Wednesday, November 20, 2019

උඩගෙදර කතා 186/179 ලිං කටෙං වැටුන එකා 53.2

ලිං කටෙං වැටුන එකා   53.2 

                     හන්දියෙං හයට යන බස් එකේ මං නුවරට ගියේ. කියන වෙලාවට බස් නං වරදින්නෙ නෑ. එකක් කැඩ්ල නං වෙන එකක් හරි දානවා කියල හරියට කලිං දවසෙම ලමයි කතා වුනේ. හතරේ කණුවේ, ලස්සන තැඹිලි පාට ලයිට් දාපු, 'ම.උ.' ලංගම ඩිපෝව ලඟදී ව්නාඩි තුනක් හතරක් පමා වුනා විතරයි. Eye Clinic එකට මං යනකොට නොම්මර දෙංට පටං ගෙනත් නෑ. 

                      අපි වාඩිවෙල හිටිය කොරිඩෝ එකේ බිත්තියේ ඇහැක ලොකු රූපයක් එල්ලල. ඒකේ කොටස් නම් කරල. Physics වලට අපිට ඇහැ ගැන දුන්න සටහනයි රූපයයි මං ඊයේ රෑත් බැලුවා. ඒ චිත්‍රයට වැඩිය මේක පැහැදිලියි. අපිට කියලා දීල තියෙන එව්වේ හැටියට මයෙ ඇස් දෙකට මොකද වෙල තියෙන්නේ කියල මට හිතංට බෑ. myophia වාගේ එකක් නෙවෙයි. අනික ඒ සටහන, ඇහැ ක්‍රියා කරන හැටි ගැන Physics වලට දුන්න එකක් නෙ. 

                     ලතා ආවෙ නැති එක හොඳයි අප්පා. ඒත් දවස පුරාම මොකද්දෝ හැලිල වාගේ අඩුවක් මයෙ හිතට දැනුනා තමයි. ඒ වාගෙම කොච්චරවත් මට පාර දිහා බැලුනේ ලතා පමා වෙලවත් එයිද කියල. ආසාවෙං වුනත් බයෙං. බයෙං.
                     
                      නොම්මර දුන්නට පස්සේ තව පැය දෙක්කට කිට්ටුව ඉංට වුනා, ලෙඩ්ඩු පරීක්ෂා කරංට පටං ගන්න කල්. මං වට පිට ටිකක් ඇවිදල බැලුවා. මං ආව "අක්ෂි සායනය" කිට්ටුවෙම්මයි "කන්, නාසා හා උගුර පිළිබඳ සායනය" තියෙන්නෙත්. ඊට එහායිං දන්ත සායනයයි තව තව මොනවාදෝ.

                      මිදුලට ගියාමනෙ සසර කලකිරුනේ. ලෙඩ්ඩුන්නේ මව්පිය නෑදෑයෝ කියල හිතෙන අය පොඩි වෙච්ච ඇඳුමක් කාරිය ඇඳගෙන මූණු එල්ලාගෙන වේගෙන් වේගෙන් යන එන හැටි, අත් දිදී සාලුවක්, වේට්ටියක්, කෑලි චීත්තයක් පොරොවා ගත්ත කෙනෙක් එක්ක කවුරු හරි යන හැටි, තරුණ මව්පියොත් පොඩි අය බදාගෙන යන  හැටි, තමන්නේ කෙනෙක් ආසන්න වෙල හරි නැති වෙලම හරි වෙංට ඇති අඬ අඬ අසිහියෙං වාගේ කෙනෙක් දුවන හැටි, තව කෙනෙක් අඬ අඬ දොස්තර මහත්තයෙකුගෙං මොනවා හරි අහන හැටි, ඒකටවත් පමා නොවී උත්තර දිදීම දොස්තර මහත්තුරු වේගෙං වේගෙං යන එන හැටි. මෙව්වා බලාන ඉන්නකොට පපුව පැලෙංට එනවා. 

                     ඒ තමන්නේ එකම ලෝකය වෙච්ච ලෙඩා ගැන මිනිස්සු අහන්නේ.. දොස්තර මහත්තයට ඒ, තමන්නේ තවත් එක ලෙඩෙක් විතරයි. ඒත් එහෙම හිතන්නේවත් නැතුව අහන එක්කෙනාගෙ හිත තැනෙංට උත්තරත් දෙන දොස්තර මහත්තුරුන්නේ හිනාවේ, මූණේ ලස්සන.! කිරි පාටට... ඇඟේ වැදුනොත් කැපෙයි කියල හිතෙන තරමට කැඳ දාල මැදපු සුදු උස කෝට් එක, කලිසම ඇඳල, ටයි එක දාල, මූණ පේංට පොලිෂ් කරපු සපත්තු දාල, ස්ටෙතස්කෝප් එක කරේ එල්ලාගෙන හරි අතේ ඇන්න හරි, බෙල්ල කෙලිං තියාන ඉස්සරහ බලාන යන බෝධි සත්ව පෙරුම් පුරන දෙවිවරු ඒ. ඒ ඇත්තෝ දකින කොට මයෙ හිත ගැඹුරේ අලුත් අලුත් හීන පිපෙනවා. අහිංසක මිනිසුංට ලෙඩ්ඩුංට උදව් කරංට පුලුවං වාසනාවන්ත සේවයක් මේ.... ඒත් ඉතිං මං zoo botany අතෑරල double maths තෝරාගෙන ඉවරයිනෙ. අනික ඉතිං, කොයි එක තෝරා ගත්තත් මං විශ්ව විද්‍යාලෙට යංටයැ.

                    කිරි කොක්කු වාගේ සුදු ඇඳල ලතාවකට ඇවිදගෙන යන නර්ස් නෝනලා නං මූණේ හිනාව පුරවාගෙනමයි.

                    හුඟක් කරුණාවන්ත දොස්තර මහත්තයෙක් පුංචි ලයිට් එකක් ගහ ගහ මයෙ ඇස් දෙක හොඳට බැලුවා. වෙලාවකට තනි ඇහැට මොකද්දෝ කන්නාඩියකුත් හිර කරගෙන බැලුවේ. ඊට පස්සේ මං වාඩිවෙල හිටිය තැනට පිටිපස්සෙං බිත්තියේ ගහල  තිබ්බ බෝඩ් එකක අකුරු මයෙ ඉස්සරහයිං බිත්තියේ එල්ලල තිබ්බ කන්නාඩියෙං බලාන කියෙව්වා. දොස්තර මහත්තයා වේ වැලක් වාගේ දිග කූරකිං අකුරු පෙන්නුවා. අන්තිම පේලි දෙකට විතර යනකොට ඇස් කැරකෙංටයි යට පිල්ලම් වෙව්ලන්ටයි පටං ගත්තා. වෙවිලිල්ල දොස්තර මහත්තයත් දැක්කා. එතන ලස්සන චූටි නර්ස් නෝනා කෙනෙකුත් ඉන්නවා. මොකොදෝ සුවඳ සෙන්ට් එකක් ගාල. මයෙ නිකට මොකද්දෝ එක්කට පට්ටල් කෙරුවේ එයා. මටත් එහෙම චූටි අක්කෙක් හිටියා නං! දොස්තර මහත්තයා කිව්ව බේත් ජාති ගෙනාවෙත් එයා.

"May be exam nerve  or Examfobia! "  දොස්තර මහත්තයා නර්ස් නෝනට කිව්වා. ඒ මොකද්ද කියල අහංටයැ. මයෙ ඇහේ දුර්වල කමේ නම ද දන්නෙත් නෑ.

"බය වෙන්න කිසිම දෙයක් නෑ ලමයෝ. උදේ හවස මේ දියරය බින්දු දෙක දෙක විතර ඇස් දෙකට දාල ටික වෙලාවකින් මේ වැස්ලින් එක, මේ රෙදි කෑල්ලකින් ඇහැ ඇතුලේ හොඳට ගාන්න ඕන. පුරුදු වෙනකල් කාට හරි කියලා ගාවා ගන්න. පස්සේ ඔය ලමයටම තනියම ගා ගන්නත් පුලුවන් වෙයි. හැබැයි බේත් දාන්න කලින් අත් හොඳට පිරිසිදු කරගන්න ඕන. දැන් එක සැරයක් මේ මිස් බේත් දාලා පෙන්නයි. මේ බේත් පෙතිත් උදේ හවස බොන්න. සැර බේත් නෙවේ. විටමින්... සති දෙකක් විතර යනකොට ටිකෙන් ටික ඇරිලා යයි. වෙනසක් නැත්තං සති දෙකෙන් ආයෙ එන්න."
"සනීප වුනොත් එංට ඕන්නෑ නේද සර්?"
"මාව බලල යන්න ඕන නං එන්න...!" එහෙම කියල නර්ස් නෝනා දිහා බලල හිනා වුනා.
"සර්... මාවත්.!" කියල එයත් හිනා වුනා. 
"විභාගේ ඉවර වෙල පුලුවන් වෙලාවක එන්නං සර්."
"මම විහිලුවට කීවේ. කරදර වෙන්න එපා දරුවෝ.
දෙලුම් මල්, කොල, පිච්ච මල්, කෝමාරිකා එහෙම වතුර ඇස් වලට දැම්මා නම් ඒවා වහාම නවත්තන්න ඕන.... "
"නෑවට කමක් නැද්ද සර්?"
"ඒක ප්‍රශ්ණයක් නෑ. අපිරිසිදු වතුර නෙවේනෙ. 

"මේ.. විභාගේ කර ගන්න මොන අපහසුවක්වත් වෙන්නෙ නෑ. ඔයාගෙ අර කිව්ව තුන පහ දිගටම රැකගෙන හොඳින් විභාගේ පාස් වෙලා අපිට පාටියක් දෙන්න ඕන.."
"හොඳයි සර්." මං හිනා වෙවී කිව්වා. මං දන්න ලොකුම පාටිය පංතියේ ගෑණු ළමයෙක්ගෙ උපන් දිනේකට ලස්සන කොලවල ඔතල ලස්සන ටින් එකක දාපු සුවඳ එන ලොසින්ජර් බෙදන එක.! මේ අයට ඒක හරි යයියැ.

"හොඳයි... විභාග පාස් වුනාම කව්රු වෙන්නද ආසා.?" දොස්තර මහත්තයා ඇහුවා.
"ඉස්සර වෙලම ආසා වුනේ ගුරුවරයෙක් වෙංට. ඊලඟට දැක්කේ සර්වේයර් කෙනෙක්. ආසා හිතුනා ඒ කෙනෙක් වෙංට. ඊලඟට කවිකොලේකිං දැක්කා අපෙ ඉස්කෝලෙම ළමයෙක් පයිලට් කෙනෙක් වෙල. හැබැයි එයාගෙ ප්ලේන් එක එයා අතිම්ම ඇක්සිඩන්ට් වෙල එයා නැතිවෙල. ඒත් මට ආසා වුනා පයිලට් කෙනෙක් වෙංට, ඊලඟට ආසා වුන එක්කෙනා හොඳට දැක්කේ අද උදේ මෙහෙ මිදුලේ.. මේ කොරිඩෝ එකේ,... මේ කාමරේ.!"
"හ්ම්... මට හිතා ගත්තැහැකි.! ඔයාට බැරි වෙන්නෙ නෑ දරුවෝ. 'මට පුලුවන්.' කියල දැඩිව  හිතා ගන්න."

                        මං ඩබල් මැත්ස් කතාව කියංට ගියෙ නෑ. එක අතකට කෙනෙකුට ඉස්සරහට යංට එක පාරක්යැ තියෙන්නේ!
"එහෙනං දැන් බේත් දාගෙන යන්න... විභාගෙටවත් ඇස් ගැනවත් බය වෙන්න එපා. ඔයා හොඳින් විභාගේ පාස් වෙනවා. Wish you all the best!"
"Thank you sir... ගිහිං එන්නං." කියල මං ඒ මහත්තයට දණ ගහල වැඳල බේත් දාන ඇඳට ආවේ.

                       ආපහු එද්දී මට හිතුනේ මිනිසුංට තියෙන පහසුකම් ගැන දන්නේ නැති එක කොච්චර අපරාදයක්ද කියල. දැන්, අද මං පාංදර ආවා. බේත් ඇන්න දැන් ආපහුත්‍ යනවා. අවුරුදු දෙකතුනකට කලිං අපෙ අම්මගෙ ඇස් වල මොකද්දෝ දුර්වල කමකට සිංහල බේත් කරංට අප්පච්චියි මායි වින්ද වදේ! එරමුදුගොල්ල.... ඇස් ඔපරේෂන් පවා කෙරුවාය කියන බොහොම දක්ෂ වෙද පරම්පරාවක්. එහෙන් බෙහෙත් ගෙනාවේ. මට මතකයි අපෙ අම්මා හත් දවසක් දිගටම, ඉර එලිය නොපෙනෙංට අඳුරේ හිටිය හැටි, ලුනු ඇඹුල් නැති කෑම කෑව හැටි. එහෙම ඩිංගක්වත් කංට පුලුවං වුනේ මුකුනුවැන්න. මං බේතට මුකුනුවැන්න මුල් ගෙනාවෙත්, මැල්ලුමට කොල ගෙනාවෙත් පල්ලෙහා වෙලෙං. උදේම වැස්සී පැටව් නැගිටුවල එළ මූත්‍රා ගංට බලාන හිටිය හැටි..! හැබැයි ඉතිං ඒ සනීප වීම සදහටමනේ.. 

                      ඇස්වල ප්‍රස්නේ පටං ගන්නකොටම මං බය වුනේ මටත් කන්නාඩි දාංට වෙයිවත් කියල. එකටම ඉන්න අය ඕකෙං විඳවන හැටි මං දන්නවානේ. ලතා, බන්ඩාරනායක, සැන්ඩ්‍රා, හේමරත්න ... සර්ලා මැඩම්ලත් හුඟ දෙනෙක් කන්නාඩි දානවා. කන්නාඩිය හිංදා මූණේ සිරියාව තව වැඩි වෙල තියෙන්නේ විශාඛා මැඩම්ගෙ. තරුණ කාලෙම මැඩම්ටත් කන්නාඩි දාංට වෙල. පව්.. 

                      ලතා එදා ආවෙ නැත්තේ ඇයි කියල මං අහංට ගියෙ නෑ. මට ඒක මතකත් නෑ කියල පේංට මං ලතා එක්ක කතා කෙරුවේ. හැබැයි පහුවදාම ලතා ඇහැව්වා,
"දොස්තර නෝනෙක්ද මහත්තයෙක්ද හිටියේ?" කියල.
"ඒ කියන්නේ ලතා බැලුවේ මහත්තයෙක්..! ඇහැටම ලං වෙල...."
"හ්ම්..."
                      අර වැස්ලින් එක මුල් දවස් වල තට්ටුවක්ම ඇහැ ඇතුලේ ගෑවමයි කඳුලු එංට පටං ගත්තේ. පස්සේ පස්සේ යංතං ගෑවෙන කොටම කඳුලු එනවා.

"දැන් කොහොමද සපු...?" මඩුගල්ලේ සර් ඇහැව්වා.
"දැං හොඳටම සනීපයි සර්."
"ඒත් එහෙන් කිව්ව මුලු කාලෙම බේත් ගාන්ට ඕන. ඔහොම අහම්බයක් සිද්ද වෙනකොට වුනත් කොච්චර හොඳයිද එද එදා වැඩ එද එදාම ඉවර කර ගත්තා නම්. මේ දවස් වල සටහන් ලියා ගත්තේ කොහොමද... ලිව්වෙම නැද්ද.. ඉස්සර වාගේ නෙවේනෙ දැන් සපුමල්...!"
"සර්, අපෙ පන්තියෙම හේමරත්නගෙ නෝට්ස් කම්ප්ලීට්. පස්සේ එයාගෙං කොපිකර ගන්නවා. තව අර ලතා ලියනගේ කොපි කරලම දෙන්නං කියලත් කිව්වා. ඒ අයගෙ පංතියට දීල තියෙන note එක.."
"හ්ම්... කොයි එකෙන් හරි හොඳින් වැඩ කර ගන්ට සපූ."
"එහෙමයි සර්."

                            *                                            *                                               *

"ඒයි ලතා... දැන් ඔන්න සපුට හොඳට ඇස් පේනවා. හරිද? උඹ ඉතින් දැන් වෙන අතක් බලා ගනිං."
"ඒක සපුයි මායි බලා ගන්නං. උඹ අනුන්ගෙ සීනි කිරන්නේ නැතිව හිටපං ජයසේකර." එහෙම කියල ලතා මා දිහා බැලුවා. මං ඇහැක් ඉඟි මරල හිනා වුනා.

                                                                                                        simple "s"
2019. 10. 12

පින්තූර අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment