Wednesday, November 20, 2019

උඩගෙදර කතා 191 ලිං කටෙං වැටුන එකා 56

ලිං කටෙං වැටුන එකා   56.

"පුලන්නෙක් කියන්නේ මොකාටද බං." රෑ කෑම කාල ඉවර වෙනකොටම සමරේ හයියෙං ඇහුවා. "ටිකක් කට්ටිය කතා කරමුද..?" කියන එකයි එයා ඒ අඟෙං දඟෙං ඇහැව්වේ. ලොකු මේසේ වටේට විභාගෙට හිටිය අය ඔක්කොම එක් වුනා. 
"මට නං නෙවෙයි." කියාගෙන උපාලී ආවේ.

"මොකෝ බං උඹට ආයෙ නයනානන්දයා මතක් වුනේ? අනික අපරාදේ ඕක දැන්මම අහන්නේ. තව අවුරුද්දකින් විතර අහන්ට තිබුනේ."
"හරියන්නෑ මචං, ඊලඟ සැරේට දැම්ම තියාම ලෑස්ති වෙන්ට ඕනෑ. බලපංකො සපුවා, දයා එහෙම කොයි තරං හෑල්ලුවෙන්ද ඉන්නේ! මං නං බයේ ඉන්නේ ඊලඟට ගමේ යන්නේ කොහොමද කියල."
"සමරේ, මටත් කිසිම විස්වාසයක් නෑ. වැඩ හයක් පාස් වෙලවත් තිබ්බොත් ලොකු දෙයක්. " මං කිව්වා. 
"මම ඕනෑ තැනක ඔට්ටුවක් අල්ලන්නං.. මට නං s තුනකුයි ලයිට් කණු පහකුයි කියල. ෂුවර්." තව එක්කෙනෙක් කිව්වා.
"විභාග කොමසාරිස් , අර පී. එම්.පී.පෙරිම්පනායගම් සර් අපෙ උත්තර පත්තර එනකල් බලාගෙන ඉන්නවට වැඩිය ගමේ අයයි නෑදෑයොයිනෙ අපේ කෙරුවාව අගය කරංට බලාන ඉන්නේ. විභාගේ කෙලවෙල තිබ්බොත් එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් විනා කවුරුවත් කණගාටු වෙංටද ඔය. 'අප්පා.. අහසිං යංටනේ බලාගෙන හිටියේ... ඔය ඇවිත් ඉන්නේ පු.. බිම ඇනගෙන.' කියයි."
"ඇත්තට අපි කී දෙනෙකුට බයේ ඉන්ට ඕනද.. පිස්සු වාගේ බං."
"හැබැයි මතක තියා ගනිල්ලා... විභාගෙට ලියල ඊලඟ වාරේ තමයි කොල්ලෙකුට කෙල්ලෙකුට ජීවිතේටම ෂපාන් එකේ ඉන්ට ලැබෙන එකම කාලේ. ඉතිං මේ වාරේ මොනවා හරි කරමු බං ජොලියක් ගන්ටත්."
"මොනවා කියල කරංටද බං.. කොහෙ තියෙන සල්ලිද... අත් කකුල් හම යන කල් අම්මලා තාත්තලා කුඹුරු වැඩ කරල ගන්න වී ඇටෙං, තමන්නෙම හරි කයෙවත් හරි වත්තක පිටියක උදේ ඉඳල රෑ වෙනකල් කොටල අතට ගන්න තුට්ටු දෙක්කිං ජීවිතේ ගැට ගහගෙන, බාග වෙලාවට අනික් පැත්තට ඒකත් අපෙ අතටම දීල දුකම විඳගෙන ... ප්‍රතිපල ආවම 'මට කෙලවෙල' කියල අපෙං අහ ගංටත් වෙන කොට හිතපල්ලාකො. තව ජෝගි නටන්ටත් කොහොම නං සල්ලි ඉල්ලංටද බං..." මං හිතුවේ මේ ටික කියල ඉවර වෙනකොට ජයසේනට ඇඬෙයි කියලත්. ඒත් ... මටයි, දෑහෙ කඳුලු වැටිල ඇඬුන්නැතත් හිත ඇතුලෙං හිර වුනේ. කඳුලු වැටිල යටි ගිරියෙං කැගැහිල ඇඬනවා නං ඒ දුක මෙහෙම හිරවෙනවට වැඩිය දාහෙන් සම්පතයි අප්පා. අහගෙන හිටිය ගුන්ඩට නං කඳුලුත් වැටුනා. තව එවුං හූල්ලැව්වා.

                    ලයනල්ගෙ හිත දුක් වෙන හැටි කෙනෙකුට තේරුං ගංට බෑ. ඒක වහගෙන හිනාවෙල කියන කරන දේකට එයාට තියෙන හැකියාවත් ලොකු පිනක්. 
"හරි මචං හැම එකාටම වාගේ ගෙවල් වල තියෙන්නේ එක වාගෙම පසු බිමක්. ඒ වාගෙම විභාගේ ගැනත් දෙගිඩියාවක්. මේ වාරේ ටිකක් ජොලියේ ඉන්ට ඕනෑ කියන එක අමතක කරංටත් නෙවෙයි. ඔය, පුරුතුගීසි කාරයා... තනකොල පෙත්තෝ එහෙම ටිකක් පට්ටා ගහන්ට චාන්ස් එකක් හදා ගනිමු. වැඩිය වියදමක් යන්නේ නැති වැඩ කෑලි දෙක තුනක් දා ගනිමු. එක එකා අතේ තියෙන සත විසිපහ තිහ එකතු කරල එක දවසක් පේරාදෙනියේ යමු. තව දවසක්., නුවරම තියෙන තැං කීපයක් බලංට යමු.  අන්න එහෙම මොන මොනවා හරි කතා කර ගනිමු."
"මේ වාරේ අගට පෙන්නමු අපිත් නාට්ටියක්. ඩී.බී.ට කියල හොඳ කතාවක් ලියා ගනිමු. 
"ඒකත් හොඳයි. තව ස්පෝට්මීට් එකටත් මොනවා හරි කරමු. සිංහල සමිතියේ සඟරාවට හැම එකාම මොනවා හරි ලියමු."
"ඔහොම යනකොට මාස තුන ඉවරවෙයි මචං."
"අනික බඩුවක් දාගෙන නැති හැම එකාටම එකියක් සෙට් කරල දෙමු..."
"දැන් උඹට ඉන්නවද කියපං ඉස්සරවෙලාම."
"ඊයෙයි අදයි බලන්ට බැරි වුනා. හෙටනං කොහොම හරි ඇප්‍රෝච් එකක් දානවා බං. හෙට රෑට දෙන්නං නිව්ස් අප්ඩේට් එක."
"උඹ ඔච්චර බෙල්ල කඩාගෙන ෆලෝ එක දාන බඩ්ඩ කව්ද කියපං බං..?" 
"ඌ කියන්නෙ නෑනෙ... අපිට නං තේරිල තියෙන්නේ මේකා හිතෙන් මවා ගත්ත එකක් කියල."
"යං යං දැන් නිදා ගන්ට යමල්ලා. ඌ හෙට නිව්ස් එක දෙයිනේ."

"කොහොමද නිවාඩු කාලේ සපු?"
"විශේෂයක් නෑ. හිත ටිකක් results ගැන දෙගිඩියාවේ හින්දා සතුට අඩු වුනා."
"ඔයාට නම් බය වෙන්ට දෙයක් නෑ සපු. එගොඩ වෙලා ඇති ෂුවර්. මට  තව අප්සට් එකක් එනවා සපූ.. විභාගේ පේල් වෙනවත් එක්ක."
"ලතා..?"
"මට අයියත් එක්ක කොලඹ යන්ට වෙයි. මෙහෙන් අස්වෙලා. දැනට ඒ තීරණය ස්තිරයි සපු.."
"ලතා...... "
"ඔව්... මම සපූව අමතක කරන්නෙ නැ සපු... මට මේ වාරේ සපු එක්ක සතුටින් ඉන්ට ඕන. සපු මාව අමතක කරන්නේ නෑ කියලත් ප්‍රොමිස් වෙන්ට ඕන." කොච්චර යකඩේ වාගේ දැඩි කෙල්ලක් වුනත් මේ වෙනකොට ලතගෙ ඇස් රතු වෙල, තෙත් වෙල.
"ඇති ඇති... තව කියවන්ට එපා. මට දුකයි. මටත් ලතා අමතක කරංට බෑ... ඒත් , ලතා කොලඹ ගියාට පස්සේ ආයෙ කවදාවත් අපි මුණ ගැහෙයිද?"

