Wednesday, November 20, 2019

උඩගෙදර කතා 196 ලිං කටෙං වැටුන එකා 59

ලිං කටෙං වැටුන එකා   59

"හයයි තුනයි සර්..."
"ෆේල් මොනවද?"
"ඉංග්‍රීසියි ඇප්ලයිඩ් මැත්ස්සුයි සර්."
ඉංග්‍රීසියි ඇප්ලයිඩ් මැත්ස්සුයි... ඇප්ලයිඩ් මැත්ස්සුයි. මං කියන්නෑ.... මුරන්ඩු කමනෙ. දැන්වත් තේරෙනවද zoo botany කරා නම් පාස් වෙනවා. ක්‍රඩිට් ලැබෙනවා. තව ක්‍රඩ්ට් දෙකක් තිබුනා නම් ලංකා බැංකුවට, මහජන බැංකුවට එහෙමත් ඉල්ලන්ට තිබුනා කියලා.තෝරා ගැනීමක් දීලා තියෙන්නේ තමන්ට පහසු, තමන් වඩා දක්ෂ එක තෝරා ගංට. කොහෙද පන්ඩිත වුනානෙ." මයෙ හිතේ සර් ඇවිත් තිබුනෙම මගෙ ප්‍රතිපල දැනගෙන. මට බනින්ට ලෑස්ති වෙලම. එක අතකට ගොංකං කරංට කරංට තෙල් ගාංටයැ. ඇත්තටම සර් මට දොස් කියන්නේ මං අතෑරියේ සර් උගන්නපු සබ්ජෙක්ට් නිසා අමනාපෙටම නෙවේ. අපේ හැකියාවන් අපිට වඩා දන්නේ අපෙ සර්ලා.

                 අරහෙම කියල මඩුගල්ල සර් ලමයි බල බල හිටිය ප්‍රතිපල ලේඛනය අතට අරන් විභාග අංක දිගේ ඇඟිල්ල ඇන්න ගියා. තත්පරෙං තප්පරේ මූණේ ඉරියව් වෙනස් වෙනකොට මට බයත් හිතුනා ගහයිද කියලත්.
"මේ ටික කර ගන්ටද ඔච්චර දැඟලුවේ... ගිහින් ගෙදරටයි අබේරත්න සර්ටයි මොනවද දැන් කියන්ට හිතාගෙන ඉන්නේ? අබේරත අයියට නම් මම කියනවා සපූගෙ පන්ඩිතකම ගැන. නැත්තං මටත් දොස් කියයි."
               
                  මං උත්තර දෙංට ගියෙ නෑ. සිමෙන්ති පොලොව කකුලේ මාපටඟිල්ලෙං කඩංට බැරිද කියල බල බල හිටියා. මං සෙකන්ඩ් ෂයි හොඳට කර ගන්නවානෙ!
"ඒලෙවල්ස් ලියංට පුලුවන්නේ. ඒ අතරෙම තව සැරයක් ඕලෙවල් කරන්ට ලෑස්ති වෙන්ට. හොඳින්  මහන්සි වෙන්ට."
"එහෙමයි සර්."
"කරගෙන තියෙන ටිකට මම සුබ පතනවා සපුමල්." කියල මඩුගල්ල සර් ගියා.
"Thank you sir."

                   මයෙ ප්‍රතිපල මෙහෙමයි: බුද්ධ ධර්මය D,   සිංහල සාහිත්‍යය - Physics C,   ගණිතය - සිහල භාෂාව - Chemistry S. මයෙ හිතේ බය තිබ්බ හැටියට මේ තරමිං ගියා මදෑ! ඔය බය විභාගෙට පාඩම් කරනකොටත් තිබුනා නං. හ්ම්... පාඩම් කිරීම අවනම්බුවක් කියල සලකපු රැල්ලේ ප්‍රථිපලය බොහොම ඉහලයි. ශිෂ්‍යත්වේ පහ අට දෙකේම, කොල්ලංගෙං විභාගේ පාස් වෙල තියෙන්නේ පස් දෙනයි. මං ඇර, හේරත් හයයි පහක් ඇන්න. දයයි ටීඩබ්ලිව්යි දෙන්නත් හයයි තුනයි. අනික් අයත් හයයි කීයයිදෝ. ඔයින් කව්දෝ හතයි තුනත් ඇන්න. සිස්සත්ව ගෑණු ලමයි තුන් දෙනයි ඒ ලෙවල් සුදුසුකම් ලබල තියෙන්නේ කියලයි ආරංචි.

