ලිං කටෙං වැටුන එකා 42.
"අම්මෝ, ඇයි නැත්තේ.... ඒ දෙන්නත් දබර වෙනවා අයියා. ගහ ගන්නවා නෙවෙයි. බැන ගන්නව. ඒකවත් කාටවත් ඇහෙයි කියල වෙන්ට ඇති... හෙමීට!."
"කොච්චර හොඳයිද! ඒකටම අන්න අර ඉස්සරහ ගෙදර හැත්ත. ගෑණිත් එකයි මිනිහත් එකයි. මෙහෙවත් ඉංට බෑ. ඉස්සර දවසක්, අප්පච්චි ඒ ගොල්ලෝ දබර වෙන වෙලාවක ගිහිං දෙන්නටම බැණලත් ආවා. ඒ මනුස්සයා අපෙ අප්පච්චිට නඩුව කියනවලු... මහ ලැජ්ජා නැති කතාවක්."
"ඒ කියන්නේ..?"
"ඔය මොකද්දෝ කුඩි ඇදයක් කිව්වා.. "
"ඒ කියන්නේ..?"
"ගෑණු පිරිමි කතාවක්ලු. හාර හාර අහංට එපා. මං දන්නෑ...."
"මං ඒ වචනේ කවදාවත් අහල නෑ අයියා. "
කුඩි ඇද කියන්නේ කවදාවත් කෙලවර වෙන්නේ නැති එහෙම කතා... ගං ඇද කියන්නේ ඒත් දිගට දිගට යන ඉඩං හබ.. ඉතිං පෑලිස් අයියයි ඩිංගිරි අක්කයි මොනවටද දබර වෙන්නේ ඔයෙ?"
"දැන ගංටම වටිනවා ඒක නං. අන්තිමටම ඊයේ දබර වෙනකොට මාත් හිටියා. මට නුවර අලුත් ඉස්කෝලෙට යංට අලුත් ඇඳුම් ගන්න එක දෙන්නා කතා කර කර හිටියේ. අපෙ අයියට ඕනෑකම තියෙනවා මට ඇඳුම් ගන්නකොට ඩිංගිරි අක්කටත් මොනවා හරි ගංට... අක්කා තියාගෙන බණිනවා ... 'ඔලුව හොඳ නැද්ද මනුස්සයෝ.. මට ඒරොප්පේ යංටද? මේ කෙල්ලට එතන ගිහිං ලැජ්ජා වෙංට බෑ. මේ වෙලාවේ ගන්න දෙයක් අපෙ නංගිට.. මට ඔයෙ තියෙන තරම හොඳටම ඇති. ඕනෑ වුනොත් පස්සේ බැරියැයි.' කිය කිය. අපෙ අයියා ලාවට හිනා වුනා. ඔන්න ඔය වාගේ එව්වට තමයි ඒ දෙන්නා දබර වෙන්නේ. අන්තිමට දෙන්නම හෙට අනිද්දා තෙල්දෙණියේ ගිහිං එංට කතා වුනේ."
"නංගිට බඩු ගංට ඩිංගිරි අක්කත් යන එක හොඳයි තමයි."
"පොත් මොනවා ගංට වෙයිද දන්නෑ?"
"ඉස්කෝලෙට ගියාම පොත් ලැයිස්තුවක් දෙයි. එතකල් මොකුත් ගංට එපා. යුනිෆෝම් එක ගැන දන්නල නැද්ද? පලවෙනි දවසෙම ඕනෑ වෙයිනේ. පාට ඇඳගෙන නොයනවා නං තමයි හොඳ.."
"මං අපෙ අයියට කියන්නං.. "
නිවාඩු කාලෙට අපි දෙන්නා මුණ ගැහෙන අන්තිම දවස හිංදා, මූණ එල්ලා ගන්නේ නැතුව ජිනා අද හිනා වෙලම ඉංට හිතා ගත්තා වෙංට ඇති. ඉතිං මාත් ආදරෙම්ම ඉංට හිතා ගත්තා. අනේ මං දන්නෑ.. ජිනා අලුත් වටපිටාවට කොහොම මූණ දෙංටද කියල. හවස දෙවෙනි මහත්තයා බලංට මං යනවා කිව්වම ජිනත් එනවා කිව්වා.
පෑලිස් අයියා දැං ගමේ හොඳ වැදගත් කෙනෙක් වෙල. ඇත්තටම ඒ මනුස්සයා එයාගෙ යාලුවන්ට විතරක් නෙවෙයි ගමේ කාටත් උදව් උපකාර කර ගෙනලු ඉන්නේ. වෙලාවකට කවුරු හරි මොනවා හරි හොයා ගන්න දෙයක් රාත්තලක් හමාරක් ගෙනත් දෙනවලු සන්දෙට ඇන්න ගිහිං විකුනල දෙංට කියල. ඒ ඉරිදා මුන්දෑ සන්දෙට නොගියත් ඒක ඇන්න සල්ලි දීල යවනවලු. කංට පුලුවං දෙයක් නං මහ ගෙවල් දෙක එක්කත් බෙදා හදා ගන්නවලු. තව සමහර වෙලාවට, වැඩිය හම්බ වෙන්නේ නැති දෙයක් පොලේ තිබ්බොත් ගෙනත් යාලුවන්නෙ ගෙවල් ඔක්කොටෝමත් බෙදනවලු. ඩිංගිරි අක්කා අපෙ අම්මා මුණ ගැහෙංට ආව වෙලාවක යස කතාවක් කිව්වා.
දවසක් පෑලිස්ලගෙ ගෙදරට කෙනෙක් ඇවිත්.
'කව්ද ගෙදර?' පෑලිස් හිටියේ වත්ත ඉස්මත්තේ. දෙසරයක් විතර එහෙම අහනකොට ඩිංගිරී එලියට ආවා.
'පෑලිස් මුදලාලි ඉන්නවද?' ඩිගිරීට උන්හිටි තැං අමතක වෙල. මහ සංතෝසයක්.
'ඔන්න ඔය ලෑල්ලෙං ඩිංගකට වාඩි වෙංට. මං එංට කියන්නං.'
'එලියේ වැඩක් නං මං එතෙංට යන්නං නඟා..' ඒ අතරේ පෑලිසුත් එතෙංට ආවා.
'ආ.... පීටර් අයියා.... මයෙ අප්පෝ පාර හොයා ගත්තේ කොහොමදෑ?'
'බැස්ස ගමන්ම ඇහුව කොලු පැටියා අන්න අතෙන්ටම මාව එක්ක ගෙන ආවා. එතෙන්ටම ලොරි බාගේ එන්ටත් නම් තිබ්බා.
ඉතින් පෑලිස් මල්ලී කොහොමද තොරතුරු?'
'දැන් නං එලවලුත් අඩුයි පීටර් මුදලාලී.. දැං තමයි හැදීන එන්නේ. සුමාන දෙක තුනක් යනකං සන්දේ පැත්තෙත් එංට වෙන්නෙ නෑ. ගේංට දෙයක් නෑනෙ.'
'මේ දවස් වල බඩු ටිකක් හිගයි තමයි මලයා. ඔය එහෙං මෙහෙං එන පොඩියක් තමයි මාත් එකතු කර ගන්නේ.'
'අපි තේ ඩිංගක් බීල ඉඳිමු පීටර් අයියා.'
'මල්ලී එදා කරපු උදව්ව මං ජීවිතේට අමතක කරන්නෙ නෑ. මෙන්න මෙතන එදා අරුංට දුන්න සල්ලි දෙක තියෙනවා මල්ලී. මගෙ ලොරිය උන්ගෙ එලවලු ටික උඩිං ගිය එක මයෙ වැරැද්ද තමයි මල්ලී. මං හිතා මතා කෙරුවා නෙවෙයි. කිරපු එලවලු වලට සල්ලි ටික දීල හින්දා මාතේ කීයක්වත් තිබ්බේ නෑ. උන් ටික මට ගහංට ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ. මල්ලී මැදිහත් වුනාම බය වෙලා තියෙනවා. ඒ කාන්ඩෙත් මල්ලී මුන ගැහෙංට එන්ට හිතාගෙන ඉන්න කතාවකුත් ආරංචි වුනා.'
'බඩු නැතත් අද හෙට පොලට ගොඩ වෙංට මාත් වෙලාවකට හිතුවා... නැත්තං මං බය වෙල හැංගිල ඉන්නවා වාගේ නෙ.'
'නෑ නෑ මල්ලී උන් බය වෙලා ඉන්නේ.'
'පීටර් අයියා.. ඔය සල්ලි මට එපා. ඒක තියා ගංට.'
'නඟා, එදා පෑලිස් මුදලාලී ඒ එකෙක්ගෙ බෙල්ල ගාවින් ඇල්ලුවම උන් තුන් දෙනාම බය වුනා. කටවලුත් වැහුනා. කීයද අලාබේ අහල මුදලාලී ඒ සල්ලි දුන්නා. ඒ සල්ලි ගත්තට බයේ දැන් ඒ අය ඉන්නේ.' පස්සෙ කෑම කන හිටං පීටර් මුදලාලී මට කියන හැටියට එහෙම කිව්වා. මං දන්නෙත් නෑ... ඔන්න ඔහොමයි පෑලයියා මිනිස්සු එක්ක ඉන්නේ අම්මා."
"ගමේ ඇත්තංටත් ඒ වාගේනෙ. කවුරුවත් නොහොඳක් කියන්නෑ.."
ඩිංගිරී අක්කට සතුටු හිතිල තිබුනේ පෑලිස් අයියට මුදලාලි කිව්වට.. ඊට කලිං අහල තිබිල නෑ කව්රුවත් පෑලිස් අයියට එහෙම කියනවා. සල්ලි ටිකත් බලෙං පොරෙං ඇඟේ ගහල ඒ මනුස්සයා ගිහිං තියෙන්නේ.
පෑලිස් අයියයි ඔය පීටර් මුදලාලියි අතරේ එදා මෙහෙමත් කතා වෙල තියෙනවා.
"පීටර් අයියා මට හිතිල තියෙනවා නුවර මාර්කට් එකටම බඩු දාංට. පීටර් අයියා මොකද කියන්නේ?"
"වැඩේ හොඳටම හොඳයි. මල්ලී ටැට්ටරෙන් නං නුවරට එලවලු ගෙනි යන එක ලේසියක් නෑ. අනික, දැන් අල්ලාන ඉන්න ඔය කලු කොම්පැණිය එහෙම එක්ක අත ගහගෙන යංට පුලුවන්ද?"
"අයියා, වසන්තා මුදලාලී දැං මයෙ හිතවතා. එයාම කලු කොම්පැණියේ ඇත්තංට එහෙම කියන්නං කිව්වා. අනික දැම්මම මහවට කරංටත් නෙවෙයිනේ. ලොරි බාගයක් වත් ගන්නං කියල හිතා ගත්තේ."
"ඒක හොඳයි මල්ලී. සල්ලිය බාගේ අඩුපාඩුවක් එහෙම තිබුනොත් මටත් කියංට."
"හොඳයි පීටර් අයියා."
පෑලිස් අයියට යහපතක් වෙනවට අපෙ අම්මලත් කැමතියි. ඇත්තටම මාත් කැමතියි. ජිනාගෙ සන්තෝසේ නං කියල නිමා කරංට බෑ. ඒක ඉතිං හැටිනේ.. ජිනාගෙ ඉස්කෝල ප්‍රස්නේ වුනත් ඔය විදියට විසඳුනේ පෑලිස් අය්යා හින්දානේ.
"ඊලඟ නිවාඩුව එනකල් මට හදිස්සියි නංගී. නංගිගෙ අලුත් ඉස්කෝලේ ගැන අලුත් යාලුවෝ ගැන එහෙම දැන ගංට."
"අනේ අපිට එක ඉස්කෝලේක ඉංට තියෙනවානං අයියා....."
අධ්‍යාපන චාරිකා ගැන තියා කවකටු පෙට්ටියක් වාගේ මට ඕනෑ වෙලම තියෙන දෙයක් ගැනවත් ගෙදෙට්ට කොහොම කියංටද දෙයියනේ.
"අනේ නඟා, වරස්තේකටවත් ගංට කියල ඔය මිටි හාල් මුට්ටිය තියෙන උඩහල්ලේ හීං මුට්ටියක පනං හතරක් විතර එකතු කොන්න හිටියා. සල්ලිය, සතේ, දෙක දාල. ඊයෙ පෙරේදා ඒකත් පුතාලෑ අප්පච්චී අතට දෙංට වුනා කඩේට යංට වෙල. ඉතිං මොන සල්ලිදෑ මාතේ. උඹ තරහ වෙංට එපා නඟා."
ණයක් ඉල්ලා ගංට දෝ කොහෙදෝ ඇවිත් හිටිය අර පසිඳූ කියන උන්දැට අපෙ අම්මා කියනවා මට ඇහුනා. මේ ඇත්තක්ද? අයියා ඇවිත් දුන්න සල්ලි දෙක්කුත් ගේ ඇතිනෙ. ඉතිං උන්දෑ තරහ කර ගන්නෙත් නැතුව ඒක මඟාරිංට කිව්ව බොරුවක් වෙංටෑ. මොකද ඔය ඇත්තෝ ගත්තොත් ඉතිං... අත මාරුවට අත මාරුවට..., නොවැරදීම දෙපෝයට ඉස්සර වෙල ආපහු දෙඤ්ඤං...., ණයට ණයට වාගේ එව්වා කිව්වට ඒක ඉතිං තුරහක්ම තමයි අන්තිමට වෙන්නේ. බාග වෙලාවට හිත් නොහොඳකමුත් ඇතිවෙල. ඒක ආපහු දෙනකල් බලාන ඉන්නවට වැඩිය හොඳයි දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න පැත්තට හැරිල සාදුකාරයක් දීල, දානයක් දුන්නා කියල හිතා ගන්නෙක.
කොහොම හරි මයෙ සල්ලි ඕනෑකං ගැන මං කියංට ගියෙ නෑ.. ගිලගෙන නිකා හිටියා.
simple"s"
2019.07.25
පින්තූර අන්තර්ජාලය ඇසුරෙන් .
No comments:
Post a Comment