                       මේ වෙනකොට ලතාට කඳුලු හංගංට බෑ. මං මයෙ ලේන්සුව දුන්නා. කඳුලු අස්සෙම්ම ආදරේ හිතෙන හීනි හිනාවක් ලතාගෙ මූණේ ඇඳුනා. 
"මම මේක තියා ගන්නවා. කමක් නැද්ද සපු. ලේන්සු දෙන එකෙත් මොනවාදෝ අපලයක් ගැන කියනවා නේද ?"
"කමක් නැ තියා ගංට. ඒත් ඕක නිකම්ම හතර කොන මහපු සුදු රෙදි කෑල්ලක්නෙ."
"නෑ.. මේ තියෙන්නේ ලස්සන අබ මල් දෙකක් මොකක්දෝ පුංචි කොලේකුත් එක්ක. කව්ද... ජිනාදරී නේද මහලා දුන්නේ. බෝඩරේට කිට්ටුවෙන් මේ නූල් අද්දන්ට හුඟක් මහන්සි වෙන්ට ඕන. හොඳ ඉවසිල්ලකුත් තියෙන්ට ඕන. මේක ඇත්තටම හරි ලස්සනයි. කමක් නැද්ද මං තියා ගත්තට..? ඔයා ඒවා විශ්වාස කරන්නෙ නෑනෙ.!"
"කමක් නෑ. මට තව එකක් තියෙනවා. හෙට ඔයාගෙ උපන් දිනේට මයෙං කියල හිතා ගංටකො."
"ඒකත් මතකයිනෙ. Thank you සපු. හෙට මොනවද මගෙන් ඕන."
"මං මොනවා නම් කරංටද ලතා? මේ හිතවත්කම ඇති."
"ලෝබ වෙන්නේ නැතිව දැන්වත් කියපන්කෝ 'මේ ආදරේ' කියල."
"හ්ම්... ආදරේ..! මේ ආදරේ..! ඇතිද?"
"හෙටත් මට සපූ මුණගැහෙන්ටම ඕන. පුලුවන් නම් මේ වාරේ හැමදාම ..."
              
                       මං දැක්කා ආයෙත් ලතාගෙ ඇස් වලට කඳුලු ආවා. ඒ එක්කම වීරක්කොඩි මැඩම් ස්ටෙයාර් කේස් එකේ පහලිං උඩට එනවා. අපි මැඩම්ට හිනා වෙල එහෙම්ම හිටියා. මැඩම් ලතාට ස්ටාෆ් රූම් එකට එංට කියාගෙන එහෙමම ගියා. ඒත් මූණේ ප්‍රශ්ණ ගොඩක්!

"මේ... සුබ උපන් දිනයක් ලතා! මැඩම් මොනවද ඇහුවේ?" මට හදිස්සිය තිබ්බේ ඒක දැන ගංට.
"Thank you සපු. මොකද ඇඬුවේ ඇහුවා. 'මට අප්සට් එකක් වෙලා ඉන්නේ මැඩම්.. මට මෙහෙන් යන්ට වෙලා. අයියා ඉන්න දිහාට. ඒක කියන්ට ගිහින් දුක හිතුනා.' කියලා මම කිව්වා. 'කොහේ හිටියත් මේ වතාවේ මහන්සි වෙලා විභාගේ කර ගන්න. අයියා දැන් කොහෙද ඉන්නේ? මම අහන්නේ නතර වෙලා ඉන්නේ කොහෙද? ඩොක්ටරේට් එකේ වැඩ ඉවරද? බලන්නකො.. ඒත් අපේ පාස්ට් පියුපිල් කෙනෙක්නෙ. ඉස්කෝලෙටම ආඩම්බරයක්.' කිව්වා."
"ඇත්තටම ලතා ඔයාට කොහෙද ඉංට වෙන්නේ?"
"අඹතලේ.. අයියා ඉන්නේ."
"අහම්බෙං කවදාහරි මුණ ගැහුනොත් තමා ලතා. ඔයාටත් ආයෙ මෙහෙ එංට හේතුවක් නෑනෙ." ලතාට මං කලිං කවදාවත් 'ඔයා' කියල නෑ. එහෙම කීවම මොකද්දෝ මොකද්දෝ වාගේ. මට ඒක විස්තර කරංට තේරෙන්නෙ නෑ. කසාද බැඳපු දෙන්නෙක් කතා කරනවා වාගේ හැඟීමක් දැනෙන්නේ. සර්ලා මැඩම්ලට ගෙදර අයට එහෙම කියන්නෙත් නෑ. ඒක වෙනම කතාවක්..
"අපි ඉස්කොලවලම මැරෙනකල් ඉන්නවා නෙවෙයි සපු. අපෙ ලෝකෙට ගියාම කවදා හරි මුණ ගැහෙයි. මේවා ගෙනාවේ ඔයාට. මේකේ තියෙන්නේ අයියා England ගිහින් එන ගමන් ගෙනාව ටොෆී වගයක්. කීපයයි ඇත්තේ.. අපෙ පන්තියට බෙදුවා. හැමෝම එක්ක share කරගන්ට නම් බැරි වෙයි. මේකේ තියෙන්නේ ලේන්සු පෙට්ටියක්."
"ඊයේ මයෙ ලේන්සුව දුන්නට පාඩු නෑනෙ."
"ණය ගෙව්වා නෙවෙයි. කලින්ම වෙන් කරලා තියාගෙන හිටියේ.. අද හරි ඔයාගෙ birthday එකට හරි දෙන්ට. මතක තියෙංට වෙන ඉතිං මම මොනවා දෙන්ටද?"

                   මං ලතා දිහා බැලුවා. ඒ ඇස් දෙක තවත් හීනි වෙල... දිලිසෙනවා... කාන්තියක්. ටොෆී පෙට්ටිය දුන්නේ මගෙ අත යටිං තත්පරයක් විතර ලතාගෙ අත තියාගෙන ඉඳල. සීතලයි.. මට ලැජ්ජා හිතුනා. ආසා හිතෙන ලැජ්ජාවක්!
"ඔය ටොෆී ටින් එක තියා ගන්ට. කාලෙකට මාව මතක් වෙන්ට ..."
"මං... ආදරෙයි කියන්නං. හැමදාම මං මතක් වෙංට.!"
"හ්ම්.. ඒ ඇති හොඳටම සපූ..."

ආදරණීය අයියා..

                  Lagarithm ගැන තව ටිකක් පැහැදිලි කරංට අයියා. 
                      
                  මට නම් එන සතිය අගදිත් ගමේ සීතල අත්විඳින්ට අවස්ථාවක් ඇවිත්. සමනළියෝ දෙන්නට ගිහි පිරිතක් කියවලු. සෙනසුරාදා. ගිහින් ඇවිත් අයියට විස්තර කියන්නම්.

                   සැපෙමි. සැප වේවා!

                                                                                 මීට,
                                                                                 යටහත් නංගී,
                                                                                 ජිනාදරී.

                    කෙල්ලංට කට්ටකං පිහිටන්නේ උප්පත්තියෙං! ගෙදෙට්ට ලැබිල සමරේ මට ගෙනත් දුන්න ඒ ලියුම් කෑල්ලෙත්, සැකයක් නොහිතෙංට, කට්ටකම් කීයක් ජිනා එක් කරලද! ගමේ සීතල...!

                                                                                                  simple "s"
2019.10.27

No comments:

Post a Comment