Thursday, September 5, 2019

උඩගෙදර කතා 167 (ලිං කටෙං වැටුන එකා 46)

ලිං කටෙං වැටුන එකා   46

"හොඳයි... දැං වෙන ඉස්කෝලේකට යංට ලැබුනොත්.....?
යනවද?"
"නෑ අයියා..." ජිනා උත්තර දුන්නේ ටිකක් කල්පනා කරල.
"අපෙ ඉස්කෝලෙට?"
"අයියා ඉන්න හිංදා යංට නං ආසයි. ඒත් පාඩුයි කියල හිතෙනවා. "
"ඇයි ඒ?"
"අයියා... ගෑනු ලමයෙක් වුනාම දැනගෙන ඉංට ඕනෑ හැම දේම එහෙ කියල දෙනවා."
"ඒ කිව්වේ... home scienceද? ඉතිං අපෙ ඉස්කෝලෙත් උගන්නන්නේ. ළමයි ඕ ලෙවල් විභාගෙටත් ගන්නවා."
"මේ ඒ විබාගෙට ගන්න එව්වා විතරක්ම නෙවෙයි. තව ගොඩක් එව්වා. කතා බහ, ඉවුං පිහුං, මැහුං ගෙතුං, ගෙවල්... කාමර... කුස්සිය වාගේ තැං පිළිවෙලට තියා ගන්න හැටි, කේක්, කැවිලි , වෑංජන හදන හැටි වාගේ. ඉස්කෝලේදී විතරක් නෙවෙයි. හොස්ටල් එකේදිත් කියා දෙනවා. මාසේකට වතාවක් දෙකක් කුස්සියේ වැඩටත් අපි හවුල් වෙංට ඕනෑ. First Aids එහෙමත් කියල දෙනවා. තව හරි ශෝක් ඉංග්‍රීසි සමිතියකුත් තියෙනවා. ඒ වාගෙම Debate teams දෙක හරි දක්ෂයි. කෙල්ලෝ වචන වලිං මරා ගන්න හැටි බලා ඉංට ලස්සනයි. ලඟදී දවසක් සිංහල debate එකක් තිබුනා ගෑනු අය රස්සාවල් කරන එක හොඳද නැද්ද කියල. එක ලොකු අක්කා කෙනෙකුට නොදැනිම කියවුනා දෙපිට කැපෙන එකක්. මැඩම්ලටයි ඔක්කොටෝම හිනා."
"මොකද්ද කිව්වේ.. ?"
"ඒක උඹට ඕනැන්නෙ නෑ."

"ඉංගීසියි සිංහලයි සමිති නං අපෙත් තියෙනවා. ඕගොල්ලංගෙ හොස්ටල් එකේ ඉංග්‍රීසි භාවිතය වැඩියි. නංගිලාට ඒ වාසිය තියෙනවා."
"ඒක ඇත්ත... ඉංග්‍රීසියි සිංහලයි භාවිතය හරි හරියට. ඉංග්‍රීසි වැඩිද කියංටත් පුලුවං  අයියා. මට නං ඒක හරිම උදව්වක් වුනා. මුල් කාලේ හුඟක් කරදර වුනා. වුවමනාවල් ගිලගෙන හිටිය වෙලාවල් අනන්තයි. සමහර ලමයි වචන කට ඇතුලේ රවුං කර කර කතා කරනකොට බයත් හිතුනා. තව ලමයි හිටියා හුඟක් උදව් කෙරුවා අයියා."
"මටත් ඔහොම වුනා. හැබැයි ඔය තරං නෙවෙයි. ඒත්, පංතියේ උගන්නනකොට එහෙම, කියංට තියෙන දෙයක් කියා ගංට බැරුව ඉන්නකොට, පැහැදිලි කර ගංට තියෙන එකක් අහංට බැරුව ඉංට වෙනකොට එහෙම හරියෙට දුක හිතෙනවා නංගී. "

"නොතේරෙනකමට වරද්දාගෙන හිටිය එකක් මං නංගිට කියන්නං. මේ වෙනකොට නංගිලාටත් කියලා ඇති, '.... is insoluble in water' කියනවා. අර මූල ද්‍රව්‍ය වල ලක්ෂන, properties කියනකොට. මේ ඊයේ පෙරේදා වෙනකල් මං හිතාගෙන හිටියේ ඒකේ තේරුම එහෙම කියන elements ස්වාභාවිකවම වතුරේ දිය වෙල තියෙනවා කියන එකයි කියල. insoluble in water  කියන්නේ වතුරේ දිය වෙන්නේ නෑ කියන එකයි කියල දැන ගත්තේ ඊයේ පෙරේදා. මට ඕක පැටලුනේ, Hydrogen is insoluble in water කිව්වදා ඉඳලා නංගී."
"හරිනෙ... hydrogen වතුර හැදිල තියෙන එක දෙයක්නෙ. ඉතිං, දිය වෙල තියෙනවා කියල අයියට හිතෙංට ඇති නේද?"
"අන්න හරි.. හිතංටකො නංගී, හුඟක් වැදගත් දේ කතා කරනකොටත් ඔය වාගේ වැරදීම් වෙනවා ඇතිනේ."

"හැබැයි නංගී තව එකක් අපි මතක තියා ගංට ඕනෑ.. අපි දෙන්නා විතරක් ඉන්න තැන කොහොම වුනත් ගෙදරවල් වල අය, ගමේ අය එහෙම ඉන්න තැන ඉංග්‍රීසි වචන භාවිතය හරිම සැලකිල්ලෙං. අපි මහ ලොකුකමක් පෙන්නනවා කියල කාට හරි හිතෙයිවත්."
"ඔව් අයියා.. අපි දෙන්නට විතරක්ම තියා ගනිමු ඒ කතාව."
"අපි කීප දෙනෙක් හොස්ටල් එකේ රෑට රෑට ඉංග්‍රීසියි අනික් විෂයනුයි ටිකක් සාකච්ඡා කරන එකක් පටං ගත්තා. ඒක පොරෝජනයක් තියෙනවා කියල හිතුනා. ඒත් වැඩි දෙනෙක් ඒකට මුලිං තිබුන උනන්දුව දැං දැං නෑ වාගේ. දයයි මායි කතා වුනේ ඒ වැඩේ මගාරිංට නංගී. සාකච්ඡා වලට ජිනත් හිටියා නං කියල මට හුඟක් සැරයක් මතක් වුනා."

"ආයෙ කවදාවත් එක ඉස්කෝලෙක නං අපිට ඉංට ලැබෙන්නේ නැති වෙයි ජිනා."
"අගේ වැඩි වෙංට මෙහෙම දෙපොලක ඉන්න එකත් හොඳයි.."
"ඒත්... out of sight, out of mind කියලා අහලා තියෙනවා නේද? මතකම නැතිවෙල යයි.! "
"එක අතකට අපි දෙන්නා එච්චර මොනවා මතක තියා ගංටද ඉතිං"
"නංගී දැං කතා කරන්නේ... වචන කටට එනවට. කිසි දේක බරක් ඔලුවට ගන්නේ නැතුව... නේද?"
"එහෙමද හිතන්නේ... කැමති විදියකට හිතා ගංට. පස්සේ තේරෙයි."
"හැබැයි ආයෙ අපිට එකට ඉංට පුලුවං දෙන්නම විශ්ව ව්ද්‍යාලෙට ගියොත් නං."
"මං නං විශ්ව ව්ද්යාලෙට යන එක කිසි විශ්වාසයක් නෑ අයියා."
"ඇයි..? මං නං කොහොම හරි යනවා."
"මට ඉක්මනිං රස්සාවක් හොයා ගංටයි හිත.."
"ගෙදර ගැන එහෙම හිතනකොට නං මටත් එහෙම හිතෙනවා. රස්සාවකට ගිහිනුත්
උපාධිය කරන අය ඉන්නවා."
"ඉගෙන ගංට වයස ප්‍රශ්නයක්යැයි, ඔය කියන්නේ බාහිර උපාධි.. ඒවට පංති යංට ඕනෑ. ඉතිං අපිට කොහෙ තියෙන පංතිද?"
"හැම එකම නොකෙරෙන විදියටම හිතංට එපා බං."
" බැරි දේට උඩ පැන්නට හරි යන්නෙත් නෑනෙ."

"අපෙ ඉංග්‍රිසි සමිතියෙත් සමහර ලමයි කතා එහෙම පවත්තනවා... කවි කියනවා... සිංදු කියනවා. ඉතිං මටත් ආසයි කතාවක්වත් කියංට.. ඒත් ලැජ්ජහයි. වරදියි කියලත් බයයි. වරදිනවට වඩා වචන, වාක්‍ය, එහෙම පිටිංම ගිලෙන එකනෙ වෙන්නේ.  පරුවතයක් තිබ්බා වාගේ හැම එකම අමතක වෙලා යනවා. හිටගෙන ඉන්න තැනත්."
"ඔය බය, සබකෝලේ නැති කර ගංට ඉතිං කන්ඩායම් ඉස්සරහ කතා කවි සින්දු කියන එකම තමයි බෙහෙත.!"
"ඒක ඇත්ත. නංගී සමිති වල සින්දු එහෙම කිව්වද?"
"පිස්සුද... මං කිව්වොත් ඉතික් 'Twincle twincle little star.' තමා."
"ආ... twincle  කිව්වම! කොහොමද අර ලේන් පැටව් දෙන්නා දැං? Twins ලා. රත්නාවලියි රත්නමාලියි.... පොඩි උං දෙන්නා බලංටත් ආසයි."
"දැං හරි හුරතල් අයියා..  මේ... අපෙ ලමයෙකුට, නංගිලයි මල්ලීයි තුන් දෙනෙක්.. twins ලා ඉන්නවා. කොහොම ඇද්ද .. හිතංටකො. මට හිතුනා සපු අයියා නං හරි කැමති වෙයි කියල."
"ඇත්තටම ආසයි නංගී. විශේෂෙම්ම identical twins ලට. ඒක නෙවෙයි නංගී, මතකයෙම්ම ආයෙ වරද්දා ගංට එපා... දෙන්නට twins, තුං දෙනාට triplets."
"අනේ ඔව්නෙ අයියා.. දවසක් ඔය වචනේ ලමයෙක් කිව්වා තමයි."
"නිවුන්නු හතර දෙනාට quadruplets, පස් දෙනාට quintuplets.. තව ඔහොම ඔහොම යනවා."
"හොඳයි අයියා කියල දුන්න එක.. සිංහලෙන් නං ඉතිං, තුන් නිවුන්... සිව් නිවුන්... පස් නිවුන් වගේ විතරනේ නේද?"
"ඒකත් ලිඛිත බාසාවට විතරයි වෙංට ඇති. කතාවට ඔයෙ 'නිවුන්නු හතරක්' වාගේ තමයි කියන්නේ නංගී. Numerals ගැන කතා කරන වෙලාවක ඔය යෙදීම් ගැනත් කතා කරමු."

"මේ දෙන්නට, එක්කෙනෙකුට බඩගිනි හැදුනොත් අනිකටත් හැදෙනවලු... ඇඟ රත් වුනත් දෙන්නටම, තෙමා ගංට ඕනෑ වුනත් එහෙමලු."
"Identical twins ලා වුනාම ඒ හැටි. ඩිංගිරි අක්කා හොඳ කරදරයක් විඳිනවා ඇති නේද?"
"මොන...! ඒ දෙන්නම ඒ හැම දේම වාසනාවට කියල හිතන්නේ. දැං වතාවක් දෙකක්ම අපෙ අයියා කිව්වලු...'මං බඩගින්නේ හරි ඉන්නං, මේ දෙන්නා තනි කරංට අඬවංට එහෙම එපා ඔන්න' කියල."
"ඇත්තටම ඩිංගිරි අක්කා තියෙන දෙයක් කර ගන්නේ කොහොමද?"
"දවස බෙදාන අපෙ අම්මයි, අක්කගෙ අම්මයි ඇවිත් පොඩි දෙන්නා ගාවිං ඉන්නවලු."

"දැං පෑලිස් අයියා ඉස්සර වාගේ සැර නෑ නේද නංගී?"
"සැර නෑ...? සැර නෑ තමයි. පහු ගිය දවස්වල මං බයේ හිටියේ අයියා අර කෙල්ලෙකුට ගහලවත් එකක් වෙයි කියල. මයෙ අයියට ඇත්ත කතාව කිව්වෙත් හිතල... හිතල.. බැරිම තැන. මයෙ අයියට කියන්නැතුව පුලුවනැයි. ඒත් කිව්වට පස්සේ මට හරියෙට බයහිතුනා."
"හැබැයි මාත් එක්ක එදා අපෙ ඉස්කෝලෙදි වුනත් කතා කෙරුවේ බොහොම සාන්තව."
"අයියට හිතා ගංට මං කියන්නං සැරයක් කිව්ව එකක්... 'කප්පිත්තා වෙල ඔය වැඩ ටික කරවපු පරට්ටිගෙ මූණ සමතලා කරංට නැතුව මං සුවල්ප අමාරුවකිං නෙවෙයි හිටියේ. අපෙ නංගී ඒ විදිහට විසඳා ගත්තා නෙවෙයි නං, ඒ ටික වෙංටත් තිබ්බා. මං ගෑවෙන්නැතුවම'  ඕං ඔහොමයි සාන්ත කම."
"නංගී කොන්ද අත පය තියෙන කොයි සහෝදරයද තමන්නේ නංගිට එහෙම කරදරයක් වුනාම දස සිල් සමාදං වෙන්නේ?"

                                                                                                      simple"s"
2019.08.11

03, 04 හා 05 පින්තූර අන්තර්ජාලය ඇසුරෙන්.

No comments:

Post a Comment