Tuesday, December 4, 2018

උඩගෙදර කතා 99 (ගම් සභාපති ඡන්දය හා කෝල්ලේ මහත්තයගෙ මෙහෙයුම.)

"ගම් සභාපති ඡන්දය හා කෝල්ලේ මහත්තයගෙ මෙහෙයුම...."

                ඩිංගිරි මාමලගෙ ගංසබාවට අළුත් චාර්මං කෙනෙක් තෝරංට යනවා.. මේ ඡන්දේ තියෙන්නේ එක එක ගං වලිං දිනුව මැම්බර ඇත්තන්නේ විතරක් ඡන්දෙං..

                දෙන්නෙක් ඉදිරිපත් වෙනවා..එක්කෙනෙක් ඩිංගිරි මාමලගෙ ගමෙං දිනුව අපෙ වෙද මහත්තයා.. අනික් එක්කෙනා කෝල්ලේ මහත්තයා.. මෙයාට කෝල්ලේ මහත්තයා කියන්නේ එයාගෙ සීයා ඒ කාලේ ගං දහය කෝරළේ , කෝරළේ හාඳුරුවෝ වෙලා හිටිය හිංදා... ගම් පලාතේ හැම කෙනෙකුටම ඒ උත්තමයා තවම කළු කෝල්ලේ හාඳුරුවෝ.. බෝම ගුණ යහපත් කෙනෙක්ලු. දැං මේ ඉදිරිපත් වෙන එක්කෙනාගෙ අප්පච්චිටත් ඒ කියන්නේ කළු කෝල්ලේ හාඳුරුවන්නේ පුතාටත් අනිත් අය කිව්වේ කෝල්ලෙ හාඳුරුවෝ කියල. අළුත් එක්කෙනා නං නිකංම කෝල්ලේ මහත්තයා..

                 කෝල්ලෙ මහත්තයා නාහෙට අහන්නැති ඉළංදාරියා.. ටවුමේ ඉස්කෝලේකට ගියේ. තවම සෙල්ලක්කාරයා.. ඒ වාගෙම හරිම හීං නූල් කාරයා.. ඔක්කොමත් හරි බොන එක තමයි එපාම කරපු දේ.. ඒත් වැඩිහිටියොංට තිබ්බ ගව්රවේ ගං පැත්තේ කාගෙනුත් මේ ඇත්තටත් තියෙනවා. පෙලක් අය එක එක කතා කිව්වත් ඒ ඇත්තා මැම්බර වුනේ නැද්ද.. හා..! කිසි කෙනෙක් එයාගෙ මූණට නං අබමල් රේණුවක ඇදක් කියන්නෑ..

                 චාර්මං ඡංදේ කිට්ටු වෙද්දී අමුතු අමුතු වැඩක් දෙකක් වුනා..

                  දවසක් උදේක අපෙ වෙද මහත්තයගෙ ගෙදෙට්ට පලාබැද්ද හංදියේ පත්තර කඩේ ඉළංදාරියෙක් පත්තර දෙක තුනකුත් ඇන්න ආවලු..
"මේ පත්තර තුන හතරත් අපෙ වෙද මහත්තයට දෙංට කිව්වා.අපෙ මුදලාලි මහත්තයා.."

"ඒ මොකටද ළමයෝ..?"
"ඇයි .. ඊයේ උදේම ඉළංද‍රියෙක් ඇවිත් වෙද මහත්තයා කිව්වා කියල බෙදංට තිබ්බ පත්තර ඔක්කොම  සල්ලි දීල ඇන්න ආවේ.. ඉතිං මොකද්දෝ ඕකේ තියෙන ලිව්මක් හිංදා වෙංටැති කියල ගඟබොඩ ටව්මට ගිහිං එද්දී ඔයෙ පත්තර ටිකත් ඇන්න ආවා.. අපෙ මුදලාලි මහත්තයා. එහෙනං මං ගිහිං එන්.."
"නෑ.. නෑ.. තේ වතුර ටිකක් බීල යං.. "
"ආ.. මේ තියෙන්නේ ඒ කිව්ව ලිව්ම.. හා .. මේකෙං එක පත්තරයක් මට තිබ්බම ඇති.. අනික් එව්වා බෙදංට හිටිය තැං වලට දෙංට කියංට.."

