Thursday, September 5, 2019

උඩගෙදර කතා 149 (ලිං කටෙං වැටුන එකා 33)

ලිං කටෙං වැටුන එකා   33

"හදිස්සියේ ඇයි මේක හැදුවේ ඔය.? මේක හරි යස කාමරේනෙ."
"මාත් මේ කාමරේට ආසයි නංගී. මම ගෙදර ආවම මට ඉංට, පාඩං කරංට එහෙමනේ ඕක හදල තියෙන්නේ. දැං අපෙ අම්මගෙ තුරුල්ලේ නිදා ගත්තා ඇතිලු. "
"හැබෑව නේන්නං.
ජනේලේ තව ඩිංගක් ලොකු වුනා නං හොඳට එලිය තියෙංට තිබුනා. දැං නිකං හැංගිල ඉන්නවා වාගේ"
"නංගිට බය හිතුනද? එහෙම නං, කමක් නෑ අපෙ අම්මලා ඉන්න වෙලාවක එංට."
"මට බය නෑ අයියා.."
"කමක් නෑ අපි එලියේ අඹ ගහ යටට යං නංගී."

"සපූ අයියා අද ඉන්නේ මොකොදෝ එක්කට හිතේ අමාරුවෙං කියල මට හිතෙනවා."
"එහෙම පෙනෙනවද... නංගී මට පුංචි හිතේ අමාරුවක් තියෙනවා තමයි." මං කිව්වේ කොස් ගහ දිහා බලාන. ජිනාගෙ මූණ දිහා බලාන කිව්වොත් මට කඳුළු එයි කියල බය හිතුනා. ගහේ පොලොස් ගෙඩි පිරිල තියෙනවා. අර යස්ස ඉඩෝරෙට පස්සේ හැම ගහක්ම වාගේ දැං සරුයි. එහෙමවත් වෙච්ච එක ලොකු දෙයක්.
"ඒ ඇයි.. ඉස්කෝලේ මොකවත්ද?"
"නෑ නංගී, අපිට බෝඩිමේදී කිලුටු ඇඳුං හෝදා ගංට තියෙන්නේ සති අන්තේදී. ඒ හන්දා තව ඇඳුමක් ගත්තොත් හොඳයි කියල ඊයේ මං අපෙ අම්මට කිව්වා. මං අලුත් ඉස්කෝලෙට ගියාට පස්සේ ගෙදර හීනි සල්ලි අහේණියක් වෙල. පාරේ වැඩට ගියෙත් අප්පච්චි විතරයිනෙ, කටී වායුව හිංදා ඒත් හැමදාම යංට ලැබුනේ නෑ. "
"ඉතිං අයියට මාස් පතා සල්ලි එහෙට එවංට ඕනැද?"
"නැ නංගී මට නං පොත් වලටයි ඇඳුං වලටයි විතරයි. ඒකත් මුලිංම ඇන්න දුන්න එව්වා විතරයි. වැඩිය හිතන්නේ නැතුවනේ මේ කෑල්ල හදංටත් පටංගෙන තියෙන්නේ. අනික් කාමරේ අයියට වෙං කරපු ගමං. මාත් පාඩං කෙරුවේ එහෙම ඒකේනේ. ඉතිං මයෙ ගැන හිතල අලුත් කෑල්ල හදංට ඇන්න තියෙන්නේ. "
"ඉතිං සපු අයියා මොනවා කරංටද..?"
"ඔව්... මං පරණ ඉස්කෝලෙට ආපහු එංටද කියලත් ඇහැව්වා. ඒකෙං අමුත්තක් වෙන්නෑ කියනවා."
"ආපහු එංට එපා අයියා. පාඩුයිනෙ. අයියා එහෙ ඉන්නවා කියල මහ වියදමක් වෙන්නෙත් නෑනෙ. "
"සබං කෑල්ලක්, පැන්සලක් පෑනක් ගංට විතරයි නංගී. එනවාරේ අධ්‍යාපන චාරිකාවක් යනවා කියල පුලුවං අය රුපියල් විස්සක් ගේංට කිව්වා. මං ඒක අප්පච්චිලාට මතක් කරන්නේවත් නෑ කියල හිතා ගත්තේ.."
"සපු අයියා සේසිරි අයියට කිව්වොත්..?"
"අයියටත් වියදං ගොඩක්නෙ. ඒකටම මේ සැරේ වගාවකුත් පටංගෙන.. " දෙයියනේ එහෙම මුසාවාදයක් නොකියා අයියා සලකන්නෙ නෑ කියල කටක් ඇරල කියංට පුලුවනෑ. අප්පච්චී අගහිඟකං ගැන අයියට මේ වෙනකං කටේ කෙල බිංදුවක් හලල නෑ.
"දැං ඉතිං මොකද කරන්නේ?"
"තියෙන ඇඳුං ටිකෙං එන වාරෙත් පිරිමහ ගන්නවා. ඊගාවා වාරෙදි බැරියැයි."
"අනේ අයියා මට හරි දුකයි.. අපෙ අයියා ලඟ නං සල්ලි ඇති. ඒත් ඉතිං ඉල්ලංටයැ.. නේද?"
"අප්පෝ එපා. නංගිට මම මේක කිව්ව බවක්වත් කාටවත් කියංට එපා. නංගිගෙ පුංචි හිත ඔව්වයිං රෙදවා ගංට ඕනැන්නෙත් නෑ. කතාව ආව හිංදා මං කිව්වේ...  හා මේ ඩිංගිරි අක්කගෙ නිඹුල්ලු බලංට මටත් ආසයි."

" ඔව් අනේ.. කොච්චර හරි බලා ඉංට පුලුවං."
"මාත් අම්මා එක්ක වෙලාවක එහෙ යංට කතා කර ගත්තේ.. "
"දැන ගත්තොත් මාත් එන්නං.. "
" ඒක පෑලිස් අයියලාගෙ වාසනාව. එක වාගේ දෙන්නෙක් ගෙදරක එහෙ මෙහෙ වෙවී ඉන්නවා කියල හිතංටකො නංගී."
"ඔව් අනේ... සපූ අයියටත් කවදාහරි එහෙම දෙතුං දෙනෙක් ලැබෙංට කියල මං ප්‍රාර්ථනා කරනවා."
"එසේම වේවා.... එසේම වේවා... ඔබටත් එසේම වේවා!"
"අම්මෝ.. හොඳයි.. එහෙම තුන් දෙනෙක් අයියට හිටියොත් මොනවද නම් තියන්නේ?"
"නංගී කැමති නම් තුන්.. "
"ඇති ඇති... එව්වා විකාර කතානෙ.. "
"උඹනෙ හැම කතාවක්ම විකාරයක් කරන්නේ.. විහිලුවක් කතා කෙරුවත් ඒක ලැජ්ජා නැතුව අම්මලාටත් කියනවා... කිසි දෙයක් කියන්නෑ කියල මං හිතාන ඉන්නේ.."
"හා.... පුලුවන් නං කමක් නෑ.."

"සපුමල්... මට හුඟක් සන්තෝශයි. ගුරුවරයෙකුගෙ සතුට තමන්ගෙ ගෝලයෙක් හොඳට ඉගෙනගෙන ඉස්සරහට යන එක. එහෙම ගුරුවරයට සතුටු වෙන්ට අවස්ථාව හදා දීම, ඒ ළමයගෙ පැත්තෙන් ඒක ගුරුවරයට ඉටු කරන යුතුකමක් වාගෙම කළගුණ සැලකීමක්. ඔය හිතට ගත්ත ගැම්ම දිගටම තියා ගන්ට ඕන... හොඳම උගතෙක් වෙන කල්.. තේරුණා නේද?"
"එහෙමයි..."

                          අපෙ මහත්තයා එහෙම කිව්වට මොකද, විශ්ව විද්‍යාලෙට යාමක් නං මට හිතන්ටවත් පුලුවන් කමක් නෑ. මේ ශිෂ්‍යත්වේ හින්දා ඉස්කෝලෙදි කංට බොංට ඉංට නොමිලේ පහසුකම ලැබුනට, විශ්ව විද්‍යාලෙට ඒක හරි යනවායැයි. ඒකට කියල අප්පච්චිට කරංට පුලුවනෑ. මේ අව්ව වැස්ස දිහා බලාන ඔය මොනොවාවත් පොලොවට යට කරන එකෙං ඔච්චර දේ කරංට පුලුවනෑ.. දැං ඉතිං පටං ගත්ත එකේ  සාමාන්‍ය පෙල කරගෙන මොකක් හරි විදිහකිං කීයක්වත් හම්බු කරංට මානක් බලන එක මටත් වෙල තියෙන්නේ. හම්බු කරන හැටි හිතංට තරං මං තවම පැහිලද..! මේ යන විදිහට තව කී කාලයක් අප්පච්චිට පොලොව එක්ක හැප්පෙංට පුලුවං වෙයිද? මං ඔව්වා අපෙ මහත්තයට කියංටද.. එහෙමයි කියල මගාරින එක තමයි කරංට  තියෙන්නේ.

                                                                                                      simple"s"
2019.05.19

සේයාරුව අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment