ලිං කටෙං වැටුන එකා 36
"දා දිං දිංදා... දා දිං දිංදා...දා දිං දිංදා ....."
ඒ දිංදා පංතියට යංට වුනේ එක දවසයි! රෑ හොස්ටල් එකට ආපහු එනකොට ඩෝම් එකේ දොර අරිංට බැරි වෙංට ගැට ගහල. ඇතුල් පැත්තෙං. ගනකාදාර සර්රුත් හොස්ටල් එකට ආවේ අපි තුං දෙනා එක්කමයි. අබේරත්න සර්රුත් ඇවිත් කතා කරලයි යංතං දොර ඇරවා ගත්තේ. මට ආයෙ ඒ පංතියට යංට බෑ කියල හිතුනා. අනික් ලමයි දෙන්නා නං ගියා.
ඉඳ හිට මෙහෙම දෙයක් වුනාට තුං වෙනි වාරෙදි හොස්ටල් එකෙයි ඉස්කෝලෙයි විදිහ ටික ටික වෙනස් වුනා. හොඳ පැත්තට. දයයි මායි තව හිතවත් වුනා. ඒකට හේතු කීපයක් තිබ්බා.
මේ වාරේ ඉඳල, ප්‍රෙප් බී එකේ හිටිය මායි තව ලමයි නව දෙනෙකුයි ප්‍රෙප් ඒ එකට දාල. ඒකෙං දයයි මායි දෙන්නා ඉස්කෝලෙදි වෙං වුනා. අපි දෙන්නටම ඒකට දුකයි. නිවාඩු කාලේ ගැන අපි දෙන්ටම කියංට තිබුනේ එක වාගේ තොරතුරු. වතු වැඩට අප්පච්චිලාට උදව් කරපු හැටියි, සිස්‍යත්වෙට එයා එයාගෙ නංගිටයි මම ජිනාටයි උදව් කරපු හැටියි එහෙම. මාධංගනී දයාගෙම නංගී. ජිනාදරිත් මගෙම නංගී කියල දයා හිතා ගත්ත එක මං වෙනස් කරංට ගියෙ නෑ.
"ඒ කියන්නේ අපි දෙන්නගෙම නංගිලත් එනාවුරුද්දේ මෙහෙ... !"
"ඔව් සපූ... ඒ දෙන්නා කොහොම හරි සිස්‍යත්වේ කර ගනියි."
"ගර්ල්ස් හොස්ටල් එකෙත් අලුත් අයට රැග් කරනවා.. "
"ඔව්... සමහර වෙලාවට මීටත් වැඩිය නපුරුයිලු."
"දයා.. මම හිතා ගත්තේ ලතාට කියලා තියංට. ඒ අය අපිට පන්තියක් පහලිං වුනාට හොස්ටල් එකට ඇවිත් තියෙන්නේ කලින් නෙ. පහේ සිස්යත්වෙං.."
"කව්ද ලතා?
ඩේ ස්කොලර්ද?"
"නෑ...අර හොස්ටල් එකේ ඉන්නේ. මං හවස පෙන්නන්නංකො.
අර ස්පෙක්ස් දාන, කොමර්ස් කරන ගර්ල්..."
"අර බෝතල් අඩි නේද... පුදුම දඟයක්...!"
"හ්ම්... මාත් එක්ක හිතවත්. නිවාඩු ඉවර වෙල එද්දි ගෙනාවයි කියල අර පොල් ටොපී වගෙයක් දුන්නේ අන්න එයා තමා.."
දයා කිව්වේ නැතුවට මොනවාදෝ හිතුවා. පිස්සු. ඇහුවේ නැතත් ඒකට උත්තරයක් දෙංට මට හිතුනා...
"දයා ගෙදරදී නිදා ගන්නේ කොහෙද?"
"තාත්තා ලඟ. ඇයි ඇහුවේ..?"
"මම නිදා ගන්නේ අපෙ අම්මා ලඟ.."
"අපෙ අම්මා ලඟ නංගි නිදා ගන්නවා. හා.. ඔයා අම්මා ලඟ නං ජිනා නංගී කොහෙද ඉන්නේ.?"
"ආ මේ.. අපි දෙන්නම අම්මා ලඟ." උත්තර තමයි... ටිකකිං නං මටමයි ඇනෙන්නේ.
* * *
අප්පච්චියි මායි 24 වෙනිදා පාන්දරම ගමෙං ආවේ. හුන්නස්ගිරියට එනකොට හොඳට එලිය වැටිල. ගෙදරිං කොච්චර පිරිසිදවට පිලිවෙලට ආවත් ඒ හැතැම්ම පහ හය ආවම දාඩිය දාල. පාංදර කියල නෑ, රස්නෙත් නෙ. කලිසම ඇඳගත්තේ දේනාපිටිය අම්බලමේදී. ඒ මයෙ අප්පච්චිට ඕනෑ විදිහ. වත්තේගම කඩෙං තේ බිව්වා. අපෙ අම්මා මහ රෑම නැගිටල බත් ඉයල තිබ්බා. මං කැමති හින්දා, බටු ගෙඩිය හතරට පලල තක්කාලි එක්ක ඇඹුලයි, බී ලූනු එක්ක හාල්මැස්සං තෙල් දාලයි. කැකුලු හාල් බතුයි. පාන්දර කියල නෑ හොඳට බඩ පිරෙංට මං බත් කෑවා.
"අප්පච්චි මෙතනිං මං බස් එක්කට දැම්මොත් මට යංට බැරි වෙයිද?"
"තව අවුරුදු දෙක්කිං තුනකිං.." හිනා වෙවී අප්පච්චී කිව්වේ. "මයෙ පුතාට දැම්ම රජ වීදියේ කුරුනෑගල බස් ඉස්ටෑන් එක හොයාන යංට පුලුවං?"
"ඉතිං කයෙං හරි අහංට පුලුවන්නේ."
"දැම්ම එච්චර හපංකමක් ඕනැන්නෑ. එහෙම නෙවෙයි,මතක තියා ගංට... රජ වීදිය. එතනිං කුරුනෑගල පාරේ යන කොයි බස් එකේවත් යංට පුලුවං."
"එතන කුරුනෑගල පාරේ බස් විතරයි නේද අප්පච්චි තියෙන්නේ.?"
" නෑ නෑ මයෙ පුතා... ඔය නාවලපිටිය පැත්තට යන බසුත් තියෙනවනෙ. අපි දැනට මෙහෙම යංකො.. නුවරදී පාං කෑල්ලක්වත් කාල යංටත් ඕනෑ. අද රෑට තමයි එහෙං කෑම දුන්නත්. බාගදාට අද දෙන්නෙම නැතිවෙයිද දන්නෙත් නෑ. එහෙම වුනොත් අනික් ලමයි කරන විදිහකට මයෙ පුතත් කර ගංට.. බඩ ගින්නේ එහෙම ඉංට එපා දෙයියෝ.."
"හොඳයි අප්පච්චී."
"සපූ.. ජන්ක්ෂන් එකට ගිහින් එමුද? " දයා දවසක් ඇහැව්වා..
"යමු... සර්ගෙන්ම permission ගංට ඕන්නෑ දයා. අපි සීනියර් ප්‍රිෆෙක්ට්ට කියමු."
"අපෝ ජන්සක්ෂන් එකට යංට ඒ ඇති. ගමගෙට කියමු."
"හ්ම්.. "
කලිං වාරේ එක දවසක් ගියාට පස්සේ දෙවෙනි වතාවට මං හන්දියට ගියේ එහෙම. ඒක ලොකු වීරක්ක්රියාවක් වාගේ මට තේරුනේ. ඒ ගමන ඊටත් වැඩි හපන්කමක් වුනේ, හන්දියට ගියාම දයාගෙ ඊලඟ කතාවෙං...
"තීත්තපජ්ජලට ගිහින් එමු සපු... ගොඩක් ඈත නෙවෙයි."
"යං... ගුටි කංට වෙයිවත්ද, දයා?"
"අපෝ එච්චර බයවෙලා බෑ. අනික වැඩිම වුනොත් මෙතන ඉඳල හැතැම්මක් ඇති. තනියම බස් එකේ එන දවසක නින්දවත් ගිහින් හන්දියෙන් බහිංට බැරි වුනොත් එහෙම... ? පාර දෙපැත්තට දැලලාවත් තියෙන්ට ඕනනෙ."
"ඒකත් ඇත්ත. "
"නංගිලාගෙ විභාගේ එන සතියේ සෙනසුරාදා නේද සපු.?"
"ඔව්නෙ.."
"මට හිතුනොත් මේ සතියේ මම ගෙදර යනවා."
"තනියම?"
"ඔව්.. ඒක ගානක් නෑ සපු.... නංගිට තව කියලා දෙන්ට තියෙන එකක් දෙකක් මතක් වුනා... ඒකටත් එක්ක."
"හොඳයි දයා.. යංට කලිං අපි දෙන්නා ටිකක් කතා කරමු. මට මක එව්වා මාත් කියන්නං. මට නං යංට වෙන්නෙ නෑ... " මට තොරතුරු ලැබුනෙ නෑ කියංටයැ.
"ටිකක් සාකච්චා කරංට පුලුවන්නම් හොඳයි... මෙන්න සපු මෙතන තමා තිත්තපජ්ජල ඉස්පිරිතාලේ. හොස්ටල් එකේ ලමයෙකුට හදසියක් වුනොත් මේකට තමා එක්ක එන්නේ."
අපි එතනින් තවත් ටිකක් ඉස්සරහට ගිහිං බරිගමදී හැරිල මාලගම්මන හරහ හොස්ටල් එකට ආවේ. එහෙම හොඳ නෑ නේද කියල මට හිතුනා. ඒ වුනාට කිව්වේ නෑ. මොකද ඒ හොර වැඩේ කරංට මටත් ආසා හිතුනා..! හොස්ටල් එකේ වතුර අඩු වුනාම නාංට යංට වෙන මාලගම්මන ලිඳත් බලාගත්තා. දවසක් දෙකක් යනකල් මට මේ විර චාරිකාව ගැන මතක් වෙනකොට සතුටක් දැනුනා.
ඊලඟ සතියේ සිකුරාදා මං පංතියේ ඉන්නකොට නියතපාල පංතියට ආවා. ඒ ෆස්ට් ඉන්ටවල් පටං ගන්නකොටම.
"අය්යා කෙනෙක් ඇවිත් ඔෆීස් එක ලග ඉන්නවා." එයා කිව්වා. "මොනිටර්ට කියලා යමු."
මේ වෙලාවට මං බලංට එන අය්යා කව්ද... මට එහෙම එංට වෙන කෙනෙක් නෑනේ, මයෙ අයියම ඇවිත් ඇත්තේ. මං නියතපාල එක්කම ඔෆීස් එක ලඟට ආවා. ඇවිත් ඉන්නේ පෑලිස් අයියා. මට පුදුම හිතුනා.
"හීං මල්ලී..."
"අයියා දැංද ආවේ.?"
"නෑ මල්ලී ඩිංගක් වෙලා. මට මෙහෙ ලොකු මහත්තයා මුනගැහෙංට වුවමනාවකුත් තිබ්බා. මල්ලිට කතාකරංට වෙන්නේ විවේක වෙලාවේ කිව්වා. ඉතිං මල්ලී නොබලා යංටයෑ.. ටිකක් වෙලා හිටියා ඉතිං."
"අයියා අපෙ ප්‍රින්සිපල් සර් මුණ ගැහෙංට ආවේ...?"
"අනේ හීංමල්ලී... හරි වැඩේනේ වුනේ. ලොකු නංගිගෙ සිස්සත්ත විභාගේ හෙටනෙ. දැං දවස් තුනකට කලිං ඒකිට දෙයියන්නේ ලෙඩ හැදුනා. විභාගෙට එංට වෙන්නෙ නෑ. මොනවා කරංටද?"
"සරම්පද?"
"නෑ.. කම්බුල් ගෙඩි. ඒ හැදුනේ දෙයියන්නේ ලෙඩ කියලයි විභාගෙට යංට වෙන්නෙ නෑ කියලයි දැනගත්ත පාර අඬංට පටං ගත්ත එක ඊයේ වෙනකම්මත් එක දිගටම ඇඬුවා. ඇඬුවා ඇඬුවා. වතුර පොදක්වත් බුන්නේ නෑ. කන්නෙත් නැතුව වෙන අමාරුවක් හැදෙයි කියල මට බය හිතුනේ."
"අනේ පව් අයියා... විභාගෙට හියා නං නංගී පාස් වෙන එක සිකුරුයි. ඒ පදං හොඳට පාඩං කරල හිටියේ. දැං ඉතිං මොකද කරන්නේ ?" ජිනා ගැන අහනකොටම මයෙ උගුර හිර වුනේ. ඒක නොපෙන්නා මං ඇහැව්වා.
"කොහෙ හරි ලොකු ඉස්කෝලේකට දාල බෝඩිං කරල යවන්නං කිව්වා. ඒත් ඇඬිල්ල නවත්තන්නෑ. හීං මල්ලිත් හරියට උදව් කෙරුවා කියල කිය කියත් අඬල තියෙනව.අපෙ දෙවෙනි මහත්තයටත් හරි දුකයි... ඒ ඇත්තා කිව්ව හැටියට මේ ඉස්කෝලෙටම දාන්නං කිව්වම තමයි ඔන්න අඬන එක ඩිංගක් නතර කෙරුවේ. ඒත් ඉකි ගැහෙන එක අද වෙනකමුත් නවත්තා ගංට බැරි වෙල. දෙවෙනි මහත්තයම කිව්වා.. මෙහෙ ලොකු සර්ගෙං ඉක්මනිම්ම අහංට කියල."
"ඉතිං අයියා ඇහුවද?"
"ඇහුවා මල්ලී.. 'පුලුවං උදව්වක් කරන්නං.. ඒත් සිස්සත්ව විභාගේ පාස් වෙල එන ලමයි ඇන්න ඉවර වෙල තමයි හරියකට කියංට වෙන්නේ' කිව්වා. දන්නල එවන්නං කියල ලියුම තියා ගත්තා."
"ඒක නිකං දෙකඩ දෙවාරනේ උත්තරයක්නෙ අයියා. විස්වාසෙං බලා ඉංට පුලුවනෑ."
"ඒක තමයි මල්ලී. මං හිතුවේ වලලිමුත් අහල බලංට. තව මං දන්න කෙනෙක්ගෙ ලොකු සහෝදරියක් පුස්පදාන ඉස්කෝලේ උගන්නනවා. එහෙමුත් අහල බලනවා... "
"අයියා නංගිට දුක් වෙංට එපා කියංට.. මොනවා කරංටද .. එයාගෙ වැරැද්දක්යැ... අයියා මතකයෙන්ම ජිනාට කියංට... ඉදිමුං ඩිංගක්වත් තියෙනවා නං නාංට එහෙම හදිස්සි වෙංට එපා කියල.
අපි තව ටිකක් වෙලා ගම ගැන එහෙම කතා කෙරුවා.
"අයියා මං දැං පංතියට යංටද... ඊලඟ සර් ඇවදිමුත් ඇති. අප්පච්චිටයි අපෙ අම්මටයි කියංට මං හොඳිං ඉන්නවා කියල. හා.. මට අහංටත් අමතක වුනා... පොඩි දෙන්නා මොකද?"
"දෙන්නම හොඳිං ඉන්නවා. එංට එංට හුරතල් වෙනවා මල්ලී..." බර වෙල තිබ්බ මූණ පිපිල පෑලයියා කිව්වේ.
"ඔය ලෙඩෙං ඒ දෙන්නා පරිස්සං කර ගංට වෙයි අයියා.."
"ඔව් මල්ලී... මම එහෙනං ගිහිං එන්නං. පංතියට යංට." එහෙම කිය කිය පෑලයිය මයෙ සාක්කුවට සල්ලි වගේකුත් දැම්මා. රුපියල් දෙකේ කොලෙයක්.. එපා කියංටත් බෑ... මට හරි දෙගිඩියාවක් වුනේ.
පංතියට යන හදිස්සියට වැඩිය මට තිබ්බේ ඉක්මනට තනි වෙංට ඕනෑ කම. මටත් ඇඬෙයි කියල බය හිතුනා. ජිනා නංගී ගැන මයෙ හිත මේ තරං දුක් වෙයි කියල මං දැනගෙන හිටියෙ නෑ. දුවගෙන ගිහිං කතා කරල එංට ඇත්තං කියල මට හිතුනා.
මේ වෙනකොට හොස්ටල් දෙකේම සමහර ලමයි මයෙ නංගී එනාවුරුද්දේ මෙහෙට එනවා කියල හිතාන හිටියේ. දයාගෙමුයි ලතාගෙමුයි තමයි තොරතුර යංට ඇත්තේ. සමහර පිරිමි ලමයි විහිලුත් හදාන හිටියා.
"ඔන්න කල් වේලා ඇතුවම කියන්නේ...උඹේ නංගී පොඩ්ඩ මට." එකෙක් කියනකොට තව එකෙක් "ඒයි... නංගී මතක් කෙරුවා කියපං." කියයි. ඔය වාගේ...
simple"s"
2019.06.15
පින්තූර: 01. මධු රුවන්ති අබේනායක ගෙන්
02, 03. අන්තර්ජාලය ඇසුරින්.
No comments:
Post a Comment