Thursday, September 5, 2019

උඩගෙදර කතා 169 (ලිං කටෙං වැටුන එකා 48)

ලිං කටෙං වැටුන එකා   48.

"එක බඩවැල කඩාගෙන ආ      සෙනේහෙට
දුන්නා සතර සැම නුඹ දත් තරම්            මට
මේ වේලේ නැති නුඹ මට මොටද         හෙට
දොවනට පා, සලා මගෙ තුටු කඳුලු        කැට"

"මට පැහැදිලි නෑ දයා."
"ඕක එවලා තියෙන්නේ මගෙ නංගී සපූ... දැන් තේරෙනවද?" අයෙත් සැරයක් කියවනකොට මට තේරුනා. ශිෂ්‍යයත්වේ ගැන මට අමතකම වෙල හිටිය හිංදා වෙංට ඕනෑ ඉස්සර වෙල මට ඒක තේරුනේම නැත්තේ.
"සිස්සත්වේ පාස් වෙල කියල නෑ... ඒත් අපූරුයි ඒ පනිවිඩේ දුන්න හැටි දයා."
"නංගිගෙ හැටි ඒ. ලියලා තියෙන්නේ අහවල් එක කියල මං ඉතිං තේරුම් ගන්ට ඕනෑ. මට මේ දවස් ටිකේම ඔලුවේ තිබ්බේ ඒක ගැන හින්දා, ගෙදරින් ලියුම දකිනකොටම මට හිතුනා... "
'ජිනා නංගිටත් විභාගෙට යංට ලැබුනා නං එයත් පාස් වෙලනෙ...' කියංට මයෙ කටට ආවත් මං ඒක ගිල ගත්තා.. ඉරිසියාව කියල හිතයි. ඒක කොහොම වුනත් මාදි නංගී පාස් වුනාටත් මට ඇත්තටම සන්තෝස හිතුනා.
"හරිම සන්තෝසයි දයා. මාත් සුබ පැතුවා කියල, ලියන වෙලාවක.." මට කියල ඉවර කරංට ලැබුනෙ නෑ.
"එහෙම නෙවෙයි සපු... මම මේ සෙනසුරාද ගෙදර ගිහිල්ලා එන්ට හිතුවේ... සපුත් යමුද?"
"ම..ම...!
බලමුකො දයා."

                      අවුරුදු නිවාඩුව ඉවර වෙංට කිට්ටුව, ජිනයි මායි කතා කරපු වෙලාවක එයා කිව්ව එව්වා මට මතක් වුනා.
"නංගී ඒ නිවාඩුවත් ඉවරයි ඔන්න.."
"දැනුනේවත් නැ නේද..? අම්මා.. මොනවාහරි කන දෙයක් හදනවා නං මටත් ඕනෑ ඔන්න."
"අප්පා.. බෑ..." උත්තර දුන්නේ අපෙ අම්මා.
"ඇයි... එහෙම බෑ.. මටත් ඕනෑ."
"ජිනා හරියට අයිතිවාසිකමට වාගේනෙ කියන්නේ.. අපෙ අම්මා."
"අයිතිවාසිකමක්.... " අපෙ අම්මා මොකොදෝ කියංට ගිහිං ගිල්ලා. ඊට කලිමුත් ඔහොම වෙල තියෙනවා.
"තව ටිකක් කල් යනකොට සපූ අයියට අපි මතකත් නැතුව යයි. "
"ඇයි...?"
"අලුත් අලුත් යාලුවෝ හැදෙයි. යාලුවන්ගෙ.."
"උදව් ලැබෙයි...නේද?" ජිනා කියංට ගිය එකට ඉඩ නොදී මං කිව්වා. මං දයාලගෙ ගෙදර ගිය එක ඔච්චර උඩ දාංට ඕනෑයැයි. ඒක මං නොකියා ඉංටයි තිබ්බේ. ඒකිට ඉරිසියා හිතිලද කොහෙද...!

                        මට දයාලගෙ ගෙදර යංට ආසා නං හිතුනා. ඒත් ඕනැන්නෑ... මයෙ හිතට ලැජ්ජාවක් වාගේ දැනෙනවා. පිස්සු...

                        මේ ගෙවෙන්නේ Inter form එකේ, ඒ කිව්වේ අන්තර් ජේස්ටේ දෙවෙනි වාරේ. ඉස්කෝලෙයි හොස්ටල් එකෙයි විතරක් නෙවෙයි වටපිට ගම්වලත් අහුමුළු මං  දැං තරමකට දන්නවා. මුල් කාලෙදි තරමටම දැං හැම දේම මට මැජික් නෙවෙයි. ගෑනු ලමයිංට බයත් අඩුයි...! කතා බහේදී සබකෝලෙත් අඩුයි.

"ලතාගෙං උදව්වක් ඕනෑ."
"මොකද්ද?"
"දයාගෙ නංගී සිස්සත්වේ පාස්. මෙහෙටම අද හෙට එයි මයෙ හිතේ. කෙල්ල  රැග් වෙංට නොදී , පොඩ්ඩක් බලා ගංට වෙයි."
"නංගී දයාගෙනෙ.. ඔයා මොටද ඔය තරම් concern?"
"හරි හරී දයත් කතා කරයි, දයා කතා කරනවට ඔච්චරම ආසා නං.  එයා මට කිව්වා මං උඹගෙ හොඳම යාලුවා හිංදා උඹට කියංට කියල."
"ඔව් ඔව් හිතා ගත්තෑකි මොකද්ද වෙංට යන්නේ කියල. අනික ඇත්තටම මම ඔයාගෙ හොඳම යාලුවද?"
"විකාරද... අහීං...සක කෙල්ලක්. ආවම බලංටකො."
"සපූ කොහොමද දන්නේ එයා ගැන.?"
"ඇයි මං කිව්වේ දවසක්... එහෙ ගියා කියල. නංගී සිස්සත්වේ පාස් හිංදා දයා මේ සෙනසුරාදත් ගෙදර යනවා. මටත් යං කිව්වා. මං බෑ කිව්වා."
"ඇයි?"
"ලැජ්ජයි... "
"ම්ම්... එහෙම ලැජ්ජා හිතෙන්නේ ඇයි දන්නවද? ඔයාගෙ හිත අමුත්තක් වෙලා හිංදා. සාහිත්‍යාත්මකව කියනවා නං.... හිත සසල වෙලා හින්දා...!"
"අම්මට සිරි මෙයා දන්න දේවල්... මයෙ හිත මාධංගනී නංගී හිංදා නං සසල වෙල නෑ. හැබැයි වෙන කෙනෙක් හින්දා නං එහෙම වෙලද කියල සැකයි.."
"පිස්සු...
ඒයි... සර් පන්තියට ගියා... මම යන්නං."
"මං කිව්ව එක..."
"හරී..."

                       'ඇත්තටම මම ඔයාගෙ හොඳම යාලුවද?' කියල ලතා ඇහැව්ව එක නිකම්ම වැහිල ගිය එක හොඳයි. මං මොන උත්තරේ දෙංටද? බොරුවට හරි 'ඔව්' කියංටයි වෙන්නේ. ලතා මයෙ යාලුවෙක් බව හැබෑව. ඒ වුනාට හොඳම යාලුවා නෙවේ.

                       ලතා කතා කරන්නේ සිංදු කියනවා වාගේ. එහෙම කට හඬක් තියෙන කෙනෙක් සංගීතයට නොගිය එක නං අපරාධයක්. එයා commerce කරන්නේ. දඟකාරකම කොල්ලෙක් පරාදයි.

"No... now that committee is already dissolved. So, you may refer any questions to the present office-bearers. Since I am the president, I shall answer your questions on behalf of the other office-bearers as well." දැං ඒ ලෙවල් දෙවෙනි අවුරුද්දේ ඉන්න ගුනරත්න ඉංග්‍රීසි සමිතියේ සභාපති වුනේ කලිං රැස්වීමේදී. ඉස්සර ඉඳලම මං එයාට හරි කැමතියි. දක්ෂයි කියන්නේ... අප්පා..!  එයාගෙ අම්මයි අප්ප්...නෑ නෑ.. තාත්තයි දෙන්නම ගුරුවරු. ඉංග්‍රීසි. මහරගම පුහුණු. එව්වා මතක් වෙනකොට මං නිකම්ම ඇකිලෙනවා. මේ කොන්ඩේ බැඳල අමු රෙදි සරුවාලයක් ඇඳගෙන අවුරුදු පතා පොලොව එක්ක හැප්පෙන මයෙ අප්පච්චිගෙ හීං පුතාට මොන ඉංගිරිසිද!
"Dissolve?" ඕ ලෙවල් පංතියේ ලමයෙක් ඇහුවා, නිකං සවුත්තුවට වාගේ.
"ඔව්... Chemistry වල ඇහෙන යමක් වතුරේ හෝ වෙනත් දියරයක හෝ දිය වෙනවා කියනවට වාගෙම විසිරී යාම, අහෝසි වීම කියන අර්ථයෙනුත් ඒ වචනේ යොදනවා. මතක තියා ගංට හොඳම උදාහරණය පාර්ලිමේන්තුව." ගුනේ කිව්වා.
"Thank you."

                      මං ඉංග්‍රීසි කවි පංතියක් කියංට තියෙන වෙලාවත් ආවා. සිංහයා වාගේ කලිම්ම ඒකට එකඟ වෙල හිටියට මොකද දැන්නං කකුල් දෙකත් පණ නෑ වාගේ. දැං මාසෙයක් විතර ඕක මතක්වෙන ගානේ මයෙ ඇඟේ ලේ පිස්සුනා. හොඳ ගැඹුරු හුස්මක් එහෙම ඇන්න මං ගියා ස්ටේජ් එකට. මං ලැහැත්ති වෙල, පාඩං කර ගෙන හිටියේ අපෙ පොතේ තියෙන ජෝන් මිල්ටන් කියන කවියගෙ Paradise Lost කවි පන්තිය. ඒ කවි හරියටම රස විඳිංට මට තේරෙන්නෙ නෑ. බර වැඩී. ඒත් කවියා ගැන අපෙ සර් කිව්වම මට හරියෙට ආසා හිතුනා. ඒත් මයෙ කරුමෙට කවි කියනවට කියන ඉංග්‍රීසි වචනේ අමතක වුනේ නැතෑ. ඕන එකක් කියල මං..
"I am here to sing some poems...." කිව්වා.
"... recite.. recite." කියල හෙමිං, ගුනේ මං නිවැරදි කෙරුවා. "තව පැහැදිලි කරංට තියෙනවා. පස්සේ අහන්න."

                     "ජෝන් මිල්ටන් ඉපදුනේ 1608 දෙසැම්බර් 9 දින. මිය ගියේ 1674 නොවැම්බර් 8 දින... පොත් රාශියක් ලියා ඇති ඔහුගේ හොඳම හා ජනප්‍රියම කෘතිය වන්නේ, 1667 දී පලවූ 'The Paradise Lost.' එය කොටස් දහයකින් සමන්විත මහා කාව්‍යයක්. මම බොහොම සංවේදී  වුනේ , අවසානයේ මිල්ටන් මේ පොත පලකර ඇත්තේ අන්ධයෙකු හැටියට. කාව්‍යයේ වැඩි කොටසක් ලියා ඇත්තේත් අන්ධයෙකු හැටියට. හොඳම පොතක් ලියන්නට ඔහු බොහෝ පොත් කියෙව්වාලු. එහි ප්‍රතිපලක් හැටියටලු එයාගෙ පාරාදීසය ඔහුට අහිමි වුනේ...! කිතුනු සාහිත්‍යයේ එන, කියන දේ නෑසුව ආදම් සහ ඒවට, ඒඩ්න් උයනෙන් නොහොත් පාරාදීසයෙන් පිට වන්නට සිදුවූ ආකාරයලු මෙහි කියවෙන්නේ."

                     මේ කතන්තරෙත් තේරෙන තරමිං කියල කොහොමහරි මං කවි ටිකත්  කිව්වා. ඒ මුල්ම වතාව හිංදා මට හරි ලැජ්ජා හිතුනා. කාන්ඩේ ඉස්සරහ මං නිරුවත් වුනා වාගේ මට දැනුනේ.  මං ආපහු මයෙ පුටුවට එනකොට මයෙ කං දෙකෙං ගිංදර පිට වෙනවා. සමිතිය ඉවර වුන ගමං ගුනරත්න මට ස්ටේජ් එකට අඬගැහැව්වා.
"Sing... songs.
Recite... poems.
Deliver... speeches.
තේරුණානෙ?"  එයා මට වචන වෙං කර කර පැහැදිලිව කිව්වා.
"ඔව්.. thank you very much.."

                        මේ වෙලාවට සම්බන්ද මුල් වැරැද්ද විතරයි ගුනේ පෙන්නුවේ. ඒත් තව කීයක් තැං මාතිං වරදිංට ඇද්ද? ඒත් ඉතිං පීනංට පුරුදු වෙංට නං වතුරට බහිංටම එපායැ. කොහොම වුනත් මං ලොකු ජග්‍රහණයක් කෙරුවා වාගේ මට දැනුනේ.
"Sapu you did it, very nicely. My congratulations.!"
"Thank you Daya".

                       එහෙම දස්සකමක් ගෑවිලවත් නැතත් කතංතරයකුත් ලියංට මයෙ හිතේ ඇති වෙච්ච ආසාව ගැන හිත හිත බුදියා ගංට ගියේ. ඒත් දන්නෙම නැතුව හිත එතනිං ගැලවිල නතර වුනේ මයෙ අප්පච්චි, අම්මා, අයියා, ජිනා ලඟ.

                       මට ජිනා ගැන ආපහු දුක හිතුනා. දයාටවත් ලතාටවත් කාටවත් ජිනාට වෙච්ච අවාසනාවන්ත සිද්දිය ගැන ගානක්වත් නෑ. මට ටිකක් තරහයිත්. එක අතකට ඒ අයට දොස් කියංටත් බෑ. ජිනා මට විශේස වුනාට ඒ අයට කව්ද! සමහර විට ඒ අයටත් විශේස වෙංට තිබ්බා ජිනා මයෙම නංගී වුනානං. ඒ දෙන්නා ඇර ඉස්කෝලේ අනික් අය නං හිතාන ඉන්නේ ජිනා මයෙම නංගී කියල තමයි. කොහොම වුනත් ජිනත් එයාගෙ ඉගෙනීම නං හොඳිං කර ගන්න එක මට විස්වාසයි. ඇත්තටම එයා කවුරු වෙයිද? ලඟදී දවසක් එයා කිව්ව අර ස්ටෙතස්කෝප් කියන එකක් කරේ දාගත්ත ලස්සන තරුණ කෙල්ලක් ලඟදී මට නින්ද ගිහිං...

                                                                                                     simple "s"
2019.08.23

පින්තූර අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment