ලිං කටෙං වැටුන එකා 04
"පෑලිස් යන්ටද?"
"එහෙමයි අපෙ මහත්තයා... අයෙ මොකවත් කරංට තියෙන වෙලාවක එන්නං."
"හොඳයි. පෑලිස් මේ කතා දෙකත් හරි හොඳයි.. අරන් ගිහින් කියවන්ට. ආපහු ගන්ට හදිසියක් නෑ."
"එහෙමයි අපෙ මහත්තයා ... මට තව කාරණාවක් කියංටත් තියෙනවා."
"ආ.. රහසක් වෙන්ට ඇති, ඔච්චර ඇඹරි ඇඹරි කියන්නේ... ලජ්ජා වෙන්ට එපා ඕනෑ දෙයක් කියන්ට. මොකද පෑලිස්ගෙ අම්මා අප්පච්චිලා පෑලිස්ට ගෑණු ළමයෙක්වත් ලෑස්ති කරලද?"
"ඒ අය හෙව්වා නෙවෙයි..."
"හා... අයෙත් පෙරළියක් කරන්ට වාගේ ලෑස්ති. අම්මලාට කිව්වද?"
"නෑ අපෙ මහත්තයා .. දැම්ම කාටවත් කියන්නෑ. අම්මලා කැමති වෙයි කියංටත් බෑ."
"ඒක නං ටිකක් ප්‍රශ්ණයක්. ඒ නොමනාපකම් නැති කර ගංටත් පෑලිස්ට දැන් හොඳට තේරෙනවනෙ. ඔය සිද්දියෙන් අම්මා අප්පගෙ හිත් රිදවන්නේ නැතිව එකඟ කර ගන්ට බලමුකෝ. ඕක ජීවිත කාලෙටම ගන්න තීරණයක්... ඔව්.. ජීවිත කාලෙටම.. ඉතිං මව්පියන්ගෙ වුනත් හිත් සතුටු කෙරුවත් තමන්ගෙ හිත සතුටු නැත්තං ප්‍රශ්ණ ගොඩක ආරම්භය. ඒ අයත් මනාප කරගෙන කෙරුවත් ප්‍රශ්ණ ඇති නොවෙනවා නෙවෙයි. ඒත්, එහෙම කර ගංට පුලුවන්නම් විශාල ප්‍රශ්ණ තොගයක් මගෑරෙනවා. අනික අපිට බරපතල වගකීමකුත් තියෙනවා."
දෙවෙනි මහත්තය කල්පනාවක්.
"කොහොම වුනත් පෑලිස් මෙන්න මේ ටික හොඳට මතක තියා ගංට. එහෙම එක තැනකට වෙන්ට කලින් පැල් කොටයක් වත් වෙනම හෙවනක් හදා ගංට ඕනෑ. එහෙම නැත්තං හොඳටම හිත පැහැදීමකුත් නැති එකේ ඔය කොතනත් තියෙන නැන්දම්මා ලේලී ආරෝව දලු දානවා. වැඩිකල් නොයාම. මව්පියෝ නොමනාපකම් පෙන්නුවත් දරුපැටියෙක් වඩාගෙන ගිහින් පෙන්නුවම, අත්තම්මගෙ චීත්ත කෑල්ල තෙමුවම එව්වා ඉවරයි. ඉතිං ඒ ඇත්තන්ගෙ මූණ බලන්ට බැරි දෙයක් කියල කරල තිබ්බොත් මොකද වෙන්නේ."
අනික, දෙන්නට දෙන්නා හොඳට තේරුම් ගන්ට ඕනෑ, අනික් එක්කෙනා කියන කරන දේටත් ඉඩ දෙන්ට ඕනෑ, හැම දේම දෙන්නගෙ... හැම දේම දෙන්නට කියල හිතංට ඕනෑ. මොන ගෑණු කෙනෙක්වත් තේරුම් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි පෑලිස්. එයිනුත් තමන්ගෙම බිරිඳ තමයි ලේසිම නැත්තේ. දෙපැත්තේ අදහස් දෙපැත්තකින් ඇව්ත් අන්තිමට එක තැන් වෙන්ට ඕනෑ. හරියට අර දුම්බර ** කන්දේ ජෝඩු ඇල්ල වාගේ. මේ වතුර මේ ඇල්ලේ.. අර වතුර අරකේ කියල අයෙ වෙන් කරන්ට බෑනේ. අන්න ඒ වාගේ.
දෙවෙනි මහත්තයා අයෙත් කල්පනාවක.
"පෑලිස්ලගෙ තව ඉඩම් තියෙනවද?"
"එකක් රෑණ කෙටූගල පැත්තේ තියෙනවා. අර නාන තැන කිට්ටුවෙං. තව එකක්..."
"රෑණ කෙටූ ගල හොඳයි. ගෙදරටත් කිට්ටුයි. වැව්ලියද්දෙන් එන ඇලයි වැවයි අත ලඟ."
"වැව්ලියද්දේ ඇල ඔය ඉඩම පාමුල අපෙ මහත්තයා."
"ඒක තමයි. පෑලිස් අප්පච්චිත් එක්ක එකතුවෙල ඒකේ කාමර දෙකක් තනන්ට ඕනෑ."
"ඒත් මං ඕක කියන්නේ කොහොමදෑ උන්දැට අපෙ මහත්තයා."
"හ්ම්.. ඒකත් ඇත්ත. පෙලවහක් කර ගන්ට යන කතාව දැන්ම ඒ අයට කියන්ට ඕනෑ නෑ. හොඳයි අද හෙට මට මුණ ගැහෙන වෙලාවක මමම කියන්නම්. පොඩි පොඩි දේවල් වලට සල්ලි දෙකක් නම් ඕනෑ වෙයි. උදව් වෙන්ට එන කෙනෙකුට කහට එකක් දෙන්ට එහෙම."
"හොඳයි අපෙ මහත්තයා.
* * *
දවසක් දෙවෙනි මහත්තයා පෑලිස් ලඟ ඉඳගෙන හිටිය පේමරත්නට වේවැලෙං ඔලුවට ගහනවා... චක්කරේ වරද්දනවට. පෑලිස් පාරවල් ගණං කරනවා.
"එකායි.... දෙකායි.... තුනායි...."
"ඉඦ... මේකත් ගණං කර ගං.. " දෙවෙනි මහත්තයා ඊලඟ පාර දුන්නේ පෑලිස්ගෙ ඔලුවට. හොඳ පාරක්. රෙදුනා.. ලැජ්ජාව ඊට වැඩිය. එක සැරයක් ඔලුව අතගාල පෑලිස් බංකුව දිහා බලා ගත්තා. තව දවසක් වතු වැඩ වෙලාවේ වෙන ළමයෙක්ගෙ සරම අස්සට පස් දාල අහු වුනා. ඉස්කෝලේ වෙලාවේ, දිඹුල් ගහෙං නැගල ඒකේ අත්තකට ගෑවිල තිබ්බ පුවක් ගහ දිගේ රූටල අහුවෙච්ච දවසෙත් හොඳ ගුටියක් හම්බුනා.
ඒ වාගෙම ඉස්සර චිරි චිරි ගාද්දී දෙවෙනි මහත්තයා කනෙං ඇද්ද වෙලාවල් අනංතයි. බැන්න වෙලාවල් නං කෙලවරක් නෑ. ඒත් කල් යනකොට ඒකම මහා ගෞරවයක් වුනා. ඒකට තව හේතුවක් තිබ්බා. දෙවෙනි මහත්තයා සැරයි, තරහ යනවා කියනවා වාගෙම ළයින්ට බොහොම කරුණාවයි ආදරෙයි කියලත් ප්‍රසිද්දයි. අනික, එහෙම හදාගත්තා නෙවෙයි නං විසේසෙම්ම පෑලිස් කැලෑ සතෙක් වෙංටයි තිබ්බේ.
හොර ලියුම් පලහිලව්ව වුනා නෙවෙයි නං පෑලිස් ඉගෙන ගංටත් දස්සයා. ඉස්පැට්ටර මහත්තයා ආව දෙතුං සැරයක්ම ප්‍රශ්ණ වලට උත්තර දෙංට ඉස්සරහට දැම්මේ පෑලිස් තමයි. පංතියේ පළවෙනියා නෙවෙයි නං දෙවෙනියා. පැලිස්ට තරඟෙට හිටියේ පේමරත්න. පෑලිස්ලා තරඟයක් කියල එකක් දන්නෙ නෑ. ඔහෙ ලිව්වා..., ඔහෙ ලකුණු ලැබුනා. එච්චරයි.
* *
"පෑලිස් කොහෙද ඔය ගෑණු ළමයා?"
දැං අහයි දැං අහයි කියල පෑලිස් බලාන හිටිය ප්‍රශ්නේ! ඒත් පෑලිස්ට තරමක චකිතයක්. ලැජ්ජාවත්..
"ගමේම අපෙ මහත්තයා. අර අපෙ පංතියේ හිටිය ඩිංගිරී."
"මං හිත රිදෙයි කියල මෙච්චර කල් ඇහුවෙ නෑ පෑලිස්. අර ලියුමක් හින්දා මහ ලොකු ප්‍රශ්ණයක් වුනේ.. ඒක ලිව්වෙත්?"
"ඔය ඩිංගිරීට තමයි. ඒක මං ඊයේ වෙනකල් කිසි කෙනෙකුට කිව්වෙ නෑ."
"ඒ ළමයා දැනගෙනවත් හිටියෙ නෑ නේද?"
"නෑ අපෙ මහත්තයා.."
"එතකොට ඉස්කෝලෙන් අයින් වුනදා ඉඳලම ඔය
සම්බන්දේ තිබුනද?"
"ඉස්කෝලෙං පස්සෙම කතා කෙරුවේ ඊයේ තමයි. මයෙ හිතේ මෙහෙම තියෙනවා කියල එයා ඉවෙං වාගේ දැන ගෙන නං හිටියා වෙංට ඕනෑ."
"දැන් ඕක කෙරෙනවාමයි කියල පෑලිස්ට ව්ශ්වාසද?"
"එහෙමයි අපෙ මහත්තයා."
"හොඳයි .. පෑලිස් දැං නොතේරෙන බබෙක් නෙවෙයි. ඔය ජීවිතය ආරම්භය කියල මතක තියා ගන්ට. කොයි දේවත් කල්පනාවෙන් කර ගන්ට. මෙන්න මේ පොතත් අරන් ගිහින් කියවන්ට. ඕකේ තියෙන්නේ පිටරටක ලඟදී බඳින්ට ඉන්න ජෝඩුවකට දොස්තර කෙනෙක් දෙන උපදෙස්. හරිම වටිනවා. මහාචාර්ය දොස්තර ෆ්‍රේෂර් කියල මහත්තයෙක් ඉංගිසියෙන් ලිව්ව පොතේ පරිවර්තනයක්."
පෑලිස් දණ ගහල වැන්දා. වෙනදට වැඩ් ගෞරවයක් එයාට දැනුනේ.
"තෙරුවන් සරණයි.! යහපතක්ම වෙන්ට ඕනෑ..."
simple "s"
2018.12.28
No comments:
Post a Comment