Thursday, September 5, 2019

උඩගෙදර කතා 144 බෝවිටියා...

" බෝවිටියා "

                       හිමිදිරිය ය. නිදන කාමරයේ ජනේලය විවර කළා. මෙන්න මෙයා මා ඉස්සරහම. කුළුඳුල් දරුවෙක්. ඇතිවුන පිබිදීම දෑසේ විතරක් නෙවේ. හදවතේත්, සිතුවිලිවලත්. ඒ පිබිදීම දවසේ කටයුතු සියල්ලට ආශිර්වාදයක්.

                       ඉතිං කව්ද මෙයා?

                       බෝවිටියානෙ.. බෑ එහෙම කීවට බෑ. ඊට වැඩි යමක් කියන්න ඕන..  කනත් වල, පුංචි බෑවුම් ඉඩම්වල ගස් වගයක් තියෙනවා. නිදහසේ වැවිලා නම් අපෙ දනහිසට විතර උසයි. හීනි දිගටි කොල. තද දම්පාට මල්. මල පෙනුමෙන් බිනර වගේ. ඒවා හීං බෝවිටියා. මාබෝවිටියාත් මේ වගේමයි. ඒත් ගස, පත්‍ර, මල හීං බෝවිටියා වලට වඩා ටිකක් ලොකුයි.

                       ආහාරයක් හැටියටත් ඖෂධයක් හැටියටත් භාවිතා වෙන්නේ හීං බෝවිටියා. ආදේශයක් හැටියට මාබෝවිටියත් නොගන්නවාම නෙවේ. කොල, කැඳ හැටියටත් දලු, සලාදය හැටියටත් පිළියෙල කරනවා. රසවත්. ඊටත් වඩා ගුණයෙන් පිරිලා. අක්මාව ආශ්‍රිතව හැදෙන රෝග, සෙංමාලය හා දියවැඩියාව ඉන් ප්‍රධාන වේ. ඒ වාගෙම, අන්තර්ජාලයේ දැක්වෙන හැටියට පිළිකා මර්ධනයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට, කොලෙස්ටරෝල් අඩු කිරීමට, අර්ශස්  පාලනට  ඉතා ගුණදායකයි.

                         මේ පින්තූරයේ තියෙන්නේ තරමක් වෙනස් වර්ගයක්. බෝවිටියා කුලයේම ශාකයක්. මල් කොල හැඩය සමානයි. නාඳුනන ලොකු කොයි දේටත් අපි 'රට..' කියන කෑල්ල එකතු කරනවානෙ. මේවටත් 'රට බෝවිටියා' කියමු. 'මෙගා බෝවිටියා'! කීවොත්? මොකද අර දෙකටම වඩා ගස උසයි ලොකුයි, මල ලොකුයි, පත්‍රත් ලොකුයි. මල් ගහක් හැටියට ලංකාවේ ව්‍යාප්ත වෙලා වැඩි කාලයක් නෑ. අනික් බෝවිටියා පත්‍ර තෙල් ගාලා වාගේනේ. මේවා බූවක් සහිතයි, කොල පැහැයත් අඩුයි. ඖෂධ වශයෙන් මේවායේ වැදගත් කමක් ඇති කියා හිතන්නත් බෑ. කොහොමත් හීං බෝවිටියා වලට ආදේශකයක් වෙන්නේ නෑ. පුලුල්ව හැදෙන මේ ශාඛයේ මල් බොහෝ පිපෙනවා. ඒ වගේම හැමදාමත් මල් තියෙනවා.

(මෙහි තුන් වැනි සේයාරුව අන්තර්ජාලයෙන් ලබා ගත් හීංබෝවිටියා ශාඛයේ ය..)

                                                                                           simple"s"
2019.05.06

No comments:

Post a Comment