Thursday, September 5, 2019

උඩගෙදර කතා 140 (ලිං කටෙං වැටුන එකා 27)

ලිං කටෙං වැටුන එකා   27.

"මෙහෙම හිතංට.... ජිනා මට අඩි පන්සීයක් ඉස්සරහින් ඉන්නවා. ජිනා විනාඩියට අඩි 10 වේගෙං ඉස්සරහට යනවා. මම විනාඩියට අඩි 30 වේගයෙන් ජිනා දිහාට පස්සෙන් දුවනවා. ජිනා පහු කරංට මට කොච්චර වෙලා යනවද?"
"කොපි පොතේ ලියල හදන්නං?"
"විභාගේදී කටු වැඩට කොපිපොත් වත් කොලවත් දෙන්නෑ බං. ප්‍රශ්ණ පත්තරේම උත්තර ලියංට වෙන්නේ, මනෝමෙං හදල. හ්ම්.. දැනට පොතේ ලියපං."

"හරීඊඊ."
"මොකද්ද උත්තරේ?"
"කොච්චර හිතුවත් මට උත්තරේ එන්නේ... උත්තරේ එන්නේ... 'ඒක මේ කපේට සිද්ද වෙන්නැති දෙයක්." කියල... "
"මොකක්? ඇන ගන්නිං ටොක්කක් කෙල්ල, මම අනිංට කලිං.. ඇයි ඒක වෙන්නැත්තේ?"
"මං පහු කරල යංට අයියට මං දෙන්නෙ නැති හිංදා. කකුලෙං අදිනවා. අනික....
මේ ටොකු අනිංට ආවොත් මං කෑ ගහනවා ගමටම ඇහෙංට...
'මෙන්න සපූ මාව..... ' ."කියල.
"කට කට...
කටක් කියල එකක් තිබ්බ පලියටයි වචනයක් දැනගත්ත පලියටයි ඕනෑ දේයි එපා දේයි ඔක්කොම කියවංට එපා ජිනා."
"එහෙමයි.... එහෙමයි...
අයියට හරියට තරහ යනවානේ.. "
"උඹට ඕන්නැත්තං පාඩං කරංට කුද ගහ ගනිං... මං යනවා යංට."
"අප්පෝ එපා එපා, මං තප්පරෙං උත්තරේ කියන්නං."
                     ඇත්තටම කෙල්ල අනිප්පැත්තට උත්තරේ කිව්වානෙ. මං "හපනාහ්..." කිව්වා. මේ අතරේ ජිනාගෙ අම්මා තේ වතුර ඇන්න ආවා.
"මේකී කට කමසෙයියාවක් නැතුව මොනවාදෑ ඔච්චර කියවන්නේ?
ජිනාදරී අන්න තේ වතුර දාල තියෙනවා."
"මං නිමුනම පස්සේ බොන්නං."

                      මං තේ වතුර ටික බොන කල්  ජිනා මොකක්දෝ  පැන්සලෙං ඇඳ ඇඳ හිටියා...අපි තව ටික වෙලාවක් බුද්ධි පරීක්ෂණ පොදු කරුණුයි රචනා ගැන විස්‍තරයි බැලුවා. ජිනා ලියල තිබුන රචනයකුත් බැලුවා. ඇත්තටම ජිනාට හොඳ හැකියාවක් තියෙනවා.

                        මම ගෙදර යන්ට යනකොට ජිනා ඇංද චිත්‍රය මට දුන්නා.
"මේ මොකද්ද?"
"ඔය ලියලත් තියෙන්නේ...."
"කොහිල... " කියල ලොකු කරල් ඉරිඟු ඇට වාගේ ලස්සන රවුං අකුරෙං ලියල. එහෙම ලියල නොතිබ්බත් කොහිල ගහ අඳුරා ගංට පුලුවං. ඒ තරං ඇත්ත විදිහටම ඇඳල. මං ජිනා දිහා යටැහිං බලල හිනා වුනා..
"ඇයි?"
"ලස්සනයි... විභාගේ පාස් වුනදාට මේක ගැන කියංට හිතුන දේ කියන්නං උඹට."
"මූලග්ගින්න කියල එකක් අහල තියෙනවද අපෙ ගුරු තුමා.. ?"
"දුවපිය යංට කෙල්ල.. "

