Monday, December 24, 2018

උඩගෙදර කතා 111 (ලිං කටෙං වැටුන එකා 03)

ලිං කටෙං වැටුන එකා     03

                    නාමල හිත ඇදිල යන තරං පෙනුමක් නෑ වාගේ එක පාරම පේන්නේ. ඇති පාටකුත් නෑ. පිස්සු වැටෙන සුවඳකුත් නෑ. ඒත් දකින කායෙ වුනත් හිත  වශී වෙනවා. පොකුරු පොකුරු සුදු මල් ... රතු පාට දළු... හීනි සුවඳ... ගහ අස්සේ හීතල හෙවන.

                   ආණ්ඩුවේ කැලෑ කොලණිය ඇතුලට වෙංට  තියෙන නා ගහක් යටට පෑලිසුයි ඩිංගිරියි ගියේ. ගහ වටවෙල හැදිල. හුඹස් බිම්මලක් වාගේ. වටේම ගණ කැලෑව. ගසුයි වැලුයි එකට එතිල. උංට නං එතන පෙනුනේ පොත් වලිං දැනගෙන තියෙන 'රජ වාසළ උද්‍යාණයක්' වාගේ. පල්ලෙහායිං පේන වැවත් ඒකටම යාවෙනවා. වැව පැත්තට මූණ දාල ඩිංගිරීට ඩිංගක් ඈතිං පෑලිස් හිට ගත්තේ.

                     කිව්ව වෙලාවට නාංට ආ එකෙංම පැලිස්‍ට තේරුනේ ඩිංගිරීගෙ අමනාපයක් නෑ කියල. ඒත් ඕක වචනෙංම අහ ගන්නැතුව හරි යනවායැයි. තුවක්කුවක් ගත්ත එකෙක් පස්සෙං පන්නාගෙන ආව මුවෙක් වාගේ ඩිංගිරී ගැහෙනවා. වට පිට බලනවා.  ඔලු ගෙඩිය අත ගානවා. හොඳටම බයෙං. පෑලිස් ඉන්නෙත් අසිහියෙං වාගේ. උගුර කට වේලිල. වචනයක් කතා කර ගංට බෑ, තොල පැටලෙනවා. ඒ මදිවට ආව වෙලේ ඉඳල ඒකියෙ මූණ දිහා බලා ගත්ත ගමං. රැළි ගැහිච්ච ඉසකේ...... හීං තොල් දෙක...  පිරිච්ච රෝස පාට කම්බුල් දෙක.. හැට්ටෙට යංතං යංතං තද කර කර එලියට පනිංට හදන අලුත් පපුව... ඉස්සර දැක්ක හොටු කෙල්ලමද මේ..... !
"ඉතිං මොන ජගතෙකුටවත් මේකී ගංට මං ඉඩ දෙන්නෙ කොහොමද?" පෑලිස් තමුංටම කියා ගන්නවා.

"නංගී වෙව්ලනවා."
"ඔව් අයියා... ආවට මොකද මට හරි බයයි."
"ඇයි... මයෙං කරදරයක් වෙයි කියලද?"
"අප්පෝ නෑ අයියා."
"මෙහෙම මුණ ගැහුනම එහෙම දේවලුත් වෙනවා තමයි සමහර උං අතින්නං.. ඒ වුනාට මං..." පෑලිස්ට කියල ඉවර වෙංට ලැබුන්නෑ."
"ඒත් අයියා අවාසනාවකට කව්රුවත් දැක්කොත්, එහෙම   දෙයක් නූනා කියල හිතන්නෙ නෑනෙ... හිතුවත් කියනකොට එහෙම කියංට කැමති නෑනෙ."
"හොඳයි නංගී අපි ඉක්මනිං යං. නංගිට මං ඊයේ කිව්වදේ තේරුණද?"
"මොකද්ද?"
"මෝඩී... තේරුන්නැද්ද ආඩම්බර පෙන්නනවද?"
"අප්පෝ තරහ ගංට එපා ඉතිං..."
"මං කිව්වේ, මට ඕනෑ උඹ මයෙ ගෙදෙට්ට කවදාහරි එක්කං යංට... ඔන්න සහසුද්දෙම්ම කිව්වා."
"මට... තේරුණා... අයියා. මට තේරුණා."
"ඒත් තව හිතංට ඕනෑ නං මට හෙට අනිද්දා කිව්වත් කමන්නෑ. ඕනෑ තරං හිතල. තව හිතංට තියෙන එව්වා මාත් මතක් කරල දෙන්නංකො. අපි දෙන්නගෙම ගෙවල් මේකට කැමති වෙන්නෙ නෑ. අපෙ ගෙවල් වල උං හිතාන ඉන්නේ උං මහ ජාති කාරයෝ කියල. නංගිලෑ උං හිතාන ඉන්නේ උං ඉහලයි කියල. උං දෙගොල්ලටම තේරෙන්නෑ අනිත් එවුං කියන්නේ උං අපි දෙගොල්ලොන්ටම උසස් කියල. ඒ වාගෙම මා එක්ක එනවා කියන්නේ  සදහටම පොලොව එක්ක හැප්පෙංට තමයි ඉතිං. ඉතිං නංගී තව හිතල.. "
"හ්ම්.. ඇති ඇති පණ්ඩිතයා. ඉතුරු හරිය තියා ගංට. තීරණයක් ගත්තට පස්සේ අයෙ, තව හිතංට දෙයක් නෑ මට අයියා."
"හ්ම්... තීරණයක් ඇන්න ඉවරයි එහෙනං..!"
"ඔව්... මොන දුක විඳිංට හරි මං අයියා ලඟට එනවා.. සිද්ද වෙන දෙයක් ඒ ඒ වෙලාවට බලා ගමු."

