Thursday, September 26, 2019

උඩගෙදර කතා 173 (කොහිල 02)


"කොහිල...."                         අංක 02.

                   කලිං කොටසේ කතා කෙරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මේ අවුරුද්දේ විශේෂයක් තියෙනවා.
                   මේ ලිපියට මං ඈඳා ගත්ත මයෙ යාලුවා, යාපා බන්ඩාර (Yapa Bandara) මං අඳුර ගත්තේ 1960 දී. අපි අවුරුදු පහක් එක හැලියේ, ( නෑ නෑ.. ඇත්තටම එක රාස්පානේ!), එක බත් ටික කකා තව දෙතුං සීයක් එක්ක එක වහලක් යට මිහිරි ජීවිතයක් ගෙව්වේ.  අර සේනාරත්නත් ඒ ජීවිතේ හවුල් කාරයෙක්. හැබැයි අපිට වැඩිය ඉහල පංතියක.
                  යාපා, අද මං කිව්ව එක්කට මට මෙහෙම ලියනවා:
"ඊයේ දියතලාවේ ගිහින් මේක ඇරගෙන ආවා." ඔය කියන්නේ මේ හතර වැනි සේයාරුවේ තියෙන පළකය.
"මොන ඇනිවර්සරි ද.. මේකේ පැහැදිලි නෑ." මං ලිව්වා.
"Fiftieth Annivesary of the Institute of Surveying and Mapping .මම ඒකේ first batch. ඒ කියන්නේ මගෙ service එකත් අවුරුදු 50 ක්." එයා ආඩමරෙං ලියල.
"ගෙවෙන හැම අවුරුද්දක්ම ඔයාගෙ සේවයට එක් වෙනවා නේද? Professionals ලා විශ්‍රාම යන්නෙ නෑනෙ." මං ලිව්වා. (පොඩි පටලැවිල්ලක් දැනෙනවා නේද.. සේවය අවුරුදු පනහක් කීවම... ? යාපා surveyor කෙනෙක්. ඇස්වහක් කට වහක් නෑ... හාල් මැස්සෙක් වත් කටේ තියන්නැති යාපට service එක 50 ක් වුනාට වයස නං 35 ක් 40 ක් ඇති!) ඒ කිව්ව සාංවත්සරේ හින්දයි මේ අවුරුද්ද සර්වේ දෙපාර්තමේන්තුවට විශේෂ.
                  සේනට, කෝකියා බිත්තිය කැඩුවදාට පහුවදා උදේම ලැබුනේ කොහිල කැඳ එකක්. නරක් වෙල තියෙයි නෙ? ඒ විතරක් නෙවේ, ලස්සනට මාරු කර කර කොහිල අලයි දළුයි... සම්බෝල, වෑංජන, කට්ලට්, කැඳ එහෙම එයා සේනට හදල දීල. සතියක්ම.  එයා මොලේ දුර්වලකමට හරි එහෙම කළේ ඇයි ?
                 එයාට හිතුනේ, මහත්තයා එයාට සැර දැම්මේ "මූලග්ගාය" වැඩි වෙල හිංදා  කියල....!
                 මූලග්ගාය, මූල වාතේ, අර්ශෂ් වාගේ නම් වලිනුයි ඉංගිරිසියෙං piles, haemorrhoids කියන නම් වලිනුයි මේ රෝග තත්වය හඳුන්වනවා. වැඩියෙම්ම භාවිතා කරන්නේ අර්ශස් කියල හරි පයිල්ස් කියල හරි. අපෙ සංස්කෘතියේ හැටියට මේ රෝග තත්වය ගැන වැඩිය එලි පෙහෙලියේ කතා කරන්නෙ නෑ. පිස්සු.. !  හැබැයි සීයට අනූ නව දෙනෙක් මේ රෝගය හිංදා තනි වෙල පීඩා විඳිනවා! අර්ශස් ප්‍රභේද දහ අටක්ද කොහෙද තියෙනවලු. ඒ ඔක්කොම පැහැදිලි  කරංට මං දන්නෙ නෑ.
                බහුලව අහංට ලැබෙන දෙක තුනක හැටි මෙහෙමයි. මේ කොයි හෑල්ලත් ඒ දහ අටටම අදාලයි. ඔය කොයි එකත් ගුද මාර්ගය ආශ්‍රිතව හැදෙන්නේ. ගෙඩි හැදීම, ඒ ගෙඩි ගුද මාර්ගයෙන් පිටට ඒම, ඒ ගෙඩි පුපුරා යාම, ලේ යාම, බඩ වේලීම, බඩ වැල වේදනාව වගේ ලක්ෂණ එකක් හරි කීපයක් හරි ඔය කොයි එකෙත් තියෙන්නේ. මේ කොයි එකත් හරි වේදනාකාරියි. මේ එක ලක්ෂණයක් හරි තියෙනවා නං නුරුස්සන ගතිය වැඩියි, ඉතිං තරහ යනවා, ඉවසන්නෙ නෑ, කලබලකාරියි. ඇයි දෙයියනේ දවස පුරාම තුවාලයක් උඩ ඉඳගෙන ඉංට වුනාම...? හැම වෙලේම ටොයිලට් යංට ඕනෑ වාගේ දැනි දැනී ඉංට වුනාම....? මගදී අමාරු වෙයිද කියල බයේ ගැහි ගැහී ඉංට වුනාම...? සීයට පණහකට වැඩිය මානසික තත්වයකුත් එක් වෙන හිංදා , බස් එක... උසාවිය.. සම්මුඛ පරීක්ෂණ වාගේ ටොයිලට් යංට පහසුකම් අඩූ අවස්ථාවකට මූණ දෙංට තියෙනවා නං වාගෙම ජීවිතයේ එක සැරයක් හරි ටොයිලට් යාම ආශ්‍රිත අප්සෙට් එක්කට පත් වෙලත් තියෙනවා නං,  කීසැරයක් උදේ ටොයිලට් එකට ගියත් සෑහීමට පත් වෙලත් නැත්තං ඔය නුරුස්සන ගතිය, තරහ යාම අරුමයක් නෙවෙයි. ඉතිං ඔය නුරුස්සන ගතිය, තරහ යාම අපෙං සේවයක් ලබා ගංට එන අය උඩිං යන තත්වෙට ආවම තමයි ඔන්න ප්‍රශ්ණ මතු වෙන්නේ. එයා මහ ගිනි පුක් කාරයෙක්, එයාට කටු පිටිං කොහිල අලයක්  පස්ස පැත්තේ ගහංට ඕනෑ, උදේ ගෑණිගෙං/මිනිහගෙං බැනුං අහ ගත්ත එක මිනිස්සු පිටිං ඔයෙ යවන්නේ වාගේ ඇණුම් බැණුම් එහෙමත් පටං ගන්නකොට තවත් ප්‍රශ්ණ වැඩි වෙනවා...
                   ගෙඩි වල වේදනාව වැඩිවීම, ගෙඩි පුපුරල ලේ යාම, බඩ වැල තුවාල වෙල  වේදනාව, ටොයිලට් යාමෙං සෑහීමට පත් නොවීම වාගේ හුඟක් දේ වෙන්නේ බඩ වේලීමෙං. පහසුවෙං ටොයිලට් යංට අපිට පිහිට වෙන්නේ අපෙ කෑමේ තියෙන කෙඳි  (ඒ කියන්නේ තන්තු). කොහිල වල ඔය කෙඳි වෙන කිසි කෑමක නැති තරං තියෙනවා. අන්න ඒකයි අර්ශස් කාරයිංට කොහිල ගුණයි කියන්නේ. ඒක තර්කයක් විතරක් නෙවෙයි. ඇත්තම ඇත්තක්.
                    කොහිල, කැඳ වැඩිය ගුණයි කියංටත් හේතුවක් තියෙනවා. අර්ශස් පාලනය කරල තියාගංට කොහිල කැඳ වාගෙම හුඟක් කොලකැඳ ජාතිත් හරිම හොඳයි. කැඳ වලට, කොහිලත් කොල ජාතිත් වැඩියම ගන්නේ වනේ කොටල හරි බ්ලෙන්ඩර් කරල හරි. එතකොට එව්වා සියුම් බිඳිති වලට කැඩෙනවා. එහෙම වුනාම එව්වේ තියෙන පෝෂණ කොටස් වැඩිපුර වාගෙම ඉක්මනිනුත් ඇඟට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ උරා ගන්නවා. අන්න ඒකයි හේතුව. (වැල් පෙනෙල, තැල් වගේ කොල නං හීනියට කඩලත් කැඳ වලට දානවා.)
                     ඔය රෝගේ පාලනයට බඩ වේලෙංට නොදී තියා ගංට ඕනෑ. ඒකට වැඩිපු‍ර වතුර බොංටම ඕනෑ. විසේසෙං කෙඳි බහුල අලුත් එලවලු, පලතුරු, පලාජාති බොහෝමයක් අර්ශෂ් තියෙන අයටත් ඒක නොහැදෙංටත් බොහොම ගුණදායකයි. එයිනුත් විශේෂයෙන් ගුණ ජාති කීපයකුත් තියෙනවා. පලතුරු නං, ඇඹුල් රස (ඇසිඩ් ගතිය) අඩු පළතුරු තමයි වැඩිය හොඳ. ඇඹුල් කෙසෙල් ගෙඩි, පැපොල්, බෙලි බොහොම හොඳයි. එව්වේ බීම වැඩිය ගුණයි. ඇයි අර සියුම් බිඳිති වෙනවනෙ. ඒ බීමට දෙහි ඉස්ම බිංදු කීපයක් එක් කරල රස ගුණ වැඩි කර ගංටත් පුලුවං. බීම හදංට ගිහිං වැඩිපුර සීනි දාල දියවැඩියාව හදා ගන්නවා එහෙම නෙවෙයි ඔන්න. සීනි නොදාම තමයි වඩා හොඳ. හැබැයි, අන්නාසි, තක්කාලි, කෝන්, මසං, වගේ සැර පළතුරු මගෑරීම වැදගත්.
                     පලා ජාති කොයි එකත් හොඳයි. එයිනුත් මෙන්න මෙව්වා, ටොයිලට් යාම හොඳ පාලනයක තියා ගංට වැදගත් වෙනවා. කතුරු මුරුංගා, කංකුං, කූර, තම්පලා,  වට්ටක්කා දලු, මඩු කොකු හා දලු කොල, වැල් කොහිල දලු.
                     කොහිල, මඩු කොකු, වට්ටක්කා කොල, නෙලුම් අල, කෙහෙල් මුව  එහෙම සුද්ද කරන කොට අයිං කරන කෙඳි, මකුලු දැල් කැඩුව කැප්පෙටියා අතු අහුරේ වාගේ අතේ පටලවා ගන්න නූල් වලට එහෙම මේ කෙඳි (fibre) කියන්නේ කියල මං ඉස්සර හිතුවේ. පස්සෙයි දැන ගත්තේ මේ ඇහැටවත් පෙනෙන්නැති කොටස් ජාතියක් කියල.
                      බටහිර වෙදකමේ හැටියට ශල්‍යකර්ම (operation) මගින් ගෙඩි ඉවත් කිරීමයි ආලේපන නියම කිරීමයි තමා වෙන්නේ. . ගෙඩි ඉවත් කෙරුවත් සමහර අයට ඉක්මනිං ආපහු හැදෙනවා කියනවා. ආලේපන වලින් ලැබෙන්නෙත් තාවකාලික සහනයක් විතරයි.
                      විශේෂයෙම්ම, අගුණ දේවල් ගැන හොඳිං දැනගෙන ඉන්න එකත් බොහොම වැදගත්.....
(මතු සම්බන්ධයි.)
                                                                                                    simple "s"
2019.09.15
01, 02 පින්තූර අන්තර්ජාලය ඇසුරෙන්.

No comments:

Post a Comment