ලිං කටෙං වැටුන එකා 40.
"දැං ඉතිං කොහොමවත් අපෙ එකෙක්මනෙ."
"ඒකහරි... "
"කෙනෙක්ගෙ හිත දිනා ගංට පුදුම දස්සකමක් හීං එකීට තියෙන්නේ. ඔය විදිහ ජීවිතේ පුරාවට තිබ්බොත් නං ලොකු දෙයක්."
"ඔව්වා ඉතිං කියංට බෑ... ඇහැට කනට පේංට හිටියට මොකදෑ... දැනුං තේරුං එනකොට ඔය හිත් වෙනස් වෙනවා.
"පියෝති දුවත් අපෙම ඒකියක් වාගේ.. ඇතුලත්කොමයි හැම දේම. අපිටත් එහෙ ඇවිත් යංටලු."
"ඔව්... අපි ඉක්මනිං ගිහිං එමූ...."
අයියලා ඇවිත් ගියාට පස්සේ ගෙදෙට්ට අලුත් ඉරක් පායල වාගේ. අම්මයි අප්පච්චියි ඉන්නේ පුදුම තංතෝසේකිං. පියවතී අක්කයි සාමා දුවයි තමයි මේ පෙරළිය කෙරුවේ.
"මට වෙලාවකට හිතෙනවා ඒ තුං දෙනත් මෙහෙටම එනවානං කියල." අප්පච්චිගෙ තිබ්බ අමනාපේ හැටියට මෙහෙමෙ දෙයක් අප්පච්චිගෙ හිතට එයි කියල හිතංටවත් පුලුවංද? කොහොම වුනත් මේ වෙනස ගැන මටත් බොහොම සතුටුයි.
"එහෙම එන එකක් නැතිවෙයි. ඒ අම්මයි අප්පයි දෙන්නටත් ඉන්නේ ඔය දරුවා විතරයිලු."
"ඔය කියන හැටියට ඒ දුවගෙ තාත්තගෙ කඩෙත් හොඳට ගනු දෙනු තියෙන පාටයි. එහෙම නැත්තං ඔය වාගේ කැලැන්ඩරත් ගහල මිනිසුංට නිකං දෙංට පුලුවනෑ. මෙව්වට කියන්නේ කැට කැන්ඩර කියලලු. දවසට එක කොලේ ගානේ කඩල දාංට ඕනෑ."
ඔව්... කැට කැලැන්ඩරේ කියන්නේ ඒ කොල තියෙන හැටියට. දින කැලැන්ඩර් කියන්නෙත් එව්වටමයි. සීවලී හාමුදුරුවෝ පාත්තරේකට අත දාගෙන ඉන්න රූපයක් එකක. අනික් එකේ, රූපේ කොටස් දෙකට බෙදල. එකක උඩිංම ලියල තියෙන්නේ "මම වික්කේ අත් පිට මුදලට." කියල. ඒකේ ලස්සන පවුලක රූපයක්. මව්පිය දෙන්නයි දුවෙකුයි පුතෙකුයි. එයාගෙ අල්මාරියි බක්කියි පිලිවෙලකට අහුරපු බඩු පිරිල. අනික් රූපේ "මම වික්කේ ණයට." කියල ලියල. එයාගේ රාක්කි, බක්කි හිස්. රාක්කියකයි බිමයි මීයෝ දෙතුං දෙනෙක් යනවා.... ඒ කඩංට තියෙන කොල වලත්, වෙළෙඳ, රජයේ, තැපැල් , බැංකු කියන එව්වෙං එකක් හරි කීපයක් හරි එක්ක 'නිවාඩු' කියල අච්චු ගහල. පල්ලෙහායිං පියෝති අක්කගෙ අප්පච්චිගෙ නමයි, සිල්ලර හා තොග බඩු වෙළෙන්දෝ කියලයි, ඇඩ්‍රස් එකයි ලියල. කැලැන්ඩරේ උඩිම්ම 'නමෝ බුද්ධාය' කියල පුංචි හැඩ අකුරෙං අච්චු ගහල. ඒක පෑලිස් අයියට දෙංට හිතෙනවා. ඒත් බෑනෙ. එකක් අපිට ඕනෑ... අනික අපෙ දෙවෙනි මහත්තයට දෙංට ඕනෑ. තුන හතරක් තිබ්බා නං දයාරත්නටත් එකක් ඇන්න යංට තිබ්බා. එහෙම නං මයෙ අයියගෙ අක්කලගෙ කඩේ... එහෙම කියනකොට මට මහ ආඩම්බරයක් දැනෙයි...!
"ඔය පදියතලාව කියන තැන පුංචි කඩ මණ්ඩියක් සපු. එතන ගනු දෙනු වලට හොඳයි. ඒ හංදිය පහු වුනාම මහ ඔයට යනකල් අයෙ ලොකු කඩයක් නෑ මයෙ හිතේ."
"උණු වතුර ලිං තියෙන්නේ ඔය මහ ඔය නේද අපෙ මහත්තයා?"
"අන්න හරි."
"එව්වා බලංට ඉක්මනිම්ම අයියා අපි එක්කරගෙන යන්නං කිව්වා."
"ඒ එක්කම දඹාන කියන වැදි ගම්මැද්දටත් යන්ට බලංට සපු."
"එහෙමයි අපෙ මහත්තයා. දහ අට වංගුව,මුවෝ, වල් අලි විසේසෙම්ම් අර තුංපත් රෑණ කියන එක එහෙම බලංට මට ආසයි අපෙ මහත්තයා."
"මං මේ කැලැංඩරේ පෑලිස්ට දුන්නට කමක් නැ නේද සපු."
"මටත් මතක් වුනා... ගෙනත් තිබ්බේ දෙකයි අපෙ මහත්තයා. මේක දුන්නම අපෙ මහත්තයට...?"
"මට හැම අවුරුද්දෙම එකක් නුවරිං ලැබෙනවා. ඕක ඉතිං එකක් තිබුනම මදෑ..."
"හොඳයි... අපෙ මහත්තයා."
"ඊට දවස් දෙක තුනකට පස්සේ මායි අපෙඅම්මයි පෑලිස් අයියලෑ ගෙදර යනකොට ඒ කැලැන්ඩරේ මෙන්න එහෙ බිත්තියක. හැබැයි එතනම නුවර වසන්තා මුදලාලිගෙ කැලැන්ඩරේකුත්. ඒකේ මහ රැජිනගෙයි ආදිපාද තුමාගෙයි 'මෞරි මංගල්‍යය' කියල මොකක්දෝ එකක ඡායා රූපයක්. හරි ලස්සනයි. ගාම්භීරයි.
මේ සැරේ පෑලිස් අය්යගෙ වත්ත විනාශ වෙංට කලිං තිබ්බටත් වැඩිය ලස්සනයි. හරි පිලිවෙලයි. ඒකටම ගෙදෙට්ට යනකල්ම පාර පුරුවල හදල. ගේ ලඟටම ටැට්ටරේ ගංට පුලුවං. ඒකේ ඇන්ජිම කෑල්ල නවත්තල තියංට ලොකු මඩුවකුත් හදල. ගස් ජාති යසට දලු, කොල පිරිල හැදිල. අයෙ නං අර වාගේ පෑයිල්ලක් අල්ලංට එපා දෙයියනේ. පෑලිස් අය්යගෙ උනන්දුවේ තරම හිතා ගංට පුලුවං ගිය සැරේ විනාශ වුනා නේද කියල හිතන්නේවත් නැතුව ඒ වතාවටත් වැඩිය ලස්සනට, පිලිවෙලට වත්ත අයෙත් හදල තියෙන හැටියෙම්ම. ඒ අත් දෙකට තව තව දහිරිය ලැබෙංට ඕනෑ.
මේ ඔක්කොටෝම ඉහලිං අර තරු කැට දෙක බැබලෙන්නේ. රත්නාවලියි, රත්නමාලියි. දැන් හරිම හුරතල්... මොනවාදො කිය කිය හිනාවෙනවයි, කරන කරන දේ දිහා, හෙල්ලෙන හැම දේම දිහා ගැස්සි ගැස්සී බලා ඉන්නවයි. එක බබෙක් මයෙ අතට ආවේ පැනල. ආපහු ගන්නකොටත් මයෙ මුණ දිහායි අම්මගෙ මූණ දිහායි බලල ගියේ. වැඩිය කැමැත්තෙං නෙවේ. පෑලිස් අයියා දකිනකොට පුදුම සංතෝසයක්. ඒ දෙන්නා දිහා කොච්චර බලා හිටියටත් ඇති වෙන්නෑ.
පොඩි පොඩි වැහි වාගෙම තද මාස් වැහි ඇලි දෙක තුනක් ආවා. ඉල් උඳුවප් වලට හැටිනේ. මිදුලේ වේල්ලෙං උල්පත් මෝරල. පැපොල් බට ගහල පිහිලි හැදුවා, සිරිමල් එක්ක. එපා කියද්දී එව්වා කරංට ගිහිං පිනි බෑවානෙ. ඉතිං හෙම්බිරිස්සාව හැදුනා. ඔක්කොමත් හරි කෙලවරක් නැතුව කිබුහුං යන එකනෙ දරා ගංට බැරි. එතකොට මයෙ ඉල ඇට රෙදෙනවා. අපෙඅම්මා කොත්තමල්ලිත් තම්බල දුන්නා. නික, පාවට්ටා දෙහි කොල තම්බපු වතුරෙං හුමාලෙත් ඇල්ලුවා.
එහෙම හුමාලේ අල්ල අල්ල ඉන්නකොට දවසක් ජිනා ගෙදර ආවා.
"මයෙ දුව මුන්දෑ මේ හෙම්බිරිස්සාව හදාගෙන. අද කිට්ටුවට වෙල හිටියොත් නං දුවටත් බෝවෙයි. කිබුහුමුත් යනවා හරියට."
"නෑ අම්මා... මට බෝ වෙන්නෑ.
මේ බලංටකෝ බිල්ලා වාගේ. ඉහිං කනිං පොරොවාගෙන. ඇස් ගෙඩි දෙකවත් පේන්නෑ."
"ඔව් දුව, ඉල දෙපැත්තට, මූණට එහෙම හොඳට හුමාලේ වදිංට ඕනෑනෙ. එතකොට සෙම කැඩිල යනවා හොඳට."
"දැං ඔය මදෑ අපෙ අම්මා.."
"හා.. මේ සැරේ හුස්මට පස්සේ නවත්තංටකො. මං ඉක්මනට එන්නං."
"ඒ.. ඒ.. අම්මා එංට කලිං මං ඕක ඇතුලට එංටද?"
"දැනෙයි , පචෑස් පචෑස් කිය කිය අලුත් ඉස්කෝ..."
"අම්මට ඉතිං අයියා ලඟම ඉඳල බෝවෙන්නෙ නැද්ද අම්මා..?"
"ජිනා විහිලුවට නෙවෙයි... ඈ."
"බලංටකො අම්මා මේකා මං එලවා ගංටමයි හදන්නේ. පව් නැද්ද...?
දැං ඔය වතුර එකම පාස්සල ඇන්න මාත් හුමාලේ ඇල්ලුවොත් මොකද වෙන්නේ.?"
"මේ හෙම්බිරිස්සාව බෝවෙයි... වෙන මොනවා වෙංටද? අලුත් ඉස්කෝලෙට සුරුස් ගගා නහය උඩට ඇද ඇද මූණ ඔක්කොම රතු කරගෙන යංට වෙයි."
"දුව දැං අලුත් ඉස්කෝලෙට යන දවසක් නියම කරල නැද්ද තවම?"
"නෑ අම්මා... අලුත් වාරෙං සතියක් විතර යයි.."
"ඔව්.. මහ දවසක් නෑ. මේ නිමාඩුවෙත් අයෙ කී දොහොදෑ තියෙන්නේ. ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඔය දවස් දෙක ගෙවිල යයි."
"ඒ වුනාට... මං ගැහි ගැහී ඉන්නේ."
"ඒ ඇයි...?"
"අපෙ අම්මලා දාල යංට වෙනවටයි. අලුත් දිහාකට ගිහිං මං කොහොමදෑ කර ගන්නේ කියලයි."
"මයෙ දුව... මේ හපනත් ඔහොම තමයි කිය කිය හිටියේ. ඒ වුනාට දැං ඔය යස රඟේට ඉන්නේ..."
"සපු අයියට වාගේ මට පුලුවනෑ අම්මා." එහෙම කිය කිය ජිනා මයෙ මූණ දිහා බලාන. හ්හ්.... 'යස රඟේට ඉන්නවා' තමයි. යස රඟේට ඉන්නවා... මං ඉන්න නරා වල ගැන දන්නේ මායි ජිනයි. මං ඇස් දෙක ලොකු කරල දුන්න ඉඟිය ජිනාට තේරුනා. එයා හොස්ටල් එක ගැන මොකවත් කිව්වෙ නෑ.
අපෙ අම්මා ඈත් මෑත් වෙන කොටම ජිනා මයෙ නලලට අත තිබ්බා. මට ඒ අත දැනුනේ අයිස් වාගේ. ඉසේ රදේට නලල රස්නේ හින්දම නෙවෙයි.. මම ඒ අත උඩිං මයෙ අත තිබ්බා.. ජිනාගෙ අත ඉක්මනට ගනියි කියල ලෝබ හිතුනා.
"ඉසේ රදෙත් තදට... ඇඟත් රත් වෙලද?" ජිනා කිව්වේ මගෙ බෙල්ලටත් අත තියල.
"ඇයි... දැං මගෙ අල්ලෙං දැනුනේ නැද්ද.. ?"
"ඒ වුනාට උඹෙ පපුවත් රත්වෙල නේද... කෝ හිටපිය....!"
නිවාඩු කාලේ ඉතුරු දවස් ටික සුටුස් ගානකොට ගෙවුනේ. අපෙ අම්මා හෝදල දුන්න කලිසං කමිස කොට්ටේ යට තියල රැළි ඇර ගත්තා. ඒ අතරට එක දවසක් මාත් එක්ක ගිහිං හුන්නස්ගිරියෙං තව කලිසමකුයි කමිසේකුයි මැහැව්වා. කමිසේ කර මැදට තියන කාදුව මං එපා කිව්වා. කොල්ලෝ ඒකේ එක එක එව්වා එල්ල්ලනවා. සමහර ලමයින්නේ කලිසං වල ස්ටඩ්ස් කියල බොත්තං ජාතියක් දාංට තිබ්බේ. මට නිකං බොත්තං මැහැව්වේ. ඇත්තටම අපි එව්වට කිව්වේ බොත්තෝ කියල. හොස්ටල් එකේදී දවසක් ඔය එක්කට බොත්තා කියල මං හොඳ කුනුහරපයක් අහ ගත්තා පියසේනගෙං..! කවරේ රතු පාට මොනිටර් ඇක්සයිස් පොත් කීපයක් අය්යා ගෙනත් තිබ්බා. තව රැජිණ ඉන්න නිකං ඇක්සයිස් පොත් කීපේකුත්. එව්වේ අග චක්කරේ. මතක් වෙන්නෙම අම්මාරු තැං. ඒත් නව වරක් හත වාගේ තැං නං ජීවිතේටම මතක තියෙන්නේ නැතුවෙයි. අයියා තව දුන්නා එයා ලිව්ව පරන තිංත පෑනකුත්.. අර ක්ලිප් එකේ ඊතලයක් තියෙන පෑනක්... පාකර්... !
simple "s"
2019.07.12
පින්තූර අන්තර්ජාලය ඇසුරෙන්.
No comments:
Post a Comment