ලිං කටෙං වැටුන එකා 35.
"මයෙ පුතා හෙටත් එනවද?
"කමක් නෑ නේද අප්පච්චී...?"
"අපිට නං ඇති දෙයක් නෑ... ආපහු යංට තව තියෙන්නේ සුමානයයි. ඇඟ රිදවිල්ලක් වත් වෙයි කියල බයයි. මේ දවස් ටිකේ මහ ගොඩක් මයෙ පුතා වැඩ කෙරුවානෙ. අත් වල දිය පට්ටා දැක්කම යාලුවෝ හිනා වෙයි."
"අප්පෝ නෑ අප්පච්චි, එක්කෙනෙක් දෙන්නෙක් ඇර ඔක්කොම වාගේ මව්පියංට උදව් කරගෙන ඉන්න අය. සමහර ලමයි හුඟක් වැඩ කරනවලු. සල්ලි හොයා ගංටත් එක්ක."
"ඒකට කියල මයෙ පුතා එහෙම මහංසි වෙනවා බලා ඉංට අපට පුලුවනෑ... තව ලොකු වුනාම වැඩ ගොඩක් කරමු."
"අපිට හොස්ට... මේ.මේ.. බෝඩිමෙත් සෙනසුරාදා හරි ඉරිදා හරි වතු වැඩ කරංට තියෙනවා අප්පච්චී. ඒක නං හිනා යන වැඩක්. එක්කෙනෙක් වත් ඇඟට දැනෙංට වැඩක් කරන්නෙ නෑ. ඒ වැඩටම ශිෂ්‍ය නායකයෙකුත් පත් කරල ඉන්නවා. එයත් එච්චරයි....."
"පේනවා නේද මයෙ පුතාට, අම්මයි අප්පච්චියි මයෙ පුතාට වරං දෙන හැටි... අතක් පයක් හොල්ලංට නොවී, වැලි ඇටයක් පාගංට නොවී ඉංට ලැබෙංට ඕනෑ කියල. ඒ වාගේ තමයි ඒ දරුවන්නේ මව් පියොත් ඒ දරුවංට සලකනවා ඇත්තේ.."
"මං දන්නේ නෑ අප්පච්චී මං හෙට වත්තට එනවා..."
"කමන්නෑ යං.."
"අයියා අදත් ඉන්නේ හිතේ අමාරුවකිං නේද?" හවස පාඩං කරංට ආව ජිනා ඇහැව්වා. "කිසි දෙයක් ගැන ඔච්චර හිතංට එපා අයියා."
"සමහර එව්වා අමතක කරංට බෑනෙ නංගී. බලංට... අයියා ගිය සුමානෙත් ආවා. හැන්දෑවෙල ආවා. රෑ හිටියා, උදේම ගියා."
"වැඩ ඇති අයියා... "
"ඒක තමයි නංගී... " අයියා ආවදා වෙච්ච දේ මං ජිනාට කියංටයැ. අප්පච්චි අයියට හොඳටම බැන්නා. අයියා කිසි දෙයක් කියන්නේ නැතුව නිදා ගත්තා. පාන්දරම ආපහු ගියා. එක හොඳ තොරතුරක් නං කිව්වා. මාවැලි ගඟට දැම්ම ලොකු පාලමෙං දැං වාහන එගොඩ මෙගොඩ යනවා එනවලු. අයියා යංට ලැහැත්ති වෙල මට රුපියල් පහක් දුන්නා. මම ඒක අප්පච්චිගෙ අතට දුන්නා.
"ඔන්න ඕක විසි කරල දාපං මයෙ දෙයියෝ. මට පුලුවං විදිහකට මං උඹට ඕනෑ දේවල් ඇන්න දෙන්නං." කිව්ව හැටි මට මතක් වෙනවා. මං ඒක අපෙ අම්මා අතට දුන්නා.
"නිවාඩු ඉවර වෙන කොටත් දුකයි නංගී."
"මං දාල යංට බෑ කියලනේ ඔය කියන්නේ...!"
"අප්පෝ එහෙ කෙල්ලෝ වැහි වැහැල ඉන්නේ."
"දැං කවුරුහරි යාලුද සපූ..?"
"උන්ට පිස්සුයැ... මේ කලවැද්දෙක් වාගේ ඉන්න මාත් එක්ක යාලු වෙංට. බලංට එපායැ ඉන්න අනික් කොල්ලන්නේ ලස්සන, කිරි කොක්කු වාගේ. අනික.... අපි තවම හීං එවුංනෙ ජිනෝ..."
"මං ඊලඟ නිවාඩුවට එනකොට නංගිගෙ සිස්සත්තේ ඉවර වෙල. උඹට බය වෙංට දෙයක් නෑ නංගී. අපිට නුහුරු තැනකදී ලියංට වෙන හිංදා දන්නෙම නැතුව හිතට අමුතු චකිතයක් එනවා. ඒ වුනාට ඒකට හිත කලබල කරගංට එපා. ප්‍රස්න පත්තරේ බෙදංට ඩිංගකට කලිං අම්මා අප්පච්චි අයියා අපෙ මහත්තුරු නෝන මත්තුරු රත්නත්තරේ එහෙම සිහි කරල හිත හෑල්ලු කර ගංට. හෙට අනිද්දා තව මං කියල දෙන්නං නංගී."
"හොඳයි අයියා. මාත් කොහොම හරි නුගවෙල එනවා. අයියගෙ හොර අහු වෙන හිංදා මං එනවට අකමැත්තක් එහෙම නෑ නේද බං..?
"මයෙ මොන හොර අහු වෙංටද... බලපංකෝ ඇවිත්."
"අයියා... එදා කිව්ව විදිහට මං සටහන් ටිකක් ලිව්වා. කඳු, වැහි, මඟුල් ගෙයක්, මළ ගෙයක්, අලුත් අවුරුද්ද වාගේ එව්වා ගැන මම ලිව්වේ."
"සැඳෑ කාලයේ මාස් වැසි කඩා හැලේ. ඉන් ගස් වැල් දිනපතා නව පණක් ලබයි. කිසිත් සිදු නොවූවා සේ පසු දින උදා වේ. ගමට ඉහලින් කඳු වැටිය මී දුමින් වැසිලා ය. එය දියවී ගොස් කඳු මුදුන් පෙනෙන්නට හෝරා දෙක තුනක් ගත වේ. අහස තද නිල් පැහැය ය. සීතල සමඟ ම සිතටත් ගතටත් සනීපයක් දැනේ. මගේ බිළිඳු නැගණිය හිමිදිරියේ අවදි වන හැටි මගේ සිහියට නැගේ... "
"ඕනෑ තැං වලට ඕනෑ ඕනෑ එව්වා අහුලා ගංට මතක් වෙංට විදිහට ලිව්වේ අයියා."
"ඒක තමයි මාත් කිව්වේ. බය වෙංට එපා උඹ වැඩේ කර ගන්නවා නංගී."
"ගුරුවරුන්ට වැඳල යන්නං... හැබැයි උඹට නං වඳිංට බෑ.."
"අය්යයියෝ... එහෙනං වැඩක් නෑ. කෝ මං කියල දුන්න එව්වා ඔක්කොම ආපහු දියං..."
"මං ඒ ඔක්කොම උත්තර පත්තරෙං තියල එන්නං. උඹ ගිහිං ඉල්ලා ගන්නිං..."
"හා..."
"අපෙ අයියගෙ දුංකල බාන් එකට මේ සැරේ දුංකල හැදුවානෙ මිනිස්සු. ඒ වගාවෙයි වේලිල්ලෙයි වැඩ ගොඩයි අයියා. වේලනකොට හරිම සුවඳයි."
"හැබැයි පෑලිස් අයියට කියංට, අර සමනල පැටව් වාගේ පොඩි දෙන්නා ඉන්න පැත්ත පලාතකට ඔය දුංකල ඇන්න යංට එහෙම එපා කියල. ඔව්වා හරි සැරයිලු. අපෙ දෙවෙනි මහත්තයා කිව්වේ. සමහර අය පොඩි අය ලඟිම්ම තියාගෙන දුංකල 'ග්‍රේඩ්' කරනවලු , ගොතනවලු, පොලු වලිං ගලවනවලු.... හැම වැඩේම කරනවලු."
