Wednesday, November 20, 2019

උඩගෙදර කතා 187 ලිං කටෙං වැටුන එකා 54

ලිං කටෙං වැටුන එකා   54

                       නෝට්ස් මට ඇති තරං ලැබුනා. විනාඩියක් පාඩු කර ගන්නේ නැතුව මං වැඩ කෙරුවා. සමහර දවස් වල නිදා ගත්තෙම නැති තරමයි. ලතා හදල දුන්නේ මයෙ ඇස් අමාරුව හිංදා ලියා ගංට බැරි වුන සටහන් විතරක් නෙවේ. කලිං අර විකාර හැදිල හිටිය මාස දෙක තුනක එව්වත් වෙන ලමයි ලවා ලියවල දුන්නා. එයත් පාඩම් කරන ගමං නෙ මේ. සටහනක් ලියනකොට පාඩම් කරනවට වැඩිය හිතේ ධාරණය වෙනවා කියල ලතා මට කියලත් තිබුනා. 

                       ඉස්කෝලේ නිවාඩු දෙංට දවස් දෙක්කට කලිං බදාදා නියතපාල ඇවිත් කිව්වා: 
"දෙතුං දෙනෙක් ඇවිත් ඔෆීස් එක ලඟ එලියේ පාරේ ඉන්නවා. අර කලිනුත් ආව එක්කෙනාමද කොහෙද."
"මං එන්නං."
"ලස්සන චුටි ලමයි දෙන්නෙකුත් ඉන්නවා."
"නිවුන් බබාලා වාගෙද?"
"ඔව්. ඔව්. එක වාගෙම."
                       මං දයත් එක්කරගෙන ගියේ. මං ඈතිංම දැක්කා ජිනාදරිත් ඉන්නවා. 
"දයා ජිනත් ඉන්නවා. ඒ.. මේ ඉන්ටවල් එකනේ. ලතාටත් පනිවිඩේ කියාගෙන එංටකො."
"ඇයි.. අපෙ නංගිත් ජිනයි නිඹුල්ලුයි බලංට කැමති වෙයි. මං එක්කරන් එන්නං."
"අන්න හරි දයා.."

                        ජිනා බේජ් පාට මැදපු ලස්සන ගවුමක් ඇඳල හිටියේ. මං දකිනකොට ජිනාගෙ ඇස් උඩ ගියා. ඒ අය හිටියේ පොඩි ලොරියක ඉස්සරහ. මං ගියාට පස්සේ ගේට්ටුවෙං ඇතුලට ගත්තා.
"අයියා ඇයි මෙච්චර කෙට්ටු වෙල. අම්මා දැක්කොත් හුඟක් දුක හිතෙයි."
"මේ දවස් වල වැඩිපුර වැඩ ටිකක් කෙරුවා නංගී. ඒකයි මයෙ හිතේ..."

                         දෙයියනේ දෙතුං දෙනෙක් නෙවේ කෙල්ලෝ දහ දොලොස් දෙනෙක්ම ඇවිත් ජිනාලා බලංට. කට්ටියක් පොඩි දෙන්නට වහ වැටිල. අනික් අය ජිනා ලඟ. 
"නංගී... ජිනාදරී කියන නම මෙහෙ ප්‍රසිද්ධයි.. මෙන්න මේ ඉන්නේ ලතා. ඔයාගෙ අනාගත නෑනා පොඩ්ඩ.." පෑලිස් අයියා ඩිංගක් එහා මෙහා වුනාම එක ළමයෙක් කිව්වා. 
"අනේ මේ... අපෙ අම්මටත් වැඩ කර ගංට බැරිව නහයෙන් අඬ අඬ ඉන්නේ.  ලතා අක්කා ඉක්මනින් එංට...!"
"එතකොට මම?" තව ලමයෙක් ඇහුවා. 
"සපූගෙං අහගනිං."
"ඉතිං දෙන්නම..." ජිනාත් හොඳට පුරුදු අයට වාගේ විහිලුවෙං උත්තර දුන්නේ. 
"එහෙනං ඔයාගෙ අයියා ආගමත් වෙනස් කරංට වෙයි..." ලතා කිව්වා.

                         නංගිගෙ ඉස්කෝලේ, ව්භාගේ කරන අවුරුද්ද,  අරවා මෙව්වා ඔක්කොම කෙල්ලෝ ටික ජිනාගෙං අහ ගත්තා. ජිනත් හොඳට උත්තර දුන්නා. ඉඳහිට කොල්ලොත් ඇවිත් රබර් ඇහැ දාල ගියා. දයා ඉන්න හින්දද මං දන්නෑ... මාධංගනී නං ජිනයි බබාලයි දිහා මාරුවෙං මාරුවට බල බල හිටියා විතරයි. 
"අයියා අද ආවේ..?"
"මල්ලී අපෙ නංගිලාට අනික් ඉස්කෝල වලට දවස් දෙක්කට කලිං නිවාඩු දුන්නා. හීං දෙන්නා දළදා හාමුදුරුවෝ ගාවට ඇන්න යංටත් එක්ක අපි අද ආවා. ඒ වාගෙම අර දෙවෙනියට ගත්ත ලොරි බාගේ යතුර පූජා කරංටත් තිබ්බා." මං පුංචි ලොරිය දිහා බැලුවා. ඉස්සරහ නලල වාගේ එකේ ලස්සනට "රත්නමාලී" කියල ලියල. 
"අනික් එකේ නම 'රත්නාවලී' ද අයියා.?"
"ඔව් මල්ලී. හොඳයි නේද?"
"අනේ ඔව් අයියා. හරි ලස්සනයි. ඉතිං මාලිගාවට ගිහිංද ආවේ?"
"ඔව් මල්ලී."

                        මං ජිනා අතේ හිටිය ලමයා වඩා ගත්තා. පැටව් දෙන්නම ලමයි ටිකයි වට පිටයි බල බල සන්තෝසෙං ඉන්නවා. 
"මල්ලී අපි හුඟ වෙලා ඉන්නෙ නෑ. මල්ලිටත් පාඩුයි නේද? කවද්ද විභාගේ පටං ගන්නේ?"
"සඳුදා අයියා... "
"හොඳයි මල්ලී හොඳිං වැඩ කර ගංට. එතකොට කවද්ද ගමේ එන්නේ?"
"සති දෙකක්ම ඉංට වෙනවා අයියා." මං ජිනාටත් ඇහෙංට කිව්වේ. පෑලිස් අයියා රුපියල් පහක් දීල එදත් ගියේ.
"ඉක්මනිං ගෙදර එංට...." පුංචි එහා මෙහාවක් බලල ජිනා මට කිව්වා. රහසිං කියල හිතුවට ලතා ඒක දැක්කා. 

                        ජිනා ඉස්කෝලෙට ආව එක මට මහ මෙරක් තරම්. විසේසෙම්ම මෙහෙ ලමයිංට ජිනා පෙන්න්නංට පුලුවං වුන එක. මට මොකද්දෝ ආඩම්බරයක්! පෙන්නංට තරං ලස්සනට කෙල්ල හිටියා. ජිනත් මෙහෙ ගෑනු ලමයි දැක්කා. හැබැයි ඊලඟ නිවාඩුවට මුණගැහුනම මං තියන එකක් නෑ. ජිනා දැක්ක එක මෙහෙ ගෑනු ලමයි තුට්ටුවකට ගනංගෙන නෑ. කව්රුවත් අයෙ ඒ ගැන කතා කෙරුවෙම නෑ. මං පිස්සු හැදිල හිටිය එක මගෑර ගන්නකොටම අයෙත් මරාලයක් වුනේ කියල කට්ටිය කතා වෙලම එහෙම කරනවද දන්නෙත් නෑ. එහෙමනේ මේ රත්තරං එව්න් ටික. මං ඩිංගක් කල්පනාවට වැටුනොත් එකෙක් හරි පාඩමක් ගැන අහනවා. 

                         කොහොම වුනත්, ජිනා ආ එක මට ටිකක් හරි පාඩං වැඩට බලපෑවා තමයි. දවසක් හමාරක් මයෙ වැඩ ඔක්කොම අවුල් වුනා. ඒත් හොඳ වෙලාවට සඳුදා පේපර් එක බුද්ධාගම. අඬබෙර ගහගෙන නොකිව්වත් මං ආගමට සෑහෙංට ලැදියි. ගමේ ඉන්න කාලේ දහ දොලොස් සැරයක් අට සිල් සමාදන් වෙලත් තියෙනවා. රෑ වන්දනා කරන කොටත් නින්ද ගියා තමයි. ඒත් සිල් පවාරණය කෙරුවේ පහුවදා. රෑට හිටියෙත් නොකා. ගමේ ඉස්කෝලෙම තිබ්බ දහම් පාසල් විභාග තුන හතරක්ම පාස්. දහම් පොත් එහෙමත් කියවල තියෙනවා. මේ හේතු හින්දා බුද්ධාම ප්‍රරශ්ණ පත්තරේට හිතේ බයක් තිබුනේ නෑ. අපිට සාහිත්‍යයට තියෙන පූජාවලිය හිංදත් ජාම බේරුනා. මොකද පූජාවලිය මතකයෙං ලියංට පුලුවං එව්වා ගොඩක් තිබුනා. අන්තිමට විභාග පරීක්ෂකයිංට, මට අමතර කොල දීල ඉවරයක් නැතුව ගියා. තව වෙලාව තිබ්බා නං තව ලියංට තිබ්බා. දෙවෙනියට තිබ්බේ Chemistry. බදාදා. ඒක තරමක් අමාරු වුනා. අනික් ප්‍රශ්ණ පත්‍රත් එකක් ලේසි වෙනකොට දෙකක් අමාරු වුනා. ගණිතය පේපර් එක ගැතත් බයයි. English එකත් එහෙම. කොහෙද...! අහලවත් නැති වචනනෙ ආවෙ. Feminine Gender ලියංට ආව වචන තුනක් mare, drake, drone. ඉතිං ලියපල්ලකො! නොදන්න සත්තුයැ. ඒකයි හිතට දුක. හැබැයි මට grammar වලිං කවර් වෙල තියෙයි කියල අනික් අය කිව්වේ. ප්‍රථිපල එනකල් මොනවා කියංටත් බැ. අනික් ලමයිත් වැඩි දෙනෙකුට විභාගේ අමාරුයිලු. මට විතරක් නෙවෙයි අමාරු කියංට කව්රුත් කැමතියිනෙ!

                        විභාගේ දවස් ටිකේ ලතාටත් අවාසනාවන්ත දෙයක් වුනා. හැමදාම උදේට උදේට තද ඉසේ රදයක් හැදුනා. ඉරුවාරදේ වෙංට ඇති කියල සමහර අය කිව්වේ. පුෂ්පකුමාරගෙ තාත්තා වෙද මහත්තයෙක්නෙ. එයා බෙහෙත් වගයක් හදාගෙන ආවා. වියලි කහ කුඩුකරල ගිනි අඟුරු වලට දාල ඒ දුම නහයට උරංටත් තිබ්බා. එක ලමයෙක් ඒකට ඕනැ දේත් ගෙනත් තිබුනා. සුදු ලූනු පැලැස්තරේ දැම්මා නං හරි යංට තිබ්බද දන්නෙත් නෑ. ඒත් බය නොවී ඒක දාංට මව්කිරි කොහෙං හොයංටද? පව්... හොඳ ව්ස්වාසෙං හිටිය කෙල්ලට විභාගේ ගැන කිසි විශ්වාසයක් නැතුව ගියා. මාත් එක්ක කිය කිය හරියට ඇඬුවා. හිත හැදෙංට මොනවා හරි කියන එක විතරයි මටත් කරංට පුලුවං වුනේ.

                        විභාගේ ඉවර වෙන දවසට කොල්ලෝ කීප දෙනෙක් අමුතු යෝජානාවක් ගෙනාවා, පුංචි පාටියක් දාංට. කරු කිව්වා ගමෙං රා බෝතල් දෙක තුනක් ගේන්නං කියල. එයා ඉන්නේ ඉස්කෝලේ කිටුවමයි. පොඩි කලෙක්ෂන් එකක් දාල සිගරෙට්, රෝයල් ඩයට්, ජිංජර් බියර් ගංට. පානුයි වඩෙයි දෙවගෙට කලිං ඉඳලම කිව්වේ රෝයල් ඩයට් කියල. ඇත්තටම හැන්දෑ වරුවට සත හතේ පාං කාලයි සත පහේ වඩේ එකයි කියන්නේ රෝයල් ඩයට් එකක්ම තමයි. කොල්ලෝ හැදෙන වයසනෙ. කව්රුත් කිව්වේ එහෙම. ඒත් සල්ලිනෙ නැත්තේ!

                        මෙව්වා ඇන්න පේරාදෙණියේ මල් වත්තට යංට මුලිං කතාවුනේ. එක්කෙනෙකුටවත් මතක් වුනේ නෑ ඔය සමහර දේවල් ඇන්න එහෙම ඈත යංට, බස් එකේ යංට බෑ කියල. අනික යංට එංටම වෙලාව හරිනෙ. පස්සේ තීරණය වුනා "වොල්ෆැන්ඩෝල්" එකටම යමු කියල. ඒ තේ කඩේ කැලැන්ඩරයක් එල්ලල තියෙනවා. ඒකේ කොළඹ සාප්පුවක ඇඩ්‍රස් එක තියෙන්නේ වොල්ෆැන්ඩෝල් ස්ට්‍රීට්. ඒ හින්දා ඒ තේ කඩේට ඒ නම කිව්වා.

                        පාටිය දවසේ බලන කොට රා ත් නෑ! කොල්ලෝ පානුයි වඩෙයි ආනමාලු කෙසෙල් ගෙඩියි කාල ජිංජර් බියර් බිව්වා. සිගරට් බිව්වා. පාටියකට වැඩිය මටනං තිබ්බේ එපා කියන දෙයක් කරපු තක්කඩි සන්තෝසේ! එදා රෑ හොස්ටල් එකේ කොල්ලෝ කීප දෙනා හුඟක් වෙලා ඇහැරල. රෑත් සිගරට් බිව්වා. ඩෙස්ක් වලට, ඩස්ට් බින් වලට තඩි බබා සින්දු කිව්වා. සර්ලත් නෑනෙ. ලයනල්ට, දයාට හොඳට සින්දු කියංට පුලුවං. ‍රන්මුතු දූව චිත්‍ර පටිය ඇවිත් වැඩි කාලේකුත් නෑ. පිපී පිපී රේණු නටන.... සිංදුව එහෙම නැගල යන කාලේ.

                        අප්පච්චි පහුවදා දහය විතර වෙනකොට ආවා. මං එක්ක යංට. 

                                                                                                     simple "s" 
2019.10.15

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන්.

No comments:

Post a Comment