Sunday, December 2, 2018

උඩගෙදර කතා 66 (පළවෙනි ලියුම)

                            "පළවෙනි ලියුම... "

             හරි ප්‍රශ්ණයක්. ලියුම් කීවම කීයක් ජාති තියෙනවද? සැපෙමි... සැපවේවා! කියලා සාරාංශය පුහුණු වෙංට අප්පච්චිට ලියන ලියුමේ ඉඳලා පෙස්සම දක්වා ගත්තම වර්ග හත අටක්වත්...! ඔය කොයි එකට නමක් හදා ගත්තත් මෙව්වට කටට හුරුවට නමක් හදා ගංට අමාරුයි. ආදර ලියුම් හරි පෙම් ලියුම් හරි කියංටයැ... විහිලුවට සෙනෙහෙකොල කීවට ඒ බඩ විරේක වෙංට බොන දේශීය ඖෂධයක්. කියංට පුලුවං එක හරි සීරියස්... පෙම් හසුන්...! "අද මට සිරිමගෙන් පෙම් හසුනක් ලැබුනා." කිව්වොත් කොහොම හිටීද?

               හොඳයි... ඒ ප්‍රශ්ණය පැත්තකින් තියලා මේ අත්දැකීම කියලා ඉන්නංකො.

               හැට එකේදී විතර. එක කොල්ලෙක් හිටියා. සේන කියමු. පංතියේ එකට හිටිය කොල්ලෝ ඔක්කොටෝම කෙල්ලෝ හිටියා. අපෙ එකා අහංකාරයි. ටිකක්. එක්කෙනෙක් දෙන්නෙක් වෙරළු එහෙම දෙංට හැදුවා. එකියකුට කිව්වා "බබා හම්බ වෙංට තව කල් තියෙනවා" කියලා. "හැම සතියෙම ගෙදර දුවන්නේ අම්මා තවම බත් කවනවද?" ඇහුව එක්කෙනාට දුන්න උත්තරේ... "නැතුව ඉතිං කව්රු කවංටද?" කෙලියා.. වෙන අදහසක් එයාට ගියේ. පහුවදා වෙන කෙනෙක් මාර්ගයෙං ඇහුවේ "බඩුවක් දුන්නොත් ගන්නවද?" කියලා. ලියුමක්ලු... "අපෝ.." උත්තරේ එච්චරයි. වැඩේ ක්ලෝස්. "එයා මහ බය ගුල්ලෙක්.." කියලා නං කීවලු. පස්සේ. අපෙ මෑන් නෙවේ එව්වට සැලුනේ..

                පංතියේ කොල්ලෝ කුල තුනකට බෙදලයි තිබ්බේ. ආදරය සාර්ථක වුන, නියුට්‍රල් හා ප්‍රේමය ප්‍රතික්ෂේප වුන වශයෙන්. ඔය තුන් වෙනි වර්ගය හරි අවාසනාවන්තයෝ. අනික් උන් බැලුවේ හරහට. පලවෙනි කුලයේ අය හරි ආඩම්බරයි.. මැද එවුංට නං එක්කෝ කෙල්ලෙක් මූණවත් බලන්නෑ. එහෙම නැත්තං අපෙ එකාට වාගේ... ලාදුරු. හැඟීම් දැනීම් නෑ!

                 කොහොම හරි අපෙ සේනට කෙල්ලෙක් නෑ කියලා අමාරුව තිබුනේ එයාගෙ පංතියේ ඉහලම කුලයේ කොල්ලොංට. ඒ අයගෙ බඩුත් (මට කරංට දෙයක් නෑ.. ඒ කාලේ කිව්වේ එහෙමලු!) එක්කත් එක් වෙලා පොඩි කුමන්ත්‍රණයකුත් ගිහිං.

                  ලඟ දවසක ලයියා අපෙ එකාට ලියුමක් ගෙනත් දෙනවා! හොස්ටල් එකේදී. Congratulations කියලත් කියනවා. ලියුම බැලුවේ Toilet එකට ගිහිං. "අනේ සොරි මල්ලී..මම ඔයාට වැඩිමල්.." ඔන්න ලියුම. මේ මොන විකාරයක්ද? ඒත් අපෙ එකාට තේරුනා වෙලා තියෙන දේ. ලියුමත් සාක්කුවේ දාගෙන ඇවිත් ලයියටයි කන්ඩායමටයි පලු යංට බැන්නා.

"ඒයි... බඳිමුද?"
"බෑ උඹ බාලයි."
                   ඉස්සරවෙලාම හොස්ටල් එකේ උං දෙන්නෙක්! මේ මෝඩයා ලියුම බලන වෙලාවේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ වෙන එකෙක්ගෙ කමිසයක්.. ලියුම පිටිංම ඒක ගලවලා තියලා.

                   තව දෙන්නා දෙන්නා අර රංගනය.. හවස ඉස්කෝලෙදි (ඒ කාලේ එහෙමයිලු.) තව අය. අපෙ එකාට තියෙන වැඩිම ලජ්ජාව අර තුන් වෙනි කුලයට වැටෙනවට. මේ ලෝකේ දෙයක් දන්නෙත් නැතුව ඔන්න අපෙ එකා වැටිච්ච අමාරුව... පළවෙනි ලියුම!

*******************************************************
පසු සටහන:
                 පහුවදා පුංචි ලේන්සුවකිං, ජම්බුගෙඩිය වාගේ මූණයි බෙල්ලයි පිහ පිහ ඔය ගෑණු ලමයා දස දිසාවම බල බල ඇඹරි ඇඹරී හා පැටියෙක් වාගේ ඇවිත් අපෙ එකා මුණ ගැහෙනවා.. පළවෙනි ෆ්‍රී පීරියඩ් එකේදිම. Paper board එක ලඟ stair case එකේදී. ලස්සනට කවරයක් දාපු ලීල් ගුණසේකර මහත්තයගෙ "පෙත්සම" අතේ තියල දුවනවා. (ඇඬි හිනාවක් මූණේ. උදේ ඉඳලම ඇස් ඉදිමිලා. සේනත් දැක්කා.) පේපර් බෝඩ් එක ගාවා මුරට හිටිය රාජකරුණා විතරයි සේන දැක්කේ. ඒත් Down stairs වලත් තව එකියක් හිටියලු.

"මම ඊයෙ රෑ තිස්සේ ඇඬුවා. ඔයා බය වෙන්න එපා. තව මොනවත් ප්‍රශ්ණයක්, ලැජ්ජාවක් වෙන්න දෙන්නෙ නෑ." පොතේ කවරේ ඇතුලේ පුංචි ලියුමක්!
අපෙ එකාට කොහොම අස්වැසිල්ලක් ලැබෙන්ට ඇද්ද?
                  මේ, අර අම්මා තවම බත් කවනවද ඇහුව ලස්සන ගෑණු ලමයාමයි...! අදත් මේ දෙන්නා බොහොම හොඳ හිතවත්තු... එච්චරයි කියංට පුලුවං.

                                                            simple "s"
2018.07.21
                 

No comments:

Post a Comment