                   මට මතක් වෙන්නේ අපි රෑට රෑට සකච්ඡත් කෙරුවානෙ! බම්බුව...! මං හිතුවා ඉංග්‍රීසි වලට S එකක්වත් තියෙයි කියල. මයෙ මෝඩකම. ඉංග්‍රීසි සාකච්ඡා, සමාගං  නැතිව පාඩුවේ හිටියා නං මොන ලැජ්ජාවක්වත් නෑනෙ.. හැබැයි මයෙ ඉංග්‍රීසි ප්‍රථිපලය ඇහුව හැම එක්කෙනාම වාගේ කිව්වේ, 'ඒ subject එක නං re-scrutinising දාංට' ම කියල. පිස්සු.. තව කීයකට හරි කෙලවෙන වැඩක්.

                   ලතා හිතුවා වාගෙම එයාට වැඩ හතරයි. එච්චරයි. එයා එක්කෝ ගමේ ඉස්කෝලෙට නැත්තං අයියා එක්ක කොලඹට ගිහිං Arts කරනවලු. ඒ අය හයේ පංතියේ ඉඳල මෙහෙ... අන්තිමට ප්‍රතිපලේ ඕකයි. ලතා කීප සැරයක් මාත් එක්ක ගොඩක් කතා කෙරුවා. මේ වෙනකොට දහ සැරයක් වත් කියල තියෙන්නේ... අපෙ හිතවත්කම් දිගටම පවතිංට ඕන කියන එක. හැබැයි ලතා කිසිම වෙලාවක කඳුලක් වැට්ටුවේ නං නෑ, ප්‍රතිපල ගැනවත් ඉස්කෝලෙං යංට වෙන එක ගැනවත්. 

                   ප්‍රථිපල ආව දෙවෙනි දවසේ ඉස්කෝලේ ඇරිල මං හොස්ටල් එකට ගියාම මයෙ පපුව පිස්සිල ගියා. මං පාස් වෙච්ච ඩිංගේ තිබ්බ සන්තෝසේවත් විඳ ගංට බැරි දෙයක් වෙල. දෙවෙනි වතාවටත් විභාගේ පේල් වුන සිස්සත්ව ලමයි ඒ අයගෙ බඩු පැක් කරගෙන... ගෙවල්වලට යංට. ඒ අය එක්ක දඟලපු දැඟලිලි, ඩස්ට්බින් තල තල කියපු සිංදු, කතා ක‍රපු පන්ඩිත කම් ...! ඔය ඔක්කොම සදහටම ඉවරයිනේ ඉතිං. සිස්සත්වේ තීරණයවෙන්නේ දෙවෙනි සැරේ ප්‍රතිපල වලින්. දෙවෙනි සැරෙත් පේල් නං හොස්ටල් එකෙමුත් යංට ඕනැ. ලමයි කිප දෙනෙක් නං ලඟ ලඟ ගෙවල් වල නතර වෙල තුංවෙනි වතාවට විභාගෙට එංටත් ලෑස්ති කරගෙන. අනික් අය ආපහු ගමේ ඉස්කෝලෙං ආර්ට්ස් කරංට හදන්නේ. තව අය කියංටත් දුකයි... ගෙදර යන්නේ කැත්ත උදැල්ල හොයාගෙන. 

