Thursday, September 5, 2019

උඩගෙදර කතා 145 (ලිං කටෙං වැටුන එකා 29)

ලිං කටෙං වැටුන එකා   29.

                     මේ ලෝකේ කෙල්ලන්නෙං එපාම කරපු කට තියෙන්නේ අපෙ ගමේ ජිනාදරීට කියල මං හිතාන හිටියේ. ඒ වුනාට මේ කෙල්ලන්නේ කටවල්, කටවල් නෙවේ .. අම්බලං.

                      මං බෝඩිමේ නතර වෙල සතියක් විතර යනකොට ළමයි කට්ටිය මටත් එංට කිව්වා ක්‍රිකට් සෙල්ලං කරංට. ගමේදී බෑට් ගහපු පුරුද්දට මටත් යංට ආසා හිතුනා. ඔය බෝඩිම කියල ලමයි ඉන්න තැන කිව්වා නං එහෙම මං උස්සාන ගිහිං සෙල්ලං පිට්ටනියට පල්ලෙහායිං තියෙන නාරං කුඹුරට වීසි කරයි.... මේ දවස් හතරට පහට මං කතා කරන හැටි ගැන පල් කරපු විදිහට. ඒක හොස්ටල් එක. ගෑනු ලමයිංට යි පිරිමි ලමයිංටයි එක වාගෙම තට්ටු දෙකේ හොස්ටල් දෙකක් තියෙනවා.. මූණට මූණ දාල,  ඈතිං. ඒ දෙක අතරේ තමයි මේ සෙල්ලම් පිටිය. 'ග්‍රවුන්ඩ්' එක! ඒක හරි ලොකුයි. අපෙ ඉස්කෝලේ තියෙන එක තරං විසි ගුණයක්වත් ඇති. දැං නං අපෙ ඉස්කෝලේ මේක තමයි. මං කිව්වේ ගමේ ඉස්කෝලේ!

                      මාත් බෝල රකින පැත්තට තේරුනේ. "උච්චි.. උච්චි.." කරල නෙවෙයි ඒ අය ලමයි තේරුවේ.  එක්කෙනෙක් එයාට හිතෙන හිතෙන හැටියට දෙපැත්තට තේරුවා. මට රකිංට කිව්වේ ගෑනු ලමයින්නේ හොස්ටල් එක ලඟ.

"ෂ්.. ෂ්..,  ෂ්.. ෂ්.." ඒ සද්දෙට මං පස්ස හැරිල බැලුවා. උඩ තට්ටුවේ අර 'බැල්කනිය' කියන එක දිගට තාප්පෙට හේත්තු වෙල කෙල්ලෝ ගොඩක්.. මං එහෙ බලන අතරේ බෝලේ මයෙ ලඟිංම හොස්ටල් එක දිහාට ඇදීගෙන ගියා. කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම මට හූ කිව්වා. මයෙ දෙකංසෙං ගිංදර පිට වෙනවා වාගේ මට දැනුනා. ඒ මදිවට බෝලේ අහුලා ගංට ගියාම කෙල්ලෝ මට විකාර කිව්වා.
"අනේ... ගමේදී බෑට් ගහලවත් නැද්ද අප්පා..."
"බෑට් තමයි.. කටේ කිරි සුවඳ මෙහෙටත් දැනෙනවා.. "
"සුවඳ නෙවෙයි අනේ පුසුඹ. ඒයි නීලමනී ඔයාට කටේ කිරි පුසුඹ බලංට ආසා හිතුනද?"
"ලැබුනොත් ඔයත් එපා කියයි. බලන්ටකො අනේ කෙල්ලෙක්ගෙ වාගේ මූනේ එහෙම පාට.. !"
"ඒයි.. ඒයි... ඔයාගෙ නම මොකක්ද?"

                       මෙ කතාවලට මං බාගෙට කං දීගෙන ඉන්න අතරේ අයෙත් බෝලේ මයෙ දිහාට එනවා. මං ඉස්සරහට දිව්වා. මේ දවස්වල වැස්සට පිට්ටනියේ තැනිං තැන වතුර රැඳිල.  ඕනෑනං අඩි හතරක් පහක් මං දුවංට ඇති... ඒ වතුර වලකට අඩිය තියවෙන කොටම ලිස්සුවා. බන්ඩක්කා වාගේ. මං වැටිල ඉස්සරහට රූටල ගියා. නැඟිටිංට හදනකොට අයෙත් ලිස්සල වැටුනා. මම පස්ස පිහ පිහ නැගිටිනකොට මයෙ සාක්කු දෙකේම කට ගහල වතුර පිරිල. කෙල්ලෝ ඔක්කොම බය වෙල වාගේ "ෂ්........." ගෑවා එක සද්දෙට. මට දැනිච්ච ලැජ්ජාව යංතං ඩිංගක් තුනී වුනේ ලඟ හිටිය කොල්ලෙක් මට වතුර වලෙං පිට වෙංට අත දෙංට ආව එකෙං. ඒ අතරේ මට හොස්ටල් එකට යංට කියල වෙන එක්කෙනෙක් මං හිටිය තැනට එව්වා.
"අනේ.... අපි දාල යංට එපා.."
"මයෙ නම මාලී... මතක තියා ගංට."
"හෙටත් මෙතෙන්ටම එන්ට.. " එක එක කෙල්ල කියනවා ඇහෙනවා. හ්ම්හ්.. හෙටත්..! එනවා මං... බම්බු ගහංට... අයෙ මට ඕනෑ ක්‍රිකට් ගැහිල්ලක් නෑ. කවදාවත්.

                                      *                                  *                                     *

                      අපි මැයි 12දා කටුගස්තොට අක්කලෑ ගෙදෙට්ට ආවේ. එතකොට මහ පාර හරහ එල්ලල තිබ්බ වෙසක් කූඩු වල කොල වැස්සට ගැලවි ගැලවී එල්ලෙනවා. ලොකු කූඩු.. තරු වාගේ, ආස්යන්තරා වාගේ, එක එක විදිහට... අට පට්ටං නං අඩියෙං අඩියට.  කඩ පිල් වල කැරකෙන කූඩුත් තියෙනවා.

                       පහුවදා.....13 වෙනිදා ඇත්තටම අපි ඉස්කෝලෙට ගියේ ට්‍රැංකි පෙට්ටියයි අනික් බඩුයි තියල ආපහු එංට හිතාන. තේරෙන තරම තමයි...! ඉස්කෝලෙට ගිහිං බැලුවම, එහෙං කියන කියන දේ කරනවා ව්නා කටක් අරිංට බයයි. "PRINCIPAL" කියල ගහල තිබුන ඉස්සරහම වම් පැත්තේ කාමරේට අපිට යංට කිව්වේ ඉස්සරහ කාමරේ පැත්තේ හිටිය සුදු නැසනල් ඇඳුම ඇඳල හිටිය තරුණ එක්කෙනෙක්. කාමරේ ඇතුලේ මේසේ වාඩි වෙල හිටියේ හීංදෑරි ටිකක් වයසක මහත්තයෙක්. ඇඳල හිටිය කලිසම, කමිසේ, කෝට් එක ඔක්කොම තනි සුදු පාට... කඩදාසිය වාගේ මැදල. ටයි එව්වා එක්කුත් ගැට ගහල.
ඒ හීංදෑරි රූපේ තිබ්බේ මහ ගාම්බීර පෙනුමක්. මේසේ උඩ තුංහුලස් ලෑල්ලක "D.A.WEERASINGHA PRINCIPAL" කියල ලියල. අපිට පාර පෙන්නුව නැසනල් එක ඇඳල හිටිය එක්කෙනා විදුහල්පති තුමාට ඇන්න දුන්න කවරේකට මයෙ අස්වීම් සහතිකේ එහෙම දැම්මා. පොත් වගේකත් මොන මොනවාදෝ ලියා ගත්තා.
"නියතපාල... මේ ළමයා ප්‍රෙප් බී එකට එක්ක යංට. මේ ට්‍රන්ක් එක එහෙම දැනට මේ ඇතුලේ තියලා ඉස්කෝලේ ඇරුණම ඒවත් අරන් හොස්ටල් එකට මෙයාව එක්ක ගිහින් වෝඩ්න්ට, මිස්ටර් වල්ලිපුරම් ට බාර දීලා එංට." මං දෙවෙනි වතාවටත් "ප්‍රින්සිපල් සර් " ට දණ ගහල වැන්දා.
"එහෙනම් දැන් තාත්තා යන්න. වාරේ අවසානෙම ඇවිත් ළමයා ගෙදර එක්ක ගියත් ඇති. ඒ අතරෙ සති අන්තවල පුලුවන් වෙලාවක ඇවිත් බලලා යන්න." අප්පච්චිත් දෙකට නැමිල ප්‍රින්සිපල් සර්ට වැන්දා.
"අපි නැතුව කවදාවත් ගෙදරිං පිට ඉඳල නෑ අපෙ මහත්තයෝ.." අප්පච්චී කිව්වේ කඳුළු පිහ පිහ.
"බය වෙන්න කාරි නෑ. එක වාගේ ළමයි තව ගොඩක් ඉන්නවා. කොයි දේත් බලා ගන්න  සර්ලා ඉන්නවා. මේ අය බලා ගන්නම සර්ලා දෙන්නෙක් හොස්ටල් එකේ ඉන්නවා. කෑම බීම දෙනවා.. අසනීපයක් හැදුනොත් බලා ගන්නවා. ඉතින් තාත්තා බය වෙන්න ඕන නෑ."

                        අපි එලියට එනකොටම තව අලුත් පිරිමි ලමයෙක් එක්කරගෙන ඇව්ත් ප්‍රින්සිපල් සර්ගෙ කාමරේට ඇන්න ගියා. එයාගෙ නම දයාරත්න කියනවා මට ඇහුනා.

                        මම කාමරෙං එලියට ඇවිත් අප්පච්චිටත් දණගහල වැන්දා. අප්පච්චි මට තියා ගංට කියල රුපියල් පහකුත් අතට දුන්නා.
"මං සුමානේකිං විතර මයෙ පුතා බලල යංට එනවා. මයෙ පුතාට රත්නත්තරේ පිහිටයි.  අනික් ලමයින්නෙං අහ අහ වැඩ ටික කර ගංට." එහෙම කියල අප්පච්චි යනකොට මට වාවා ගංට බැරුව ගියා. අප්පච්චි බැහැල එලියට යද්දී මං නියතපාල පස්සෙං ගියේ අඬ අඬ. ඒ ලොකු ගොඩනැගිල්ල ඇතුලෙං අපි යනකොට මට බයත් හිතුනා... පාරවල් හොයා ගංට බැරුව මං කොලෑ වෙයි වත් දෝ කියල. නියතපාල මයෙ හිත තැනෙංට දේවල් කිව්වා.
"ඉස්කෝලේ ඇරුණම ලොකු සර්ගෙ කාමරේ ලඟටම එන්ට." නියතපාල මට කිව්වා.

"Therefore the lowest common factor of these numbers is... "

                         කුරුකෝගම සෙනෙවිරත්න මහත්තයටයි පේමවතී ඉංග්‍රීසි නෝන මහත්තයටයි පිං සිද්ද වෙංට වාගෙම, කලුලෑල්ලේ ලියල තිබ්බ ඉලක්කං හිංදා මේ උගන්නන්නේ අංක ගනිතය කියල තේරුනා. ළමයිත් උත්තර දෙන්නේ ප්‍රශ්ණ අහන්නේ ඔක්කොම ඉංග්‍රීසියෙං. දෙයි හාමුදුරුවනේ මට ඉගෙන ගංට වෙන්නේ ඉංග්‍රීසියෙං. මං කොහොමද ඒක කරන්නේ. තව විද්‍යාවත්.  එක්කෝ මං ආපහු ගමට යනවා, නැත්තං කලා විෂයන් කරංට අවසර ඉල්ලා ගන්නවා.
"ඒ ගියේ දිසානායක සර්. තාත්තා කෙනෙක් වාගේ ලමයිංට ආදරේ.. ඔයා බය වෙලා ඉන්නේ. බය වෙන්ට එපා. තව අලුත් ලමයි හුඟක් ඉන්නවා. ඒ ඔක්කොම වාගේ හොස්ටල් එකේ තමයි නතර වෙන්නේ. හා....අන්න තව අලුත් ලමයෙක් එක්ක එනවා.."  මගෙ ලඟ හිටිය ලමයා කිව්වා.
"ඔයත් ශිෂ්‍ය නිවාසෙද ඉන්නේ.?"
"නෑ මම hosteler කෙනෙක් නෙවේ. Day  - scholar කෙනෙක්." අනේ මං දන්නෙ නෑ, ඔක්කොම අලුත්, අලුත් වචන..

                         නියතපාල, මායි දයාරත්නයි හොස්ටල් එකට එක්ක ගියා. එයා කලිංම  මයෙ ට්‍රැංකි පෙට්ටියයි අනික් එව්වයි ශිෂ්‍ය නිවාසේ ගිහිං තියල. ඒ විතරක් නෙවෙයි. ගෙනාව පිඟානත් කුස්සියේ බන්ඩයියට ගිහිං දීල. අපි එක්ක ගිහිං වල්ලිපුරම් සර්ට බාර දීල ඒ සර් කිව්ව හැටියට, 'ඩෝම් ෆෝ' ඒකේ අපෙ ඇඳවලුයි 'කබඩ්' එකයි ඔක්කොම පෙන්නුවා. දයාරත්නගෙ පිඟානත් කුස්සියට ඇන්න ගියා. දවල් බත් කංට අපි 'dining hall' එකට යනකොට ලමයි ඔක්කොගෙම පිඟං මේසයක් උඩ තියල, බත් බෙදල. බන්ඩයියා ඒ වෙලාවේ හිටියේ නැති හින්දා විජේකෝන්ගෙං අපෙ පිඟං ඉල්ලා ගත්තේ. බීට්, මෑකරල්, හාල් මැස්සං, කොල මැල්ලුමක් දවල්ට කංට තිබ්බේ. ගෙදරිං ඇන්න ගිය වීදුරුවට වතුරයි බත් එකයි ඇන්න ගිහිං මාත් මේසේ ඉඳ ගත්තා. බත් දෙකටක් විතර කනකොට ලඟිං හිටිය පරන ලමයි කතාව පටං ගත්තා.
"මැරිල හිටියත් වතුරට බැස්සම පණ එනවා බං.. "
"ඒක ඇත්ත.. "
"කොස්කොලෙන්ද ආවේ?" එක්කෙනෙක් ඇහැව්වා. ප්‍රස්නේ ඇදයක් තේරුනත් මං අපෙ ඉස්කෝලේ නම කිව්වා.
" ඒ මොකක්ද බොල... මං ඇහැව්වේ කොස්කොලෙන්ද ආවේ කියල..."
"හා.. ඒක අමතක කරමු. කියපං බලංට උඹ දන්න ලොකුම ඉංග්‍රීසි වචනේ.. " තව එක්කෙනෙක් ඒ.
"Sorrounding." ටිකක් කල්පනා කර කර ඉඳල මං කිව්වා. මට අයෙත් අපෙ ඉංග්‍රීසි මහත්තයයි නෝනමහත්තයයි සිහි වුනා.
"ඒකේ තේරුම මොකක්ද බං?" ඒ අය කතා වුනා.

මම බත් කටවල් කීපයක් කාල වතුර බොංට හදනකොට තමයි මට තේරුනේ හාල් මැස්සංට පණ එන කතාව...!  මයෙ වීදුරුවේ තට්ටුවක් හාල් මැස්සොයි මැල්ලුමුයි  කරපිංචා වාගේ එව්වයි පුරවල. මං මයෙ වීදුරුව අවසාන වතාවට ඒ දැක්කේ...!
                  
                      හවස කිරියි සීනියි දාපු තේ එකකුත් දුන්නා. දයාරත්නයි මායි වාගේ තව අලුත් ලමයි හිටියා. කාටවත් කතා කරංට බය හිංදා අලුත් අය කව්ද කියල එක පාරම හිතා ගංට බෑ. බොරුවට අලුත් කියල පරන ලමයිම කතා කරනවද කියලත් කව්දෑ දන්නේ.

                       හවසයි රෑයි තමයි ලොකු ලොකු යුද්ද පටං ගත්තේ...!

                                                                                              Simple"s"
2019.04.22

පින්තූර 01, 02 අන්තර්ජාලය ඇසුරින් හා 03 සොයුරු යාපා (Yapa Bandara) ගෙන්.

No comments:

Post a Comment