ලිං කටෙං වැටුන එකා 47.
"ඇයි ඔය?" අපෙ අම්මා ඇහැව්වා. ඩිංගිරි අක්කගෙං.
"ඉඳහිට මේකීත් ඇවිත් ඔහොම කිරි ඩිංගක් දෙන්නගෙං එක්කෙනෙකුට දීල යනවා අම්මා."
"ඒකේ වැරැද්දක් නෑ. උඹ පොවනවා පේනකොට සොබනී දුවගෙත් කිරිපීරි පෑදිල අපාසුවක් දැනෙනවා ඇති නේද? ඉස්සර ඉඳලම යාලුවානෙ ඩිංගිරි දුවගෙ."
"ඔව්.. අම්මා. එහෙම නැතත් මේ දෙන්න දැක්කම කිරි ඩිංගක් දෙංටමයි හිතෙන්නේ." සොබනී අක්කම උත්තර දුන්නා. මං එලියේ ලෑල්ලට වෙල හිටියා. ඒත් ඇතුලේ කතාවෙන එව්වා මට හොඳට ඇහෙනවා.
ඒ අතරේ ජිනා නංගිත් ආපි... මං අතිං ඉඟි කෙරුවා... සද්ද නොකර අහගෙන ඉංට කියල. ඒ වුනාට අපෙ අම්මා ඒකී දැකල.
"ජිනා දුව දන්නෙත් නැතුව ඇති. මතකයිද උඹත් මයෙං කිරි බීවා.? මයෙ ඔයෙ හීං පුතාගෙ කිරි." අපෙ අම්මා ඇහැව්වේ ජිනාට ලඟට අඬ ගගහ. ජිනා අපෙ අම්මා ලඟට ගියා. අපෙ අම්මා හෙමීට ජිනාගෙ ඔලුවත් අත ගෑවා.. එහෙම කිරි දෙංට ලැබුනට සංතෝසෙං වෙංට ඇති.
"මට හීනෙං වාගේ මතකයි. ඒ හිංදානෙ මං අම්මට මෙච්චර ආදරේ."
"අප්පෝ.. අමමා කෙනෙක් දරුවෙකුට කිරි ඩිංගක් පොවන්නේ ආපහු දෙයක් බලාන නෙවෙයි. ආදරේ වෙන එක නං කමන්නැ....! මයෙ ලොකු පුතාගෙ වාගෙම හීං පුතාගෙත් කිරි වරංට අවුරුදු තුනක් විතර ගියා. මයෙ නැති වෙච්ච දුව එච්චර කාලයක් හිටියෙ නෑ. හිටියා නං ඒත් එහෙම තමයි ඉතිං.
"ඒකට ඔය තරං හැමදාම දුක් වෙංට එපා. ඒ වෙනුවට මේ මං ඉන්නේ...."
"ඔව් මයෙ අම්මා... ඒ වුනාට උඹෙ අම්මට මං මොනවාදෑ කියන්නේ?"
"මං හිතල කියන්නංකො."
හුඟක් කාලේකිං ජිනා නංගී ඉස්සර වාගේ තොඳොල් වෙනවා දැක්කේ. එහෙම ඉන්නකොට කොච්චර හොඳද?
"හා... මට ලොකු ණයක් තියෙනවා ඈ...!" ඉඩක් ලැබුන පමාවෙං මං ජිනාට කිව්වා. ජිනා මොකුත් නොකියා මයෙ මූණ දිහා බලාන ලස්සනට හිනා වුනා. කියංට කටට ආව දෙයක් ගිල ගත්තා කියල මට තේරුනා. මාත් ඒ ගැන අහංට ගියෙ නෑ.
අවුරුද්දට කලිං අපෙ වත්තට යංට මට ආසා හිතුනා. දෙසැම්බර් නිවාඩුවට ආව වෙලාවේ වත්තට ගියාම අප්පච්චි කියල දුන්න එව්වා මට හොඳට මතකයි.
///"අපි ඉස්සර වෙල පාලු හිටවල ඉඳිමු මයෙ පුතා. පරණ එව්වේ හැදුං රෝගත් ඇරීගෙන එනවා. දැම්ම පාලු හිටෙව්වෙ නැත්තං දෙසෝරතේකට ගස් හැදෙන්නේ. එතකොට පස් දානකොට වුනත් අමාරුයි. ඉංටකෝ මං පාලු වලවල් වල පස් ඩිංගක් අවුස්සල දෙන්නං. මයෙ පුතා එව්වට පැල දාගෙන දාගෙන යංට. පාලු හදල ඉවර වෙල පාරෙං පල්ලෙහා අලුත් කෑල්ලක් හිටවමු."
