Wednesday, November 20, 2019

උඩගෙදර කතා 198 ලිං කටෙං වැටුන එකා 60

ලිං කටෙං වැටුන එකා   60

"ඒක දයා.. කොල්ලෝ තරහ කර ගංට ලේසිම PREFECTSHIP එකක්."
"ඔයාට කරන්ට පුලුවන්.."
"කොහොමවත් දැං බෑ කියංට නෙවෙයිනෙ."

                 අලුත් වාරේ පටංගෙන සුමාන දෙකක් විතර යනකොටම මට හොස්ටල් එකේ ශිෂ්‍ය නායක කමක් ලැබුනේ. මට ලැබුනේ ටිකක් ජනප්‍රිය නොවෙන එකක්. කෘෂිකර්ම. එහෙම කිව්වට මේකේ කරංට තියෙන්නේ සති අන්තයේ මල් පාත්ති ටික සුද්ද කරල හොස්ටල් එක වටේ වැවෙන පඳුරු ටික කපල පිරිසිදු කරන එක. ඉතිං ඕකට කොල්ලෝ කැමති වෙයියැ.. මල් පාත්තිවල තියෙන්නෙත් කනාටු වුන පරන මල් ගස් ටිකක්. එව්වා ඔක්කොම ගෙවල් වල නොසලකා හැරිය මල් පාත්ති වල කරදර නොදී ඔහේ හැදෙන එව්වා. තනි පෙති බාබටන්ස් රිදීමල් රිබන් ග්‍රාස් ඩේලියා දාස් පෙතියා මල් ලූනු, ගොඩ මානෙල් වාගේ පොඩි පඳුරු. තව වද වාගේ එව්වත්. ඒ අතරේ කව්රු කව්රු හරි ගෙනත් හිටෙව්ව බෝල්පනා වර්ගයේ ගහක් රෑ කුමාරි ගහක් වාගේ එව්වත් තියෙනවා. තව නම් නොදන්න, කොල ලස්සන ගස් ජාතිත් තියෙනවා. පොඩි නඩත්තුවක් කළා නං සාර්ථක මල් පාත්ති ටිකක් හදා ගංට බැරිවෙන එක්කුත් නෑ. මයෙ අපච්චිගෙං ඉගෙන ගත්ත දේවල්වල ප්‍රයෝජනයක් ගංටත් හොඳ විදිහක්. හැබැයි මං හිතුවේ කෘෂිකර්ම කිව්වම කුඹුරු වැඩයි ලොකු වතුවල වැඩයි තියෙංටම ඕනෑ කියල!

                පළවෙනිම දේ, හොස්ටල් එකේ ඈත කොනේ යටම තට්ටුවේ දාල තියෙන ගෙවිච්ච පරන ආයුද කීපෙං මේ පාත්ති පේරාදෙණිය මල් වත්තේ කොටසක් කරංට වෙන්නේ, තියෙන තියෙන එකක් පිරිමහගෙන. ඒකත් හොඳයි. මයෙ අප්පච්චිලාට වුනත්, ගොඩ වැඩට උදැල්ලයි කැත්තයි වප්පිහියයි ඇරුණම මොනවද තිබ්බේ, කඩෙං ගත්ත ආයුධ.?  ඒ වුනාට වැඩ කරගත්තෙ නැද්ද..! මං දන්නෑ පලවෙනි දවසෙම කොල්ලෝ කතා වුනේ නං අර ටිකක් උසට හැදිල තියෙන ගස් ගානකට ට්‍රිම් කරල ඒ අද්දර වාඩි වෙංට බංකුත් හදංට! බරිගමිං පිට ලෑලි ඉල්ලාගෙන එනවලු... ඉස්කෝලේ ලේබරර්ගෙන් දවසකට දෙකකට ආයුද දෙක තුනක් ඉල්ලා ගන්නවලු... නානායක්කාර සර්රුත් කිව්වා ඉස්කෝලෙං ඕනෑ දේ ඉල්ලල දෙන්නං කියල. අර පුපුරංට පායන කාලේ මල් ගස් වලට වතුර හොයංටයැ. එහෙම පැයිල්ලට ඔරොත්තු දෙන, ටිකක් ලොකු ගස් ජාති හිටවමු කියලයි මං කිව්වේ. පල්ලෙහා වෙල අද්දරට වෙංට හාරල බැඳපු ලිඳේ වතුර නං තියෙනවා. ඒත් ඔව්වා අදින්නේ කව්ද... කමක් නෑ...බලමුකෝ...

                 අපෙ කන්ඩායම එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනික් හැම එක්කෙනාම අධ්‍යාපන චාරිකාව මගෑරියා. සල්ලි නැති හින්දම. ඒ දවසෙම අපි ටික දෙනෙක් පේරාදෙණිය මල් වත්තට යංට කතා කර ගත්තා. සර්ගෙං අවසර ගංටත් ලොකු අපහසුවක් වුනේ නෑ. ඒ ගමන මට වැදගත් වෙන්නේ මීට කලිං මං කවදාවත් පේරාදෙණිය මල් වත්තට ගිහින් නැති හින්දා..! පස්සේ බලනකොට දෙන්නෙක් ඇර ඔක්කොම ඒ බෝට්ටුවේ තමයි. මං අප්පච්චිටත් ලියල යැව්වා මෙහෙම ගමනක් යනවා කියල. ඒක නං මයෙ හිතේ, ගෙදර ඉන්නකොට තවවත් දොට්ට ගියත් කියල යන පුරුද්ද... 

                 ගමන යන දවසට කලිං දවසේ ලතා මේ 'මිනි ට්‍රිප්' එක ගැන මයෙං විස්තර ඇහැව්වා.
"කීයටද යන්නේ?"
"එහෙට නවය හමාරට.. කතා වෙල ඉන්නේ."
"කී දෙනෙක්ද?"
"දැනට දොලහයි."
"හෙටත් රා බොන්ටද හිතාගෙන ඉන්නේ? සපූ නම් ශෝයි බබානෙ..!"
"කලිම්ම හොරෙං හොරෙං ඔය කතාව ආවා. ඒ වුනාට අන්තිමට තීරණය වුනේ ඒ දේ නොකර ඉංට. මොකක් හරි සිද්දියක් වුනොත් ඉස්කෝලේ නමත් ඉවරයි, අපි ඉස්කෝලේ ඉඳලත් ඉවරයි. මේ සත ගණං එකතු කරගෙන යන ගමනක්... ඔව්වා කරංට සල්ලි කොයි. මොලෑසස් කියල තියෙන අරක්කු බෝතලයක් රුපියල් හතක්ලු. පොල් අරක්කු අටක්ලු. කොල්ලෝ සමහර තැං වලට එක් වෙල කලාතුරකිං ඔය රා විදුරුවක් බොන එකත් නතර කරවංට ඕනෑ. ඔයා දන්නවනෙ කරුණාරත්න. ඉස්සර අපෙ පංතියේ හැමදාම පළ වෙනියා. ටිකක් ඔය දඟ වැඩ වලට හුරු වෙලා. මෙන්න මෙයා මේ සැරේ ඕ ලෙවල් පේල්. හිතංටවත් බෑ. ඔය පිස්සු වැඩ හිංදා තමයි. 
"මාත් පිස්සු වැඩක් අද හෙට කියනවා සපූට."
"මොකක්ද..?
"ගමනක් යමු."
"කොහෙද?" 
"අපි දෙන්නගෙම යාලුවෙක්ගෙ ගෙදර.."
"කොහෙද..?"
"ඒ ඔයා සීරියස්ලි හිතුවද ඒක? පිස්සා...!"
"සීරියස් තමයි.. තව ටිකක් කිව්වා නං....! ඒ වුනාට ලතා දන්නවද එහෙම අයත් ඉන්නවා."
"මම දන්නවා...." 

                  අපි පහුවදා උදේ පිටත් වෙනකොට, Girls hostel, helper lady කෙනෙක් "මැඩම් දුන්නා" කියලා පාන් පාර්සලක් ගෙනත් දුන්නා. ඒ අතරේ අපෙ සර්රුත් අපි එක්ක යංට ලෑස්ති වෙල. ! 
"ටිකකට ඉන්න.. ගර්ල්ස් හොස්ටල් එකේ... මැඩමුත් එනවා කිව්වා ලමයි දෙතුන් දෙනෙක් එක්ක. "
"සර්.. මැඩම්ලා යන්නෙ නෑ වෙංට ඇති. ලෑස්ති කර ගත්ත පාන් වගයකුත් එවලා තිබුනා."
"ආ.. ඒකත් එහෙමද. ඒක හොඳයි ලයනල්."

               සර් ආව එකෙන් අපේ නිදහසට ටිකක් බාදා වුනා තමයි. කට්ටිය ඇන්න ගිහිං තිබුන ත්‍රී රෝසස් දෙක තුන බොංටත් හෙන නැටිල්ලක් නටංට වුනා! හැබැයි සර් දුංකල කොම්පැනියේ Shareholder කෙනෙක්! සර් ආව එකට කොල්ලෝ වැඩි දෙනෙක් කැමති වුනා. මං...? මං කිව්වේ කෙල්ලෝ ටිකත් ආවා නං හොඳයි කියල... ඒත් බයෙං එහෙම කිව්වේවත්!!

                මැඩම්ලා එව්ව පර්සලේ, ලූනු තෙල් දාල මැදි කරපු පාන්. අපි ඇන්න ගියෙත් පානුයි බනිසුයි වඩෙයි. තව ජිංජර් බියර් බෝතල් කීපේකුත් තිබ්බා. සර් බිස්කට්.  කට්ටිය ඔක්කොම ගොඩක් සින්දු කිව්වා. මොකක්දෝ ලොකු ගහක් බිම දිගටත් අතු. ඒ ලඟිංම ලොකු පිට්ටනියක්. කට්ටියම ඒකේ සින්දු කිය කිය නැටුවා... ශිල්ප දැක්විලි පිරිල. තව අර ගෑනු පරාන ටිකත් ආවා නං කොහොම හිටීද!

                   පිටිසරෙහි අගේ සිරි නරඹමිනේ...., ගයා ගීතයන් ගමේ වෙල් එලියේ, චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ.. වාගේ අප්පුඩියක් ගහංටත් අමාරු සිංදු වලිං පටං ගත්තේ. ඇල් හේනෙ පැල් රකිද්දී..., රොබින් හුඩ් වගේ ලක්දිව පතල වුන නමයි....ලෝ අඩ නින්දේ... , පුරුතුගීසි කරයා ර  , ඕලු නෙලුම් නෙරිය රඟාලා... , හායි බට්ටෝ.. තණකොල පෙත්තෝ... වාගේ එව්වට අන්තිමට අන්තිමට... සින්දු ටික නැගල ගියා..! අපෙ පුංචි ට්‍රිප් එක හුඟාක් ලස්සන එකක් වුනා.

"දෙයියනේ.. මේ වගේ රත්තරං මනුස්සයෙකුටනෙ අර සර් පද හදල කොල්ලෝ අතරට දැම්මේ."
"ඒක මචං ජනප්‍රියත්වය පිළිබඳ ප්‍රශ්නයක්. අනික, මට හිතෙන්නේ පේරාදෙනි ඉන්න කාලේ ගනු දෙනුවක ඉතිරියක්. කොල්ලෝ අස්සේ සින්දු කියාගෙන එයා මේ බාල ජනප්‍රියත්වයක්නෙ හදාගෙන ඉන්නේ. මේ සර් කියන එව්වයේ අහලකකින්වත් තියංට පුලුවන්ද."
"ඒ වුනාට සර් කියන සමහර රසවත් එව්වා මේ ලෝකේ හසරක් මට නං තේරෙන්නෙ නෑ දයා."
"සමහර එව්වා මටත් තේරෙන්නෙ නෑ. ලඟදී අපෙ පන්තිවලට Physics වලට සර්ලු එන්නේ. එතකොට අපිට..."
"ඒ වුනාට දයා, සර් Chemisrry Special නේද කරල තියෙනවා කියන්නේ."
"ඔයාට ඕන නං, Physic, Chemistry විතරක් නෙවේ... Zoo - Botany ත් කරයි."
"අප්පෝ.. මතක් කරංට එපා මචං.."

"ඒක නෙවේ සපු... මේ වීක් එන්ඩ් එකේ යමුද අපෙ ගෙදර."
"මල් පාත්ති ටික?"
"ඒක ලොකු එකෙකුට ටිකක් බලා ගංට කියමු. පොඩි අය ලවා පාත්ති හදන්ට කියලා. එහෙම නැත්තං මේ සතියට ඔන්න ඔයෙ අමතක කරල දාමු සපූ.."
"මං ආපහු පොත් ටික එහෙම සෙට් කර ගංටත් හිතුවේ. කලිම්ම ලෑස්ති වුනොත් හොඳයිනෙ..."
"මේ දෙසැම්බර් ඕලෙවල් වලටද... ඒක මේ සතියෙම පටන් ගංට ඕනද? යමං බං ගිහිං එන්ට."
"මං දවසකිං විතර කියන්නංකො දයා..." මං කරපු රඟ දැක්වීම දයා දන්නවා නං ගෙදර නෙවෙයි එක්ක යන්නේ.. බරිගම සැමියා ගාවට. මූණ දෙසැරයක් විතර අතගාවල එවංට. ඊයෙ පෙරේදත් පත්තරේ තිබ්බලු නුවර මාර්කට් එක ඉස්සරහ බාල්දියක් පෙරලා ගත්ත එකක්. බරිගම සැමී...
"හ්ම්..."

"ඔය යන්ට බෑ කිව්වේ බොරුවට... " කියලා මම අයියට කියන්නම්කො.
"මේ... විහිලුවටවත් කියන්නේ එහෙම නෑ ඔන්න."
"ඇයි... ?"
"එහෙම වුනොත් මං කවදාවත් එන්නේ නෑ."
"පිස්සුද සපූ අයියා. 
මේ.... අයියට මොනවද හදලා දෙන්ට කියන්නේ? වැලි තලප?"
"ඇයි එව්වම නම් කරේ?"
"අයියා වැලි තලප වලට කෑදරයි කියලා මම දන්න හින්දා..."

                                                                                                          simple "s"
2019. 11.15

පින්තූර අන්තර්ජාලය ඇසුරෙන් .

No comments:

Post a Comment