                  මටත් මහා අතරමං වුන ගතියක් දැනෙන්නේ. මඩුගල්ල සර් කිව්වා වාගේ මේ ටික කර ගංටද අවුරුදු තුනක් ගෙවල් වල අයටත් වද දීගෙන උඩ පැන්නේ. එදා රෑ දයයි මායි හුඟක් වෙලා කතා කර කර හිටියා. දයත් වැඩි සතුටකිං නෙවෙයි, එයාගෙ ප්‍රතිපල ගැන.
"සපූ... යන්තං අවශ්‍ය වයසට එනකොට මම නං ශිෂ්‍ය ගුරු විභාගේ ලියනවා. තව ගෙවල් වලට වද දෙන්ට හිතට එකඟ නෑ මචං. නංගිටත් වියදම් කරන්ට එපායැ."
"ඔයා කරන එකක් මාත් කරනවා. දයා තව Irrigation Depatment එකේ Irrigation  Learners යංට පුලුවන්ලු. පලාත් පාලන සේවා දෙපාර්තමේන්තුවේ ඔය ගම් සභා වලට එහෙම කර්මාන්ත ඕවර්සියර්ලා ගන්නවලු. ඔහොම අපිට ඉල්ලංට පුලුවං එව්වා තව තියෙනවා. අනික... Centrai Clerical. අනේ .... Doctor, Engineer වගේ ලොකු ලොකු හීන නං ඕන නෑ. කාලයක් මහන්සි වෙල ඉහලට යංට පාර තියෙන සාමාන්‍ය එව්වා හොයමු මචං."
"ඔය ඔක්කොම ඇත්ත... අපි ටිකක් වැඩි අවධානයෙන් ඉඳිමු... මහරගම ට්‍රේනිං ගැන. විද්‍යාව, ඉංග්‍රීසි දෙකටම අපිට ඉල්ලන්ට පුලුවන්."
"මොන ඉංග්‍රීසිද මචං... මට ඉල්ලංට බැරි වෙයිනෙ.. ඒත් මං හිතා ගත්තේ ජොබ් එකකට කොහොම වුනත් මං ඉංග්‍රීසි දිගටම කරනවා කියල. එතකොට ප්‍රයෝජනයක් වුනොත් එහෙමයි... නැත්තං එහෙමයි!"
"සපූ... ඔයා හිතනවා වැඩී. යාපා සර් මොනවද කිව්වේ.?"
"මම තවම වැඩිපුර කතා කරල නෑ."
"අන්න මචං නියම ඔලුව. උඹ දවසක් දිගට කතා කෙරුවොත් හැමදාම හොයාගෙන යයි. එයා කියන ඒවා ඔක්කොම මතක තියෙන්නෙ නෑ. ප්‍රතිපල ගැන කතා කරන අතරේ මොකකට හරි සර් මෙහෙමත් කිව්වා.ඒක මට අමතක වුනේ නෑ. 'මාඕ සේතුං කියලා තියෙන්නේ.. මාලුවෙක් වතුරේ අතරමං වෙන්නේ නෑ.' කියලා."

                      මයෙ හැසිරීම් ගැන මේ දවස් වල දෙතුං දෙනෙක් අවධානයෙං ඉඳල තියෙන්නේ, මං හිත අමාරුවෙං ඉන්නේ කියල දයාගෙං දැන ගෙනද කොහෙද... විසේසෙං මාදි නංගිත්. දවසකට එක සැරයක් වත් කතා කරංට මහංසි වෙනවා.
"අපෙ අයියා කිව්වා සපූ අයියා ප්‍රථිපල ගැන හිතේ අමාරුවෙන් ඉන්නේ කියල. අයියා A Level Qualify වෙලත්නෙ. එහෙමත් නැතිව කොච්චර ඉන්නවද? ඉතිං අයියා ඔච්චර හිතන්ට එපා. අපි ආයෙ මහන්සි වෙලා විභාගේ කරමු."
"මට දුක, තව ටිකක් මහන්සි වුනා නං, තත්වේ මීට වෙනස්නෙ නංගී. "
"Second time හොඳට කරමු. මාත් පස්සෙන්ම ඉන්නවානෙ."

                     පස්සෙං ඉන්නවා තමයි... ගිය සැරේ මට කෙල වෙංට උඹත් වක්‍රව හවුල් කෙල්ල! ඒක කියංට ඕනෑ වුනත් දිව නැමුනෙ නෑ. ඒ වෙනුවට කියවුනේ වෙන එකක්!

"හැමදාම... ?"
"ඔව් හැමදාම.
ඒක නෙවේ... මේ සතියේ අපෙ ගෙදර යමු අපිත් එක්ක...?"
"හා... 
හැබැයි අයියා කිව්වොත්... මමම අහල එංට බෑනෙ."
"අපෙ අයියා සපූ අයියට කොච්චර හිතවත්ද කියල අයියා දන්නෙ නෑ. අයියා හිතේ අමාරුවෙන් කියලා එයත් හිතේ අමාරුවෙන් ඉන්නේ. "
"එහෙමමත් නෑ ඉතිං..  මාත් දන්නවා දයා ගැන."
"හොඳයි මට කරන්ට පුලුවන් හැම දෙයක්ම මාත් කරන්නම්. ඒත් ඉතින් හිතේ අමාරුවෙන් ඉන්නේ ලතා අක්කා මෙහෙන් ගියාට නම්.... මට කරන්ට දෙයක් නෑ."
"ම්ම්ම්ම්.. මේකිත් දැන් හොඳට පැහිල. මී පැටියා වාගේ හිටියට!"
"එතකොට ඔ.. ඔ.. අයියා පූස් පැටවා...? එහෙමද?"
"ඇයි... 'ඔයා' කියංට බයයි නේද?"
"ඉතිං..... ඔයත් එහෙමනේ!"

                   මාධාංගනී... ! මාධංගනී පංතියට දිව්වා. කොහෙංද අප්පා මටවත් නැති ගටක් මේකිට ආවේ!

                                                                                                  simple "s"
2019.11.12

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

No comments:

Post a Comment