ලිං කටෙං වැටුන එකා 37.
"ලඟදී දවසක් පෑලිස් අයියා අපෙ ඉස්කෝලෙට ආවා අප්පච්චී."
"හ්ම්... මටත් කිව්වා මයෙ පුතා. ඒ ගිය වැඩේ හරි යන්නෙත් නැති වෙයි වාගේ කියල කිව්වේ."
"ඔව් අප්පච්චි හරියෙට උත්තරයක් දීල නෑ ප්‍රින්සිපල් සර්. වෙන කොහෙ කොහෙ හරිත් බලංට ඔනෑ කියල කිව්වා. මොනවා කර ගත්තද දන්නෑ."
"මටත් අයෙ මුණ ගැහුන්නෑ. දස්සකම විතරක් තිබිල බෑ මයෙ පුතා ඔව්වට. වාසනාවත් ඕනෑ." ජිනාට විභාගෙට යංට බැරි වුන එක ගැන මයෙ අප්පච්චිට ලොකු කම්පාවක් නැතුවා වාගේ.
සෙනසුරාදා ඉරිදට ලඟිංම නිවාඩු දවස් තුනක් ආවා. අප්පච්චී හොස්ටල් එකට ඇවිත් මං එක්කොන්න ආවා ගෙදර. ඒ එද්දී මෙහෙම කතා වුනේ. හුන්නස්ගිරියෙන් බැහැල නුගේතැන්න හරියෙං එද්දී. මට තැනත් මතක තියෙන්නේ අම්බලමේදී සරමක් ඇඳ ගත්ත හින්දා. අප්පච්චිගෙ ඕනෑකමට...
මයෙ අප්පච්චියි අම්මයි පුදුම බයක් තියෙන්නේ මට කයෙංවත් කරදරයක් වෙයි කියල. එක්කෝ ඉරිසියාවට එහෙම නැත්තං සමහර ඇත්තංට කර ගංට බැරි වුන දේ මං කර ගත්තා කියල තරහට. වසක් විසක් දෙයි කියල ඒ බය. එහෙම වෙච්ච කතාත් තියෙනවලු. අලුතෙං තව බයකුත් එක්කාසු වෙල වාගේ පෙනෙනවා. ඒක ගැන නං කියංටත් ලැජ්ජහයි...!
"මයෙ පුතා එහෙට්ට යංට ඔනැන්නෙ නෑ. ඒ කෙල්ල එනවා නං ආපුදෙං."
"පව් අපෙ අම්මා.. ඒ ලමයට වෙච්ච දේ. "
"තව දෙයක් තියෙනවා මයෙ පුතා..." අප්පච්චිත් කතාවට එක් වුනා. " කියංටත් නං හොඳ නෑ. ඒ දරුවට දෙයියන්නේ ලෙඩ සනීප වෙල තව මහ දවසක් ගියෙත් නෑනේ.. ඕක බෝ වෙනවා මයෙ පුතා. ඒ හිංදා මයෙ පුතා එහෙට්ටවත් ඒ ලමයා මෙහෙට්ටවත් නොයා ඉන්නවා නං තමයි වැඩිය හොඳ. ආවොත් ආපහු යවංටයැ.. ඔන්න ඔහෙ වැඩිය ආස්සරේට යන්නේ නැතුව කතා කරංට. මයෙ පුතාට දෙයියන්නේ පිහිටයි. ඕක බෝ වෙන්නෙ නෑ..!"
"ඉතිං මං ආවා කියල ඒ ලමයා දන්නෙ නෑනෙ අපෙ අම්මා."
"දන්නවා මයෙ පුතා. පෙරේදා මයෙ පුතා එන දවසේ ඒ ලමයින්නේ අම්මා මුණ ගැහුනා. මොකොදෝ එක්කිං මට කියංට වුනා එදා මයෙ පුතා එනවා කියල. ඒ කෙල්ලට වෙච්ච දේ නං පව් තමා. සනීප වෙල දැං දවස් දහයක් හමාරක් නාලත් ඉන්නේ. ඒ හිංදා එච්චරම හිත බය කර ගංට එපා. එහෙම බය වුනාම තමයි ඕක බෝ වෙන්නේ. කොහොම වුනත් ඒ ලමයා අද හෙට ආවොත් එදාම ඔය කොහොඹ කොල කීපේකුයි අමුකහ කෑල්ලකුයි හොඳට තලල ඇඟේ ගාල නාමු. එතකොට හරි."
"අපෙ අම්ම කහ පාට ඇඟේ හිටියි නේද..?"
"ඒ...කහ...රි. මට අමතක වුනා. ඔය කොහොඹ කොල ටිකක් විතරක් අඹරමු."
"විහිලුවට නෙවෙයි සපු කියන්නේ... මේක බෝ වෙනවලු. මං විනෑඩියෙං යන්නං. නිවාඩුවට ආවම අපි කතා කරමු."
"පිස්සුද නංගී... මට බෝ වෙන්නෙ නෑ. උඹට වෙච්ච අවාසනාව ගැන මට කතා කරංට ඕනෑ වෙල හිටියේ. නංගී ගොඩාක් ඇඬුවා කියල පෑලයියා කිව්වා."
"අඬංට නෙවෙයි අයියා... මට මැරෙංට හිතිල හිටියේ."
"මට හොඳටම විස්වාසයක් තිබ්බා ජිනා පාස් වෙනවා කියල. ඒ තියා අපෙ දෙවෙනි මහත්තයටත්. හොඳයි නංගී නංගිගෙ ඉගෙනීම දියුණු කර ගංට තිබ්බ එකම විදිහ අපෙ ඉස්කෝලෙටම යන එක නෙවෙයිනෙ. පෑලයියා තව ඉස්කෝ... "
මට කියල ඉවර කරංට ලැබුන්නෑ... ජිනා අඬනවා. ඉස්කෝලේදී එදා මටත් ඇඬෙංට ආව එක මං කිව්වෙ නෑ.
"නංගී අඬංට එපා. උඹෙ වැරැද්දකිං, දුර්වලකමකිං වුනායැයි."
"ඒ වුනාට අයියා මං කොච්චර ආසාවෙංද හිටියේ අයියගෙ ඉස්කෝලෙටම එංට.."
"මං දන්නවා නංගී, ඇස්වහ කටවහ වැදුනා වාගේ එකක් තමයි වුනේ."
"මං විහිලුවට නෙවෙයි බං කියන්නේ... උඹ මට පේංට නැති වෙනකොට මයෙ හිතේ උඹට තියෙන ආදරේ අඩු වෙයි කියල මට හිතෙනවා.." ජිනා යටැහිං මා දිහා බල බල කිව්වේ හීනි හිනාවක් එක්ක. ජිනා එහෙම ලස්සනයි. ඒකී එතකොට හීං එකියක් වාගේ.
"උඹ කාටද කිව්වේ කියල මට තේරෙනවා... උඹට ඕනෑ දෙයක් හිතා ගන්නිං. පිස්සී."
"හ්ම්... දැං උඹගෙ ඉස්කෝල වැඩ ගැන කියපංකො."
"හොඳිං කරගෙන ඉන්නවා. හරි අමාරුයි ඒ වුනාට. කාරණා විතරක් නෙවෙයි.. එව්වේ ඉංග්‍රීසි වචනයි එව්වා ගලපලා ලියංටයි මතක තියා ගංටත් එපායැ. දැං ඒවා කට පාඩං කරන එක තමා කරන්නේ. "
"එකක් දෙකක් කියංට බලංට."
"Accute angle, obtuse angle, right angle... නංගිට හිතංට පුලුවංද ඒ මොනවද කියල. සුලු කෝනය, මහා කෝනය, සෘජු කෝනය..."
"ආසයි අයියා. අහනකොටත්."
"The sum of the three angles of a triangle is equal to hundred and eighty degrees. ඒ කියන්නේ ත්‍රිකෝණයක කොණ තුනේ එකතුව සමානයි අංශක එකසිය අසූවට.. ඔන්න!"
"සපු අයියට බැරි වෙන්නෙ නෑ. බලමුකො ඊලඟ අවුරුද්ද පහු වුනාම."
"හා.. මට නංගිට කියංට බැරි වුනා. අපිට එනාවුරුද්ද අගදී නෙවෙයි විභාගේ. අපි එනාවුරුද්දේ දාන්නේ 'අන්තර් ජ්‍යෙෂ්ටය' කියලා පංතියකට. Inter Form. ඊලඟ අවුරුද්ද අගදී තමයි අපිට සාමාන්‍ය පෙල විභාගේ."
"ඒකත් හොඳයිනෙ. වෙන ඉස්කෝලවලත් එහෙමද දන්නෙ නෑ."
"හරියටම දන්නෙ නෑ. අටේ ශිෂ්‍යත්වෙං පාස් වෙල මාධ්‍ය හිංදා අතරමං වෙන අයට විතරයි වෙංට ඇති."
"එක අතකට... අවුරුද්දක් පාඩු වෙනවා නේද? අයියයි මායි දෙන්නම එකටනෙ විභාගේ කරන්නේ එතකොට."
"ඔව් ජිනා.. ඒ වුනාට නංගිටත් විද්‍යාව කරංට පාර හදයි පෑලයියා."
ජිනා... ජිනා නංගී... තවත් ටිකක් කතා කරලයි ගියේ. ඇත්තටම ජිනත් අපෙ ඉස්කෝලෙටම එනවා නං මං කොච්චර ආසාවෙංද හිටියේ. මාත් ඒ ගැන හිතුවා වැඩී. කොහොමහරි ගමෙං පිට ඉස්කෝලේකට යංට ජිනාටත් හදල දෙයි.
ආපහු හොස්ටල් එකට ආව දවසේ රෑට දයා ගෙදරිං බත් ගෙනත් තිබ්බා. මටත් එක්ක. ඒ විතරක් නෙවේ.. දයා ආවේ එයාගෙ අම්මයි නංගියි එක්ක. දයාගෙ අම්මා මාත් එක්කත් හුඟක් කතා කෙරුවා. හරිම කරුණවන්ත, ආදරේ හිතෙන අම්මා කෙනෙක්.
"තාත්තට එංට විදිහක් නෑ කියනකොට අම්මා එංට ඉහලිම්ම කැමති වුනේ. ඇයි කියල සපුට හිතංට පුලුවංද?"
"ඇයි කියංට.. "
"සපූ බලන්ට. ඇත්තමයි සපූ... අම්මා ඔයාට පුදුම ආදරයක් තියෙන්නේ...
අම්මා එනකොට නංගී තියල එංට තැනක් නැති හිංදා අන්තිමට නංගිත් එක්කරගෙනම එංට තීරණය වුනා."
"දයා මයෙ ගැන පිරෙංට කියල තියෙන හිංදානෙ අම්මලා එච්චර මට පැහැදිල ඉන්නේ. සති අන්තෙක දයා එක්ක මටත් ගෙදර එංට කිව්වා. ඇත්තටම මටත් ආසයි දයාලගෙ දිහා යංට."
"ඉතිං අපි වීක් එන්ඩ් එකක යමු සපු."
දයාගෙ නංගී හරිම පෙනුමයි. හරියටම ජිනාගෙ වයසේ. සුදු පාටම නෙවෙයි. කලුත් නෙවෙයි. අර තල එලළු කියන්නේ. ඒ පාට. කවදාවත් අව්වක නං ඉඳල නෑ වෙංට ඇති. අපෙ අම්මා දැක්කා නං කියයි "යස සිංහල පෙනුමයි" කියල. ඒ පෙනුම වෙං කර ගංට මට නං තේරෙන්නෙ නෑ. මැද්දෙං ඉසකේ නැතුව ඉහලට ගිය නලල... අර නලල අඩ හඳ වාගේ කියන්නේ ඒකට වෙංට ඇති. ගෙදර පල්ලෙහා කුඹුරේ ගොයං පැලපත පෙබරවාරි මාසේ හීනි හුළඟකටත් රැළි හැදි හැදි නැල වෙන්නේ... අන්න ඒ වගේ කොන්ඩේ. ලොකු රැලි මුලු කොන්ඩෙම. කං දෙකයි බෙල්ලයි වටේ කෙස් මුදු මුදු කැරකිල. ලොකු කොන්ඩයක්.. කරල් දෙකට ගොතල. පටියක් ගැට ගහල. කම්මුල් පිරිල. තෙල් ගාල වාගේ. එහෙම ලස්සන ගෑනු ලමයෙක් දකිනකොට මට මයෙ නැති වුන නංගී මතක් වෙන එක මට දැං ලෙඩක් වාගේ.
මාධංගනී...
simple"s"
2019.06.21
No comments:
Post a Comment