Thursday, September 5, 2019

උඩගෙදර කතා 146 (ලිං කටෙං වැටුන එකා 30)

ලිං කටෙං වැටුන එකා   30.

                     පුළුවං හැම වෙලේම දයාරත්නයි මායි හිටියේ එකටම. එයා දයා. අපි දෙන්නගෙ ඇඳං දෙකත් තියෙන්නේ ලඟිං ලඟ.

                      හවස හතරට තේ දෙන්නේ. ටී බනිස් එකකුත් දුන්නා. ලොකු යකඩ ලිප්. ලොකු රාස් පාන්. එව්වේ වතුර උතුරවන්නේ. නෝනා මාක් උකු කිරි, ඒ කියන්නේ 'මිල්ක් මේඩ් මෝල්ටඩ් මිල්ක්' කිරි, ටිං පිටිං දාල තේ වතුරට කලවං කරන්නේ. දකිංට තියෙන හැම දේම අමුතුයි. තේ වලට, කෑමට 'ඩයිනිං හෝල්' එකට යන්නේ සීනුවක් ගැහැව්වම. 'බෙල් එක.' ඒක ගහන වෙලාවල් තියෙනවා. හැම දේම කාල සටහනකට.
"කන්ට බොන්ට නවතින්ට පහසුකම් දෙංට මාසෙකට එක ලමයෙකුට ආන්ඩුවෙන් රුපියල් විසි දෙකක් වියදම් කරනවලු සපු.."
"ඉතිං දයා ඒ ගානෙං පුලුවංද ..?"
"මෙහෙම කෑම බීම දීලා ඉතිරි වෙන සල්ලි වලින් මාසේ අන්තිමට සෙනසුරාදා ඉරිදා දවසක ව්ශේෂ කෑම වේලකුත් දෙනවලු.. ඒ එක්ක සව් එකකුත් දෙනවලු, මුද්දරප්පලං, කජු එහෙම දාලා.
" එව්වා වාගේ නෙවෙයි දයා, ඉංග්‍රීසියෙං උගන්නන එක අල්ලා ගංට මට බැරි වෙයි වද්ද කියල බය හිතෙනවා."
"අලුත් ඔක්කොටෝම ඔහොම තමයි, නොකියා හිටියට. බලමුකෝ සපු."

                      රෑ අටට රැ කෑම. 'ඩිනර්..' ඒකත් ඉවර වෙල නිදන කාමරේට, 'ඩෝමැට්‍රි' යට ගියාම වැඩියෙං අපෙ අම්මයි අප්පච්චියි මතක් වුනා. මහ බයකුත් එක්ක. පරන ලමයි එක පැත්තකයි අලුත් ලමයි අනික් පැත්තෙයි හිටිංට ඇඳවල් අල්ලල තිබ්බේ. දවාලේ මුලිංම 'ඩෝම්' එක ඇතුලට ආවම මට මතක් වුනේ දවසක් මොකොදෝ එක්කට මාඩුගොඩ ඉස්පිරිතාලේ නවත්තල හිටිය අපෙ අම්ම බලංට ගියාම ඒ වාට්ටුව දැක්ක හැටි.

                      රෑ එක වෙලාවක ලයිට් නිමිල පත්තු වුනා. ඒ තව පැය කාලකිං, ඒ කියන්නේ දහය හමාරට ලයිට් නිමනවා කියල 'සිග්නල්' එකලු. ඔව්.. ලයිට් නිමුවා. අපි ඇඳං වල. එක පාරටම පටාස් පටාස් ගාල ලී කෑලි වගයක් උඩිං ඇවිත් අපි ඉන්න හරියට වැටුනා. මගෙ ඇඳ තිබ්බේ අයිනෙම. එකක් ඇවිත් ඊට එහායින් අල්ලල තියෙන අල්මාරි පේලියේ වැදිල බිම වැටුනා.
"සපු.. හෙමින්ම ඇඳ යටට යංට.." දයා රහසෙං කිව්වා. ඊට පස්සෙත් එක එක එව්වා අපි පැත්තට දමල ගැහැව්වා. එක දිගට මේ සද්දේ තරමක් වෙලා තිබ්බා. අලුත් ලමයි පහලවක් විස්සක්වත් ඉන්නවා. මට බයයි තරහයි දෙකම. බලු හැත්ත...!

