Thursday, September 5, 2019

උඩගෙදර කතා 141 (තිත්ත තිබ්බටු.)

"ගොඩයින්ට පමණයි..... තිත්ත තිබ්බුටු!"

(වැරදුනා.. වැරදුනා..., "ගොඩේ කෑම ප්‍රිය කරන අයට පමණයි. " කියල වෙනස් කර ගනිමු.)

                  අද මේ පැත්තේ එංට පුලුවං නං රස, ගොඩේ වෑංජනයක් රහ බලංට පුලුවං. මෙව්වා තිත්ත තිබ්බටු.

                  අනුරාධපුර, දඹුල්ල, මාතලේ, විල්ගමුව, මිනිපේ වාගේ වියළි  ප්‍රදේශ වල මේ ගස් සරුවට වැවෙනවා.. ඉබේ. පලදාවත් හොඳයි. ප්‍රචාරණය කුරුල්ලන්නෙං. අනික් පැතිවලත් වැවෙන්නෙ නැතුවා නෙවෙයි.

                   තිත්ත තිබ්බටු මල් නිල් පාටයි. ගෙඩි අපෙ අත් අකුරු තරං. පුංචි කිනිති (ඉති) හැටියටයි ගෙඩි තියෙන්නේ. දලුයි කොලේ යටයි සුදු පැහැයයි. කොල නැටි දඬු හැම එකේම හීනි සියුම් කටු පිරිල. කොච්චර පිරිය කෑමක් වුනත් එපා වෙන්නේ ඔන්න ඔය කටු හින්දා. ඒත් ඉතිං මිහිරි දේ කෝකටවත් කෙටි පාරවල් නෑනෙ. ගහෙං කිනිති කඩා ගන්න එකයි කිනිති වලිං ගෙඩි කඩා ගන්න එකයි කටු ඇනිඇනී අතිංම තමයි  කර ගංට වෙන්නේ. කංට හිතංටත් කලිං මං එපා කරවනවානෙ.. නේද?  නෑ නෑ ඒ තරම්ම රිදෙන්නෙනෑ.

                  සුදු පාට මල් තියෙන වර්ගෙට පොදුවේ තිබ්බටු කියන්නේ. ඇත්තටම ඒකත් තිබ්බුටු! අරවට වැඩිය කොල, ගෙඩි, කටු එහෙම ටිකක් ලොකුයි.  ගම් පැත්තේ රට තිබ්බුටු කියනවා. ඇයි කියංට දන්නෑ.

                 තිත්ත තිබ්බුටු කිනිති ගහෙං කඩනවට වැඩිය කතුරකිං කපල ගන්න එක ලේසියි. ඊට පස්සේ කිනිත්තෙන් ගෙඩි කඩන එක නං අතිංම තමයි. හෙට කන්තෝරු යනවා නං ඇඟිලි තුඩුයි නියපොතුයි ආකර්ෂණීයව තියා ගංට ඕනෑ නං මේ වැඩේ සෙනසුරාදාවකට තියා ගංට. මොකද මෙව්වායේ හරියට කහට. ඒක අරිංට රෙදි කීපයක් අතිං හෝදංටම වෙනවා. හැබැයි ගෙඩි කඩල වැඩි දවසක් තියංට එපා.. රස අඩු වෙනවා.

                ඉස්සර නං ඔහොම ඔහොම ගෙඩි කඩල වෙං කරගෙන කොරහට දාල "උඳුමතේ" කියල තිබ්බ එකෙං හැම ගෙඩියක්ම තැලෙංට ගා ගත්තා. දැං කිරිපිටි මල්ලක් වාගේ මොක්කට හරි ටික ටික දාල ටිකක් ලොකු ගල් ගෙඩියකිං තලල ගංට පුලුවං. ඊට පස්සේ පෙන ගතිය එක්කම තියෙන තිත්ත අඩු වෙනකල් හෝදනවා. ඇට අහක දාන්නෙ නෑ. මෙතනදී පුංචි රහසක් කියන්නං... මිරිස් තුන පහ කහ අමු මිරිස් ලූනු ලුනු එක්ක කරපිංචා කොල හරිහේ දාංට. අප්පච්චි නංං කියල දුන්නෙ 'හරි හරියට' කියල. එච්චරම නැතත් තරමකටවත් දාංට. (ඒ කරපිංචා එක්කම කනකොට තිත්ත නෑ, රහ වැඩී.) කොස් ඇට තියනවානං තීරු තීරු ලියල වතුර ඩිංගක් එක්ක කලිං තැම්බෙංට තියංට. පිළිහුඩු කන ඇත්තංට හාල් මැස්සං එක්කර ගංටත් පුලුවං. දැං ඔයෙ ඔක්කොම හොඳට තැම්බිල වේලෙංට ඉදුනම අබ ටිකකුත් පුපුරවල වැඩිපුර තෙල් ටිකක් දාල ගනිමු. තිත්ත තිබ්බටු ඉයංට පුලුවං වෙන විදිහක් නං නෑ මයෙ හිතේ.

                   වද විඳගෙනවත් එක දවසක් හදල ගංටකො. කොහොමද බලංට...!

                   තිත්ත තිබ්බටු හීං ඇත්තන්නේ පණු අමාරුවට ගුණයිලු. ඒ වාගෙම කාගෙත් පපුවටත් බොහොම ගුණයිලු. ඒ කියන්නේ හෘදය වස්තුවට වෙංට ඇති.. අන්න ඒක පරිස්සං කර ගංට එපායැ දෙයියො...

                                                                                         simple"s"
2019.04.16

No comments:

Post a Comment