                      අවුරුදු ආවෙත් මේ අතරේ. අපෙ අම්මයි අප්පච්චියි හරි ගැටලුවකට මැදිවුනා. දවසක් මම නාගෙන එනකොට දෙන්නා කතාවක්. මට ඇහුනා. අපෙ අම්මා අඬනවත්.
"මොන කඩප්පුලි වැඩේ කෙරුවත් ලොකු එකා නැතුව කොහොම තෙල් වළඳක් ලිප තියංටද? ඒකට කියල, රටක් රාජ්ජියක් දිනුවා වාගේ හපං කමක් කර ගත්ත මයෙ හීං එකාට මෙදත් අවුරුදු නැත්තං ඇයි දෙයියනේ.... "

                      අප්පච්චි නං ඉන්නේ අයියා ගැන බොහොම තදිං.
"දැං ලොකු එකා ගැන නෙවෙයි හිතංට ඕනැන්නෙ. මං දන්නවා ඕකා අවුරුද්දට ගෙදර එන්නෙත් නෑ. අයෙ කවදාවත් එයි කියල මට විස්වාසේකුත් නෑ. ඒකා ගියදෙං. හීං පුතා ගියාම වෙසක් පහු වෙනකොට මේ ගෙදර පාලු අම්බලමක් වාගේ වෙනවා. ඊට කලිං හීං පුතා සන්තෝසෙං තියා ගංට ඕනෑ."
"ලොකු එකා ගැන ගමේ ඇත්තෝ අහන එව්වට උත්තර දෙංටනේ බැරි."

                       ඇත්තටම අවුරුද්ද දවසේ ගෙදර හරියට පාලුවක් දැනුනා. ඒත් , වෙනදා වාගෙම උඩහ වලව්වේ පත මිදුලට කොල්ලෝ කෙල්ලෝ ගොඩක් එක් වුනා. ගමේ ඉස්කෝලේ මං දන්න අය තමයි වැඩියෙම්ම. අප්පච්ච් සන්දෙං ඇන්න ආව අලුත් කමිසෙයි සරමයි ඇඳල මාත් ඒ ළමයි එක්ක සෙල්ලං කරංට ගියේ... සෙල්ලං කරංට යංට කලිං අපෙ අම්මා මට රහසිං හිව්වා... "කිසි කෙනෙක් දෙන දෙයක් කංට බොංට එපා." කියල. ඔය කීවෙනි සැරේද මං දන්නෑ අප්පා. අම්මයි අප්පච්චියි හරි බයේ ඉන්නේ කවුරුවත් මට වසක් විසක් දෙයි කියල. මට ඒකට මොනොවා කියංටත් තේරෙන්නෑ.මට වසක් විසක් දීල කෙනෙකුට වෙන  සෙතේ මොකද්ද ඉතිං, මට තේරෙන්නෑ. 

                       අපි ලුනු පැන්නා. අර 'යෙට්ටිමා කුට්ටි' කියල අහල, කුට්ටියට ගහන දුර "ගුඩු ගුඩු" හරි වෙන එකක් හරි කිය කිය හුස්ම ගන්නැතුව වල ලඟට දුවගෙන එන චක් ගුඩුත් සෙල්ලං කෙරුවා. "මට ගුඩු දුන්නට තොට හෙන ගහපිය... මට ගුඩු දුන්නට තොට හෙන ගහපිය."..... "ගුඩු ගුඩු තෙය්යං කොන්ඬ පරෙයියං... ගුඩු ගුඩු තෙයියං කොන්ඬ පරෙයියං.. "
කුලු සල්ලි පෙරලුවා. වල සල්ලි ගැහැව්වා. තව තව මොනවාදෝ ගොඩක් සෙල්ලංප් කෙරුවා. ගෑණු ළමයිත් හව්ලේ ඔළිඳ සෙල්ලං කෙරුවා, කැකුන කෙටුවා, බෙල්ලෝ  දැම්මා, ඉඳි මූණ දැම්මා. මං ගොඩක් සෙල්ලං කෙරුවා. අනික් ළමයි ඒ හැම සෙල්ලමටම මට වඩා දස්සයි. උං කවුරුවත් මයෙ සිස්සත්ව විභාගේ ගැන අහන්නේ නැති එක නං මට ලොකු අඩුවක් වාගේ දැනුනේ. කිරිබත් කන නැකතට කලිං ගෙදර ගියාට මොකද අපෙ අම්මා මට දුන්නේ කැවුමුයි කෙහෙල් ගෙඩියි විතරයි. එලියේ ලිපක් බැඳලත් තිබ්බට මට කහට ඩිංගක් වත් දාල දුන්නෑ.  අයෙත් ආපහු ගිහිං සිරිමල් එක්ක ගමේ ඇවිදල, ගෙවල් තුන හතරක එකතු වෙල හිටිය ලමයි එක්කත් ටික ටික සෙල්ලං කෙරුවා. ඒ වෙලාවේ සිරිමල් නං මයෙ විභාගේ ගැන කතා කෙරුවා. කවද්ද යන්නේ කියල ඇහැව්වා.

                       අපි තුං දෙනා හැන්දෑවේ පංසලටත් ගිහිං වන්දනා කරල ආවා. ලොකු හාමුදුරුවොත් මයෙ විභාගේ ගැන කතා කරල තුණුරුවන්නේ පිහිට පැතුවා. අයියා ගැනත් ඇහුවා. ඒ අහන හැමෝටම කියන්නේ "වැඩ ජාතියක් කියන්නේ. බාගදා අවුරුදු පහුවෙල එයි." කියල. දරුවෝ හිංදා මව්පියන්නේ මුසාවාදා සිල් පදේ කැඩෙන හැටි කියල මට හිතුනා.

                       පංසලට ගිහිං එනකොට අපෙ අම්මා නහය උඩට ඇද ඇද අයෙත් ඇඬුවා. අයියා මතක් වෙල. මටත් කීප සැරෙයක් මයෙ අයියා මතක් වෙල පපුව හෝස් ගාල පත්තු වුනා.

                      අයියා අවුරුද්දට එව්ව රුපියල් දහයේ මනිඕඩරේ, අලුතෙන් හැදුන  ගමේම කංතෝරුවට ආවේ. ඒ කියනේ තැපැල් කංතෝරුව. ඒ එක්කුත් ගමට ආව එක ගැන කවුරුත් තංතෝස වුනා. අපිට ලියුං තියෙනවා කියල ලියන මහත්තයගෙ පනිවිඩේ කවුරුහරි කිව්වම අපි ගිහිං ගංට ඔනෑ. අපෙ තැපැල් මහත්තයා ඉස්සර තේ වත්තකද කොහෙද ලියන මහත්තයෙක්.
ලියුං තැපැල් කරංට තියෙන පහසුව තමයි ලොකුම දේ.

                      "ඔය යන්නේ මේ සැරේ සිස්සත්ව විභාගේ පාස් වුන ලමයානෙ.. " වාගේ එව්වා කිය කිය හැම මනුස්සයම මයෙ දිහා බලාන ඉන්නේ කියල මට හිතෙන්නේ. හ්ම්හ්... මිනිසුංට වැඩ නැතුවට! මේක මේ මට හැදුන මෝඩ ආඩම්බර කමක් නේද කියල මටම හිතුනම ලැජ්ජහවක් දැනුනේ. දකින කාට වුනත් හිනාවෙන කතා කරන පුරුද්ද මං මගෑර ගත්තේ නෑ. හොඳ වෙලාවට....!
                      නැකතට කිරි බතුත් කාල බතුත් ඉයල ඉවර වුනා. අවුරුදු කෑමට මුං පියලි මාලුවයි කටු පුහුල් ඇඹුලයි සාඩිං බී ලූණු එක්ක තෙල් දාලයි අල කිරට ඉයලයි තිබ්බා. පපඩං බැදලත් තිබ්බා. මේ ඔක්කොම අයියත් කැමති එව්වා. අම්මා අයෙත් දුක කිව්වා. වටේ ගෙවල් හැම එකෙම්ම වාගේ ගෙනාව වෑංජන මඩක්කු වලත් මෙව්වම තමයි තිබ්බේ. ඒ වෑංජන බෙදාහදා ගැනිල්ල නං නහත්තියක් කියලයි මට හිතෙන්නේ.

"මං විනෑඩියට පෑලිස්ලෑ ගෙදෙට්ට ගොඩ වෙල එන්නං. ඩිංගිරී කෙල්ලට මුදුනෙං බත් කටකුයි මේ කැවිලි ඩිංගකුයි ගිහිං දීල එන්නං පුතාලෑ අප්පච්චි."
"හ්ම්.. ඒක හොඳයි. හැබැයි මඩු පිට්ටු වැලි තලප නං... අහවල් එක කියල දීල එංට.

                      අපි බත් කංට හදනකොට ආත බූත කඩාගෙන මයෙ අයියා ගෙදර ආවෙ නැතෑ!

                                                                                              simple"s"
2019.04.12

රුව අන්තර්ජාලයෙන් ...

No comments:

Post a Comment