                  මේ පත්තරේ, සිංහල වෙද කමට අපෙ වෙද මහත්තයගෙ තියෙන දස්සකං ගැනයි තමන්නේ සේසතම හරි මිනිසුන්නේ යහපතට දෙංට තියෙන ලැදි කමයි වාගේ එව්වා ලියල තියෙනවා. ඇයි මං එදා කිව්වේ වීසී කංතෝරුව තියෙන ගොඩනැගිල්ලයි ඉඩමයි ගැනත්... පත්තර ටිකට මොකද උනේ කියල පැත්ත පලාතෙම කතාව ගියා..!

                  මේ පත්තර සිද්දිය දැනගත්ත අලුත් මැම්බර ඇත්තෝ කීප දෙනෙක් වෙද මහත්තයා මුනගැහිල..

"අපෙ වෙද මහත්තයට අලුත් මැම්බර මහත්තුරුන්නේ කැමැත්ත නැති කරවංට කෝල්ලේ ළමයා කරවපු වැඩක් කියලයි කතාව තියෙන්නේ.."
"වෙංට ඇති පීතර උන්නැහැ.. පරණ කෝං කං එහෙමත් තියෙනවා.. ඔය ළමයා මයෙ බෑණා කරවංට එයගෙ අප්පච්චි මට පණිවිඩයක් එවල තිබ්බා. මයෙ ලොකු දුවවත් කව්රුවත් ඒකට කිසි මනාපයක් වුනේ නෑ.. ඊට පස්සේ ආවනෙ වෙන යෝජනාවක්.. කෙලිං කියන්නැතුව ඒ ඇත්තංට ඇහෙංට කෝල්ලෙ ළමයාගෙ ගෝලයෝ මයෙ දුවගෙ බොරු වැරදි කතා වෙවී හිටියලු.. අර අම්මලා අප්පලා මේ ගැන හෙව්වලු.. දැං මයෙ ලොකු දුව ඉන්නේ ඒ ඇත්තන්නේ ගෙදර.."
"වෙන මොනවද කරපු හතුරුකං..?"
"මිනිහගෙ වැඩ හරි සූස්සමයි.. මට බෝම ආදරෙයි කියල පෙන්නාගෙන තමයි අනික් ඇත්තං මා ලඟට එන එක නවත්තන්නේ.. ඇයි ලඟදී දවසක් කියල තිබ්බේ, 'වෙද මාමට තේරෙන්නෑ.. උන්දෑ දිනුවොත් මං කියල දෙනවා ඔයෙ ගං සබාව දියුනු කරන හැටි' කියලත්.."
"ඉතිං තමුන්නාංසෙ කරබාගෙන හිටියා.. එහෙමද?"
"අපෙ වෙද මහත්තයෝ.. ඡන්දේ ලං වෙනකොට ඔයෙ ඇත්තා තව කටකතා පතුරුවයි නේද.. තමුන්නාංසේ ටව්මේ දන්න කියන අයට කියල .."
"පිංහාමි මළයෝ... ඔයෙ කිසි දෙයක් එපා.. ඒ දැන හැඳුනුං කං තියා ගමු අපෙ මිනිසුංට කවදා හරි සේවෙයක් ලබා ගංට.. මං මේකෙං තේරුනෙ නෑ කියල මයෙං මිනිසුංට වෙන සෙතක් ඇත්තං ඒක අඩුවෙයි කියලද.. කවදාවත් නෑ. ඒ තියා හෙට ඔයෙ ළමයා උදව්වක් ඉල්ලාගෙන ආවත් මං අහක බලන්නෑ මළයෝ.. ඒ වාගෙම ඉස්සරහටත් මයෙ හොඳ නරක අමුතු විදියට කියයි. ඇහුනෙ නෑ දැක්කෙ නෑ වාගේ මං දිගටම ඉන්නවා කියලයි හිතාගෙන ඉන්නේ.."
"ඒක ඇත්ත.. ඔයෙ මොන දහං ගැට දැම්මත් අපෙ වෙද මහත්තයා දැනටම දිනල ඉවරයි කියල ඒ ඇත්තා දන්නෑ.. අපෙ අය හය දෙනෙක් දැම්මම අපෙ වෙද මහත්තයට.. ඒ ඇත්තංට එක එක වැඩ හිංදා අද එංට බැරි වුනේ.."

                ගං දහය කෝරළේට තියෙන්නේ මැම්බර කොට්ටාස එකොලහයි..

                කෝරළේ මහත්තයගෙ හොඳම හිතවතා සෝමපාල.. නිකං ලැබෙනවා නං රා අරක්කු ලබු ගෙඩියක් හරි බොයි..

                චාර්මං ඡංදෙට කලිං දවසේ සෝමපාල ගොයියා පොලොන්නරුවේ යංට විනෝද ගමනක් සංවිදාන කෙරුවා. අළුත් මැම්බර මහත්තුරු හතර පස් දෙනෙක් එක්ක.. ඒ ඇත්තෝ මැම්බර ඡංදේ දිනුව සංතෝසෙටලු

"අපෙ කෝල්ලේ මහත්තයා දින්නොත් අපිට මෙහෙම සංතෝසෙං යන ගමං බිමං කීයක් නං හදල දෙයිද..." සෝමපාල සීල් අරක්කු බෝතලෙං බාගෙයක් ඉවර වෙද්දී වාගේ තමංගෙ රාජකාරිය පටං ගත්තේ එහෙමයි..

                  කොලොංබැද්ද ගමෙං මැම්බරකම දිනුව හේරත් හාමි උන්නැහැගෙ ඡංදේ ගැන කාටත් තිබ්බේ දෙගිඩියාවක්.. ඒක කෝල්ලේ මහත්තයට ලැබුනොත් කෝල්ලේ මහත්තයා ගොඩ කියලයි ඒ ඇත්තෝ ගනං හැදුවේ. ඒ උනාට රහස් ඡංදයක් තිබ්බොත් අනික් ඇත්තොත් කොයි පැත්ත ගනීද කියල දන්නෙ දෙයියෝ තමයි.. හේරත්හාමි මාමාගෙ හිත නම්මා ගන්න හැටි සෝමපාල ගොයියා ඉගෙනගෙනයි ආවේ..

"මේ කොයි දේ කෙරුවත් හෙට නවය වෙනකොට අපි
ටික වීසී කන්තෝරුවේ ඉංට ඕනෑ.. ඒක අමතක කරංට එපා මලයෝ..." කීව රංබංඩා මාමගෙ කතාවට, සෝමපාල කිව්වේ,
"අයියා.. මේ සෝමපාල කොහොම එකෙද්ද කියල අයියා දන්නවනෙ.. හිත ඇත්තං පණ උනත් දෙන ජාතියේ.." කියලයි.
"අප්පෝයි ඔව්.. එහෙම නැත්තං ඔයෙ දීපංකරේක ඉඳල ඇවිත් මෙහෙම ගමේම එකෙක් වෙංට පුලුවනෑ.. උඹ හොඳ එකා සෝමේ මලයා.." තව එක්කෙනෙක් කිව්වා. එයාගෙ ඇස්දෙක රතු වෙල.. පුංචිත් වෙල..

              පොලොන්නරුවට එනකොට සීල් අරක්කු බෝතල් දෙකක් විතර හිස්.. සෝමපාලට කෝල්ලේ මහත්තයගෙ වරුනාව කියාගංට ලැබුනෙත් තව එක සැරෙයයි.. ඒකත් බෝම දූල් වචන ටිකක් විතරයි.. කට්ටියම විස්රාම  සාලාවට ගොඩවුනේ පූස් පැටව් වාගේ.. සෝමපාල ගොයියා ඇරගෙන ගිහිං තිබ්බ කෑම කට්ටියම කෑවෙත් අර දෙවෙනි බෝතලේ ඉතුරු ටිකත් එක්ක. ඒ අතරේ එක එක්කෙනා තමං දිනුව ඡංද රහස් වාගේ පුරසාරං.. තව බෝතල් දෙක තුනක්ම තියෙනවා..

                  කෑම කාල පැයක් විතර යනකොට සෝමපාලගෙ පරණ යාළුවෙක් ආවා.. ආගිය විස්තර කතා කරල කට්ටියම ආයෙත් ටිකක් සප්පායං වුනා. යාළුවා කට්ටියටම ආරාදනා කෙරුවා එදා රෑ ඒ කිට්ටුව තියෙන ඒ ඇත්තගෙ ගෙදර ඉංට.. ඌරු මසුත් තියෙනවා කිව්වා. ඒත් සෝමපාලයි හේරත්හාමියි ඇර අනික් ඇත්තෝ කැමති උනේ විස්රාම සාලාවෙම රෑ ඉංට. පාන්දරම පිටත් වෙංටත් ඕනෑනේ..යාළුවගෙ ඉල්ලීම අහක දාංට බැරි හිංදා රෑ වෙනකල් ඉඳල එන්ට යංට සෝමපාල කැමති උනා.. රංහාමි ගොයියත් සෝමපාල එක්ක යංට කැමති වුනා..

"ඔය ඇත්තෝ එහෙනං ටිකක් ඔයෙ සන්තෝස වෙවී ඉක්ටකො.. අපි පුළුවං තරං ඉක්මනිං එන්නං." සෝමපාල කිව්වා.

                  යාළුවගෙ කාරෙකේ යනකොට ඒකේ තිබ්බේ ඔයෙ කරිංඤ්ඤං කියල ජාතියක් ..
"මොන සීල්ද.. මෙව්වා ඩිංගක් ගන්නවා වාගේ කොහෙද මල්ලී..." රංහාමි බෝතලේ බදා ගත්තේ එහෙම.

                 යාලුවගෙ ගෙදර කලිංම කෑම ලෑස්ති වෙලා. ඒත් ඊට කලිං රංහාමි ගොයියා හාංසි.. සෝමපාල, රංහාමිට වැඩිපුර පොවංට ගිහිං එයත් හාංසි.. දෙන්නම රෑ යාළුවගෙ ගෙදර.

                   'ඉතිං.. දැංවත් පිටත් නූනොත් නවයට කලිං යන්නේ කොහොමද..' විස්රාම සාලාවේ හිටිය හැම එක්කෙනාටම පාන්දර මතු උන මේ ප්‍රස්නෙට උත්තරේ තිබ්බේ ඒ ඇත්තෝ ආව වෑං එක එලවාගෙන ආව මල්ලී ලඟ..

"ඒ දෙන්නා එංට පමා වෙයි කියල අපිට යංට කියල පාංදරම පනිවිඩයක් එවලා.."

                   අකමැත්තෙං වුනත් ඉතුරු අය පිටත් උනා. වෙලාවට කිට්ටු කරල ඒ ඇත්තෝ වීසී කන්තෝරුවට ආවේ අතර මග ඇලකිං මූණ කට හෝදාගෙන. වෙද මහත්තයයි කෝල්ලේ මහත්තයයි අනික් මැම්බර ඇත්තොයි ඇවිත්.. මිනිසුත් ගොඩයි..

                    කෝල්ලේ මහත්තයගෙ මුණ ටිකක් එලිය වැටුනා.. ඒත් එයාගෙ නම යෝජනා කරංට ලෑස්ති කරල තිබ්බ සෝමපාලට එංට බැරි වෙයිදෝ කියල එයාට බයකුත් තිබ්බා.. 'සෝමෙයා මගාරින්නෑ.. ' එයා හිතුවා.

                       හැබෑ නේන්නං.. හරියටම නවයට පහක් තියෙද්දී සෝමපාල ආවා අර යාලුවගෙ වාහනෙං.. ඒත් දැං දැං කෝල්ලෙ මහත්තයටත් හිතෙන්නේ 'වෙදාට වාසි වැඩී' කියල...

                       සුදු පාට කමිසේ අත් දිගට ඇඳල ටයි පටියකුත් ගැට ගහගෙන හිටිය මහත්තයා හරියටම නවයට පුටුවෙං නැගිට්ටා.. මේ රැස්වීම පවත්තන්නේ මොකටද.. ඡංදේ තියන්නේ කොහොමද වාගේ දේ එතුමා කිව්වා..

"දැං ඔබතුමාලට පුළුවන්.. මේ ගම් සභාවේ ඉදිරි අවුරුදු හතර සඳහා සභාපති තනතුරට නම් යෝජනා ස්තිර කරන්න."
"මම ජී.ඩබ්ලිව්.මුහන්දිරම් මහතාගේ නම යෝජනා කරනවා" එක මැම්බර මහත්තයෙක් කිව්වා. ඒ තමයි අපෙ වෙද මහත්තයගෙ නම..
"මම ඒ යෝජනාව ඉස්තිර කරනවා" තව මහත්තයෙක් නැගිටල කිව්වා..

                     ඊගාවට විනාඩි පහක් විතර කව්රුවත් කතාවක් නැතුව ගත උනා. මහත්තයා නැඟිට්ටා.
"වෙනත් නාම යෝජනා නැති නිසා ජී. ඩබ්ලිව්. මුහන්දිරම් මහතා නිතරඟයෙන් ගන්දහය ගම්සභාවේ සභාපති තුමා වශයෙන් තේරීපත් වූ බව ප්‍රකාශ කරනවා.." කිව්වා.
"නෑ.  නෑ. තව නං තියෙනවා.." කොහෙදෝ හිටගෙන හිටිය පියදාසයා.. අර අපෙ නීතිකාරයා.. කිව්වා.

"ඔය මහත්මයට විරෝධතා ඉදිරිපත් කරන්න බැහැ
. මේ ගම්සභා නියෝජිත මහත්වරුන්ට විතරයි ඒ සඳහා අවසර තියෙන්නේ.." මහත්තයා කිව්වා.
"ඔව්.. ගරු මහත්මයාගෙන් අවසරයි.. අපේ තවත් යෝජනා තියෙනවා.. වෙනත් යෝජනා ඉදිරිපත් කරංට කියනකල් අපි බලාන හිටියේ.." කෝල්ලේ මහත්තයා කිව්වා.

                       මහත්තයා මෙහෙම උත්තර දුන්නා:
"කණගාටුයි මහත්මයා.. ඒකයි මං මුලින්ම සියළු දේ පැහැදිලි කළේ. ඔබතුමා කියන හැටියට 'වෙනත් නාම යෝජනා තියේ නම් ඉදිපත් කරන්න' කියලා මම කීවා නම්, 'ඇයි.. මේ මුහංදිරම් මහත්මයාගේ නම විතරක්.. තවත් අය ඉදිරිපත් වෙන්න' කියලා කියනවා වගෙයි. මට එහෙම කියන්න අවසරයක් නෑ.. අනික මම එහෙම කියන එක මේ මහත්මයාට කරන අසාධාරණයක්, මම පක්ෂග්‍රාහී වීමක්.. සභාපති වරයා තේරීම දැන් අවසන්... හොඳයි.. අපි ළඟ කොලයක් තියෙනවා, සභාපතිවරයා තේරීම සාධාරණව සිදුවුනා කියලා කැමති අයට ඒකේ අත්සන් කරන්න පුලුවන්..කැමති අය කරුණාකරලා අත්සන් කරන්න.."

                හරි පුදුමයි..මේ කොලේ අස්සං කරංට ඉස්සර වෙලාම ඉස්සරහට ගියේ කෝල්ලේ මහත්තයා..! වැරදීම උනේ තමං අතිංම බව දන්න හිංදා හරි ඡංදෙට ගියොත් තමංට වෙනදේ හිතල හරි වෙංට ඇති.. අස්සං කරල වෙද මහත්තයට හතරට නැමිල ආචාර කෙරුවා.. මෙහෙමත් කිව්වා..
"මං දිනුවම මොකදෑ.. මයෙ වෙද මාමන්ඩි දිනුවම මොකදෑ.."

                තව තව මොනවදෝ රාජකාරි ටිකක් වුනා.. වෙද මහත්තයා වාගෙම මැම්බර ඇත්තෝ ඔක්කොම ඇවිත් හිටිය මහත්තුරුංට ආචාර කෙරුවා.. අපෙ වෙද මහත්තයා කතාවකුත් පැවැත්තුවා.. 

"කල ඉඳලම මයෙ ආසාවක් තිබ්බා ගං වල කොල්ලොංට කෙල්ලොංට පොතක් පත්තරයක් කියවංට පොත් කාමර හදල දෙංට පුලුවන් නං කියල.. අපි බලමු ඒක ආන්ඩුවට බරක් නෙවී ඔක්කොම ගං වල කරංට.. පලවෙනි එක මයෙ වියදමෙං මං අපෙ ගමේ හදනවා.. ඉස්කෝලේ ගාවා තියෙන කිරීගෙ වත්ත කියන මයෙ ඉඩමේ කෑල්ලක.." කියල වෙද මහත්තයගෙ කතාවෙදි කිව්වා.. හැම දෙනාම අප්පුඩි ගැහැව්වා.. කොහෙදෝ කොනක හිටිය ඩිංගිරි මාමත්..

"අපෙ ගමට මයෙං.." කියල කෝල්ලේ මහත්තයත් කාටත් ඇහෙංට කිව්වා..

                 කොහෙං ආවද දන්නෑ.. කව්දෝ වෙද මහත්තයට මල් මාලේකුත් දැම්මා.. හැමදෙනාම වෙද මහත්තයා ඉස්සර කරගෙන පිටත් වුනා..

                 මේ පුංචි පෙරහැරේ කැපිල පේන්ට ඉස්සරහිංම ගියේ කෝල්ලෙ මහත්තයයි.. පියදාසයයි..!

                                                                simple "s"
2017.12.17

No comments:

Post a Comment