Thursday, September 5, 2019

උඩගෙදර කතා 166 (ලිං කටෙං වැටුන එකා 45)

ලිං කටෙං වැටුන එකා   45.

"අහම්බෙං වෙච්ච දේකිං මම්ම ඒකට විසඳිමක් හදා ගත්තා අයියා."
"මොකද්ද වුනේ? මං හිතාන ආවේ නංගී හොඳටම හිතෙං වැටිල ඇත්තේ කියල."
"එක එක පරට්ටියංට ඕනෑ ඕනෑ හැටියට ජීවත් වෙංට බෑ අයියා."
"විස්තරේ කියංට ජිනා..."
"මාස දෙකක්ම නොවිඳිනා දුක් වින්දා අයියා. හතර පස් දෙනෙක් ඉන්නවා... උංට එලිය වැටෙන්නේ කොයි වෙලාවෙද කියල බලාන ඉන්නේ මට කරදර කරංට."
"ඉතිං...."
"එක දවසක් කුස්සියේ අම්මෙලා දෙන්නෙක්ම අපෙ ඩෝම් එකේ රෑ ඉංට ආවා. කවුරු හරි ලමයෙක් අස්නීපෙං ඉන්නකොට හරි විසේස සිද්දියක් තියෙනවා නං හරි අම්මේ කෙනෙක් එහෙම එනවා. එදා එහෙම දේකුත් නෑ. මාත් එක්ක හොඳ ලමයෙක් හොරෙං මට කිව්වා...
'ඔයාට රැග් කරනවා කියලයි ඔයා ඒකට හැමදාම අඬනවා කියලයි වෝඩ්න්ට ආරංචි වෙලාද එයාම දැකලද කොහෙද ඔය අම්මෙලාව එවලා තියෙන්නෙ.' කියල.
'තව රැග් එක වැඩි වෙංට හොඳයි.'
'එහෙම වෙන්නෙ නෑ..ඉන්ටකො බලංට.'
'ඔයා කොහොමද දන්නේ?'
'මම දන්නවා...'

" 'ජිනා මේ ලයිට් එක ඕෆ් කරපං...' එකියක් කිව්වා අයියා."
"ඉතිං...?"
"ඉතිං මං ගිහිං ඕෆ් කරා.
'ඒයි තවම දහයටත් නෑ. ජිනා... උඹට පිස්සුද? දානවා ඔය ලයිට් එක..' අනික් පැත්තේ පේලියේ එකියක් කිව්වා. මං අයෙත් ගිහිං ස්විච් එක දැම්මා. අර කලිං එකී අයෙත් මට කෑ ගහන කොට එක අම්මේ කෙනෙක් නැගිටලා ආවා.
'ඔය ලමයා ඇඳට යන්ට...'
ඔය ලමයි දෙන්නා කියන්ට ලයිට් දාලා තියන්ට ඕනද... නිමලා තියන්ට ඕනද?' එයා වැඩිය වයස නැති උස මහත අම්මේ කෙනෙක්.
'අම්මේ ... මේ... ඒක අපේ වැඩක්. ඔයා ලොකු වෙන්නේ නැතිව පැත්තකට වෙන්ට.' කලින් කෙල්ල කිව්වා.
'මොකෝ අර පිස්සු කෙල්ලගෙ අම්මද ඔයා..?' දෙවෙනි ලමයා එහෙම කිව්වට පස්සේ හතර දෙනෙක් විතර එක එක පැත්තෙං හිනා වෙංට පටං ගත්තා. තව කට කැඩිච්ච කතාත් කිව්වා. 'මේ අම්මේ, ඔයා ගිහිං වෝඩ්න්ගෙ කාමරේ නිදා ගන්ට. ජිනාගෙ අම්මා නං එයාගෙ ඇඳට යංට.' එතකොට නං මට හොඳටම තරහ ගියා. වෙන ඇඳක් ලඟ තිබුන කැඩිච්ච පුටු කකුලක් මයෙ අතට අහු වුනේ. ඒකත් ඇන්න මං ... අර අම්මද ඇහුව ලමගෙ ඇඳ ලඟට ගියා. කරල් දෙකට ගොතල තිබ්බ කොන්ඩෙං අල්ලා ගත්තා.
"ඔව් පර බැල්ලී.. මේ මගෙ අම්මා තමයි. උඹට මොකද්ද තියෙන... " මට වාක්‍ය සම්පූර්ණ කරංට ලැබුනෙ නෑ...  කෙල්ල යටි ගිරියෙං කෑ ගහංට ගත්තා. ඒ එක්කම..
'ජිනා.. නවතින්න.' වෝඩ්න් අල්මාරි පේලිය එහා පැත්තෙං දොර කිට්ටුවෙං ඉඳල මට කියාගෙන ඇතුලට ආවා. "
"ඉතිං... ඇයි එච්චර කලබල වුනේ නංගී..?"
"කලබල...? වෝඩ්න් ආවා නෙවෙයි නං ඒකී ඉස්පිරිතාලෙක, මං හිරේ..! මං කොච්චර කාලයක් ඉවසුවද අයියා?"
'අනේ මැඩම් මේ බලංටකො මේ ජිනා මට අර පොල්ලෙන් ගහන්ට ආවා.. හැමදාම ඔහොමයි.. එයාට පිස්සුද කොහෙද..?'. අර ලමයා කියවංට පටං ගත්තා.
'අනේ පව්.. ඔයාට බය හිතුනද.. පව්. දන්නවද මේ දවස් ටිකේම ඔය හතර පස් දෙනාගෙ හපන්කම් මං බලාගෙන හිටියේ. දැනුත් ජිනාදරීට ලයිට් ඕෆ් කරන්ට කිව්ව වෙලාවේ ඉඳලා මම එහා පැත්තේ. ලැජ්ජා නැද්ද. It's shame on you girls. Is this how respectable girls are expected to behave. ඛේමා දන්නවානෙ අර ලියුමත් තවම මගෙ ලඟ බව. I can't realise how an innocent girl like she tolerated all these beastly treatments of you on her. මට කරන්න දෙයක් නෑ. Can't help but.. මම හෙට උදේ ඔය ලමයි පස් දෙනා ගැන ප්‍රින්සිපල් මැඩම්ට රිපෝට් කරනවා. Now you all go to bed, no more noise. Got it?"
"Yes m'me."
"Good night m'me!"
"Good night my children!"

"ඉතිං නංගී ඊට පස්සේ උං අයෙ රෑ ඔයාට කරදර කරේ නැද්ද?"
"කරදර තමයි... පාන්දර අපි ඔක්කොම ඇහැරුනේ අර කෙල්ලගෙ මර ලතෝනියට..
'නෑ... ජිනාදරී අයෙ කරන්නෙ නෑ.. එපා ප්ලීස්... ප්ලීස්...' කියාගෙන. ඊට පස්සේ පාන්දරම උං ටික මයෙ ලඟට ඇවිත් මල වදේ... අනේ අපිව බේරා ගන්න පුලුවන් ඔයාටයි කිය කිය.
".... withdraw? ඉල්ලා අස් කරගන්න මම පැමිනිල්ලක් කරල තියෙන්න එපායැ. "
"ඒ වුනාට ඔයා කිව්වොත් වෝඩ්න් proceed කරන එකක් නෑ."
"හා.. යමුකො ඊට පස්සේ ආපහු ඇවිත් ආයෙම මයෙ අම්ම අප්පා අත්තලාගෙ හිටං පතුරු අරින්න බැරියැ... නේද?"
"නෑ... ජිනාදරී, promise ආයෙ කවදාවත් අපි එහෙම කරන්නෙ නෑ. "
"අනික අපි ඔයාට maliciously rag කළා නෙවෙයිනෙ. ඔයා ඔය කතා කරන ගොඩේ වචන එහෙම නතර කරන්නනෙ අපි ඒවා කළේ."
"But... do you know that I love those primitive words and that dialect..?"

"ඉතිං නංගී ඉන් පස්සේ ඒ ගොල්ලෝ නංගිට ගොහොරි කරන එක නතර කෙරුවද?"
"ඔව් අයියා.. ඒ විතරක් නෙවේ උං මට හිතවත් වුනා. ඉං පස්සේ උන් කිව්වේ මං කතා කරන හැටි හරි sweet ලු. ඒ කරුම දෝසේ නතර වුන එකේ හොඳේ කියන්නේ මං පංතියේ හතර වෙනියා අයියා, ඒ විතරක් නෙවේ.. ඉං.."
"නංගී මං මේ සැරේ අයෙත් පස් වෙනියානෙ. හැබයි, විෂය තුනකිං වෙනියා කිව්වේ. නංගි තව මොකද්ද කියංට ගියේ.?"
"මට English වලට 79 යි. second highest. එක්කෙනෙක් ඉන්නවා ඉංග්‍රීසි කතුරක්. ඒ ගොල්ලන්ගෙ home language එකත් ඉංග්‍රීසිලු."
"ඒක වැරදි කතාවක් ජිනා. මොන බාසාව වුනත් home languge එක වුන තරමිං කෙනෙක් ඒ බාසාවට දකෂයි කියංට බෑ. එහෙනං මෙහෙ හැම ලමයම සිංහල වැඩිම ලකුනු ගංට එපායැ. මේ සැරේ මට සිංහල බාසාවට 78යි, ඉංගීසි වලට 68 යි. "

"තව පව් කියල හිතෙන එකක් වුනා අයියා. අර ඛේමා පස්සේ දවසක අහනවා..'එදා රෑ ජිනාට මගෙ ලඟට එන්න ලැබුනා නම්, ඇත්තටම අර පොල්ලෙන් මට ගහනවද?' කියලා. ඉතිං මම කිව්වා, 'ඔයාට විතරක් නෙවේ ඔයාගෙ defence එකට මේ කවුරු හරි ආවා නම්, මගෙ ඇඟට අතක් තිබ්බා නං ඒත් ගහනවා..'
'ඉතිං මං මැරෙයිනෙ...'
'මාත් එල්ලුං ගස් යයිනෙ. ඒ consequences මොකුත් නොහිතා ගහංටමයි ආවේ.
'Well, just assume that in case such a situation arise now... what would you do.'
'No difference.. sure මම ගහයි ඛේමා. දැං මං හිත හදාගෙන ඉන්නේ මොන දේට වුනත් face කරන හැටි... ජිවිතයේ, එකට එක නොකර පරාජය බාර ගන්න ඕන කාගෙං කාගෙංද කියල මං  තීරණය කරලයි තියෙන්නේ.' කිව්වා. ඔන්න ඒ ප්‍රශ්නේ කෙලවර වුන හැටි අයියා."
"හරි සන්තෝශයි ජිනා. මේ මාස තුනට විතර ජිනා හුඟක් ඉස්සරහට ඇවිදිං."

                     මං එහෙම කිව්වට ජිනා ගැන, එයාගෙ පලි ගන්න හැඩි දැඩි හිත ගැන මට පැහැදීමක් නෙවෙයි ඇති වුනේ. එයා දැඩි වැඩී... එතකොට ඒක එයාගෙ ප්‍රසන්න පෙනුමට, ගැමිකමට, ගෑනුකමට ගැලපෙන්නෙ නෑ. ඒත් මං ඒ ගැන කතා කරංට ගියෙ නෑ. අර අහිංසක කෙල්ල... ජිනා කොයි!
                      
                      ජිනා එකටෙක නොකර පරාජය බාර ගංට ලෑස්ති කාගෙං කාගෙංද කියල දැන ගංටත් මට ආසයි. ඒත් ඒකත් අහංට බෑ. මං ඉං එක්කෙනෙක් වෙනවා නං මයෙ හිත කැමති වෙයි. ඒත් මං ඒ එක්කෙනෙක් නෙවෙයි නං? ආයෙම ජිනා මට තේරුං ගංට බැරි කෙනෙක් වුනා. මං ඒකට කැමති නෑ. ඒත් දවස් දෙක්කට විතර පස්සේ ජිනා ආවේ පොඩි ඇක්සැයිස් පොතක් ඇන්න. ආව ගමං ඒක මයෙ අතට දුන්නා.

"අයියා ඒ අඳුරු දවස් වල මට හිතුන දේ කියා ගංට කිසි කෙනෙක් හිටියෙ නෑ. උදේ දවල් රෑ මං හිතෙං විඳෙව්වා. එක දිගටම. සමහර වෙලාවට මට ඉවසංට බැරි විදිහට හිත වේගවත් වුනා. ඒ වෙලාවට හිතට ආව දේ හරි නපුරුයි. ඒ හැම දෙයක්ම මට කියංට හිටියේ ඔය පොත විතරයි. මං ඔය පොත ලිව්වේ සපු අයියට ලියන ලියුමක් හැටියට. දවසිං දවස වෙච්ච, හිතුන, හිතුව දේ ඕකේ ලිව්වා. පිලිවෙලකට ලිව්වා කියල මං හිතන්නෑ. ඒ වුනාට දවස් පතා ඕක ටිකක් ලිව්වම මයෙ හිත තැනෙනවා. හැබැයි ඔය පොත උංට අහු වුනා නං උං මං මරනවා."

                       පොතේ අහු වුන තැනකිං පෙරලල මං ටිකක් කියෙව්වා..

                       "තව රිදවීමක් හිතට ඇතුලු වෙංට ඇවිත් ආපහු හැරුනා. ඇතුලේ ඉඩ නැති හිංදා. ඒත් හුඟක් ඈතට ගියෙ නෑ. ඒ ඉඩක් ලැබුන ඉක්මනිං ඇතුලට රිංගා ගංට ලෑස්ති වෙල. දවස් ගානක් හිත ඇතුලේ පිරිලා ඉංට ඉඩ නැති කඳුලු නං ඉවර නැතුව ඇස් දෙකටම තල්ලු වුනා. කිසිම කීකරුකමක් නැතුව ඇහිපිල්ලං පහලට,  ගැරඬිගල ඇල්ල පල්ලෙහාට වැටෙනවා පේන වතුර වාගේ දවල් රෑ පුරා කඩා හැලුනා. අදත් ලියන්නේ වන්නිය බංඩාර දෙයියෝ ඉන්නවා නං ඕකිලාට.... "

"කොහෙ කෙනෙක්ද නංගී ඔය ඛේමා කියන කෙල්ල?"
"ලමයෙක් මොකද්දෝ කිව්වා, පල්ලෙහා පැත්තේ. අමරසිංහ හරි අමරසූරිය කියල හරි නමක් තියෙන්නේ. හරි ලස්සන කෙල්ලක්. හැසිරීම ඒ ලස්සනට ගැලපෙංට නෙවෙයි අයියා. ගම් පැත්තේ ලොකු ඉස්කෝලේකට ගිහිං මොකද්දෝ ප්‍රශ්නයක් වෙල ඔය මෙහෙට ගෙනත් දාල තියෙන්නේ."
"පෑලිස් අයියා මොකද කිව්වේ ඔය සිද්දිය ගැන.?"
"ඔරවාන අහගෙන හිටියා. ඒ කරල,
'ඔන්න මේ පෑලිස්ගෙ නංගී බෝඩිමට ඇවිත් තියෙන්නේ දැනුයි. දත් දෙකක් විතර ගැලවෙංට ඇදල ඇරපං. මොකද වෙන්නේ කියල පස්සෙ බලමු.' කිව්වා!"

                                                                                                           simple"s"
2019.08.07

පිංතූරය අන්තර්ජාලය ඇසුරෙන්..

No comments:

Post a Comment