Tuesday, December 4, 2018

උඩගෙදර කතා 96 (විශ්ව ආදරවන්තයින්ගේ දිනය)


                    "විශ්ව ආදරවන්තයින්ගේ දිනය"

                විශ්ව සහ සඳූ ආදරයෙන් බැඳෙන්නේ ඔව්න් උපදින්නටත් පෙර ය. යම් අහම්බයකින් මේ දෙදෙනා උපත ලබන්නේ එකම දිනක එකම වේලාවේ ය.
ඇවැස්ස නෑනා මස්සිනා වෙති. පාසල් ගියේ, සෙල්ලම් කළේ, බොහෝ විට කෑවේ බීවේ පවා එකට ය. කාලය ගෙවී ගොස් ලාවට ලාවට නුහුරු හැඟීම් හදවත් තුල ජනිත වෙද්දී ඔව්න් ආයාශයකින් තොරවම පෙම්වතුන්  බවට පත් වේ. ඒ අතරට දුෂ්ටයෙකුගේ ආගමනයක් ද සිදු නොවිනි. ලේ නෑයින් වීම ගැන පුංචි කුහුලක් දෙමාපියන් අතර පැවතියත් විරෝධයක් පෑමට ඉදිරිපත් නොවූහ.

                     විශ්වගේ සෙනෙහස "මං ආදරෙයි... මං ගොඩාරියක් ආදරෙයි... " කියා උදේ සවස මතුරන එකක් නොව. ගැඹුරු ය,බොහෝ සෙයින් නිහඬ ය. එහෙත් සඳූ වෙනස් ය. මුළු ජීවිතයම විශ්ව හා තොඳොල් වෙමින් ගෙවන්නට ඇයට ඕනෑ ය. අඩුම තරමින් මුහුණු පොතෙන් වත්.. !  සඳූගේ ලාබ හෝ බාල සෙනෙහස සමහර අවස්ථාවල තමන්ට හිරිහැරයක් වුවත් විශ්ව සියල්ල ඉවසුවේ "කොහොම වුනත්, සඳූ මට හදවතින්ම ආදරෙයි..." කියා ඉඳුරාම දන්නා නිසා ය. එයට උදාහරණ කොතෙකුත් විය.

                        දිනක් මුහුණු පොතේ, විශ්වගේ කවියක් පලවී තිබුනි. විශ්වගෙ ලොකු අම්මාගේ පුතා එයට, "හරිම ලස්සණයි.. ආදරෙයි මල්ලියේ.." කියා සටහනක් තැබී ය. සඳූ ද, "විශ්වගේ හැකියාව ඉතා ඉහලයි..  ලොකු අයියට වැඩිය මං විශ්වට ආදරෙයි.. " කියා සටහනක් තැබුවා ය. විශ්වට ලා හිනාවක් පහළ විය. එහෙත් "මාපට ඇඟිළි සළකුණ" පෙන්වීමෙන් පමණක් නිහඬ වී ය. මෙවැනි අවස්ථා කොතෙකුත් තිබුනි.

                          දවස පුරා කල්පනා කර, විශ්වගේ ආදරය අරමුණු කරගත් ප්‍රේමණීය සටහනක් මුහුණු පොතේ තැබීම සඳූගේ දෛනික කටයුත්තකි. පාට පාට පසු බිමක... නොඑසේ නම් ලස්සණ මල් කිනිත්තක් සමඟ....!

                         දිනක් මුහුණු පොතේ,තැබීමට ප්‍රේමණීය කෙටි සටහනක් සොයා ගැනීම සඳූට අසීරු විය. හදිසියේම, යෙහෙළියකගේ ඇතුල් පෙට්ටියේ තිබී දුටු සටහනක් ඇයට සිහිපත් විය. සිය අවශ්‍යතාවට ගලපා ඈ මෙවැනි සටහනක් විශ්වගේ ඇතුල් පෙට්ටියේ තැබුවා ය.

"විශ්ව ආදරවන්තයින්ගේ දිනය දොර ලඟටම ඇවිල්ලා... ආදරවන්තයා යනු හොඳම මිතුරා ය. ඔයා මගේ හොඳම මිතුරා ය. මෙය දහ දෙනෙකුට යවන්න. මා ඔබේ හොඳම මිතුරෙක් නම් මටත් එකක් එවන්න. ඔබට ආපසු දහයක් ලැබුනොත් ඔබ හොඳම මිතුරෙකි." විශ්ව මෙය බලා නොපමාවම මෙසේ සටහනක් ආපසු යැවී ය.

"ඔයාගෙන් මේ සටහන ලැබෙන්නටත් කලින්ම, මට මේ සටහන දාහත් දෙනෙකුගෙන් ලැබිලා.. මමත් share කළා.!"

                                                           simple "s"
2017.11.14
                     
                  

No comments:

Post a Comment