Thursday, September 5, 2019

උඩගෙදර කතා 159 (ලිං කටෙං වැටූන එකා 39)

ලිං කටෙං වැටුන එකා   39

"නෑ නෑ.....බ්‍රහ්ම දණ්ඩය නෙවෙයි... බ්‍රහ්ම දන්ඩනය. දන්ඩනය... දඬුවම. ඉතිං මොකද්ද වුනේ කියංටකො."
"ඔව්. ඔන්න ඔය මොන දන්ඩද  මං දන්නෑ. ඒකට තමයි 'බෝයි කට්' කරනවා කියන්නේ. එක්කෙනෙක්වත් කතා කරන්නෙ නෑ. දයා කතා කෙරුවා, හොරෙං හොරෙං. එයාටත් ගොහොරි කරයි කියල එයා බයයිනෙ. දවසක්වත් එහෙම කවුරුවත් කතා කරන්නෙ නැතුව තියෙද්දී කාටවත් කතා කරංටත් නැතුව ඉංට හරි අමාරුයි නංගී. ඒක හරිම දරුණු දඬුවමක්.."
"මං අහන්නේ මොකක්ද වුනේ.?"
"ඒ සරච්චන්ද්‍ර මට කම්මුලට ගැහැව්වා. කනටත් එක්ක වදිංට. කන ඇතුලත් මොකද්දෝ වුනා. මට හරියට රිදුනා. මට ඇඬුනා.. මං ඩෝම් එකෙං එලියට ගිහිං ඉන්නකොට සර් කෙනෙක් එතනිං යංට ආවා. මං අඬනවත් දැකල. ඇයි ඇහුවම මට කියංට සිද්ද වුනා සරච්චන්ද්‍ර ගැහැව්වා කියල.
"ඉතිං අයියගෙ වැරැද්දක්යැයි."
"ඒ වුනාට උං කියන්නේ.. සර්ලට අහු වෙංට මං එතන අඬ අඬ හිටියා කියලනේ. සර්  සරච්චන්ද්‍රට පනිෂ් කරා නංගී."
"මොකක් කරා?"
"Punish කරා කියන්නේ දඬුවම් කරා. Public cane කරා. ඒ කියන්නෙ ඔක්කොම ඉස්සරහ වේවැල් පාර දුන්නා.  මංම ගිහිං සර්ලට කියංට තරං තරහක් මට හිතේ තිබ්බේ නං. කොහෙද ඒත් බයයිනෙ. දැං ඔය වෙච්ච ටිකටත් එන වාරෙත් එයා මයෙං පලි ගනියි."
"චිහ්... "
"ඒ විතරක් නෙවේ නංගී, නිවාඩු දුන්න දවසේ උදේම එපා කරපු තිරිසං වැඩක් කෙරුවා.  මේ සැරේ මට 'stage report' නෙ. ඒ කියන්නේ පංති වල පළවෙනි දෙවෙනි තුං වෙනි අයට assembly එකේදී ප්‍රින්සිපල් සර් අතිං ප්‍රගති වාර්තා දුන්නේ. හැම වාරෙම එහෙමලු. මං තුං වෙනියා. ඉතිං මයෙ නම කියනවත් එක්කම මේ අය මට පල් එකට සද්ද කරංට පටං ගත්තා. ප්‍රින්සිපල් සර් ඉන්නවා කියලවත් නොබලම. අන්තිමේ, ඔක්කොම අස් කරනවා කියල සැර දාල තමයි නවත්තා ගත්තේ."
"ඉතිං කෑ ගහන්නේ කව්ද කියල පේනවානෙ."
"නෑ නංගී.. ඒ ගොල්ලෝ විදිහක් හදාගෙන ඉන්නවා.. කට හොඳට වහගෙන 'හ්ම්ම්ම්.....' කියංට. කව්ද කියල යකෙකුට හොයංට බෑ. මං ඉතිං ඒ මැද්දෙම ගිහිං රිපෝට් බුක් එක ගත්තා. ඒ වුනාට මට හරියට ලැජ්ජා හිතුනා. ආයෙ කවදාවත් එක දෙක තුන වෙංට එපා කියල හිතා ගත්තා."
"අනේ අයියා එහෙම කරංට එපා.. "
"සරත්චන්ද්‍රලගෙ පංතියේ ඉන්න ඩේ ස්කොලර් කෙනෙක් පහුවදා මට කිව්වා..අසෙම්බ්ලි එක ඉවර වෙනකොටම සරච්චන්ද්‍රට ඔෆිස් එකට එංට කියල ප්‍රිංසිපල්ගෙං පනිවිඩයක් ආවලු. එයා ආපහු ආවේ මූණ නරක් කරගෙනලු."
"දැං ඉතිං නිවාඩු කාලේ ඕක අමතක කරලා ඉංට ඕන .. හරිද? අයියා ... මං මේ වාරෙත් පලවෙනියා."
"හොඳයි නංගී. .."
"අයියා.. දන්නවද.. එන වාරේ ඉඳල මාත් නුවර. අපෙ අයියා අඳුරන මුදලාලී කෙනෙක්ගෙ උදව්වෙං මොකක්දෝ ඉංග්‍රීසි නමක් තියෙන ගෑණු ලමයින්නේ ඉස්කෝලේකට."
"නම නං මට නැතුවට කමක් නෑ. මට සංතෝසේ කියල නිම කරංට බෑ නංගී. "
"ජනවාරි මාසේ ඉඳලම ගන්නං කියල. බෝඩිමේ නවතිංටත් පුලුවං කිව්වලු. නිවාඩු කාලේ වැඩ ගොඩාක් කර ගංට තියෙනවා කියල අයියා කිව්වා.
"ඒක හොඳයි... අලුත් පංතියේ පාඩං මඟ ඇරෙන්නෙ නෑනේ."
"මාත් ඒකට කැමතියි. ඒත් අයියා... ගෙදර දාල යංට දුකයි, අලුත් තැනට මට හරි බයයිත්. මට ඔලුවේ කැක්කුම හැදිල ඉන්නේ. අපෙ දෙවෙනි මහත්තයා කියල ලොකුමහත්තයගෙං යස ලියමනක් ලැබුනා. ඒකයි අර මුදලාලිගෙ වචනෙයි එක්ක තමයි ඕක කෙරුනේ. කොහොමවත් එන වාරේ සතියක් හමාරක් යනකොට යංට පුලුවං වෙයි. එහෙ ගිහිං මට කර ගංට පුලුවං වෙයි නේද සපූ..."
"අපෝ... ඇයි නංගිට බැරි වෙන්නේ. මං දයාගෙ ඇඩ්‍රස් එක ඉල්ලගෙන ආවේ. එයාටත් කියල යවංට ඕනෑ. එයත් සතුටු වෙයි."
"රට පුරා මයෙ ගැන පූජිත කරල නේද?"
"දයා වාගෙම එයාගෙ නංගී, මාදිත් සන්තෝස වෙයි."
"මාදි...?"
"ඔව් .. මාධංගනී."
"එයාගෙ නම මාධංගනීද? ලස්සනයි නේද?"
"නම වාගෙම මාධංගනිත් හරි ලස්සනයි නංගී."
"ම්ම්.. කොච්චර විතර ලස්සනයිද?"
"ජිනා නංගිට ටිකක් අඩුවෙං..... මේං මෙච්චර.." මං අත් දෙක දෙපැත්තට දිගෑරල පෙන්නුවා... එහ්... පෙන්නුවා තමයි...
"ඒයිඒයිමගෙතොලේමීහරකාමීමින්නාකැරපොත්තාපාංකඩයා."
"ඒයි තොලේ පිපිරිල... දැං මොකද කරන්නේ?"
"මං දන්නෑ.... එදා ඇඟිල්ල තැලුව දවසේ ඒ ඇඟිල්ල කටේ දාල ඉරුවේ.. අන්න ඒක..."
"දුවපිය යංට..."
"එහෙනං මම මෙහෙ අම්මටත් කියනවා උඹ .... "

                                   *                                  *                                   *

                    මයෙ අයියගෙ ලියුම ලැබුනේ අප්පච්චි හොඳ හිනාවෙං හිටිය වෙලාවක. එදා  හිනාවත් ඉවරයි, මයෙ නිවාඩු කාලෙම හිනාවත් ඉවරයි තමයි කියල මං හිතුවේ. ලබන සුමානේ අයියා ගෙදර එනවලු... පියෝති අක්කයි ඒ දුවයි එක්ක. මයෙ නං ලොකු ආසාවක් තිබ්බා ඒ අක්කයි දුවයි බලා ගංට. ලියුම බලල අප්පච්චි එදා වචනයක් කිව්වෙ නෑ. පුරුදු විදිහට අප්පච්චිගෙ වියල් ඇඳේ කොනක වාඩි වෙල අල්ලට නිකට බර කරගෙන කල්පනා කර කර හිටියා මං දැක්කා.
"අල ලූනු ටිකක් සාඩිං ටිං එකක් සමාගං කඩෙං ගනිමු. අල තම්බල කිරි දාල ඉයමු. සාඩිං තක්කාලි එක්ක තෙලට දාමු.... " පහුවදා උදේ අප්පච්චි අපෙ අම්මට එක දිගට  කියනවා ඇහුනා. "වැලිතලපවත් මොකවත් ටිකකුත් හදල තියංට වෙයි. හීං එකෙකුත් එනවානෙ."
"ආ දා පහුවදාම යනවා කියල තියෙනවද?"
"නෑ නෑ දවසක් දෙකක් ඉඳල යයි."
"එහෙනං දවස් දෙක්කට තුනකට ඕනෑ දේවල් හිතා ගංට වෙයි නේද?"
"බටු මෑකරල් තක්කාලි වාගේ එලවලු ගංට පුලුවං තුං පෑලේ වෙලෙං. බාගදාට  පෑලිස්ගෙ වත්තෙත් ඇති. කරෝල හාල්මැස්සෝ සමාගං කඩේ තියෙනවා. නැත්තං අනිද්දා, ඉරිදා, සන්දෙට ගිහිං ඇන්න එංටත් පුලුවං. කොල ජාතිත් හොයා ගංට තියෙනවා. "

                     අපෙඅම්මත් හරියෙට සතුටෙං අහගෙන ඉන්නවා. ඒ ප්‍රස්නෙත් මෙහෙම විසඳිච්ච එක ලොකු දෙයක්. ඕකනේ කියන්නේ දරුවෙකුට අම්මෙක් අප්පෙක් විසික්කා කරංට පුලුවං වුනාට, අම්මෙකුට අප්පෙකුට... තමන්නේ දරුවෙකුට එහෙම කරංට බෑ කියල. අයියා තව ලිව්ව ලිපි තියෙනවා නං එව්වත් ඇන්න එයිද දන්නෑ. සේරංකඩ පැත්තේ වටපිට ගැන ලියල තියෙයිද, අපෙ ගම ගැනම ලියල තියෙයිද? අයියලා එනකල් මට හදිස්සියි.

                       අයියලා හිටිය දවස් කීපේ ගෙදර පිරිල. හිනාව, කතාව, අයියගෙ යාලුවෝ, අපෙ අම්මා දවස පුරා හදන කෑම බීම.... පියෝති අක්කයි සාමා දුවයි ගෙදර එහෙ මෙහෙ වෙන එක මට හරි අලුත්. මයෙ නංගී හිටියා නං එහෙම නොවෙංට තිබ්බා.
"පුතේ.. මේ ඉන්නේ බාප්පා. වඳිංට... "  අයියලා ගෙට ඇතුලු වුන ගමං, අප්පච්චිට අපෙඅම්මට වන්දවන ගමං සාමා දුවට එහෙම කියනකොට මට ලැජ්ජහත් එක්ක. බාප්පා...! කොහොම වුනත් ඒ දුව ලෝබ නැතුව වඳිංට දන්නවා. මං පියෝති අක්කට වඳිනකොට එයා මයෙ ඔලුව අතගාල මං තුරුළු කර ගත්තා. අයියා කියල දීල වාගේ එයත් මට කිව්වේ අපෙ මල්ලී කියල. අපෙ අම්මා, අපෙ මාමන්ඩි ...... අපෙ අම්මලාටත් කිව්වේ එහෙම. ඇඳුං මාරු කරල තේ වතුර බීල ඉවර වුන ගමංම පියෝති අක්කා අපෙඅම්මා එක්ක කතාව පටං ගත්තේ. ඒ අතරේ, අපෙඅම්මා කරන මොකක් හරි වැඩේටත් උදව් කර කර. මොනවාදෑ කටකමසෙයියාවක් නැතුව එච්චර කියෙව්වේ කියල අපෙඅම්මා පස්සේ කියයි.

                       මට හිතුනේ සාමා දුවට අවුරුදු දහයක් විතර ඇති කියල. ඒ වුනාට ඉස්කෝලෙට බාර දීල තියෙන්නෙත් මේ අවුරුද්දේ. උසයි මහතයි. ඒත් තවම හරි තොඳොලේ. පව්!
"බාප්පා එංටකෝ සෙල්ලං කරන්ට.." හැම වෙලේම කියන්නේ ඕක තමයි.
"මයෙ දුව බාප්පා පුංචි ලමයෙක් නෙවෙයි පොඩි එක්කෙනෙක් එක්ක සෙල්ලම් කරංට." පියෝති අක්කා කියන්නේ බොහොම නිවුන විදියට. දුවවත් අයියාවත් මොන දේ කිව්වත් කෙරුවත් පියෝති අක්කා කිසි කලබයක් වෙන්නෙ නෑ. දුව කියන කරන කොයි දේත් හරි හුරතල්. අප්පච්චියි අපෙ අම්මයි ඒ දිහා බලා ගෙනමයි.
"මයෙ නැති වෙච්ච දුව මතක් වෙනවා ඇති පුතාලෑ අප්පච්චිට.. ඒකයි ඔච්චර ගිලිංට හිතිල ඉන්නේ. "
"ඒක තමයි අපෙ අම්මා... අනික නංගී නැති වුනාට පස්සේ ගෙදර ගෑනු ලමයෙක් ගැවසෙන්ටම නැතිව ඇති නේද.. නංගී නැති වෙනකොට වයස කීයක් විතර ඇතිද අපෙ අම්මා?"
"අවුරුදු තුනටත් අඩුයි දුව.. හරියට වචනවත් කිව්වේ නෑ..."
"අපි හෙට දිහාට කුරහං තලප හැඳිගාමුද අපෙ අම්මා. මහත්තයා කියනවා අපෙඅම්මා හදන පරිප්පු ආනම ගැන..." පියෝති අක්කා නංගී ගැන කතාව වෙනස් කෙරුවේ අපෙඅම්මට ඇඬෙංට ආව හිංදා කියල මට හිතුනා.

                       කොහොම වුනත් පහුවදා තලප හැදුවා. වෙනදා වාගේ රෑට නෙවෙයි. දවල්‍ට. පරිප්පු ආනමුත් හැදුවා. පරන ටිං එක්ක අහුරල හොඳට පියාන වහල අයියලා ඇන්න ආව දඩ මස් හොද්දකුත් හැදුවා. අපච්චි කොහෙංදෝ හොයාන ආව වට්ටක්කා දලු මැල්ලුමත් හැදුවා. දඩ මස් නැතත්, වට්ටක්කා දලු මැල්ලුමයි පරිප්පු ආනමයි එක්ක තලප ගිලිංට බැරියැයි අප්පල්ලෙයක්ම! ඒත්, සාමා දුවටයි මටයි අපෙඅම්මා බතුත් ඉයල තිබ්බා. මේ අරුවා මෙව්වා හිංදා ගෙදර මඟුල් ගෙයක් වාගේ. අයියා පුදුම සන්තෝසේකිං. හරියටම පියෝති අක්කා බලංට ජිනත් ආවේ එදා. අපෙ අම්මා ජිනත් තියා ගත්තා දඩමස් එක්ක තලප කංට. ජිනා මාත් එක්ක වැඩිය කතාවට ආවේ නෑ. දුව කරන හුරතලේකට මයෙ මුණ දිහා බලනවා විතරයි. ආයෙ ආව දවසක මල්ල ලිහා ගනියි.   
"දුවගෙ නම මොකද්ද?"
"සාමා. ති."
"ඈ..?"
"ඇහෙන්නැත්තං අක්කත් සාමා කියන්ටකෝ.."
"බෑ බෑ.. සාමාවතී කියනකොටනෙ ලස්සන."
"ඇත්ත.. ද?"

                        පියවතී අක්කා බලංට ගමේ බවලත් ඇත්තෝ ගොඩක් ආවා. ඒ හැම එක්කෙනාම ආපහු ගියේ අක්කයි දුවයි ගැන පැහැදිල. ඩිංගිරී අක්කත් පොඩ් දෙන්නයි පෑලිස් අයියයි එක්ක ආවා. ඉස්සිස්සර වෙලම වෙංට ඇති පිට ගෙදරකට හීං උන් දෙන්නා එක්කොන්න ගියේ. එක වාගේ ලමයි දෙන්නෙක් දැකල සාමා දුවට සන්තෝසේ උහුලා ගංට බැරුව.. ඒ විතරක් නෙවෙයි.... උං දෙන්නා දැකල මටත් පිස්සු වාගේ. දැන්නං හැබෑම මල් දෙකක්ම තමයි.

                                                                                            simple"s"
2019.07.05

No comments:

Post a Comment