Thursday, September 5, 2019

උඩගෙදර කතා 142 (ලිං කටෙං වැටුන එකා 28)

ලිං කටෙං වැටුන එකා   28.

"අලුත් අවුරුද්දේ  පරණ අමනාපකම් නැති කර ගන්න කියලානේ කියන්නේ සපූ..."
"එහෙමයි... ඒත් අප්පච්චිලා මේ තොරතුර ඇහැව්වම අලුතෙන් අමනාපයක් ඇති කර ගනියි අපෙ මහත්තයා. මං අප්පච්චිට ඇවිත් අපෙ මහත්තයා මුණගැහෙංට කියන්නං... "
"සේසිරි කරපු දේ හරිද නැද්ද කියන්ට මට බෑ. ඒත් මව්පියන්ගෙ හිත් රිදවන්නේ නැතිව ඕවා කෙරුනා නම් තමා හොඳ."

                   මෙව්වේ හොඳ නරක කියංට මට නං තේරෙන්නෙ නෑ. ඒ පැහිච්චකං මං කරංට ඕනැන්නෙත් නෑ. තරමක වෙලාවක් අපෙ මහත්තයා එක්ක කතා කරල බුලත් හුරුල්ලත් දීල වැඳල මං ගෙදර ආවා. අප්පච්චිට කියංට කියල අයියා දෙවෙනි මහත්තයට කතංතරේ කියල. 'පියෝති අක්කා' දරුවෙක් ඉන්න කෙනෙක් කියල නං කියල නෑ මයෙ හිතේ. මාත් කිසි දෙයක් කලිං දන්නෙ නැති විදියට අහගෙන හිටියා. එහෙම බොරු කරන එක බොහොම අපහසුවක්. ඒ කතංතරේ වටේ බොරු කීයක් නං ගොතංට අපිට සිද්ද වුනාද... තවම ඉවරයක් වෙලද.. නෑ. එක්කෙනෙක් කිව්ව දේකට වෙනස් දෙයක් අනිත් එක්කෙනා අතිං කියවෙයි කියල එහෙං පරිස්සං වෙංට ඕනෑ... වැරැදක් කෙරුවත් අයියා සුද්ද කරංට මෙහෙං මහංසි වෙංට ඕනෑ.

                   අයියා අවුරුදු දවසයි තව දවසකුයි විතරයි ගෙදර හිටියේ. ඒ ගැන මිනිසු අහන එව්වට උත්තර දෙංට නං ටිකක් අමාරු වුනා. "ඔන්න ඔයෙ සංස්කරණ සම්මේලනද මොනොවාදෝ රැස්වීං ජාතියක් තියෙනවා කියල ගියා ඕං. අනේ කව්දෑ ඔව්වා දන්නේ." හුඟ දෙනෙකුට උත්තර දුන්නේ එහෙම. වැඩි විස්තර ඕනැන්නෙ නැති අයට "වැඩ වගෙයක් තියෙනවා කියල ගියා ඕං." වාගේ කෙටි උත්තර දුන්නා. අයියා හිටිය දවසේ දෙකෙත් කිසි දෙයක් දන්නෙ නැති හැටියට එයාට පෙන්නංට ලොකු මහංසියක් වුනා.

                    ඔය කොව්වා කොහොම වුනත් අයියා ගෙදර ආපු එක ගැන මට නං තිබ්බේ තංතෝසයක්. එක වෙලාවක අප්පච්චිට තරහ ගිය පාර "ඒකට අවුරුදු නෙවෙයි, හාමුදුරුවරු පස් නමක් වඩම්මල සාංගීක කොරල දානේ ටිකක් දෙංට ලෑස්ති කොරපං.." කියල අම්මට සැරකරපු හැටියට මෙහෙම තැම්පත් වෙච්ච එක ලොකු දෙයක්. අනික, ගම පුරා හොඳ දේම ආරංචි වෙන හැටියට ඇයි දෙයියනේ අපෙ ගෙදර විතරක් අඳුරු වුනේ... අයියා ආවයිං ඒක ටිකක්වත් මගෑරුනා කියල මට හිතෙනවා.

                   පෑලිස් අයියයි ඩිංගිරි අක්කයි ආ වෙලාවේ අපෙ අම්මා හරියෙට සතුටු වුනා.  මූණ අතපය අතගගා අපෙ අම්මා ඩිගිරි අක්කට කතා කෙරුවේ.
"කකුල නං ඩිංගක් පුරුවා දාල වාගේ.. "
"ඔව්... ඩිංගක් පිටිහල් වෙල තමයි. මේ දවස් ටිකේ වැඩක් කෙරුවෙම නෑනේ අම්මා."
"ඕක හැටි.. ඇරිල යයි. දරුවා ගංට ලේසි වෙංට ඩිංගක් ඇඟ මාංසි වෙංට ඕනෑ තමයි. ඒකට කියල මහ වැඩ එහෙම කරංට එපා."
"මහ වැඩ තියා කොයි දේ කරංටවත් පෑලිස් අයියා ඉඩ දෙන එකක්යැයි. කැලේ තියෙන තරං හිඹුටුයි පේරයි එක එක එව්වා හොයාන එනවා. පොඩි වැඩක්වත් කරංට දෙන්නෑ."
"දුව මේ දවස්වල පොලොස්, කිරිමෝර කරෝල, කරවිල එහෙම හොඳට කංට ඕනෑ. අනේ අපෙ ගං පලාත් ඔලනං ඔය දරුවෙකුට තනකිරි නැතිවුනා කියල අහංට වෙන්නෙ නෑ. ඒකට මොකද එව්වා ගන්න එක හොඳක් විනා වැරැද්දක් නෑනේ. තව ඔය කිරි තියෙන පලා ජාතිත් බොහොම හොඳයි. කංකුං, දිඹුල් දළු එහෙම. පලා ජාති කොයි එකත් ගුණයි."
                  
                    තමන්නේ අම්මා කිසි දෙයක් කියල දීල නෑ වාගේ බෙල්ල පාත් කරගෙන අම්මා කියන ඔක්කොම ඩිංගිරී අක්කා අහගෙන ඉන්නවා. ඒ අතරේ එයාගෙ නෑනා ඩිංගත් පාත් වුනා... ජිනාදරී...
"මං ගෙදර ගියා. එහෙ කවුරුවත් නැති හිංදා ආපහු එනකොට මැද්දස්සී අක්කා කිව්වා මෙහෙ ආවා කියල.. "
"වුවමනාවකටද.. නිකං නේද?"
"ඔව්.. නිකං. කෑම ජාති, මේ දොලදුක් කෑම ජාති මොනවද ලැබිල තියෙන්නේ කියල බලංට ආවේ.."
"අපෙ නංගී.... කට..!"
"මයෙ දුවට ඕනෑ වෙන කාලෙට මං හදල දෙන්නංකොයි..." අපෙ අම්මා කිව්වා. "හැබැයි ඉතිං මේ ගමේම හිටියොත්."
"ඩිංගිරි අක්කයි අම්මයි මොනවද ඔච්චර කතා කෙරුවේ? දැං එයි දැං එයි කියල මං ඩිංගක් බලානත් ඉඳල ආවේ."
"කිරිතැනෙංට කංට ඕනෑ දේ කියල දුන්නා ඕං. එව්වා හොයල දෙංට හීං නෑනත් උදව් කරංට වෙයි."
"හ්ම්.... උන්දෑ කරන උදව්." ඩිංගිරී එහෙම කිව්වේ නෑනංඩියගෙ අතකිං අල්ලා ගන්න ගමං! ඩිංගිරී තමන්නෙම නංගිට වාගේ ඒකිටත් ආදරේ. අපරාදේ කියංට බෑ... ජිනාදරිත් ඒ වාගේමයි. ඔය පැනගෙන එන්නෙත් ගේයි මිදුලයි අතුගාල දීල රෙදි කෑල්ලක්වත් හෝදල දීල යංට. අම්මා මොකවත් එක්කට කෑ ගැහැව්වත් පැනගෙන එන්නේ නෑනංඩි හොයාගෙන.
"සපූ... සපු අයියා." අම්මලා ගාවා තව විනාඩියක් කතා කර කර ඉඳල ජිනා මං දිහාට ආවා. "සපු අයියා කැංගරුවට කකුල් දෙකයිද හතරයිද?. එක ගානක ඒක ගැටලුවක්  වුනා..."
"ඒක නං මටත් පැටලිලියි... දෙවෙනි මහත්තයගෙං අහංට ආයෙ ගියාම... "
"අද මං බුද්දිපරීක්සන ගනං හදංට නෙවෙයි ආවේ. අයියා බලල යංට. ඊයේ අපි පංසල් ගියා."
"ඉතිං...?"
"ඉතිං මට අයියා සිහි වුනා..."
"ඒ ඇයි... හා.. හරිනේ..ආලවක යකාගෙ රූපේ දැක්කා නේද?"
"ප්..පලයං යංට....
පිං දෙනකොට මට මතක් වුනා.. තුනුරුවන්නේ සරණිං අය්යට හැම දේම හොඳට සිද්ද වෙංට ඕනෑ කියල." මං ජිනාගෙ ඇස් දෙක දිහා බලාන ඉන්නකොට එයාම තව ටිකක් කිව්වා.. "අයියට පිං දෙංටවත් පව් දෙංටවත් මං වාගේ නංගියෙක් නෑ නේද" කියල මට මතක් වුනා.
"ඉතිං ඒකනෙ නංගී ඉන්නේ... මං කියන්නේ උඹ... උඹ..!" මයෙ හිතට දැනුනේ කාලේකිං කොංඩේ කපල පල්ලෙහා කුඹුරේ ඇවිදිනකොට හීං හුළඟට කන වටේ දැනෙන ගතිය වාගේ. ඇත්තටම මයෙ නංගී ජීවත්ව හිටියා නං...
"මං මෙතන හුටු හුටු ගගා හිටියොත් මටත් මෙහෙ අම්මගෙං අහ ගංට තියෙන එකක් මගෑරෙනවා..."
"ඒ මොකද්ද?"
"මට කිරි එරෙන්ට මොනවද කංට හොඳ කියල.. "
"හ්ම්.. පලැං පලැං.. ගිහිං අහපං. අයෙ උඹ මේ පැත්ත පලාතේ පස් පාගංට නෙවෙයි ඔයෙ... "
"ඇයි.. "
"ඇයි... ? ආ... ඔය කුනුහරුප උන්දැලාටත් කියල, අනේ මයෙ කොල්ලා හදාගංට බැරුවෙයි මේ එකියක් මෙහෙ ආවොත්" කියල හිතයි.
"හා.... ඒක කොහොමද කුනුහරපයක් වෙන්නේ? ඔන්න මං ඇහැව්වේ සපූ අයියට කිරි තැනෙංට හොඳ කෑම ගැන නං... අන්න ඒක කුනුහරපයක්. අනේ උඹයි මායි දන්න කුනුහරුප ...!"
"හ්ම්... ඒක නං ඇත්ත..."
"ඇත්තටම මං අර පැත්තට යන්නං.."

                     පෑලිස්ලට එදා දාවලේ කෑම සුදු මල්ලිලෑ ගෙදරිං... රෑට රණාලෑ ගෙදරිං.  යාලු කාන්ඩේගෙං තව ඉතුරු වෙල ඉන්නේ පෑලිසුයි තව එකෙකුයි විතරයි. හෙට ඒ ගෙවල් දෙකත් ඉවර වෙනවා.

                     පාරේ වැඩටයි ඉලංදාරි ටිකටයි පිං සිද්ද වෙංට හැම එකාම පුලුවං තරමට ගෙවල් දෙකක් ඉයන ගෙයක් කක්කුස්සියක් හදා ගත්තා. ඔය ගෙවල් කියල කියන්නේ කාමර කියන එකට. කක්කුස්සි ලෑල්ලයි රුපියල් දෙකයි පනහකුයි සැන්ටිබෝට් මහත්තයා ආදාර හැටියට දුන්නා. ඒ ගැන සිනිමාවකුත් ඉස්කෝලේ පෙන්නුවා. මේ ඔක්කොමත් හරි එකට ඉන්න ඉලංදාරි ඔක්කොම ගෑණුත් ගෙනාවා. උං ඔක්කොම හිනාවෙල ඉන්නවා.

                      බබෙක් හම්බුවෙංට ඉන්නකොට ගෙවල් එහෙම හදංට පටං ගංට හොඳ නැල්ලු. පෑලිස් මෙව්වා මායිං කෙරුවේ නෑ. ඒත් ලැබෙංට ඉන්න එකාටයි හොඳ නැත්තේ කිව්වම පාස් වෙච්ච දුංකල බාන් එකත් හදන එකට පෑලිස් පස්ස ගැහැව්වා. එනාවුරුද්දේ බැරියැයි. ඒත් ටැට්ටරේ ගන්න එක නං කෙරෙනවා. එලවලු කිරන එකත් පටං ගත්තා. දැනට නන්දුවගෙ තවලමෙං සංදෙට ඇන්න ගිහිං තොග මුදලාලිලට දෙනවා. මුලිං සැරයක් දෙකක් මහ ලාබයක් තිබ්බෙ නෑ. බඩු විකුණල සල්ලි දෙන හිංදා  මිනිසුංට බොරුව කෙරුවානං එහෙම නොවෙංට තිබ්බා. ඒත් පෑලිස්ට ඒකට හිත හදා ගංට බෑ. එහෙම සල්ලි හදාගෙන යන දාක ඇන්න යංටයැයි. දෙවෙනි මහත්තයා කියල දුන්නෙත් එක පාරම රටක් රාජ්ජයක් අල්ලංට බෑ.... ඉවසීමෙං බලංට කියල.

                       මම දවසක් ජිනාට පාඩමක් කරවල ගෙදර එනකොට එදත් අප්පච්චී නිකට අතට බර කරගෙන කල්පනා කරනවා. මං අපෙ අම්මගෙං ඇහැව්වා.
"අදත් ලොකු මහත්තයා පනිවිඩයක් එවල තිබිල ගිහිං ආවේ ඔය. එනවාරේ පටං ගත්තම කලුංතැන්නෙං අස්වීං සහතිකේ ගන්නවලු. වෙසක් ඉවර වෙනකොටම අලුත් ඉස්කෝලෙට යනවා කියනවා. එහෙ බොඩිමේ නතර වෙංට ගේංට ඕනෑ දේවල් ලැස්තුවකුත් දීල. " අපෙ අම්මා අන්තිම ටික කිව්වේ කඳුළු පිහ පිහ. ඇත්තටම මටත් ඇඬුනා.

                        ඇඳුං, පොරවන රෙදි වාගේ එව්වා වාගෙම ලී කට්ටා සපත්තු දෙකක්, බාදියක්, වීදුරුවක්, පිඟානක් එහෙමත් ගේංට කියල. ඇයි.. දත් බෙහෙත් ටියුබ් එකක් දත් බුරුසුවක්... !  අනේ අඟුරු කෑල්ලක් හපල උදේ දත් ටික මැද ගත්ත මං...!
        
                                                                                                     simple"s"
2019.04.19

පින්තූරය අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment