Thursday, September 5, 2019

උඩගෙදර කතා 161 (ලිං කටෙං වැටුන එකා 41.)

ලිං කටෙං වැටුන එකා   41.

"අපෙ අයියා අද කිව්වා එන වාරේ පටං ගෙන සුමානේකිං අලුත් ඉස්කෝලෙට යනවා කියල."
"හැබෑද.... හරි සන්තෝසයි නංගී. ලෑස්ති කර ගංට තියෙන දේවල් එහෙම ගොඩයි. ලැයිස්තුවක් දීලද දන්නෙ නෑ.."
"දීල තිබ්බා... ඔව් ගොඩයි. මහ ගොඩයි. ළමා නිවාසෙටත් එක්කනේ.. "
"මොකේට? ලමා නිවාසෙට නෙවෙයි නංගී... ශිෂ්‍ය නිවාසෙට. ශිෂ්‍ය නිවාසෙට...."
"ඒත් අයියා... ටිකක් හුරු වෙනකල් අපෙ අයියා දන්න ගෙදරක නැවතිලා පස්සේ ඔය ශිෂ්‍ය නිවාසේ නවතිනවද කියල ඉස්සර වෙල කතා වුනේ. ඒත් ඒ තැනක ඉඳල ඉස්කෝලෙට යන එන එක ගැන හිතල, ශිෂ්‍ය නිවාසෙම නතර වෙංට තීන්දු කෙරුවේ."
"පුංචි අපහසු කම් ටිකක් තිබ්බත් එක සැරේම hostel එකේම නතර වෙන එක හොඳයි කියල මටත් හිතෙනවා.. බස්වල ගිහින් ඉස්කෝලේ, ඉන්න ගෙදර එහෙම හොයා ගංටත් ලේසියක් නෑ. අනික ඉතිං කොල්ලන්ගෙං... "
"අම්මෝ... ඔන්න අපෙ අම්මත් බය වෙල. නුවර යන එක ගැන අපෙ අයියා කිව්ව වෙලාවේ ඉඳල බන බන..... කෙලවරක් නෑ. මං දැං හීං එකියක් නෙවෙයිලු. ඉස්සර වාගේ කොල්ලෝ එක්ක ඇයි හොඳයි වැඩිය හොඳ නැල්ලු. නන්නාදුනන පැති වලදී බොහොම පරිස්සං වෙංට ඕනැලු."
"ඉතිං නංගී කිව්වේ නැද්ද ගෑණු ළමයි විතරක් ඉන්න ඉස්කෝලේකට යන්නේ කියල?"
"ජිනා ... ජිනා...
මොනවද නංගී කල්පනා කරන්නේ...?"
"මේ... ගෑණු ඉස්කෝල කිව්වම අර උම්මාද චිත්‍රට වුන දේ වාගේ වෙනවද... කොල්ලෙක් දිහා බලංටවත් දෙන්නෙ නැති වෙයිද?"
"නෑ... බය වෙංට එපා... දීග ගාමිණී කෙනෙක් ඉඳියි.."
"දීග ගාමිණි කෙනෙක් නැතුවට නං කමක් නෑ. මට බලංට ඕනෑ කෙනෙක් බලංට ඉඩ තිබ්බොත් ඇති."

                       ජිනා අයෙත් කල්පනා කරනවා. අරමුණක් නැතිව ඈත බලාගෙන. ජිනා දැං මහත් වෙල. කම්මුල් එහෙම තෙල් බේරෙනවා වාගේ. ජිනා කොච්චර ලස්සනද කියල අද මටත් වෙනමම පෙනුනා. මාධංගනීද ජිනාද වැඩියෙං ලස්සන කියල මට එක පාරම හිතුනා. ඒ වුනාට ඒ ගැන වැඩිය හිතංට බෑ කියල ආයෙ හිතුනා.

                       ජිනා මොනවද කල්පනා කරනවා ඇත්තේ? අම්මා මයෙ ගැනත් මොනවා හරි කියංට ඇද්ද? ඇත්තටම ජිනා මට ලං වෙල ඉන්නවා වැඩී නේද? අපි ඉස්සර වාගෙම දැං හීං එවුන් නෙවෙයි තමයි. මයෙ ගැන මොනවා හරි කියංට ඇති... මොකද පෑලිස් අයියයි ඩිංගිරි අක්කයි ගැනත් මතක් වෙන්නෙ නැතෑ. මයෙ ගැන කිව්ව දෙයක් මට කියා ගංට බැරිකම ජිනාට ඇත්තේ. ඒක අහල කරදර කරංට ඕන්නෑ...

"අන්න ඕගොල්ලන්නේ මිදුලේ මුව පැටව් දෙන්නෙක් සෙල්ලං කර කර ඉන්නවා." කියල ජිනාගෙ වයසේ ගෑණු ළමයෙකුට කිව්වොත් ?  අන්න ඒ වගේ සතුටකිං, කොයි වෙලාවෙත් 'ඔන්න හිනා වෙංටයි යන්නේ.' කියන මූනක් ජිනාට තියෙන්නේ. ඒත් දැං ඒ මූණේ එහෙම හුරතල් පෙනුමක් නැද්ද කියල මට හිතෙනවා. නුවර යංට තියෙන බයට ඔයෙ. ඒ විදිහ දන්න හිංදා මට මොකවත් කියංටත් බෑ. අනික, ජිනා දැනටම දන්නවා එයාටත් ඉගෙන ගංට වෙන්නේ ඉංග්‍රීසියෙං කියල. ඒ බයත් ජිනාට තියෙනවා ඇති. තවත් මොකොවත් ඇද්ද,? මං හිතාගෙන හිටියේ, ජිනා හොඳ හිත හයිය කෙල්ලක් කියල. මොන...! හරි දුර්වලයි.

"අප්පච්චී... ගස් ඔක්කොම කඳු බෑවොත් නං අව්වකට ඉංටවත් මුවාවක් නැති වෙයි නේද?"
"වැඩක් ඇති ලොකු ගස් වල අතු කඳු බානවා විතරයි. එව්වත් ඉක්මනිං ආපහු රිකිලි දායි. මේ දවස් ටිකේ කපා ගන්න එක ලේසියි මයෙ පුතා, වැඩ ගොඩ ගැහෙංට කලිං. යාරේකට රුපියල් දෙකයි පනහයිදෝ කොහෙදෝ ගෙවන්නේ නං. ඒකටත් අපි යාර ගහල දෙංට ඕනෑ."
"ඒ වත්තෙද, මේ වත්තෙද? දැං දුංකල වැඩ ඉවර වෙල හිංදා ඔව්වා ඇයි අප්පච්චී?"
"අපි යාර ගහන්නේ අපෙ වත්තේ..මෙව්වා මයෙ පුතා බාන් එක වටේ යාර ගහල තියා ගන්නවා, ඒ ඇත්තෝ. තව මාස දෙක තුනකිං බාන් වලට දාංට ගන්නවානෙ."

                        මං අප්පච්චිත් එක්ක වත්තට ආවේ, ඊයේ ජිනා ඇවිත් ගියාට පස්සෙම මයෙත් හිතට හරි නැති හිංදා. මට හිතෙනවා මට හොඳම යාලුවෙක් නැති වෙංට යනවාදෝ කියල. ඊයේ රෑ නින්දත් ටිකක් අඩුයි. ඒ හිංදා වද්දෝ ඉසේ කැක්කුමත්, හිත වේලිච්ච ගතියකුත් දැනෙනවා. අපරාදේ ඔලුවට තෙල් ඩිංගක් ගාංට කියංට බැරි වුනේ.

                        වැස්සක් නැතුව එක දවසයි ගියේ. පියාකුස්සෝ දෙන්නෙක් අහසේ සද්ද කර කර රවුමට රවුමට ඉගිල්ලෙනවා. අත්තටු ගහන්නැතුව සෑහෙන දුරක් පාවෙල තමයි එක සැරයක් තටු ගහන්නේ. එක තට්ටක් පාත් කරල අනික උස්සාන වංගු ගන්න හැටි තමයි ලස්සන... අපි හීං කාලේ අත් විහිදාන ආස්යාත්තරා ගියා වාගේ. උකුස්සන්නේ සද්දෙත් පාලුයි. එහෙම ඉගිලි ඉගිලී හිටිය එක්කෙනෙක් එක පාරම ඊ ගහක් වාගේ පොලවට පාත් වෙනවා. ඔය ගොදුරක් දැකල. මට මතක් වෙනවා මානවසිංහ මහත්තයගෙද කොහෙද කවි පංතියක කවියක්.....

'අහසේ ඈත පියඹා යන නමුදු           ගිජු
ලිහිණියකුගේ නෙත ඇත පරිසරෙහි     රිජු
දූ කුමරියගෙ ආලය දැක කිපුනි          රජු
නයෙකුට අසුව ගැලවේවිද කිකිළි         බිජු.'

                       කොහොම වුනත්, මඩු ගස් පිරිච්ච කිරෝණාකැටිය කන්දයි, කරුලා ඉන්නවා කිව්ව නිල්දණ්ඩාහින්න දිහාට යන කල් ඈතට ඈතට පේන කඳු වලලු දිහායි  බලාන ඉන්නකොට, ඉවරයක් නැති කුරුල්ලන්නේ එක එක සද්ද ඇහෙනකොට, වැස්සට අලුතෙන් කොල දලු පිරුන ගස් වැල් පේනකොට හිත සෑහෙංට සිහිල් වෙනවා කියල දැනෙනවා. ඒත් හිතංට මහ ගොඩක් දේ නැතත් ව්නෑඩියෙං ආයෙම හිත නතර වෙන්නේ හිටිය තැනමයි. ඒ වෙනස මයෙ අප්පච්චිටත් දැනිල.
"මාසයක් ... ඔව් මාසයක් ගෙදර ඉඳල යනකොට හිතට දුකයි තමයි මයෙ පුතා. මොනවා කරංටද, හිත තනා ගංට. මයෙ පුතා හිත දුක් කරගෙන ගෙදරිං පිට වෙංට එපා. අම්මටයි මටයි ඉවසුං නෑ."
"දුකයි තමයි අප්පච්චී. තව අවුරුදු කීයක් කියල නං මෙහෙම ඉංටද?"                       

                       අප්පච්චි, උන්දැගෙ අතේ වැලමිටේ ඉඳල ඇඟිලි අගට,ප් දෙසරෙට රියන් දෙකක් මැනල ගත්ත යාරේ කෝටුව තිය තිය ලී කොට කෙරුවා. එව්වා ආයෙ ඒ කෝටුව උසට එංට දිගට දිගට අඩුක් කෙරුවා. දිග නං සීමාවක් නැතුව තියාගෙන ගියා. ඒ අට්ටිය මැද්දට එංට ගහක් තිබ්බ තැනට කිට්ටු වෙද්දී යාර ගාන රවුම් සංඛාවක් වෙංට ලකුණු කර ගත්තා. එතනත් කණු දෙකක් හිටවල අර ගහට හේත්තු කරල තියල ආදාරේකුත් දුන්නා. මැද්ද පිරෙංට යාරේ උසට දර පිරෙව්වා. අප්පච්චි arithmatic කරල තියෙනවද කියල අහංටත් මට හිතුනා. එතන යාර අටක්. හ්හ්.. Eight cubic yards! One by one by eight. අප්ච්චිටත් ඇහෙංට කියංට තිබ්බා නං කොච්චර සතුටු හිතෙයිද..?
"මිනිසු මේ තරං කිට්ටුවෙං ලී තියන්නෙ නෑ මයෙ පුතා. හංගංට පුලුවං හැම තැනම දැල වාගේ අඩුක්කරන්නේ ලී. අනේ ඔය ලී කෑල්ලක් දෙකක් බේරාගෙන තව යාරයක්වත් හදංටයැ.. "
"ඉතිං අප්පච්ච් පාඩුයිනෙ."
"මයෙ පුතා ඒ හිලව්වට, මට වැඩිපුර ගෙවනවානේ යාරෙට."

"මොකද්ද කියවන්නේ?"
"මං කිව්වේ දයා කියල යාලුවෙක්. එයා ලියුමක් එවල."
"අර මාධංගනීගෙ අයියා.. හරිද? මොනවද ඉතිං කියල තියෙන්නේ.?"
"නිවාඩු ඉවර වෙනකල් හදිස්සියිලු. දයාගෙ අම්මයි නංගියි දෙන්නත් මට හරි ආදරෙයි. ඉතිං ඒ අම්මා එන වාරෙත් මට එහෙ එංටලු."
"අම්මෝ යංට අයියා. තියෙන පැහැදීමටනේ කියන්නේ. මාත් මතක්කෙරුවා කියංට."

"අපි ආයෙ මුණ ගැහෙනකොට නංගිත් අලුත් ඉස්කෝලෙට ගිහිං. ඇත්තටම මට හරියෙට සංතෝශයි."
"අනේ අයියා.. මටත් අයියලෑ ඉස්කෝලෙට එංට බැරි වෙච්ච එකට බඩේ ගිංදර එංට එංට වැඩි වෙනවා. එහෙම ලැබුනා නං මට නිදහසේ අයියත් එක්ක කතා කරංට තිබ්බා. එක එක්කෙනාගෙ කවටකං ලොකුකං බලන්නේ නැතුව.."
"ලොකු කං..?"
"ලොකුකංම නෙවෙයි. අවවාද .. අරුවා මෙව්වා."
"ඇයි.. කවුරුවත් මොකවත් කිව්වද..?"
"ආ.. මේ.. නෑ නෑ.. මං කිව්වේ එහෙම නැතුව. අනේ අයියා මේ මිනිසු පුදුම බයක් තියෙන්නේ.. "
"එහෙම බය වෙන්න්නැතුව බෑනෙ නංගී.
නංගී දන්නවද අපෙ අම්මා අප්පච්චී මයෙ ගැන බය වෙල ඉන්නේ ඇයි කියල?"
"මොකටද?"
"මට කවුරුවත් ඉරිසියාවට හූනියමක් කරයි, වහ ටිකක් දෙයි කියල. තව ඔය සන්නාසි කියල ජාතියක් ගැනත් කියනවා... මන්තර කරල එක්කරගෙන යන තාපසයෝ වගයක්. උං මන්තර කෙරුවම පිරිමි ලමයි උං පස්සෙං එනවලු. ඉස්කෝලෙත් ඔයෙ කතාව තියෙනවා. ඒක මං අපෙඅම්මලාට කිව්වේ නෑ."
"අපෙ අම්මලා බය වෙල ඉන්නේ මට පිරිමි ඇහැ ගැහෙනවට ඕං. කේන්දරේ ද මොකේදත් තියෙනවලු පිරිමි කෙනෙක් හිංදා මට ලොකු කරදරයක් වෙංට තියෙනවා කියල."

                    මං කතාව වෙන පැත්තකට හරවංට මාන්සි ගත්තට ජිනා ආපහු එන්නේ එතෙංටම. ඒ අම්මයි පෑලිස් අයියයි මයෙ ගැන මොනවා හරි කියංට ඇති.
"ඉස්කෝලෙං ගමට ආවත් ගෙදරිං එලි බහිංට නොදී ම තියා ගනියි කියල බයේ බෑ.. ඒ කියන එව්වේ හැටියට.. අයියා දවසක් අම්මට සැර කෙරුවත් එක්ක. මේ කෙල්ලගෙ ඔලුව නරක් කරංට එපා අම්මා... කියල."
"නංගිගෙ හොඳටනෙ ඒ කෝකත් කියන්නේ..."
"හොඳට... ? හොඳට තමයි. උදෙත් ඒක... හවහත් ඒක. හරියට මං දැනටම මහ වැරැද්දක් කරල වාගේ. එහෙම කොච්චරවත් චැර චැර ගානකොට ඒ එපා කියන එකම කරංටයි හිතෙන්නේ අයියා."
"එහෙම මුරංඩු වෙංට එපා නංගී. ඉවසංට.
මේ... ඊලඟ අවුරුදු නිවාඩුවේදී මයෙ සටහං කොපි කර ගංට මං දෙන්නං ජිනාට..?"
"තවම ඉස්සර වාගේ සටහං පිළිවෙලට තියා ගන්නවද අයියා?"
"දැං ඉස්සර තරං හොඳට නෑ මයෙ හිතේ. අකුරු එහෙමත් අඩු ඇති."
"කමක් නෑ ගේංට."
"හ්ම්... "
"ඒත් අයියා... "

                        ඉතුරු ටික මං ඇහැව්වෙ නෑ.

                                                                                                       simple"s"
2019.07.19

පින්තූර අන්තර්ජාලය ඇසුරෙන් ...

No comments:

Post a Comment