Thursday, September 5, 2019

උඩගෙදර කතා 171 (කොයි දේත් වෙන්නේ හොඳට ...)

"කොයි දේත් වෙන්නේ හොඳට... "

මහ රජ තුමාගෙ වයෝවෘද්ධ අග්‍ර පුරෝහිතයගෙ පුරුද්දක් තිබුනා, කොයි තරම් අභාග්‍යසම්පන්න දෙයකට වුවත් "කොයි දේත් වෙන්නේ හොඳට.." කියන්නට. දිනක් මහ රජුරුවන්ගෙ අතක සුලැඟිල්ල මහ දොරකට හසු වුනා. ඇඟිල්ලේ අග පුරුක කැඩී ගියා. මෙය ඇසූ සෑම කෙනෙක්ම "වඩාම දුක් වුනේ මමයි" කියා පෙන්වන්නට තරඟ කරද්දී අර අග්‍ර පුරෝහිතවරයා පමණක් "කොයි දේත් වෙන්නේ හොඳට.." යනුවෙන් මහ රජුගෙ මූණටම පවසා නිහඬ වුනා. නියෝජ්‍ය අග්‍රපුරෝහිතයා ඇතුලු තනතුරු ලෝභීන් රාශියක්, මෙය උලුප්පා දක්වන්නටත් තරඟයක් ආරම්භ කළා.

තම ඇඟිලි පුරුකක් අහිමිවූ වෙලේත් නොසලකා හරින අග්‍ර පුරෝහිතයා කෙරේ අතිශයින් වේගවත් වූ මහ රජ, අග්‍ර පුරෝහිතවරයා දඟ ගෙයි ලෑමට නියම කරනවා, දේපොල රාජ සන්තක කරනවා, තනතුරෙන් පහ කරනවා. "කොයි දේත් වෙන්නේ හොඳට." ඔහු කියනවා.

අහසින් කඩා වැටී අලුතෙන් තනතුරට පත් වූ නව ගරු අග්‍ර පුරෝහිත තුමා, රජුගේ දන හිසේ මදුරුවෙක් දශ්ඨ කළත් විලාප දී හඬා, කන හෝ අත පෙන්වා, "ඔබ වහන්සේට මෙතනත් රිදෙනාවාද" කියා විමසමින් ඉතා බුද්ධිමත් ලෙස රාජකාරි ඉටු කරමින් සිටී.

දිනක් මහ රජ තුමා දඩ කෙළියේ (දඩයමේ!) යහපත් වුනේ කාටත් හොර රහසේ ය. වෙස් වලාගෙන ය. මේ අතර සුදුසු බිල්ලක් සොයමින් යන නිදන් හොරු කාණ්ඩයකට රජ තුමා හමුවේ. "සුදුසුම බිල්ලක් "සේ දුටු උන් රජ තුමා අල්ලා ගත්හ. වැඩි දුර සොයා බැලූ උන්ට රජුගේ ඇඟිලි පුරුකේ අඩුව හමුවේ. ශරීරයේ කොටස් අඩුපාඩු ඇති පුද්ගලයින් බිලි දීමට නොගනී. හොරුන්ගේ මහ එකා මහ රජගේ පස්සා පැත්තට පා පහරක් ගසා එලවා ගනී. "මේ කාලකන්නියා හින්දා අපෙ වෙලාව නාස්ති වුනා..."

මෙන්න හිටපු අග්‍ර පුරෝහිතවරයාගේ කියමනේ අගය රජුට වැටහුනා. අග්‍ර පුරෝහිතවරයා දඟ ගෙයින් නිදහස් කොට, හිඟ වැටුප් සහිතව යලි සේවයේ පිහිටුවා, අතිරේක ගම්වර හා මුදල් ද තෑගි කරනු ලබනවා. "කොයි දේ ත් වෙන්නේ හොඳට." අග්‍ර පුරෝහිතවරයා කියනවා.

මේ හදිසියේ මේ කතාව මතකයට ආවේ විශේෂ හේතුවක් ඇතිව. අපගේ FB මහ රජ තුමා මාව දින තුන හතරකට අනිවාර්ය නිවාඩු ගැන්නුවා. පෙරලුන පිට හොඳ හින්දා මාත් නිදහසේ "ලිං කටෙං වැටුන එකා 49" ලියා ඊයේත් අදත් මහන්සි වී ඕනෑවටත් වඩා හැඩ වැඩ ගැන්නුවා. දඩයමේ ගිය මහ රජ නම් දන්නවා ඇති "බේරී පැන ගිය සතා මහත වැඩි" කතාව. ටිකක් දිග වැඩි වුනත්, මට මේ 49 වෙන ඒවට වැඩිය රසවත් කියා සතුටක් දැනුනේ මෑතදී උගත් පාඩම් ඇසුරු කරමින් ලිපිය සකස් කළ නිසා.  සියල්ල සම්පූර්ණ කර සුදුසු සේයාරුවත් සකස් කර ගත්තා. දවල් දෙකට විතර ලිපිය Post කරන්නට ලෑස්ති වුනා. Select all දැම්මා, High light වුනා. Copy දැම්මද මතක නෑ. What is on your mind කියන තැන Paste කළා. මෙන්න වෙන මොකක්ද වැදුනා. ආපසු ගිහින් Post එක හොයන කොට ඒක නෑ... ඩිලීට් වෙලා. Undo කරන්න හැකිද කියා හොඳට බැලුවා. ම්හ්ම්.. හරි යන්නෙම නෑ. ලොකූ කණගාටුවක් දැනුනා. ආපහු ලියන්න ගත්ත මහන්සියත් අසාර්ථකයි. අර තරම් හොඳට ලිය වෙන්නෙත් නෑ. මොනවා කරන්නද... අර අග්‍ර පුරෝහිත තුමාගේ ජනප්‍රිය කියමන හිතට අරන් නිහඬ වුනා.
"කොයි දේත් වෙන්නේ හොඳට."

"S"
2019.09.01

පින්තූරය අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment