"මකලා..."
1978... මගේ දුවට මාස තුන හතරයි. ගෙදර අත් උදව්වට කෙනෙක් අත්‍යාවශ්‍ය වුනා. මං වැඩ කෙරුව ආයතනයේ කංගානි කෙනෙක් යස ගෑනු ළමයෙක් හොයලා දුන්නා. දෙමළ. ඒ වුනාට හොඳට සිංහල කතා කරනවා. ඒක ලොකු හොඳක් වුනා. හේතුව, අපි දෙන්නටම දෙමළ වචන දෙකක්වත් ගලපලා කියන්න බැරි එක. දන්න වචනේ දෙකවත් කතා කෙරුවොත් අනිවාර්යයෙන්ම වරිගේ නහ ගන්නවා.
ළමයගෙ මාසිය පඩිය රුපියල් විස්සයි. ඉඳහිට කීයක් හරි ඉල්ලා ගන්නවා විනා ඒකත් අතට ගත්තෙ නෑ. බැංකුකරුත් මම ම යි. අද ඒ අයගෙ පඩිත් එක්ක සංසන්දනය කරලා බෑ. එදා මගේ පඩියත් 680 යි. දීමනාත් සුලු ගානක් ලැබුනා.
මේ ළමයා බබාටත් ආදරෙයි. උයන්න පිහින්නත් තරමක් දන්නවා. (එහා ක්වාටර්ස් එකේ හිටිය මිස්ටර් රත්නායකලට නම් හිටියේ සුපිරිම ළමයෙක්. මේ ලියන අද දක්වාත් එයා රත්නෙලා ලඟ. එහෙම වෙන්නේ ගෙදර හැම දෙනාත් ඉතා හොඳ හින්දා.)
මේ, නොදන්නා සිංහලයට ගිහින් එයා වරිගේ නහ ගත්ත හැටි. "මකලා...!" සිංහල ලියන්ටත් දන්නවා කියලා උජාරුවෙන් එයා කිව්වේ. මේන්න මෙහෙමයි එයාගෙ නම ලියලා පෙන්නුවේ, දන්න ලස්සනම අකුරෙන්. " මකලා! " එයාගේ නම "කමලා."
පුද්ගලික තොරතුත් නෝනට කියන තරමට දැන් සමීපයි. දවසක් රත්නෙයි මායි ඊටත් එහා ක්වාටර්ස් එකේ හිටිය මහත්තයයි, මොකොදෝ එක්කට "අපිට ලැබුන සර්වන්ට්ස්ලා නං හොඳයි" කියල කතාත් වෙනවා. පහුවදා ධර්මදාස මගෙ කාමරේ ඉස්සරහින් දෙතුන් සැරයක් එහෙ මෙහෙ යනවා. එයා ක්වාටර්ස් ලඟම තියෙන ස්ටේඩියම්/පැවිලියන් මුර කාරයා.
"මොකෝ දර්මදාස..?"
"සර්, ගෙදර ඉන්න ළමයා කොහොමද?"
"වරදක් නෑ දර්මදාස... ඇයි?
"මේ දැන් ටිකකට කලින් කව්දෝ කොල්ලෙකුට පාර්සලයක් දුන්නා. තාප්පේ උඩින්."
"කිව්ව එක හොඳයි ... ලමයගෙ මල්ලියෙක් නම් ඉන්නවා. එයාද දන්නෙ නැ. මම බලන්නම්." වැඩිය කලබල වුන බවක් මම පෙන්නුවේ නෑ. ධර්මදාසත් හැඩිදැඩි මැදි විය ආසන්නයේ හිටිය කෙනෙක්... එයා තාප්පෙට උඩින් ගනුදෙනුවක් කරන්න ගිහින් දෙකක් අහගෙන ආවද දන්නෙත් නෑනේ.
මම ඉක්මනින්ම ගෙදර ගියා. අපේ උන්දැට දවල් නින්ද ගියාම පෙරහැරක් ගියත් ඇහැරෙනවා බොරු. අනික, අපෙ වටිනා කියන බඩු වුනත් බොහොම පරිස්සමට මේස උඩ එහෙමත් වෙන්දේසියේ දාලා තියෙනවා. වෙඩිං රිංස් වුනත්. දර්මේ ගෙදර පැත්තේ ආවෙ නැති බව විතරක් නෝනගෙන් අහ ගත්තා.
"කමලා මෙහෙ එන්ට....
අන්න දැන් ටිකකටට කලින් කමලා බඩු පාර්සලයක් දුන්න කොල්ලා පොලිසියෙන් අල්ලලා. එයා කියලා ඒ බඩු දුන්නෙ කමලා කියලා."
"මම කාටවත් මොකුත් දුන්නෙ නෑ සර්.."
"ඒක මම දන්නෙ නෑ. කමලත් පොලිසියට ගෙනියන්ට දැන් පොලිසියෙන් එනවා. ඒ මහත්තුරුන්ට කියන්ට."
කමලා අඬනවා.
"මොකෝ කමලා..."
"මං පොලිසියට එක්ක යන්ට දෙන්ට එපා සර්. මං දුන්නේ රෙදි එකකුයි, බබාගෙ කහපාට ප්ලාස්ටික් වලලු දෙන්නෙකුයි ඒවා කැඩිච්ච කෑලි වගේකුයි." කමලට පුරුදු සිංහලත් අමතක වෙලා.
මේ අතරේ මම කමලගෙ තාත්තත් එක්කරගෙන එන්ට කියලා කංගානිට පනිවිඩයක් දුන්නා. ඒ අය එන අතරේ, කමලා නෝනා එක්ක බර කතාවක. පැත්තක ඉන්ට කියලා නෝනා මට ඉඟි කරා. හොඳ හොඳ හපන්කම් ආඩම්බරයෙන් කියලා. කලින් යාලුවෙලා හිටිය කොල්ලෝ, උන් එක්ක නටපු නැටිලි, වතාවක් බබෙක් හම්බ වෙන්ට ගිහින් ඒක නැති කර ගත්ත හැටි වගේ මේ බොහොම සාමාන්‍ය තොරතුරු වගයක් කියලා තිබුනේ..!
පඩිත් සතේට බේරලා අමතරත් ගානක් දීලා එදා හවසම කමලා ගෙදර යැව්වා. යවන බව කමලා කලින් දැනගෙන හිටියෙ නෑ. අයෙත් කවදාවත් සර්වන්ට්ස්ලා නොගන්ට අපි තීරණය කර ගත්තා. අමාරුවෙන් වුනත් අපේ වැඩ අපිම කර ගත්තා. ඉන් පස්සෙත් දෙතුන් සැරයක් කමලා ගෙදර ඇවිත් ගිහින් තිබුනා. අනියම්ද ආදේශකද කම්කරු තනතුරක් කමලගෙ මල්ලිට... රාජේෂ් ඛන්නට මම හදලා දීලා තිබුනේ. ඉඳහිට එයාගෙන් කමලා ගැන තොරතුරු ලැබුනා. කසාද බැන්ද බව දවසක් කිව්වා. තව දවසක්, ලිඳක වැටිලා කමලා මිය ගිය බවත් කිව්වා. පව්...
"ඔයින් ගියා ඇති..." රත්නෙලා කීවා. ඇත්ත සර්වන්ට්ස්ලා හැන්ඩ්ල් කිරීම ගැන අමුතුම කෝස් එකක් කරන්ට ඕන.
සර්වන්ට් කෙනෙක් එයාගෙ මහත්තයගෙන් මහා පෞරුෂයක් බලාපොරොත්තු වෙනවා. අපිට පුරුදු විදියට 'එන්ට.. යන්ට..' භාෂාව ඒ අයට හරි යන්නෙ නෑ. 'වරෙන් .. පලයං.. ' බාසාවයි හරියන්නේ. සුමානේකට එක සැරයක්වත් සැර කරන්ටත් ඕන. කියන ඉල්ලන හැම දේම කරලා දුන්නත් වැරදියි. නැතිනම් මහත්තයා නෝන්ජලයෙක්. ඒ වුනාට අපට පුලුවන්ද එහෙම පරුෂ වැඩ කරංට.? බෑ... අඩු තරමින් මේ තත්වයන් දැනගෙනවත් ඉන්ට ඕනෑ. ඒ වගේම දැන් ඒ අය දන්නවා ඒ අයට තියෙන ඉල්ලුම. ඒ හින්දා අපිත් පෙලඹෙනවා වැඳලා වාගේ තියා ගන්ට. කොයි විදිය හරිද කොයි විදිය වැරදිද කියලා ඒ ඒ අවස්ථාව ඒ ඒ පුද්ගලයා අනුව තීරණය කරන්ට වෙන්නේ. මොකද වැඩි හොඳ පෙන්නුවත් සැරෙන් හිටියත් නරක් වෙන තැන් තියෙනවා.
'පඩි දුන්නෙ නෑ' කියලා කම්කරු උසාවි යන අයත් ඉන්නවා. ඒ අයට ඒ උපදෙස් දෙන අය ඉන්නවා. මහත්තයගෙන් කරදර වුනා කියලා සමාජයේ ඉහලම පුද්ගලයින්ටත් චෝදනා එල්ල කරපු අවස්ථා එමටයි. ඇත්තටම එහෙම වෙලා තියෙනකොට ඇතිවන අපවාදය කොයි තරම්ද... ප්‍රශ්නයක් නොවුනා නම් තඹේකට ගණන් නොගන්න නෑදෑයින් මිතුරන් පවා ඒ පුගලයාව කොන් කරනවා. ගැහැණු පාර්ෂ්වය නිවැරදියි කියන පූර්ව නිගමනය අහන්ටම කැමති අය 'ඒක පාර්ෂවිකව' නඩුව විසඳලා දඬුවම් පමුණුවලත් ඉවර කරනවා. මේ අතරේ ඇත්තටම වැරැද්ද කළ බවත් පිළිගෙන, ආගම පවා මාරු කරලා සාධාරණය ඉටු කරලා තියෙන අය ගැනත් අපි අහලා තියෙනවා.
ඔය සේවාවන් සැපයීම දැන් ව්‍යාපාරයක්. ගිය ගමන් හිත දිනා ගන්න විදිය, රෙදි වගේ දේ ඉල්ලා ගන්න විදිය හොඳට දන්නවා. නියමිත වැඩ පැය ගනන්, නිවාඩු දින ගනන් වගේ කොන්දේසි කලින්ම ඉදිරිපත් කරන්නේ. ඉතින් බැඳීමකින් නෙවේ වැඩ කරන්නේ. දරුවෙක් ඉන්නවා නම් එයාට ගහනවා රිද්දවනවා. නිදි කරවන්ට ඕඩි කොලෝන් කටේ ගානවා. අතෙන් කකුලෙන් ගැට ගහලා තියනවා. (පොඩි දරුවෙකුට දරුණු විදියට ගහන වැඩකාරියක් පෙන්නන, අපිට බලන්ටවත් බැරි, වීඩියෝ එකක් පහු ගියදා මෙසෙන්ජර් හරහා බෙදුනා මතකනේ.)
පුලුල් ප්‍රදේශයක පැතිරෙන, ප්‍රතිපුරුෂ වගකීම (vicarious liability) කියන සංකල්පය යටතේ, මේ සර්වන්ට් කරන වැරදි වලට මහත්තයා වගකීමට බැඳෙන අවස්ථාත් තියෙනවා. ඒක හරි භයානකයි. ගෙදරින් එලවන බව දැන ගත්ත වෙලාවක එහෙම උගුලකත් පටලවලා ගියොත්...
මේ කීව නපුරුකම්, දුෂ්ඨකම් හැම සේවිකාවකගේම හැටි නෙවේ. පව්ලේ අයවත් නැති තරම් බැඳීමකින් කටයුතු කරන අයත් බොහෝම ඉන්නවා. අවාසනාවට හැම කෙනෙක් දිහාම සැකෙන් බලන්ටනේ අපිට වෙලා තියෙන්නේ.
කමලගෙන් පස්සේ සර්වන්ට්ස් ලා නැතිව බොහොම කාලයක් අපි කටයුතු කර ගත්තා. ඒ අතරේ, රැකියාවක් කරපු මගේ දුවට දරුවෙක් ලැබිලා අවුරුද්දක් විතර වෙනකොට ආයෙත් ඒ කෙනෙක්ගෙ සේවය අත්‍යාවශ්‍ය වුනා. හොඳ ළමයෙක් ලැබුනා. එයාගෙ මුල්ම ඉල්ලීම වුනේ, පලවෙනි මාසේ පඩිය එපා.. හෑන්ඩ් ෆෝන් එකක් අරන් දෙන්ට කියන එක. ඒකත් කරා. ඕකෙන් සෑහෙන සෙල්ලම් කරා.
මේ ළමයත් බබත් අතරේ නොහිතුව තරම් සමිප බැඳීමක් ඇති වුනා. වැඩියත්ම බබා. එයාට ආසා විදියට කෙල්ලත් නටාගෙන දඟලාගෙන හිටියා. අවුරුද්දකට තුනක්ද කොහෙද ඒ අයගෙ අවුරුදු තියෙනවනේ. ඒ දවසට ලමයා ගෙදර ගියාම අපේ බබාට පිස්සු. ආපහු ආවාම ආයෙ යයි කියලා හිර කර ගන්නවා. සතුට දරා ගන්ට බැරි තරම්.
තවත් කාලයක් ගිහින්, කෙල්ලට කසාදයක් බැඳ ගන්ට ඕන වුනා. ඒ වෙනුවෙන් ජීව දත්ත පත්‍රිකාව පුම්බන්නත් එයාට ඕනවුනා. ඒ හින්දා ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙනත් රැකියාවක් හොයාගෙන ගියා. බබාගෙ පුංචි හිත හුඟාක් රිදුනා. කාලයක් යනකල්ම අමතක කරන්ට බැරිව හිටියා. දෙතුන් වතාවක් ඒ ලමයත් බබා බලන්ට ඇවිත් ගියා.
එයාගෙනුත් පස්සේ තව කෙටි කාලීනව තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් හෙන නෝනමහත්තයෙක්. එලියේ අතුගාන්නේ මම. එයාට පිටට පේන්ට එහෙම වැඩ කරන්ට බෑ. අපි ඔක්කොම ගේ ඇතුලේ සපත්තු සෙරෙප්පු නැතිව ඇවිදිද්දී එයා විතරක් හැම වෙලේම සෙරෙප්පු දාගෙන.! හපන්කම් හැටියට කියන්නේ, බීලා වැටිලා ඉන්න එයාගෙ මහත්තයට පයින් ගහන හැටි!
තව එක්කෙනෙක් වෙලාවකට මානසික ආබාධයක් හැදෙන කෙනෙක්. අනුප්‍රාප්තිකයාට මුණ නොගස්සන්ට අපි එයාව රැයක් දුවගෙ යාලුවෙක්ගෙ ගෙදර නතර කළා. සර්වන්ට් ප්‍රශ්නයෙ තරම කියන්නේ දුවගෙ යාලුවා ඒ ලමයව වැඩට තියා ගත්තා. ඊට සති දෙකකට ව්තර පස්සෙ, ඇඳේ පඹයෙක් හදලා පෙරවපු රෙද්දෙන් වහලා, පාන්දරම කෙල්ල පැනලා ගිහින්..
කියන්ට ඉතිරි වුන එක්කෙනා මුණ ගැහුනේ නෝනා කෙනෙක්ගෙන්. එයා වෑන්ජන හදන්නේ තෙල්වලින්ම. බීසීසී එකේ කොටස්කාරියක්ද මන්ද.
මාසයක් විතර ඉන්නකොට දවසක් කලබලෙන් ගේ ඇතුලට එලියට ආයෙ ආයෙ එහෙම යනවා එනවලු. ඇහුවාම අත පෙන්නුවලු. මෙයාට මුද්දක් දාන්ට ආසා හිතිලා. ගෙදර කොහෙදෝ තැනක තිබුන වැඩි වටිනාකමක් නැති මුද්දක් හම්බ වෙලා. දැම්මා තමයි ගලවා ගන්ට බැරිව. ඒකෙන් මේකෙන් ඇදලා ඇඟිල්ල තුවාලත් වෙලා. අපි දකිනකොට ඇඟිල්ල දෙපැත්ත ඉදිමිලා. සබන් ගෑවටවත් හරි ගිහින් නෑ. විනාඩි පහට ප්‍රයිවට් හොස්පිටල් එකකට එක්ක ගියා. දැක්ක ගමන් ඩොක්ටර් කෙනෙක් කීවේ... දැනටත් ලේ ගමනාගමනය නතර වෙලා.. වැඩි වෙලා ගියොත් අතම කපන්නයි වෙන්නේ. අපි විනාඩි පහක් මහන්සි වෙන්නම්. බැරි වුනොත් ජෙනරල් හොස්පිට්ල් එකට අරන් යන්න වෙනවා කියලා. දැන් කට්ටිය ගොඩක් වට වෙලා මුද්ද අයින් කරන්ට මහන්සි වෙනවා. එක එක විදියේ අඬු විතරක් නෙවේ... හැක් සෝ එකකුත් එක්කෙනෙක් ගෙනත්. මොන.. ! ගෑනී අප්පා අප්පා කිය කියා කෑ ගහනවා. බබා හින්දා නෝනා ගියෙත් නෑ.. මම විතරනෙ. ෆේන්ට් වුනොත් එහෙම? ඩොක්ටර් කීවා ජෙනරල් හොස්පිට්ල් එකට ගේනියන්ට කියලා. දැන් මේ කෙල්ලවත් දොක්කාගෙන මම කොරිඩෝ එකෙන් යද්දී මෙන්න ආපහු අඬ ගැහුවා. අර, නවපු ඇඟිලි දෙකක් වාගේ තියෙන අඬුවක් ලැබිලා. යන්තම් ඒකෙන් මුද්ද කැපුවා. ඇඟිල්ල ටිකක් තව තුවාල වුනා. තුවාල වලට බේත් දාලා ආපහු එව්වා. මම මොකුත් නොකියා ගෙදරට එක්ක ආවා. ආව ගමන්ම හොඳට බැන්නා.
පහුවදා එලිය වැටෙනකල්ම මොකුත් නොකා නොබී හිටිය ගෑනී උදේම කියපි ගෙදර යන්ට ඕන කියලා. මට යන්ට විදියක් නෑ කීවම තනියම යන්ට දන්නවා කීවා. මොනවා කරන්ටද ... සල්ලිත් බේරලා ටවුමට ගිහින් දැම්මා. හොයලා දුන්න නෝනට කෝල් කරලා කීවම..ඔවුන් ඔහොම තමයි කීවා...
මේ අයට හැදෙන පොදු රෝගයක් තියෙනවා. තැනකට එක්ක ඇවිත් මාසයක් විතර යනකොට "ඉස්සර..." අමතක වෙනවා.
simple"s"
2019.07.23
පින්තූර අන්තර්ජාලයෙන් ...
No comments:
Post a Comment