"අයියා දන්නවද.. දුංකල වලිම්ම අලුත් වචන ගොඩක් ගමට ඇවිත්. සල්ලිත් ගැවසෙයි කල් යනකොට. පොඩි එවුමුත් එක්ක ඒ බාං වල වැඩට යනවනෙ."
"වැවේ බන්ට් එකට බන්ඩ් එක කිව්වා වාගේ, බාර්න් එකට බාං, පෙරිෂ් වලට පැරිස්, රිජ් එකට රිජිම වාගේ වචන ගොඩක් මටත් ඇහුනා නංගී... අවුරුදු දවස් වල පොඩි අයගෙ අත් වලත් සල්ලි තිබ්බේ... "
"ඔව්, ලමයිංට කරංට පුලුවං වැඩ හරියෙට තියෙනවා. අයියා, අපෙ අයියා පස්සේ ටැට්ටරේකුත් ගන්නවලු. කොම්පැනියට කොල ඇන්න යන එව්වට එහෙම.
"හොඳයිනෙ නංගී."
නිවාඩු කාලේ මට ගෙව්නේ ...... අපෙඅම්මයි අප්පච්චියි ලඟ ඉන්න සන්තෝසේ නං ඉස්සරටත් වැඩිය දැනුනා. අප්පච්චිත් එක්ක මාත් වත්තේ වැඩ කෙරුවා. කොල්ලෝ එක්ක, දැං ගොයං කපල තියෙන පල්ලෙහා වෙලේ ඇති පදං සෙල්ලං කෙරුවා. හෝම්පලා කැටිය, කිරෝනාකැටිය, කිරිඳිකැටිය වාගේ කඳු වලත් ගියා, කහට මල්, තිබ්බටු, අඟුන කොල වාගේ දේ කඩංට යන ලමයි එක්ක මාත් කැලේ ගියා, වෙලේ නියරවල් වල එහෙම යාං වෙල තියෙන මුකුනුවැන්න, ගොටු කොලත් කැඩුවා... ඒ ජිනාලා එක්ක. මේ විදියට සන්තෝසෙං දවස් ගෙවුනත් හිතේ මොකද්දෝ බරක් තියෙනවා... හරියට මාතිං මොකද්දෝ වැරැද්දක් වුනා වාගේ.
කවුරු හරි ඉස්කෝලේ, හොස්ටල් එක, විභාග එහෙම ගැන අහනකොට මට ලොකු ආඩම්බරයක් දැනෙන්නේ. ඒත් ඒ එක්කම "අනේ.. අර අපායට නේද යංට තියෙන්නේ." කියල හිත වහ ගන්නවා. මට ගමේ නවතිංට හිතෙනවා. මම අපෙ දෙවෙනි මහත්තයට මේක කියල හොඳට බැනුං අහගත්තා. "අයෙ එහෙම කවදාවත් මගෙ කණකට ඇහෙන්ට කියනවා නෙවෙයි. අපි බලාගෙන ඉන්නේ හොඳට ඉගෙනගෙන ලොක්කෙක් වෙනවා බලන්ට." කියලත් කිව්වා. අනේ හැබෑටම, තමන්ටත් වැඩිය තමන්නේ ගෝලයෝ දියුණු වෙනවා බලංට පෙරුම් පුරන බෝදි සත්තවරු...
නිවාඩු ඉවර වෙංට කිට්ටු වෙංට කිට්ටු වෙංට ජිනාදරිගෙ මූණ ගමං මැහි පොදිය වාගේ වුනා. මටත් හරියට දුක හිතුනා. ජිනා අනේ මයෙ නැති වුන නංගී වුනේ නෑනේ.... !
simple"s"
2019.06.07
පින්තූරය, අන්තර්ජාලයේ, තිවන්ක ඩී. රණතිස්ස Thiwanka D. Ranathissa මහතාගේ පින්තූරය ඇසුරෙන් .
Thanks forr writing
ReplyDelete