                  වැඩිය මොකොවත් හිතන් නැතුවම පෑලිස් නා දල්ලක් කඩාගෙන සාක්කුවේ දා ගත්තේ.
"අයියා.. ඔය පාතිං තියෙන මල මට.."

                  පෑලිස් නා මල කැකුලකුත් එක්කම කැඩුවා. ඩිංගිරී දිගෑරිය අතේ අල්ල උඩිං තිබ්බා. හැබැයි ඇඟිල්ලක් ඇඟිල්ලක වදිංටවත් දුන්නේ නෑ. ඩිංගිරී පෑලිස්ගෙ මූණ දිහාම බලාන හිටියේ. පෑලිසුත් නොදන්නවම නෙවෙයි. ඔළුව ඉස්සුව පෑලිස් දෑතිම්ම ඩිංගිරීගෙ මූණ දෙපැත්තෙං අල්ලාගත්තා. මලක් තැලෙයි පොඩිවෙයි කියල බයෙං වාගේ. පෑලිස් ඩිංගිරීගෙ ඔලුව ඉම්බා, නළල ඉම්බා, කම්බුල් ඉම්බා... පුංචි තොල් දෙකටත් එයාගෙ තොල් දෙක තිබ්බා. තරුණ අප්පෙක් තමන්නේ ළපැටි කුළුඳුල් දුවගෙ හාං පුසුඹ හොයනවා වාගෙ. ඇහැල මහේ අහසිං කඩා වැටෙන තාරුකාවක වේගෙං මේ ඔක්කොම. පෑලිස් ඩිගිරීගෙ මූණ අතෑරල පස්සට වුනා.
"ඔව් සිද්ද වෙන දේකට මූණ දෙමු. කිසි වෙනසක් නැතුව දැනට ඉංට... හෙට මුණ ගැහෙන්නෑ."
"ඇයි?"
"හෙට දෙවෙනි මහත්තයා එංට කිව්වා."
"දෙවෙනි මහත්තයා..?"
"ඔව් නංගී. ඔයෙ මොකවත් පොඩි වැඩක් ඇති. එතුමා මට බෝම කරුණාවයි. මට තවම ගුරුහරුකං දෙන්නේ දෙවෙනි මහත්තයා. මයෙ හැම දේම කියන්නෙත් මහත්තයට."

                   *                         *                       *
                   
                    ඉස්කෝලේ දෙවෙනි මහත්තයා පෑලිස්ට බොහොම ලෙංගතුයි. ගමේම කෙනෙක්
අබේරත්න මහත්තයා. හොඳ නරක කියා දෙනවා. බලංට කියල පොතක් පත්තරයක්  දෙනවා. පෑලිසුත් එතුමට බෝම ගව්රවෙයි. හිතවත්. ගෙදර, වත්තේ පොඩි පොඩි වැඩක් කිව්ව පමාවෙං කරල දෙනවා. මහත්තයට තිබ්බේ කරංට ඕනෑ දේ කියංට විතරයි. පස්සෙං ඉංටයි අඟලෙං අඟලට විස්තර කියංටයි ඕනැන්නෙ නෑ. වැඩේ තිතට කෙරිල ඇති. මහත්තයා හිතුවේවත් නැති පදං හොඳට.

                   මහත්තයගෙ නෝනත් පෑලිස්ට බොහොම කරුණාවයි. වැඩක් කරන දවසට කෑම ටික කහට ටික දෙන්නේ තමන්නෙම දරුවෙකුට වාගේ. වැඩ ඉවර කරල යනකොට, තේ වතුර බොංට තිබ්බ මොනවා හරි දෙනවා. 'මේක අම්මට දෙංට.' කියල. හරියට පෑලිස්ගෙ හිත දැනගෙන වාගේ.

                   *                         *                         *

"හ්ම්.. මං දන්නවා හෙට එහෙ යන්නේ ඇයි කියල. අපි ගැන කියංටනෙ ඔය."
"මට කරංට බෑ නංගී... එහෙම නෙවෙයි නං දෙවෙනි  මහත්තයට විතරක් නෙවෙයි... මුළු ලෝකෙටම ඇහෙංට කෑ ගහල කියංට මට හිතෙන්නේ.... හා.. දැං පරිස්සමිං යංට නංගී."
"අනිද්දා මං එනවා අයියා..."

                                                        simple "s"
2018.12.24

                සේයා රූ අන්තර්ජාලයෙන්...

No comments:

Post a Comment