"අප්පච්චී මේ දුංකල ගස් අතරේ පැල ඉණි ගස් වලට මෑ කරල්, දඹල එහෙම වැල් යාං කරල නැත්තේ ඇයි? බටු බංඩක්කා මිරිස් එහෙම අතරේ හිටවනවානෙ."
"ඔව් මයෙ පුතා. වෙන බෝග අතරේ එහෙම හිට වනවා. දුංකල අතරේ එහෙම හිටවනවට කොම්පැනියේ මහත්තුරු කැමති නෑ. දුංකල වලට දාන පොහොර එව්වට උරා ගන්නවා කියල."
"ඉතිං අප්පච්චී මේ පොලවෙත් පොහොර තියෙනවා නේද? අයෙ පිටිං පොහොර දාන්නේ ඇයි ඔය.?"
"පොලවේ පොහොරෙං හැදෙන දුංකල ගස් වල කොල ගනකම වැඩී. එව්වා වේලුවම හොඳ ග්‍රේඩ් වලට තේරෙන්නෙ නෑ. අර රන්වන් පාට එන්නෙ නෑනෙ. ඉතිං මේ කොම්පැණියෙං දෙන පොහොර දාංටම ඕනෑ. සුරුට්ටු දුංකල නං කොල ගනකම තියෙන තරමටයි හොඳ."
"අනික් එව්වට වැඩිය සිගරට් දුංකල වලට හැම දේම වෙනස් නේද අප්පච්චි"
"හිටවංට ඉඩං තෝරා ගන්න තැන ඉඳලම වෙනස් මයෙ පුතා. අනික් බෝග වලට මේ අවුරුද්දේ හිටවපු ඉඩම එනාවුරුද්දේ ගන්නෙ නෑනෙ. මෙව්වට එහෙම නෑ. එකම ඉඩම අවුරුදු කීපයක්ම ඒ පිට මේ පිට පෙරළ පෙරළ ගන්නවා.කැලෑව වැවෙංට අතාරින්නෙ නෑ. ඉතිං කවුරුත් ගමට, ගෙදෙට්ට කිට්ටුවෙං තියෙන ඉඩමක් තෝරාන හිටවනවා. තමන්නේ ගෙදෙට්ට ලං වෙච්චම හැම අතිංම ලේසියිනෙ. හිටවන දේ ඇන්නයංට වාගෙම කොල කැඩුවම දුංකල බේල් බාන් වලට ඇන්න යංටත් පාසුයිනෙ. මොකද හැම දුංකල බාං එකම හදල තියෙන්නේ ගම දෑලෙමනෙ."
"ඒක ඇත්ත අප්පච්චි. ඒ වාගෙම ඉස්සර වාගේ දෑවුරුද්දක් වැඩ කරල කාලයක් අතෑරල දාන එක නතර වුනාම පස පෝර වීම හොර වෙනවා ඇති නේද?"
"ඔව් මයෙ පුතා... තියෙන තරං ගස් ඔක්කොමත් කපනවා... බාං වල දරට ගංට. ඔව්වා ඉතිං අයෙ වෙනස් කරංට බෑ."
"ඉඩං වල පස් හෝදාගෙන යන එක නවත්තංට උපදෙස් දෙන මහත්තයෙක් හිටිය එක්කෙනා දැං නැද්ද අප්පච්චි?"
" ඔය ඉන්නේ මයෙ පුතා. උන්නැහේ කියන දේවල් මිනිස්සු අහන්නෙ නෑ. ඒ කියන එව්වත් අන්ඩර දෙමල."
"ඒ කිව්වේ අප්පච්චී?"
"ඇයි මයෙ පුතා... අපි ඉඩමේ ඇලේට කාණු කැපුවේ වැහි වතුර ඉඩමේ පහලට ගලාන යංටනෙ. ඒඇත්තෝ කියන්නේ ඉඩම හරහට කානු කපංට කියල. අනික ඒ පස් ඉස්සර අපි දැම්මේ කපන කානුවේ යටි පැත්තෙං නියර වාගේ තැනෙංටනෙ. එහෙම එපාලු... කානුවේ උඩු පැත්තෙං ගොඩ කරංටලු. ඉතිං හොඳ වැස්සක් ආව ගමං ඒ පස් සේරොම අයෙම කානුවේ. මහංසිය විතරයි. ගල් වැටවල් බඳින එව්වත් කානු වාගේ ඉඩම හරහට බඳිංට කියන්නේ. චිත්‍ර පටි ජාතියකුත් පෙන්නුවා. මොකද්දෝ, කොන්ටුවර් කරමේ දෝ මොකද්දෝ ඒකට කියනවා."
"ඒ විදිහේ මොකක් හරි හොඳක් ඇති අප්පච්චී."
"අනේ මං දන්නෑ මයෙ පුතා..
දැං අපි පල්ලෙහා කෑල්ලේ ටික හිටවමු."
අප්පච්චී දුංකල හැදිල්ලට දෙන උපදේස ගැන සතුටකිං නෙවෙයි කතා කරන්නේ. ගමේ අය කතා වෙන දේවල් වෙංට ඇති. කොහොම වුනත් අප්පච්චී ඒ උපදේස කතාව නතර කෙරුවේ මෙහෙම කියල.
"ඒත් මයෙ පුතා.. මොන වැරැද්ද තිබ්බත් කව්රුවත් දුංකල වගාව අතාරින්නේ නං නැතුවෙයි, ජීවිතේටම . මොකද වෙන මොන වගාවකිංවත් ගංට බැරි විදියට මිනිසුන්නේ අතට පනං හතරක් හම්බ වෙනවානේ මේකෙං."
"අප්පච්චී දුංකල පැල වැඩි හයියක් නෑ වාගේ නේද?"
"ඒක මෙහෙමයි මයෙ පුතා... දුංකල තවාං දැක්කානෙ මයෙ පුතත්. ඒ තවාන් වහල තියෙන සුදු ඉටි රෙදි අයිං කරල අව්ව,වැස්ස, හුලඟ ඩිංගක් හුරු කරන්නේ පැල ගලවංට දවස් දෙක තුනකට කලිං. නැත්තං ඉතිං උදේට විතරක් පැයක් දෙකක් තවාන ඇරල තියනවා විතරයි. ඉතිං ඒ පැල බොහොම සෝමාරි වෙනවා. ඒකට මොකද, හිටවල දවසක් දෙකක් ඔය මඩු අතු කෑලි දෙකක් විතර උඩිං දාල තියල, මුල් අල්ලා ගත්තම හරි. එක පාර අව්වට ඇරියත් ඉවරයි.. වැස්සට ඇරියත් ඉවරයි."
"හිටවන විදියත් වෙනසක් තියෙනවද අප්පච්චී?"
"නෑ ඒක නං වෙන දේ වාගෙම තමයි. හවස් වරුවේ හිටවනවා නං වැඩිය හොඳයි. ඒත් ඉතිං ගොඩක් තියෙනකොට එහෙම වරු බෙද බෙද කරංට බෑ. ඊට පස්සේ, වැහි කාලේ හිංදා පැල දෙක යට කරල ටිකක් වැඩියෙං තද කරංට ඕනෑ, පස්. ඊට පස්සේ වල හොඳට පස් වලිං පුරුවංට ඕනෑ. නැත්තං වතුර රැඳිල මුල් කුනු වෙනවා."
"එච්චරයිද වැඩ?"
"ඒ කොහෙදෑ... ඒ කොම්පැනියෙං කියල දීල තියෙන කාලෙට ඇට පොහොර දාල ගස් මුලට පස් දාංට ඕනෑ. වල් හැදෙනවා නං තව සැරයක් දෙකක් උදුලු ගාංටත් වෙනවා.
ඊට පස්සේ උපදෙස් දීල තියෙන විදියට කොල සැරිං සැරේ කඩල බාං එකට ගිහිං දෙංට ඕනෑ. ගස් වල රිකිලි එනවා නං එව්වා කඩංටත් ඕනෑ.
බාං වල දාල වේලිල්ල, වේලපු කොල තේරිල්ල වාගේ එව්වා වෙනම යුද්දයක්. හැම එක්කටම කොම්පැනියේ මහත්තුරු උපදෙස් දෙනවා."///
එදා එහෙම කතා වුනාට දැං කොල කඩනවත්. දුංකල බේල් කරෙයි ඉසෙයි තියාන ඒ ඒ එක්කෙනා පැල හිටෙව බාං වලට ඇන්න යනවා දැක්කම නං බඩ දනවා. පුදුම දුකක් විඳින්නේ."
"අප්පච්චී ගොවියංට ඒ ඒ දවසෙම සල්ලි දෙන්නෑනෙ."
"නෑ.. නෑ.. සිංහල අවුරුද්දට වාගේ දෙසරක් විතර, කොල දීල තියෙන විදියට, කොම්පැනියෙං බාං කාරයට සල්ලි ලැබෙන විදිහත් බලාන ඇඩ්වැන්ස ගෙවනවා. කන්න ඉවර වෙනකොට අන්තිම සතේට ගණං හිලව් බේරනවා මයෙ පුතා."
අපෙ අප්පච්චී දුංකල වත්තටම යාව එලවලු වත්තකුත් හදල. නුවරඑලිය පැත්තේ විතරක් හැදෙන එලවලු ඇර අනික් අහවල් එව්වා ඒකේ නෑ කියංට නෑ. හොඳට නිල්ල ගහල හැදිලත් තියෙනවා. උදේම වත්තට ගියාම හරි සිරියාවයි. වැස්සෙං පස්සේ හිංදා ආකහේ නිල්ම නිල් පාටයි. ඈත කන්දේ නං තැනක කැටි වෙල තිබ්බ මීදුම කැටියක් දියවෙල අහසට නගිනවා. හරියට ගිනි මැලේකිං වාගේ. ලඟදී හැදුන මානා දලු උලා කංට ආව මුවෝ දෙතුං දෙනෙක් සමහර දවසක ඒ කන්දේ දකිංට පුලුවං. හොඳටම ඉර මුදුං වෙනකල් හීතල නං ඇරෙන්නෙ නෑ. කතා කරනකොට කටෙං දුම පිට වෙනවා. සීතලට.
ගෙදර ඇන්න යංට අප්පච්චී එලවලු ගොඩක් කලවමේ කඩා ගත්තා. මෑ කරල්, කුරුලු දඹල, බටු, බංඩක්කා වාගේ ගෙඩි ජාති, කරල් ජාති විතරක් නෙවෙයි. වට්ටක්කා දළු, මෑකරල් කොල එහෙමත්. ගමේ ඉස්සර ඉඳලම තිබ්බ මුරුංගා මෑ, පොලොං මෑ වාගේ එව්වා වාගෙම බුෂිටාවෝ කියල අලුත් මෑ කරල් ජාතියකුත් දැං තියෙනවා. එව්වත් මුරුංගා මෑ කරල් වාගේ, රවුං කරල. හැබැයි මුරුංගා මෑ තරං දිග නෑ. අනික එව්වා වැල් නෙවෙයි. පඳුරු. පලදාව නං ගොඩයි.
ලඟදී දවසක් මුවෙක් වත්තට ඇවිත් බටු ගස් ගොඩක් පාලු කරල ගිහිං කියල අප්පච්චී කිව්වා. උං බලංට ආසා හිතුනට මොකදෑ ඔන්න ඔව්වා ඇහෙනකොට නං එපා වෙනවා. ඔය අතරේ තව දවසක් අප්පච්චී මුව අඟක් වැටිල තිබිල අහුලාන ආවා. සමහර සත්තුන්නේ ඇඟෙං හැව යනවා වාගේ මුවන්නෙත් අං වැටිල අලුතෙං එනවලු. ගැලවෙංට කිට්ටු වෙද්දී එයාලට දැනෙන කැහිල්ලක් වාගේ හිංදා ගස් වල අඟ අතුල්ලනවලු. එතකොට ඒක වැටෙනවලු. ඒ වාගෙම කැලේම මැරිල ගිය මුවෙක්ගෙද ගෝනෙක්ගෙද අං තට්ටුවකුයි තව පොඩි එක්කුයි මං දන්න දා ඉඳල ගෙදර තියෙනවා. ඒ පොඩි එක නං වැලි මුවෙක්ගෙ වෙංට ඇති. අප්පච්චිගෙ දුනු පිහියේ මිටට දාල තියෙන්නෙත් පරන මුව අං කෑල්ලක්. අප්පච්චිට නං ඒ අං තට්ටු දෙක ගෙදර බිත්තියක එල්ලංට ඕනෑකම තිබ්බා. මයෙ හිතේ අපෙ අම්මා ඒකට කැමති වුනේ නෑ වෙංට ඇති. මැරිච්ච සතෙක්ගෙනෙ.
මං ඔය විස්තරේ ඔක්කොම ජිනාටත් කිව්වා. එයාට වැඩිපුර කියංට තිබ්බේ දැං සරුවට කෙරෙන පෑලිස් අයියගෙ වැඩ ගැන. දුංකල බාන් එක, වාහන, එලවලු වෙළදාම වාගේ. ජිනත් ඉන්නේ ඒ ගැන හරි සන්තෝසෙං.
"අයියා... සුරුට්ටු, බීඩි, සිකරෙට් මිනිස්සුන්නේ ඇඟටත් අගුනයි කියනවා නේද?"
"ඒක බොරුවක් නෙවෙයි නංගී. අපි දුංකල ගැන වැඩිය කතා කරංටවත් වටින්නෙ නෑ. මයෙත් කිසිම කැමැත්තක් නෑ. ඒ වුනාට කටක් ඇරල වෙන කෙනෙකුට එව්වේ වැරැද්දක් කියන්නේවත් කොහොමද? ගෙදරක දෙක්ක ඇරුනම ගමේ හැම දෙනාගෙම හැම දේම දැං කෙරෙන්නේ ඔව්වෙංනෙ. ඒ තියා අපෙ ඉගෙනීමත්!"
simple"s"
2019.08.17
පින්තූර අන්තර්ජාලයෙන් .
No comments:
Post a Comment