Thursday, September 5, 2019

උඩගෙදර කතා 156 ("වෙජි special")

" වෙජි.. special "

"මාව කරකවලා අතෑරියා වාගේ වුනා පොඩි අක්කේ."
"අයෙ ඒ තරං... !
ඔය උම්බලකඩ වලින් එහෙම අඩුව පිරි මහලා රසට කරීස් කීපයක් හදලා තියන්න. වැඩේ ගොඩ."
"නෑ පොඩි අක්කේ උම්බලකඩ තියා ඒ අය කේක් කෑල්ලක්වත් කන්නේ නැතිලු."
"ඇයි?"
"බිත්තර දාලා නෙ."
"අර ආරණ්‍ය සේනාසනයට පාර පෙන්නපං නංගියේ, දවල් කෑමට. මොන විකාරයක්ද!"
"පොඩි අක්කේ, එහෙම කියන්න එපා. පුලුවන්නම් ඔයත් එක සතියක් ඔය කිසි දෙයක් නොකා ඉන්න බලන්න, හිතට දැනෙන නිවුන ගතිය."
"නංගී කොහොමද දන්නේ?"
"මම දෙසරයක් නවත්තලා හිටියා. පළවෙනි සැරේ සති දෙකයි.දෙවෙනි සැරේ මාසයයි. හිතුනොත් ඉක්මනින්ම.... දිගටම.."
"ඇති ඇති නංගී... ඒක හෙම කරන්නෙ නෑ ඔන්න."
"ඇයි පොඩි අක්කේ?"
"නංගී දන්නවද ... අපෙ ශරීරයට අවශ්‍ය සමහර පෝශ්‍ය කොටස් මස් මාලු වලින් විනා එලවලු පලා වලින් ගන්න බැරිලු."
"මොනවද?"
"මට එච්චර මතක නෑ.. කවුරු හරි ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්න. පැහැදිලි කරලා දෙයි."
"ආයෙ..?"
"මස් මාලු වල, විශේෂයෙන් කරවල වල ඒ වගේ පෝශ්‍ය කොටස් saturate වෙලා, සංතෘප්ත වෙලා තියෙන්නේ. පෝෂණය ඉක්මනින් ගන්න නම් ඒවා කෑමට ගන්න ඕන. අනික වැඩෙන පොඩි දරුවන්ගෙ පෝෂණයට ඒක හුඟක් වැදගත්."
"තව..?"
"හොඳට අහ ගනිං... පොඩි නංගීට තව වැඩිකල් නොයා දෙන්නෙක්ගෙ පෝෂණය අවශ්‍ය වෙනවා. ඔය වෙජිටේරියන් වෙලා දුර්වල වුනාම ඩොක්ටර්ස්ලගෙන් කුනුහරුප අහ ගන්නයි වෙන්නේ."
"එතකොට උත්පත්තියෙන්ම වෙජි වෙලා ඉන්න අයට කෝ ඔය ප්‍රශ්ණ?"
"ඒ අයගෙ ඇඟ කවදාවත් ඒවට හුරු වෙලා නෑනෙ. ඒ හින්දා එහෙම ඕන වෙන්නෙ නෑ."
"පොඩි අක්කේ ඔය එක පොඩි පෝශ්‍ය කොටසක අවශ්‍යතාවට, අපිට වාගෙම ජීවත් වීමේ අයිතිය තියෙන වෙන සත්තු වන්දි ගෙවන්න ඕනද? ඇට ජාති, බිම්මල්, සෝයා මීට්, පලා වර්ග වලින් අඩුව සම්පූර්ණ කරන්න බැරිද? අනික මස් මාලු නවත්තන්න ඕන කියලා පෙරුම් පුර පුර ඉඳලා නෙවේ... එක පාරම මොන හේතුවක් හින්දා හරි එපා වෙලා නවත්තන කෙනෙක් නවත්තලා එලවලු කෑමට ගන්නවා ඇර මොනවා කරන්නද?"
"නංගී ඒ පැත්තටයි මේ පැත්තටයි තියෙන වාසි අවාසි කියව කියව ඉඳලා ඔයාගෙ වුවමනාව ඉශ්ට වෙන්නෙ නෑනෙ. දැන් මොකක්ද කෙනෙන්න ඕන කියන්නකො."
"අක්කේ,  නංගී බලන්න එන බෝයිවත්, එයාගෙ අම්මා තාත්තාවත් අක්කාවත්  මස් මාලු මොකුත් කන්නෙ නෑ. ෆුල් වෙජි..."
"ඒ කියන්නේ කිරි වලට සම්බන්ධ දේ ගන්නෙත් නෑ?"
"එහෙම නෙවෙයි කිරි බොනවලු.. චීස් හෙම කනවලු. මාංශ කොටස් තමා කන්නෙ නැත්තේ."
"නංගී full vegitarian කිව්වොත් ඒවත් අත්හැරලා වෙන්න ඕන.. "
"පොඩ්ඩක් එක විදිහක vegitarian කෑම වේලක් දෙන්න ඕන. අපි ඕන තරම් එහෙම කෑම හදලා තිබුනට මේ වගේ occasion එකකට මම හදලා නෑනෙ."
"ඉතින් අපි දෙමුකො.. ජීවිතේටම මතක තියෙන්න..!"

