔය, අයියගෙ අසනීපේ හින්දා මං උඹ මගාරිනවා කියංට නේද හදන්නේ? උඹට තේරුනේ නැද්ද අයියා ඊයේ ආව හැටියෙම පෑලිස් අයියා බලංට ගියේ ඇයි කියල. උඹ දන්නවද මයෙ අයියා එහෙ ගියා කියල...? අපි නංගිලා ලඟිං ඉන්නේ හැංගි හැංගී, බයෙං බයෙං එහෙම නෙවෙයි. තේරුනා නේද?"
"තේරුනා... ඒත් අයියා ගමේ සමහර ඇත්තෝ පැහැදිලිවම අපිව මඟාරිනවා කියල පෙනිල තියෙනවා. මයෙ අයියා ලඟිම්ම හිටිය එයාගෙ යාලුවෝ එක්කෙනෙක් දෙන්නෙක්... අයෙ අයියා ලඟ වැඩ කරපු දෙන්නෙක් එහෙමත්."
"ගණං ගංට එපා නංගී. අවදානමකට උගුලකට ඒ අය ඇදල දාල බොරුවක් කරනවා නෙවෙයිනෙ. අනික ඉතිං වී කුරහං ටික ඉවර වෙල බඩගිනි දැනෙනකොට ඔය ප්‍රතිපත්තියේම පිහිටංට පුලුවංද කියල බලංටකො."
"ඔව් අයියා... පීඑචයි මහත්තයත් මිනිසුංට පැහැදිලි කරල දෙනවලු. ඒ වුනට ඉතිං අපෙ මිනිසු දන්නේ නැද්ද?" මේ ටික කියන්කොට කඳුලු වැටිල නහයත් බුරුල් වෙල. පව් අහිංසක කෙල්ල.
"නංගී අයි ඩී එකට පොටෝ ගත්තද... මං නං ගත්තා. මල්ලිකා එකෙං. "
"මාත් ගත්තා.. හැබැයි තව ලැබුනේ නෑ. අයියට ලැබුන අමතර කොපිය ... මට ඕනෑ. එක අමතර කොපියයි ඒ අය දෙන්නේ. ඉතිං තව දෙකක් වැඩිපුර ගෙවල ගංට ඉන්නේ. ඒ එකක් දෙන්නං නංගිට."
"අනික... ?"
"මටම..! නංගිගෙ අමතර එකකුත් මට ඕනෑ."
"දෙන්නං දෙන්නං.
ඒ form එක පුරවංට නං මට ඕනෑ උපදෙසක් නෑ. මං බොරුවට ඒක කිව්වේ..."
"කලිං, ඒ තියා ගියාවුරුද්දේ වත් Identity Card එකක් ඕනෑ වුනේ නෑ. ඉල්ලුම් කාරයෝ වෙනුවට වෙන අය ලියනවලු.. ඒකයි ඔය."
"ඉතිං මේකෙනුත් ඇස් වහල පනිංට විදියවල් හදා ගනියිනෙ."
"අනේ මං දන්නෙ නෑ."
"ඒ මේ මොකක්ද..?"
"ඕක තැපැල් කන්තෝරු ඉතිරි කිරීමේ ගිනුම් පොතක්. අප්පචිචි මට ගත්තා. සත විසි පහේ ඉඳල උඩට තැන්පත් කරංට පුලුවං. මුද්දරයක් වාගේ එකක් අලවල සීල් එක ගහනවා."
"දැං කීයක් දාලද?"
"මේ.. දෙකයි පනහයි.. තුං සැරේට."
"මටත් එකක් ගංට හිතෙනවා."
"ඔව් නංගී.. ගෙදරිං දෙන එකක් ඉතිරි වුනොත් හෙමීට තැපැල් කන්තෝරුවට ගිහිං දාල එන එකයි තියෙන්නේ. අවුරුද්දකට සැරයක් පොලියකුත් දෙනවලු."
"ඉතිං, බැංකුවකම දාංට අපිට බැරිද?"
"එව්වේ අපෙ ඔය අලුක්කාල් ගහංට බෑ.. අනික ඉතිං ලොකු ටවුමකටම එංට එපායැ."
"ඔය බැකු ගැන මං දන්නෙ නෑ අයියා."
"ඒ වුනාට නංගී දන්නවද.. ඕලෙවල් පාස් වෙල සෑහෙන හොඳ පඩියකට යංට පුලුවන් රස්සාවල් බැකුවල තියෙන්නේ. සම්මාන හතර, පහ තියෙනවා නං. ඒත් පුද්ගලික බැංකු වල නං තත්වේ වෙනස්. එව්වේ ලොක්කෝ අඳුරංටත් ඕනෑ."
"හ්ම්... බලමු බලමු."
"ඔන්න අම්මා එනවා.."
"දැං අපි යමු නේද අපෙ අම්මා.." ජිනා නංගී කිව්වේ මට ඇහැකුත් ඉඟිමරල."
"කට්ට කෙල්ල."
"යන්නං අයියා."
"හෙට මං එහෙ එන එක ෂුවර් නෑ. නංගී."
"අම්මට කියල වැලි තලප හදවල තියන්නං.."
"හැදුවොත් මයෙ කොටස එවංට." එහෙම නොකියා ...
"එපා... අනිද්දා ගියාම මට මාධංගනීගෙං මයෙ කොටස ලැබෙනවා" කියංටයැ.
simple "s"
2019.11.19
No comments:
Post a Comment