Thursday, September 5, 2019

උඩගෙදර කතා 147 (ලිං කටෙං වැටුන එකා 31)

ලිං කටෙං වැටුන එකා   31.

"නෑ මචං එයා එයාගෙ ගර්ල්ට ශිල්ප දක්වංට ගිහිංනෙ ඇනගෙන තියෙන්නේ..."
"පව් බං එහෙම කියංට එපා. මට ප්ලේන් එකක් පදවංට ලැබුනා නං, මට කෙල්ලෙක් මෙහෙ හිටියා නං මාත් ඔය ටික කරනවා."
"මට ඉස්සෙල්ලම නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය කියන නම හිතේ ඇඳුනේ ඔය ගැන තිබුන කවි කොලේකිං. ඊට පස්සේ මට ආසවක් ආවා අහස්‍ යාත්‍රා පදවන්නෙක් වෙංටත්.!"
"ඉතිං ඔයාට බැරි වෙන එකක් නෑ 'Pilot' කෙනෙක් වෙන්ට.. සයන්ස්නෙ කරන්නෙත්. හැබැයි දිගටම මැත්ස් කරන්ට."
"ආර්ට්ස් කරංට අවසර දෙන්නෙත් නැති එකේ එහෙම කරන්ට තමා වෙන්නේ."
"ඔව්.. සයන්ස් කරාම රස්සාවල් වලට අවස්තා වැඩී. අනික ඕනෑකම තියෙනවා නං ඉංග්‍රීසිත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං. Litarature වලට තියෙන පොත් ටික New Tales From Shakespeare, Marie Curie, Luvie Pasteur එහෙම හරියට කරපං. හා.. තව  With a Smile එකත්. එතකොට ඔක්කොම හරි යයි..."
"මම ඉස්සරම ආසා වුනේ ගුරුවරයෙක් වෙංට. ඊට පස්සේ ගමට ඇවිත් කූඩාරම් ගහගෙන කට්ටියක් ඉඩම් මැන්නා දැකල ඒ ඉංජිනේරුවෙක් වෙංට ආසා හිතුනා. ඉතිං ආර්ට්ස් කරල ඒකටවත් යංට බැරිද..?"
"ඒ මිණින්දෝරුවෝ... අර Surveyor කියන්නේ.. ඒ කෙනෙක් වෙංටත් සයන්ස් කරලා තියෙංට ඕනෑ."
"හරියන්නෙ නෑ අප්පා එහෙනං. මුලදී මුලදී නං ඔය දවස් පතා පරන අයගෙ ගොහොරි දැමිල්ල ඉවසංටත් බැරුව තමා මෙහෙ ඉන්න එක එපා වෙලා හිටියේ. දැං කාලයක් ගිහිමුත් එක්කෙනෙක් දෙන්නෙක් තවම කරදර කරනවත්නෙ. ඒ අය හිංදා තමයි මට දැනුත් එපා වෙලා තියෙන්නේ. "
"ඔය 'රැග් '  කරන එක නං එච්චර ගනං ගන්ට එපා. බලන්ටකො එන අවුරුද්දේ ඔයත් ඔය වගේ අලුත් අයට රැග් කරන්නේ නැද්ද කියල...!"
"අයියෝ.. මම නං ජීවිතේට ඒක කරන්නෑ.  බලංට, ගෙවල් වලිං, අම්මලාගෙ තුරුල්ලෙං ඉස්සර වෙලම වෙං වෙල ඇවිත් ඒ දුකෙං ඉන්න අස්සේ මේ කරුමදෝසෙත් පටං ගත්තම! මුලදී මං බයෙං හිටියේ මට පිස්සු හැදෙයි වද්දෝ කියල."
"රිදෙංට... ඒ වාගෙම කෙලවරක් නැතුව රැග් කරනවට නම් මාත් කැමති නෑ තමයි. ඒත් මේකට එන එක එක විදිහේ එවුං ෆෝම් කරලා ගංටනේ ඕක කරන්නේ. සමහර අය එක එක ඒවා හින්දා අහංකාරයි. සමහර අය ඒකේ සම්පූර්ණ අනික් පැත්ත. ඈත ගම් වලිං ඇවිත් මුලු ගැන්නිලම ඉංට බලන්නේ.  මෙතෙන්ට ආවම කවුරුත් ආන්ඩුවෙන් දෙන රුපියල් විසි දෙකෙන් කාල බීල ඉන්නේ... ඉතිං එක එක මට්ටං මොකටද?"
"ඔය හුඟ දෙනෙක් එච්චර දේවල් හිතල නං නෙවේ ඕවා කරන්නේ.. තියෙන නපුරු කමට කියලයි මට නං හිතෙන්නේ.. "
"තව ටික දවසක් ඉවසල බලමුකො.. අනික පහේ ශිෂ්‍යත්ව විභාගෙන් එන පොඩි ළමයිත්, සමහරු අඬ අඬත් එක්ක ඔය යසට ඉන්නේ."
                         
                            හැන්දෑවේ පහට ළමයි ඔක්කොම, 'ස්ටෙයාර් කේස්' එකෙං උඩ තට්ටුවට ගොඩ වෙන තැනම, සර්ලගෙ කාමර දෙක ඉස්සරහ තියෙන බුදු පිළිමේ ලඟට එක්කහු වෙංට ඕනෑ... පංසිල් ගංට. විශේෂ දෙයක් කියංට තියෙනකොට සර් කෙනෙකුත් එනවා. නැත්තං සීනියර් ප්‍රිෆෙක්ට් එක්ක පන්සිල් ගන්නේ. එයා ගමගේ. ලොකු ළමයෙක්. ළමයි එයාටත් බයයි. එයාගෙ මල්ලිලා දෙන්නෙකුත් මෙහෙ ඉන්නවලු. මේ පංසිල් ගැනිල්ලයි, ඉස්කෝලේ ඇරෙන වෙලාවට ඉස්කෝලේ ළමයි ඔක්කොම "යෝවද තම් පවරෝ මනු ජේසු..." ගාථා කියන එකයි මට අමුතු දෙයක් වුනා. හැබැයි ලමයි කියන්නේ, "යෝවද තම්පව රෝමනු ජේසු.." කියල. මේ ගාථා ටිකටත් මම කැමතියි. හැබැයි ජය මංගල ගාථා වලට තරං නං නෙවේ.

                           ඒ ළමයා, ගුනරත්න. එයා නං මයෙ හිතට ඇල්ලුවා. අපිට පංති දෙක්කට උඩිං ඉන්නේ. ඒත් වැඩක්යැ. එහෙම ලමයි සීයක් හිටියත් සරච්චන්ද්‍ර වාගේ එකෙක් හිටියම ඉවරයිනෙ. හැබැයි ගුනරත්නත් ගෑණු ළමයෙක් එක්ක යාළු වෙල ඉන්නවලු. දවසක් එයා ලිව්ව කෙටිකතා වගයක් හොඳ අකුරෙං කොපි කරල දෙංට කියල මට දුන්නා. ඒ එකක එහෙම කතාවකුත් තිබුනා. ගුරුවරයෙක් එයාගෙ පන්තියේ ඉන්න ගෑණු ළමයෙක් එක්ක යාලු වෙල ඉන්න කතාවක්. අනේ මං දන්නෑ...  ළමයි එහෙම එව්වා ලියන එක හරිද?

                           ඇත්තටම අපෙ සර්ලා නං එහෙම අය කියල හිතංටවත් බෑ. ගෙවුන  ටික දවසට දැක්ක හැටියට සර්ලයි මැඩම්ලයි රත්තරං වාගේ හොඳ ඇත්තෝ.

                            මහ පාරෙං හොස්ටල් වලට එන පාරට හැරෙනකොටම වම් පැත්තේ ඉස්කෝලේ.  ඉස්කෝලේ පැත්තට හැරිල, බිම පෙරලුන H අකුරේ වම්පැත්තේ අන්ඬ ඇඟිලි දෙකෙන් ඇල්ලුවොත් යට තට්ටුවේ කොනේ 'ස්ටාෆ් රූම්' එක. දකුනු පැත්තේ උඩ තට්ටුවේ චිත්‍ර කාමරේ. යට තට්ටුවේ 'හෝම් සයන්ස් රූම්' එක. ඊට එහායිං 'ආමරි' එක. ඒක ඇතුලේ තුවක්කු ගොඩක් පිලිවෙලට තියල තියෙනවා මං දැක්කා.  ගොඩනැගිල්ලේ දකුණු පැත්තේ උඩ තට්ටුවයි වම් පැත්තේ යට තට්ටුවයි තියෙන්නේ එක මට්ටමට. මැද ඉඩ සිමින්තියෙං ඇලේට ගල් අතුරල. H අකුරේ අනික් පැත්තේ වම් දන්ඩේ උඩ තට්ටුව පුස්තකාලේ. ඒක පොත් ගොඩක් තියෙන ලොකු එකක්. දකුණු පැත්තේ අන්ඩේ යට තට්ටුවේ Chemistry lab. එක. ඒකට අල්ලල Physics lab එකයි ඒකටත් අල්ලල Dark room එකයි.

                            හොස්ටල් එක පැත්තට මුලිංම හැරෙන්නේ නැතුව ඉස්සරහට ගියාම, අපි ඉස්සර වෙලාම දවසේ ඉස්කෝලේ ඇතුලට ආව 'මේන් එන්ට්‍රන්ස්' එක. ඒකෙං ඇතුල් වෙනකොටම වම් පැත්තේ විදුහල්පති තුමාගෙ කාමරෙයි, දකුණු පැත්තේ ඔෆීස් එකයි, ඒකට පස්සෙං  Vice Principal සර්ගෙ කාමරෙයි. ඒ ඔක්කොම ඉස්සරහයින් උඩ තට්ටුවේ 'මේන් හෝල්' එක. දෙපැත්තෙං 'කොරිඩෝ'. යට තට්ටුවේ ලී වැඩයි, ලාක්ෂා වැඩයි 'වර්ක් ෂොප්'. මේන් හෝල් එකේ එහා කොනේ 'ස්ටේජ්' එකයි 'ඩ්‍රෙසිං රූම්' දෙකයි.  එච් අකුරේ අනික් කොටස් වල පංති. මොන විස්මකර්මයා පැලෑං කෙරුවද මං දන්නෑ.. ගොඩනැගිල්ල පුදුම ලස්සනක්, පිලිවෙලක්. තව ඔය හෝල් එක දෙපැත්තෙං තියෙන 'ස්ටෙයා කේසස්', 'ටොයිලට්' අරුවා මෙව්වා එක්ක වචනෙං ඒක පැහැදිලි කරංට මට බැරුවා..!

                              ටිකක් දවස් යනකොට හුඟක් ලමයි අඳුරා ගංට පුලුවං වුනා. කතා කරන්නේ පිරිමි ලමයි විතරක් නෙවේ, ගෑනු ලමයිත්. ඔය අතරෙං පංතියේ එක ගෑනු ලමයෙක් හැමදාම " MORNING!" කියල මොනවා හරි කතා කරනවා. ලීලා.. ! පස්සේ පස්සේ මාත් එයා කතා කරනකල් මඟ බලාන ඉන්නේ..! මයෙ හිතේ, එහෙම වෙංට හේතුව, එයා ඉස්සර වෙලම මට කතා කෙරුවේ මූණෙං වුන එක.! ආව අලුත දවසක්, 'ෆ්‍රී පීරියඩ්' එකක පරන පිරිමි ලමයි කීප දෙනෙක් අලුත් පිරිමි ලමයි කොහෙදෝ එක්ක යංට හැදුවා. මට අර ගෑනු ලමයගෙ මූන දිහා බැලුනා. එයා ලා හිනාවක් එක්ක, ඇස්  හොල්ලන්නේ නැතුව අඟලක් විතර මූන පැත්තකට කරල එක පාරම නතර කෙරුවා. කිව්ව දේ මට තේරුනා. මට දැනුනා මයෙ ඇස් දෙක හීනි වෙනවා....! ඉසේරදේ කියල මං නතර වුනා. ඒ ගිය ලමයි ආපහු ආවේ පීරියඩ් දෙක්කට විතර පස්සේ.. ඉහිං කනිං දාඩිය නාගෙන. ඇඳුං වල දූවිලිත්. මොකක්දෝ බර වැඩක් කරල.
ය්
                               හුඟක් දවස්වල නිදා ගංට ගියාම මට ඇඬුනා. අපෙ අම්මයි අප්පච්චියි අයියයි ගෙදරයි ගමයි මතක් වෙනකොට උහුලන්නේ නැතුව යනවා. සමහර දවස්වල මහ අවේලාවට බඩගිනි දැනෙනවා. පාන්දරත්. තව දවස් වල කෑමට බෙල් ගහනකොට මට බඩගිනි නෑ. සමහර වෙලාවට ඒ මාලුපිනි මට මේ ලෝකේ රහක් නෑ. සරක්කු රහ වැඩියෙං තියෙන්නේ. ඒත් මට බඩගිනි කියලවත්, පස්සේ කමු කියලවත් කාට කියංටද! මේ කුස්සියෙයි වටෙයි විතරක් දැනෙන පිළී ගඳ පිණුලු ගඳ වෙලාවකට ඉවසංට බෑ. අනිප්පැත්තෙං කරුපයියා එක දවසක් නාවොත් ටොයිලට් පැත්ත නරකාදිය. මූණ පොවංට බෑ. ටොයිලට් එකට යන වුවමනාවත් මගෑරෙනවා.

                               එක දවසක් මුලු හොස්ටල් එකේම බිම හේදුවා. වතුර දැම්මට පස්සේ කට්ටා සපත්තු වලිං ලිස්සනවා. එක පරන ලමයෙක් මං තල්ලු කරල දැම්මා. වේගෙං ලිස්සල ගිහිං ලඟ තිබ්බ බිත්තියක මයෙ මූණ හැප්පුනා. එක කම්මුලක ලොකු හරියක් ඉදිමුනා.. මට හරියට රිදුනා. පස්සේ සර් කෙනෙක් 'ෆස්ට් ඒඩ් බොක්ස්' එකෙං බෙහෙත් ජාතියක් දුන්නා ගාංට. එව්වා බැලඩෝනලු. දවස් දෙකක් තුනක් ඒ බේත් ගෑවම ඉදිමුං අඩු වුනා. ඒත් කම්මුලේ ඒ පැත්ත ලේ පුරල ලොකු කලු පැල්ලමක් හැදුනා. ඒක දිගටම තිබ්බා. මං තල්ලු කරපු එකාට හොඳක් නං වෙංට එපා....!

"නිවාඩුවට ගෙදර යංට කලිං, රත් හඳුං ගලේ ගාල මූනේ ඔතන ගාලවත් ඔය තැල්ම අඩු කර ගනිමු. නැත්තං ගෙදර අයට දුක හිතෙයි මචං." දයා කිව්වා.

                                                                                              simple"s"
2019.05.09

No comments:

Post a Comment