                       එක පාරටම අල්මාරි පේලිය උඩිං ලැයිට් එලියක් වැටුනා. ඔක්කොම නිස්සද්දයි. ටික වෙලාවකට කලිං හෙමිං හෙමිං ඇඬුව ලමයත් නිස්සද්දයි.
"අදත් පටන් ගත්තද? පරන ලමයිංට මේ වෝන් කරන්නේ.... දැන් ඔය තිරිසන් වැඩේ ඇති. එහෙම නැත්තං පරන අය ඔක්කොටෝම පනිෂ් කරනවා.. මතක තියා ගන්න, අල්ලා ගන්න අයට ගෙදර යන්න පුලුවන්. ආයෙ මම කියන්නෙ නෑ..." ඒ සර් කෙනෙක්.

                      යට තට්ටුවේ සර්ලගෙ කාමර දෙක 'ඩෝම් ෆෝ' එක ලඟම තියෙන්නේ. හරි ලස්සන පැලෑනකට ශිෂ්‍ය නිවාස තනල තියෙන්නේ. එව්වෙං මට ලස්සනටම පෙනුන තැං කීපයක් තියෙනවා. කෑම කාමර ඉස්සරහ දැලක් වාගේ හදල තියෙන සිමින්ති 'ග්‍රිල්' එක එකක්. තව එකක් සර්ලගෙ කාමර ඉස්සරහයිං උඩ තට්ටුවට යංට තියෙන පඩි පේලිය. අර 'ස්ටෙයාර් කේස්' එක කියන්නේ. තට්ටු දෙකේම උසට දාල තියෙන අරිංට බැරි ජනෙල් වලිං වැහිල, රවුමක් කැරකිල උඩ තට්ටුවට යංට තියෙන්නේ. උඩ තට්ටුවේ 'බැල්කනිය', උඩයි යටයි එක වාගෙම තියෙන 'කොරිඩෝ', පාඩම් කාමර දෙකයි, එයිං පල්ලෙහා තියෙන පොඩි ලමයින්නේ එක තමයි කෑම කාමරේ.  කුස්සිය තියෙන්නේ ඒ කාමරේටම අල්ලල වුනාට ඒ පැත්තට දරවල දුම නොඑංට හදල  තියෙන්නේ. ගොඩ නැගිල්ලේ එහා කොනට වෙංට වැසිකිලි. ඊටත් එහායිං තට්ටු තුනක්. උඩ තට්ටු දෙකෙත් ඩෝම් දෙකයි යටම 'ස්ටෝ රූම්' එකයි 'ටක් ශොප්' එකයි. ඒකට 'කැන්ටීන්' එකත් කියනවා.. ඉඳ හිට අපිට කතා කෙරුව මනුස්සකම තියෙන ලමයෙක් දෙන්නෙක් අපිට මෙව්වා කිව්වේ.

                         මේ ඩෝම් වල, ඒ කියන්නේ Domitory වල තිබ්බේ ඉස්ප්‍රිං යකඩ ඇඳං. කොල්ලෝ නිදා ගංට විතරක් නෙවේ, උස පනිංට , රෙස්ලිං පොර අල්ලන සෙල්ලම එහෙම පුරුදු වුනෙත් මේ ඇඳං උඩනෙ. එව්වා යකඩෙං තිබ්බ එක හොඳට හිටියා! මං දැක්කා තැනක එව්වා කකුල් වලිං දෙකට තුනට නමල ගොඩ ගහලත් තියෙනවා.

                         නින්ද ගියාද කියල සෑකයි. ඒත් පාන්දර ගැහැව්ව බෙල් එකට නැගිට්ටා. ගමේදී ඒ වෙලාවට ඇහෙන දාස් ගානක් කුරුල්ලන්නේ සද්ද වෙනුවට මෙහෙ ඇහෙන්නේ කපුටෝ දහයක් පහලවක්ගෙ කාක් සද්දෙයි, වෙන කුරුල්ලෝ දෙතුන් දෙනෙක්ගෙ සද්දෙයි, කට්ටා සපත්තු දාගෙන උඩ තට්ටුවෙයි යට තට්ටුවෙයි එහෙට මෙහෙට ලමයි යන කර්ච්චලෙයි විතරයි. ලයිට් දානකොටම පරන ලමයි, උන් ලමයි නෙවෙයි වසවත්තියෝ, ඇවිත් අලුත් ලමයින්නේ පැත්තට රෑ පියාඹාගෙන ආව කට්ටා සෙරෙප්පු එකතු කර ගත්තා. අද රෑටත් ඕනෑනෙ... ! පාන්දර දුන්න තේ එකට කිව්වේ 'බෙඩ් ටී' එක කියල. බඩගිනි දැනුන හිංදා වෙංට ඇති ඒ තේ එක හරියට රහ දැනුනා. ඊයෙ දවල්ටයි රෑටයි හරියකට කෑවෙත් නෑනෙ. අටට ගැහැව්ව බෙල් එකට උදේ කෑම දුන්නේ. පාන් ගෙඩිය තුනට කපල කෑල්ලක් එක ලමයෙකුට. සම්බෝල එක්ක. සමහර දවස් වල කිරි හොදි එක්ක ඉඳි ආප්පත් දෙනවලු!

                          කෑමෙං පස්සේ අපි ඉස්කෝලෙට ගියා. ඉස්කෝලේ ගොඩනැගිලියි එව්වා තියෙන හැටියි හරි ලස්සනයි. හොස්ටල් එකට වැඩී. ලස්සනටත් වැඩිය ඒක ගාම්භීර පෙනුමක්. බිම පෙරලුන ඉංග්‍රීසි H අකුරේ හැඩේට ගොඩනැඟිලි තියෙන්නේ කියල විතරයි දැක්කේ. හොඳයි.. පස්සේ බැරියැයි පැහැදිලිව බලා ගංට.

"O.K. Let us see what Chemistry is. Now, take this down.."

                      සර් ටිකක් කතා කර කර ඉඳල එහෙම කිව්වා. ළමයි ලියන පොත් පෙරළා ගත්තා. මාත් එහෙම කෙරුවා. සෙනෙවිරත්න මහත්තයයි, ප්‍රේමවතී නෝන මහත්තයයි අයෙත් මතක් වුනා. ඒ ඇත්තංට පිං සිද්ද වෙංටනේ මේ කියන එව්වා යංතං යංතං වත් මටත් තේරෙන්නේ. ඒ වාගෙම ආචාර්ය  ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්තයගෙ විද්‍යාව පොත කරල තිබුනට ඒක සිංහල. ජලකර වායුව, අංගාරිකාම්ල වායුව, ගෙන්දගම්, පල්මානික්කං,

"Chemistry is the study of matter. Matter is anything that has weight and occupies space" සර් කියනවා. ලමයි ලියනවා. දයත් ලියනවා. මං පොත දිහා බලාන ඉන්නවා. සර් ඒ කිව්වේ මොනවද කියල හරියටම නං තේරුනේ නෑ. අහංටත් බෑ...

                     ඊලඟට, ඊලඟ 'පීරියඩ්' එකට, ආවේ සිංහල සාහිත්‍ය උගන්නන සර්. සාහිත්‍යට අපිට තිබුනේ පූජාවලිය, විජයබාකොල්ලය, නවීන පද්‍ය රචනා.
"සිංහලෙං උගන්නන්නේ සිංහල භාෂාව, සිංහල සාහිත්‍ය, බුද්ධ ධර්මය විතරයි." දයා කිව්වා.
"අපිට තියෙන අනික් විෂය මොනවද?"
"Mathematics, Applied Maths, Chemistry, Physics, English Language, English Litarature, Botany, Zoology." එක ලමයෙක් කිව්වා.
"Maths ආයෙ කොටස් තුනකට බෙදෙනවා. Arithmatic, Geometry, Algebra." තව ලමයෙක් කිව්වා.
"මට කලා විෂය කරංට අවසර ගංට බැරි වෙයිද?" මයෙ මේ ප්‍රස්නෙට මට හරියට උත්තරේ ලැබුනේ ඊට ටික දවසකට පස්සේ. වෙන සර් කෙනෙක් ගෙන්.
"ඔය ලමයට ලැබිලා තියෙන්නේ විද්‍යා ශිෂ්‍යත්වයක්. 'Science Scholarship' එකක්. ඉතින් කලා විෂයන් කරන්න දෙන්න බෑ. එහෙම නම් ශිෂ්‍යත්වය අත් හරින්න වෙනවා."

                      හැම එකකිංම හිරවෙල. කරංට තියෙන්නේ ඔක්කොම ගහල දාල ආපහු යන එක විතරයි. දැං නං, මං ලිං කටෙං වැටුන එකා කියල තමයි හිතංට තියෙන්නේ.

                      ඉස්කෝලේදිත් පරන ලමයින්නේ එක එක ප්‍රශ්ණ වලට උත්තර දෙංට වුනා. ඒත් අපිට ගොහොරි දැමිල්ලක් වුනේ නෑ. හිත රිදෙන දේ වුනෙත් නෑ.

                                                                                                simple"s"
2019.04.26

No comments:

Post a Comment