                                        *                                *                                  *

"බත ?"
"නංගී කියනවා ප්ලේන් බත් හොඳයි කියලා."
"පිස්සුද.. කහ බතක් හරි, එලවලු බතක් හරි හදලා ප්ලේන් බත් අමතරව තියන්න. කොයි බතටවත් බිත්තර එක් කරන්න එහෙම එපා. අනික, කහ බතටවත් එලවලු බතටවත් වෑන්ජන ගොඩක් ජාති ඕන නෑ. ප්ලේන් බත් වලට ඕන. කොයික එක්කත් කන්න පුලුවන් එලවලු හදමු. බත නම් කොයි එක වුනත් ඔයාට හදා ගන්න පුලුවන්නෙ.?"
" ඒ වුනාට පස්සේ ඒවත් පොඩ්ඩක් කියන්න. හා.. අනික නංගී කියනවා ගමේ කෑම මොනමොනවා හරි ඕනලු."
"හොද්දක් ඕනමනෙ. ඒක නම් කිරට අල කමක් නෑ නේද?"
"අක්කේ.. ඒක හැමදාම කාලා එපා වෙලානෙ තියෙන්නේ. අලු කෙසෙල් ගෙඩි සුදට හදමු."
"චොරි වැඩක් කියලා හිතයිද? ... එහෙම නං ග්‍රීන් පීස් හරි මුං ඇට බැදලා පියලි කරලා හරි උයැව්වොත් නරකද? හැබැයි මුං පියලි නං වේලෙන්න හදලා තමයි හොඳ. එහෙම බැලුවම නං අලු කෙසෙල් ගෙඩි උයන එක තමයි වැඩිය හොඳ. එහෙමත් නැත්තං කිරි හොද්දක් හදන්න. නංගිත් එක්ක කතා කරලා මේ හැම එකම තීරණය කරන්න."
"බටු බැදලා උයනවද?"
"නෑ පොඩි අක්කේ.. ඒ වෙනුවට බන්ඩක්කා හරි කරවිල හරි බැදලා උයන්නම්."
"මං දන්නෙ නෑ.. හැම එකම කතා කරලා ඉන්න. බටු බන්ඩක්ක කරවිල කොයි එක  බැද්දත් හොඳට තෙල් වෑස්සෙන්න ටිෂූ කොලවල දාලා ගන්න. කලුම වෙනකල් බදින්නත් එපා."
"අක්කේ.. ටෝෆු වලට වැඩිය පනීර් හොඳයි නේද?"
"ඔව්.. ලූනු අමු මිරිස් එක්ක කරවල වගේ හොඳට බැදෙන්ට තෙල් දාලා ගන්න. විකුනන්න තියෙන්නේ ග්‍රෑම් දෙසීයේ විතර පැකට්... ඒවා දෙකක්වත් ගන්න වෙයි. වැඩියම බෝ කර ගන්න ඕන නම් ඔය ටීවීපීත් එක්කරන්න. ඒත් උණු වතුරේ දාලා සෝදලා හොඳට මිරිකලා බදින්න. නංගී තව වෙජිටේරියන් කෑම වේලට බිම්මල් බැදලත් හොඳයි..."
"පොඩි අක්කේ.. තෙල් ගොඩවල්ම හින්දා බිම්මල් වෑංජනේ හදන්නං."
"ඒත් ඇත්ත.මල අතින් ඉරලා, දණ්ඩ කපලා ගන්න. 0ලූනු, සුදු ලූනු, ඉඟුරු, හීනියට ලියලා කරපිංචා උලුහාල් එක්ක, තෙල් වලින් රන්වන් පාට වෙනකල් බැදලා ඒකට, ඒදා ගත්ත බිම්මල් කරි එක දාන්න. ඒදා ගන්නකොට රම්පේ, බී ලූණු, අමු මිරිස්, තියෙනවා නම් කොත්තමල්ලි කොල එහෙම එක්කරන්න. ඉස්ම ඕන නෑ. තියෙන ටික උකුවෙන්න corn flour දාන්න, කරිය බාන්න ටිකකට කලින්."
"හරි පොඩි අක්කේ.. මැල්ලුමකුත් ඕන."
"මුකුනුවැන්න... වට්ටක්කා දලු...?"
"වට්ටක්කා දලු හදමු."
"මන්දා.. ඕ ගොල්ලන්ගෙ කැමැත්තටයි හා කියන්නේ.. කමක් නෑ.. වට්ටක්කා දලු වල අර රේණු හොඳට අයින් කරලා ගන්න. ගෙදරට හදනකොට ඇඟිලි දෙකෙන් කඩ කඩ ගත්තට මෙහෙම වෙලාවට හීනියට ලියලා ගන්න. කොල මැල වුනාම තෙල් දාලා, ඒ උඩට මැලුමේ රස්නෙන් මැල වෙන්න පොල් රැල් ටිකක් දාලා බාන්න. ඔය තෙල් වලට,  කරල හතරට පහට කැඩුව වේලිච්ච මිරිස් කරල් දෙක තුනක් දාලා වැඩිපුර බැදෙන්න ඇරලා මැල්ලුමට කලවම් කරන්න. බැදිච්ච ඒ මිරිස් ඇට එහෙම හැපෙන කොට රසයි. හැබැයි වෙනම මිරිස් කරල් ටිකක් බැදලත් ගන්න. පපඩම් බදින තෙල්වලින් කමක් නැ. පොඩි අයත් එක්කෙනෙක් දෙන්නෙක්වත් එනවා ඇතිනේ. පපඩම් බදිනකොට සම්පූර්ණ පපඩම් තුන හතරකුත් හොඳට පිපෙන්ට බදින්න. ඒ අයට බත් පුරවලා කන්න... අනික් ඒවා කතුරකින් පොඩිවට කපලා ගන්න. "
"අක්කේ කට්ලට් එකකුත් තිබුනොත් හොඳයි නේද? "
"නංගී, කරීස් ගැන කතා කරනකොට පොලොස් ඇඹුල මතක් වෙලත් නොකියා හිටියේ ඔන්න ඕකට ගන්න. එහෙම නැත්තං කෙහෙල් මුහ හරි කොහිල හරි කට්ලට් හදන්න පුලුවන්. පොලොස් ලොකු කෑලි තම්බලා, කට්ට පිටින් නං වඩා හොඳයි... බාලා කට්ටයි පිටොස් කොටසකුයි, නහය කොටසකුයි අයින් කරන්න. පොඩිකෑලි කපලා, කමක් නැත්තං තම්බපු අල ගෙඩියක් දෙකකුත් දාලා හොඳට පොඩි කර ගන්න. ලුනු, හීනියට කැපුව ලූනු අමු මිරිස් එක්ක. ඒ මිශ්‍රණය බෝල හරි ඉලිප්ස *** shape හරි හදලා බිස්කට් කුඩු වල දවටලා ගැඹුරු තෙලේ බැද ගන්න."
"පොඩි අක්කේ... සලාදයක් ඕන වෙයිද?"
"කමක් නෑ නංගී... තම්බලා පෙති කපා ගත්ත බීට්, කැරට් එක්ක පිපිඤ්ඤා, බී ලූනු,  සලාද කොල උඩ arrange කරලා තියන්න. බීට් තියෙන හින්දා මේසෙට අරින්න කිට්ටු කරලා arrange කරන්න. අන්තිමටම ලුනුයි ගම්මිරිසුයි කුඩු ඉහින්න. ඔය සලාදේ තිබ්බත් කමක් නෑ... කෑමට තෙල් වැඩි හින්දා ගන්න කෙනෙකුට ගන්න මිංචි සම්බෝලයකුත් තියන්න. එලවලු බත් හැදුවත් කහ බත් හැදුවත් තෙලෙන් ටිකක් බැදලා කජු, මුද්දරප්පලං රතුලූනු ටිකක් උඩින් ඉහලා තියන්න."
"පොඩි අයයි, ඉන්න මස් මාලු කන අයටයි තැවරෙන්ට ච්කන්, මාලු දෙකත් තියන්නං නේද පොඩි අක්කේ..?"
"ඔව් ඔව්... අනිවාර්යයෙන්ම. හැබැයි කරි හැඳි මාරු කර ගන්නේ නැති වෙන්ට පරිස්සම් වෙන්න."
"Desert එක පොඩි අක්කේ? අයිස්ක්‍රීම්, කිරි පැණි ඇර?"
"කැට කපලා පලතුරුයි, ඔයාගෙ අර favourite custard pudding එකයි මොකද..?"
"හරි.. එහෙම කරන්නං පොඩි අක්කේ.."
"මේ... Drinks තියවද? තියනවා නං බයිට් එකට, කොස් ඇට බැදලා, තලලා,  ලුනු, කෑලි මිරිස් අත ගාලා බැදලා තියන්න... කඩෙන් ගන්න අර මික්ස් පැකට් එකක් එක්ක. ආයෙ මොකක් හරි ඕන වුනොත් කෝල් කරන්නකො. නංගියෝ... මේවත් එක්ක කෑම වේලකට කවුරුත්  කැමති වෙයි."
"හැම වර්ගයේ සත්තුන්ගෙම ජිවත්වීමේ අයිතියත් රැකලම.... නේද අක්කේ...!"

                                                                                             simple"s"
2019.07.14

පින්තූර 01, 02 අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment