ලිං කටෙං වැටුන එකා 34.
"ඒක හොඳයි දුව, වදකහ කෑල්ලක් නේද මේ?"
"ඔව් අම්මා, පැලිස් අය්යගෙ අප්පච්චි ඔය ගෙනත් ගැට ගැහැව්වේ."
"හොඳයි දුව.. මං එදත් කිව්වේ ඇස් වහ කට වහ ගැන ඩිංගක් හිතංට වෙයි කියල."
"ඔව් අම්මා.. දවසට කී දෙනෙක්ගෙ අතට නං යනවද?"
"හැම දෙනාගෙම ඇහැ කට හොඳයි කියංට බෑනෙ."
"මයෙ පුතා..."
"ම්..."
" 'හරි ලස්සනයි' වාගේ කතා එහෙම කියට එපා. ඇස්වහ කටවහ ගැනත් ඒ අයත් හිතනවානෙ." කියල, අපි නිඹුල්ලු බලංට එංට පිටත් වෙනකොටම අපෙඅම්මා කලිංම කියලයි තිබ්බේ. එහෙම නෙවෙයි නං, මං මේ වදකහ බැඳිල්ල ගැන පැහැදිලි කරල දෙනවා. ඇස් වහ කට වහ කතංතරයක් නෙවේ... වදකහත් අමුකහ වාගේ විෂබීජ නාශකයක්... ඒ අතිං අත යනකොට අත්වලිං එන විෂබීජ නැති වෙනවා වදකහ කෑල්ල හිංදා. කිලි නැති වෙංට වද කහ හොඳයි කියන්නෙත් ඒ වාගෙමනෙ. කිලි කියන්නෙත් විෂබීජමයි. ඔව්වා කියංට ගිහිං, මං දැං පන්ඩිතයා වෙල කියල අහ ගන්නවට වැඩිය හොඳයි මෝඩයා වාගේ බලා ඉන්න එක.
"ඩිංගක් හිනාවක්වත් වෙනකොට තමයි අපෙ මල්ලී වඩා ගංට එහෙම පිරිය හිතෙන්නේ. දැං ඉතිං කොව්චරවත් අඬංට විතරයිනෙ දන්නේ." ඩිංගිරි අක්කා එහෙම කිව්වේ මට. ඒකට මොකද ඒ පොඩි දෙන්නා දිහා බලා ඉංට හරියට ආසා හිතෙනවා. එක හීං එකෙක් දිහා බලාන ඉංට මට ආසා හිතෙන හැටියට එක වාගෙම දෙන්නෙක් ඉන්නකොට! ඒ අස්සේ අපෙ අම්මා කියා දෙන එව්වා අහංටත් ආසා හිතෙනවා.
"දුව ඔය වදකහ තනකිරි එක්ක ගල ගාල පොඩි අයට බින්දුවක් පොවන එක හොඳයි බඩ පිපෙනවටයි, විසේසෙම්ම පනු අමාරුවටයි. ඒවාගෙම කිරිපනුවෝ හැදිල කහනකොට පස්සා පැත්තේ ගාන එකත් හොඳයි, වතුරෙං ගල ගාල.
"අප්පච්චි වද කහ පැලයක් හිටවලත් තියෙනවා, අම්මා... ඔහොම හොඳ හිංදා වෙංට ඇති."
"මං වදකහ දැකල නෑ අපෙ අම්මා." මං කිව්වා.
"යනකොට බලාන යං.."
"සපු අයියා එංට මං පෙන්නන්නං.. " මෙච්චර වෙලා කට වහගෙන හිටිය ජිනාදරී කිව්වා.
මං එලියට ගියේ අපෙ අම්මා කියංට පටං ගත්ත ඊලඟ එකත් අහලම.
"පෙකණිවැල වැටුන තැන තුවාලෙට කරන දේ අම්මා කිව්වද?"
"අපෙ අම්මා කිව්ව විදියට යංතං යංතං තෙත මාත්තු කරල බෝ කොලයක් පුස්සපු අලු දානවා අම්මා."
"ඒ වාගෙම මී කොල පුස්සපු අලුත් හොඳටම හොඳයි."
"මේ තියෙන්නේ අයියා වදකහ.."
"අමු කහ කොලේ වාගේ නෙවෙයි.. හීනියි දිගටියි නේද?"
"කොලේක කොනක් කඩල පොඩි කරංටකො. වදකහ සුවඳමයි."
"හ්ම්.."
"ආයිආයිමයෙඇඟිල්ලහපුඋඹටපිස්සුදකෑවාඒකකෑවාතෝවල්අලියා."
"දෙයියනේ මං මොනවා කරංටද උඹනේ හරියටම ඒ වෙලාවට ඇඟිල්ල ඒ කොලේම තියාගෙන හිටියේ.."
"තියාගෙන.. තියාගෙන තමයි. මේ බලපං ලේ පුරන හැටි.. ඒක තැලිල බං."
"ඔහොම ඉංට මං ඇඟිල්ල කටේ දාගංට."
"උඹ එතන ඉඳල මං ගිලිංට නේද හදන්නේ ඔයෙ.."
"ම්හ්.. ම්හ්.. හ්ම්.. හ්ම්.. ම්ම් .. ම්ම්.. ඔහොම හිටිං.."
"හ්ම් ඇති.. ඇති.. දැං හරි.
අයෙ අනික් අතේ ඇඟිල්ලත් පොඩි කරපංකො.."
"ඇයි... ?
ඒකත් කොලොප්පමට ගත්තා නේද?
වරෙං ඒ පාර ඇඟිල්ල නෙවෙයි පොඩි කරන්නේ."
"එහෙනං..?"
"යමං යමං... අම්මා එයි.."
"ඒ කියන්නේ හොරෙංද...
ඔච්චර බය වෙංට දෙයක් මෙතන උනායැ.."
"නෑ නෑ පිං සිද්ද වෙයි.. ඕක ගැන අම්මලා එක්කත් කට පත්ත අදිංට එහෙම එපා ඔන්න."
"අනික් අතේ ඇඟිල්ලත් පොඩි කරංට කිව්වේ ඇයි කියල දන්නවද.. ?"
"ඔව්... දැං යං ගෙට..."
"නංගී... පෑලිස් අයියගෙ වත්ත හරි ලස්සනයි නේද?"
"මීටත් වැඩිය ලස්සනයි අර පෑයිල්ලට කලින්. හරිම පිළිවෙලටත් තිබ්බා. සරුවටත් තිබ්බා. අයෙත් හැදෙයි. අපෙ අයියට මේ දවස් වල අර මී පැටව් දෙන්නා ඇර ලෝකයක් නෑනෙ.. මෙව්වා අලි පෙරළල ගියත්."
"එහෙම කියංට එපා... මට හිටියොත් මාත් එහෙමයි..." මං කිව්වේ හිනා වෙවී. ඒත් ජිනා ඒක ගැඹුරෙම්ම හිතල.
"අයියා නිඹුල්ලු ලැබෙංට අපිට මොකුත් කරංට බැරිද?"
"මොනවා කරංටද? සොබාව දර්මෙං දෙන විදිහකට බාර ගංට වෙනවා... ජිනා ඇයි එහෙම ඇහුවේ.?"
"අයියා, ඒ කියන්නේ උඹ, නිඹුල්ලුංට ලොකු කැමැත්තකිං ඉන්න හිංදා...!"
"ඉතිං උඹ ඔහොම ඇහුවට කවදාහරි මටෙයි කියල නිඹුල්ලු ලැබෙංට උඹ මොනවා කරංටද?"
ජිනාදරී මොකුත් නොකියා මයෙ මූණ දිහා බලාගෙන හිටියා. මොකද්දෝ දිගට දිගට හිතනවා කියල නං මට තේරුනා. ඊට පස්සේ මං කහට බීල දුන්න කෝප්පේ ඉතුරුවෙල තිබ්බ කහට ඩිංගක් බීවා.
"ඒයි..... හකුරු ඩිංගක්වත් නැතුව තිත්ත දැනෙයි ජිනා... "
"හ්ම්.... කමක් නෑ. මං එහෙම කැමතියි..."
අපිට තව කතා කරංට ලැබුනෙ නෑ. අපෙ අම්මා ආවා. ගෙදර යංට පිටත් වෙල.
"ඉංට අපෙ අම්මා, මං තව එක සැරයක් බලල එන්නං.. "
"හා මයෙ පුතා.."
"ඉංට මාත් එනවා." ජිනත් එක් වුනා. අපි ඒ කාමරේට යනකොට එක බබෙක් නිදහසේ උක්කුං බොනවා.
පහුවදා ජිනා අපෙ ගෙදර ආවේ පාඩං කරංට.
"ලියංට නං බෑ අයියා. ඇගිල්ල ඉදිමුනා. ඉදිමුමටත් වඩා... කනුමහ ඉරිල, ඒක රෙදෙන්නේ."
"මොනවද ගෑවේ.?"
"අප්පච්චි තැලුං තෙල් වගෙයක් දුන්නා. එව්වේ කපුරු තෙල් සුවඳ..."
"කෝ දෙංට බලංට... මං ආසයි ඒ සුවඳට. මෙච්චර එකක් වෙයි කියල මට හිතුනෙ නෑ ජිනා."
"එච්චර මහ දෙයක් වෙලත් නෑ තමයි... මේ."
මං ජිනාගෙ අත ඉඹ ගත්තා. ජිනා හීම්ම හීං බබෙක් වාගේ මයෙ දිහා බලාන හිටියේ..
"අපි ලියන්නෙ නැතුව කතා කරමු ජිනා..."
"ඒක නං හොඳයි."
"අප්පච්චී ඇහුවෙ නැද්ද මොනවා වෙලද ඇඟිල්ල තැලුනේ කියල?"
"ඇහුවා.. මං කිව්වා 'අර හපුවා ඇඟිල්ල කැඩුවා' කියල.'
"හා... ඒක හොඳයි."
"මොකද්ද?"
"කැවා කියන්නේ නැතුව කැඩුවා කිව්ව එක...
නංගී නිකං ඉන්න වෙලාවට වැඩක් කරංට ඕන.. "
"මොකද්ද?"
"නංගී කීවනේ.. වර්ණනා එන රචනා කැමතියි කියල. කමක් නැ, එහෙම මාතෘකවක් තෝරා ගංට. එහෙම එකකට අපට එද එදා මුණ ගැහෙන දර්ශණ වලිං, කෙටි වර්ණනා ටිකක් ලියලා තියා ගංට.. විටිං විට බලංට."
"ඒ කිව්වේ...?"
"මෙහෙම හිතංට...
පොඩි ලමයෙක් සම්බන්ද වෙන මාතෘකාවලට... පොඩි ළමයෙක් ගැන විස්තර රචනා ශෛලියෙන්... ගැඹුරට පෙනෙන නිල්පාට ඇස්, හෙලවෙන හැම දේම දිහා ගැස්සි ගැස්සි බලන හැටි, අම්මා ලඟට ආව ගමං ඒ සුවඳ අඳුරන හැටි වගේ එව්වා. තව එකක් ... හැන්දෑවක් ගැන සම්බන්ධ කරංට 'තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා' වාගේ එකක් නං.... ඒකට ගැලපෙංට.. කරුණු එහෙම."
"ඉතිං අපි දෙන්නම එක් වෙල ලියමුකො අයියා.."
"ඒ ඉතිං රචනා ලියංට නෙවෙයි... වෙලා තිබ්බොත් බලමුකෝ. මං මට ලිව්ව එකත් කොහෙ හරි තියෙංට ඕනෑ. බලමු. ඒ වුනාට මං කැමතියි නංගී එහෙම ටිකක් ලියල පස්සේ මගෙ එව්වා බලනවා නං.. කම්මැලිච්චී..."
"අන්න හරි... 'අයියා එක්ක පාඩම් කළෙමි.' කියන එක ගැන ලියංට තිබ්බොත් උඹෙ ඔන්න ඔයෙ වාගේ නපුරු කං ගැන මං ලියන්නේ."
"ඕනෑ එකක් ලියා ගනිං... හැබැයි විභාගේ පාස්වෙල නුගවෙල වරෙං."
"හා.."
"මේ.. නුගවෙල කිව්වම දන්නවද, තව දවස් හත අටයි නිවාඩු තියෙන්නේ... කැමැත්තකිං නෙවෙයි මං යන්නේ අප්පා."
"හ්ම්.."
"ඔන්න ඉතිං මූණ එල්ලා ගත්තා... හිනා වෙල ඉංට නංගී."
(සටහන;
මෙහි දැක්වෙන, පෙකණිවැල ප්‍රථිකාරය දැන් නිර්දේශ කළ නොහැක.)
simple"s"
2019.05.27
සේයාරූ:
01. අන්තර්ජාලය ඇසුරෙන්,
02. (වදකහ) Sew Samarasinghe ගෙන්.
No comments:
Post a Comment