Thursday, September 5, 2019

උඩගෙදර කතා 148 (ලිං කටෙං වැටුන එකා 32)


ලිං කටෙං වැටුන එකා   32.

"රත්නාවලී... රත්නමාලී...
ලස්සනයි අයියා. ඒත් මයෙ මැණික් කැට දෙකට ඒ නම් සැර වැඩිවා වද්ද .."
"නංගී කියන දෙකත් ලස්සනයි. ඕනෑ නං ඒ දෙක තියමු. නාමලී... බිනරමලී... හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා. බිනරමලී කියන නම ගැලපෙන්නේ කලු කෙල්ලංට. මයෙ පැටව් දෙන්නා එක වාගෙම... සුදු පාටටත් වැඩිය රෝස පාටයිනෙ. අපි නංගිගෙමුත් අහමුකො."
"එපා එපා.. එයා කැමති වෙන නම් දෙක්කට අපි මනාප නැති වුනොත් කෙල්ලගෙ හිත පෑරෙයි. පව්නෙ. අයියා හිතුව නං දෙක හොඳයි.. ඒක තියමු."
"කියනකොටම ඔන්න නංගියි, සේසිරි මහත්තයලගෙ අම්මයි එනවා."

"මට පළමුදම ආරංචිය ලැබුනා. ඒත් එංට විදිහක් නැති වුනා. පෙරේදා මයෙ හීං පුතා ආවානෙ. "
"කව්ද... සපූද?"
"ඔව් දුව.. නිමාඩු දීලනෙ. අයෙත් ගණං අහ ගංට පුලුවං ඕං.. එව්වා පස්සේ කතා කරමු... කෝ..මේ පැටව් දෙන්නා බලල ඉඳිමුකො.. "
"බුදියා ගත්තා අම්මා... කොච්චරවත් බුදිම තමයි."
"සුමාන දෙක තුනක් යනකල් ඔහොම තමයි. කොච්චරවත් කෙඳිරි ගගා ඇඟ මැලි කඩනවයි .. බුදියා ගන්නවයි .. ඇස් වහක් කට වහක් නෑ, ලේන පැටව් දෙන්නා වාගේ බලනකොට දුකේ බෑ. එක වාගේමයි නේද මයෙ දුව? ලොකු වෙනකොට දෙන්නා වෙං කරල අඳුරා ගංට පුලුවං වෙයිද?"
"අනේ මං දන්නෑ අම්මා. ඇඳුං වලිංවත් වෙනසක් කරංට වෙයි මයෙ හිතේ...
අයියා... අපෙනංගී කොයි?"
"රෙදි කෑලි දෙකක් හෝදනවා. මං කෙතලේ ලිප ගාවට කෙරුවා. නංගිට එංට කියන්නං"
"ලොකු  වෙනකල් ඉඳල ඇඳුං වෙනස් කෙරුවට මදි. දැම්මම අම්මට පැටලෙන එක ප්‍රශ්ණයක් වෙනවා.. එකක් උක්කුං දෙනකොට. මං අහල තියෙනවා එක්කෙනාටම වැරදිල දෙන්නගෙම කිරි දෙනවා කියල. ඔයිං එක්කෙනෙක් දඟකාරියක් වෙනවා. එයා ගනංකාර කමෙං අනික් එකීගෙ කෑම බීමත් කොල්ල කනවා. කිරිත් එහෙමයි. කෝක වුනත් මේක මහ හුරතල් කැටියක්... ඇස්වහ කටවහ ගැන ඩිංගක් හිතංටත් වෙයි. තව සුමානයක් හමාරක් ගියාම කලු පබුලු වැල් පොටවල් දෙකක් ඉනටයි අත් ඩිංගටයි  දාංට."
"මටත් පබලු ඇට පොටක් දාගංට හිතෙනවා අම්මා.... " ජිනත් එතෙංට ආවා.
"ඒ මොකද ලස්සනයි ලස්සනයි කියල එක එක්කෙනා කියනවද?"
"ඔව් අම්මා... ඇත්තටම මං ලස්සනයිද.. කලුවට කලුවේ.. "
"ඔව් මයෙ දුව.. ලස්සනයි තමයි. ඒ හැටි කලු පාටක් නෑනෙ. කව්දෑ ඒක කිව්වේ. "
"කවුරුවත් කිව්වා නෙවෙයි මටම පේනවානෙ. අම්මා සපුමල් අයියා මොකදෑ. "
"හොඳටම ඇදිල ගිහිං. කෑම සරු වෙල නෑ. අපි ඉයනවා වාගේ නෙවෙයිලු. සරක්කු රහලු වැඩියෙං තියෙන්නේ. පංගුවක් දවස් වලට කංටම බැරිලු. නොකියා ඉංටම හැදුවේ. වැඳල වාගේ අහ ගත්තේ.. කෙට්ටු වෙල තියෙන හැටියට ලෙඩක් වද්ද කියල මට බය හිතුනා."
"අනේ පව්, මං හෙට අනිද්දා එන්නංකො.. "
"දුව මෙන්න මේ පියරු ටිං එකක් තිබිල ඇන්න ආවා."
"නිදාන හිටියට කමන්නෑ අම්මා .. මේ දෙන්නා වඩා ගංට ඩිංගක්.."
"ඒකත් ඇත්ත.. එක්කෙනෙක් දෙංටකො ඉස්සෙල්ල. රෙදි පටිය ගැට ගහල තියෙන එක්කෙනා... "
"ඔව්.. දැනට මේ පටිය ගැට හැහැව්වා."
"මැදගේ අයියා මලෝ ඇරෙංට මේ කිට්ටුවක කවුරුවත් මට නං නිඹුල්ලු මතක් වෙන්නෙ නෑ."
"ඔව් අම්මා.. "

"සපූ අයි...යා. "
"හ්ම්.. ජිනා... එංට නංගී.."
"යනකොටම පංතියේ පස් වෙනියා කිව්වම මටත් ආඩම්බර හිතුනා. හපනා. ඊයේ ඉව්ව කැවුම් කංට මාත් මේ ආවේ. කියංකො අලුත් ඉස්කෝලේ විස්තර එහෙම... "
"පස් වෙනියා කතාව කව්දෑ කිව්වේ?"
"අම්මානෙ.. අපි දෙන්නා දැං එක වැර ආවේ."
"කතන්තර නං මහ කැටියයි. නිවාඩු කාලෙම කිව්වත් ඉවර කරංට බැරි වෙයි. පුලුවං හරිය කියන්නං.. "
"පාස් පොත දියං මටත් බලංට."
"ඇයි.. මං කියන්නේ බොරු කියල උඹට හිතුනා නේද... ? ආ... "
"ධර්මය 46 යි,  අයියෝ...! බුද්ධාගමට හැත්තෑවක් අසූවක් ගංට තිබ්බානේ.. සිංහල සාහිත්‍ය 66 යි, සිංහල භාෂාව හා රචනය 67 යි. හ්ම්ම් අනික් එව්වා නං මට කියවංටවත් බෑ අයියා.. "
"ම්ම් .. එහෙම කියල නං හරියන්නෙ නෑ. උඹත් ඉස්සරහ කාලේ මං කියනවට ඉංග්‍රීසි වලටත් ටිකක් වැඩිපුර මහංසි වුනොත් හොඳයි"
"ගැට ගගහ ඔය ටික කියවංට නං පුලුවං වෙයි. ඔන්න අහගංටකො එහෙනං.. 
ඉංග්ලිෂ් 27 යි. අයියෝ.. ඒ මොකද අයියා... "
"නංගී දන්නෙ නෑ.. ඕකත් අර වාර්තාවක් කියන්නේ.. අන්න එව්වා එකක් බං."
"ඒ කිව්වේ..?"
"පංතියේ ඉන්න අලුත් ලමයින්නෙං ඉංග්‍රීසි වලට වැඩිම ලකුණු ඔය..!"
"අප්පා ඒකත් ලොකු දෙයක්. "
"ඔව් නංගී, ගිය ගමංම මට ආපහු එංට හිතිල හිටියේ, ඔය බාසාව හිංදා. හරියට දුක හිතුනා උගන්නන එව්වා තේරෙන්නේ නැති වෙනකොට. බුද්ධාගමයි සිංහලයි ඇර ඉතුරු ඔක්කොම ඉංග්‍රීසියෙංන්නේ උගන්නන්නෙ බං. දවස් පතා අලුත් වචන ගොඩ ගොඩවල් ඉගෙන ගංට ලැබුනේ.. ඉස්කෝලේදියි බෝඩිමේදියි.. ඔහොම අලුත් කන්ඩායමේ හරි ඒකට වැඩිම ලකුණු ලැබුන එක මට ලොකු දහිරියක් වුනා.."
"කමක් නෑ.. ඊලඟ වාරේ පළවෙනියා වෙංට පුලුවං උඹට.!"
"මාත් එහෙම මහංසි වෙනවා කියල හිතාන ඉන්නේ."
"හ්ම්.. මේ... චෙමිස්ට්‍රි. 72 යි. නරක නෑනෙ ගිය ගමං..!"
"නංගී ඕක චෙමිස්ට්‍රි කියල නෙවෙයි සද්ද කරන්නේ.. කෙමිස්ට්‍රි.. කෙමිස්ට්‍රි..  රසායන විද්‍යාව.. ඉංටකො අනික් එක මමම කියවංට.. එරිත්මැටික්, ඇල්ජිබ්‍රා, ජ්‍යෝමෙට්‍රි.. ඒ විෂය තුනම එක් වෙලා මැතමැටික්ස් ඒ කියන්නේ ගණිතය 74 යි.. හොඳයිද...."
"ටිකක් නෙවේ.. හුඟක්ම හොඳයි අයියා.. "
"අනික් දේවලුත් කියන්නං..පංතියේ මුලු ලමයි 45 යි. මගෙ ස්ථානය 5. මගෙ මුලු ලකුණු  352 යි. වැඩිම මුලු ලකුණු 396 යි. මොකද කියන්නේ.... ?"
"මට ආඩම්බරයි.. "
"ඒ මොකද උඹට ආඩම්බර... උඹ කව්ද මයෙ?"
"මං.. ? හ්ම්.. මං උඹෙ..
ඕක දවස් පතා මතුර මතුර ඉංට බෑ මට... හැමදාටම මතක තියා ගනිං, මං උඹෙ.. "
"අපෝ ඒක කියන ලස්සන !  ඔය විකාර කතා එපා බං... "
"ඇයි..?"
"හොඳයි මං මැරිල ගියොත් එහෙම?"
"ඔච්චර හිතංට එපා බං. මූසල කතා.."

"ආ මෙන්න දෙන්නටම .. අපි තේ වතුර ඩිංගක් බීල ඉඳිමු දුව."
"ඔන්න දැක්කද මං ඒක කිව්වා විතරයි කැව්මුත් හම්බුනා. "
"ඒ මොකද්දෑ දුව?"
" මං කිව්වා මං සපු අයියගෙ කියල... සපු අයියගෙම නංගී කියල. විකාර කතා කියංට එපාලු. " මේකිගෙ කට.. මට ලැජ්ජාවේ බෑ... !
"ඒක තමයි මයෙ පුතාගෙම නංගී හිටියානං දැං මයෙ දුවගෙ වයසේ තමයි. ඉතිං මයෙ දුව ඒ අඩුව පුරුවංට. "
"දැක්කද.. දැක්කද.. "
"ආ ගංට දුව.. හදිස්සියට  මයෙ පුතාගෙ අත් දෙක තවංට හැඳි කැවුං ඩිංගක් හැදුවේ. උඩිං දාංට තල ඇට දෙකක්වත් හදිස්සියට හොයා ගංට බැරිවුනා. ඕක අගුණයක්වත් වෙයි කියල බයට ඩිංගිරී ලමයට දෙකක් ඇන්න ගියෙ නැත්තේ.."
"අම්මා අතිරස වලට වාගේ හැඳි කැවුං වලටත් තල ඇට දානවද?"
"ඒකේ වැරැද්දක් නෑ දුව."
"නංගී අපෙ දෙවෙනි මහත්තයා මොකද.. අද හවසමවත් මං යංට කියල හිතාන ඉන්නේ.."
"මාත් සතියකිං විතර ගියෙ නෑ. අයියගෙ විස්තර ඇහැව්වම මහත්තයට හරියෙට තංතෝස හිතෙයි. "
"ඔව් නංගී.. මට හරියට මතක් වුනා එහෙදිං..
නංගිගෙ පාඩම් වැඩ කොහොමද දැං.  අයෙත් අපිට වැඩ ටිකක් කරංට පුලුවං දැං. අනික නංගී කිව්වෙ නෑනෙ.. නංගී මේ සැරේ කී වෙනියද කියල.. "
"මං පළවෙනියා අයියා.. "
"මටත් සංතෝසයි.."
"ඇයි...?"
"මං...
එක්කෝ ඕන්නෑ... "
"ඒක කියංට උඹ බයයි නේද?"
"හ්ම්... "

                                                                                                   simple"s"
2019.05.12

                           

No comments:

Post a Comment