Tuesday, December 4, 2018

උඩගෙදර කතා 93 (අත්තම්මා සහ චිත්‍රපටිය)

                 " අත්තම්මා සහ චිත්‍ර පටිය "
      
(හුඟ කාලේකට ඉස්සර එක්තරා දවසක .....)

              වුවමනාවකට නගරයට ආමි. අවශ්‍යතාව සඳහා කාලය බොහෝ ඉතිරිය. කරන්නට වෙන කිසිත් නැත. අසළ සිනමා හලක පෙන්වමින් තිබුනු චිත්‍රපටියක් බැලීමට ගොඩ වීමි. ප්‍රේක්ෂකයින් වඩාත්ම නැත. මම බොහෝ සුව පහසුවෙන් අසුන් ගතිමි.

              ස්වල්ප වේලාවක් ගත විය. සුරූපී තරුණියක් ඇගේ මිත්තණිය යැයි සිතිය හැකි කාන්තාවක සමඟ ආවාය. තරුණිය ආනයනය කරගත් සුරූපීකම්වලට දිගු කලක් ගතව නැති බව ප්‍රකටය.

               මා ඉදිරියේම වූ ආසන දෙක ඈ ඔවුන්ට තෝරා ගනී. ඔවුන් සමඟ ආ තවත් කීප දෙනෙක් ද එම පේලියටම එක් වෙයි. ඔව්න් කෙරේ ආධිපත්‍යය ද ඈ සතු ය.

               කඩල ගොටු කීපයක් වැනි දෑ එහා මෙහා වේ. ශාලාවද කෙමෙන් කෙමෙන් අඳුරු වේ. කොයි වේලේ චිත්‍ර පටිය ආරම්භ වේදෝයි සිතමින් සිටි මිත්ත්ණිය නොඉවසිලිමත් ය.

               දර්ශණය ආරම්භ වේ. නිදා සිටින තරුණයෙකුගේ රුවක්. ඒ රුව සැලි සැලී බොඳ වී යයි. රූස්ස ගස් වැල් සහිත කඳු පාමුළක්. රිදී කඳක් සේ කඩා හැලෙන දිය පීල්ලක්. සීතල දැනෙන තරම්. පිටු පා සිට පීල්ලෙන් දිය නාන තුරුණු කාන්තා රුවක්. පපු පෙදෙසේ ඉහළ සිට දණ හිසෙන් මඳක් ඉහළ තෙක් හැඳ සිටින දිය රෙදිකඩක්. ලොකු මල් චීත්ත රෙද්දක්.

               තරුණිය ඉදිරියට හැරෙයි. ඈ රූමත්‍ ය. දිය රෙදිකඩ කෙලවර අඟල් දෙක තුනක් මෑත්ව ය. ඒ මට ඉදිරි අසුනේ සිටි තරුණිය ය. මිත්තණිය යළි නොඉවසිලිමත් ය. පහත් හඬින් කරන කතා බහත් මට ඇසේ.

"ඈ.. බොල.. නරක දේ නෑ කියලා නේද අවසරේ ගත්තේ.. තව.. මං එන්ට බෑ කිව්වම මට මොනවද කිව්වේ... ? මෙව්වා ගමේ එකෙක් දැකොත්.. උඹට ලැජ්ජා නැද්ද.. " ඒ මිත්ත්ණියයි.

" අත්තම්මේ කලබල කරන්නැතුව ඉන්ටකො. වට පිට මිනිසුන්ටත් ඇහෙනව.. මේ නරක සීන් ද.. අපි ඇලේ ගල් පොත්ත ලඟ වලේ නාන කොට මීට වැඩිය.."

"මයෙ යකා අවුස්සන්නැතුව හිටපන් .. නරක සීං.. " අත්තම්මාට වෙසමුණියා ආරූඩවී ඇත.

"අනික අත්තම්මේ ....
මේ ඇත්තටම වෙච්ච දෙයක් නෙවේ.. අරයා දකින හීනයක් විතරනෙ.."

                 විනාඩි දෙක තුනක් ගත වේ. තරුණයා අඳිමින් සිටි චිත්‍රයක් හකුලයි. එම දර්ශනය අවසන් වේ.

"ඒ වුනාට මයෙ දුව ... මීට පස්සේ ඔය වාගේ ඒවට  ඉන්ට එපා.."
"හොඳයි අත්තම්මා.. මේ ෆිල්ම් එකේ ආයෙ මං ඉන්නෙ නෑ"

                  සත්‍යයකි. ඒ එම චිත්‍ර පටියේ ඈ පෙනී සිටි එකම දර්ශණය ය.

                                                    simple "s"
2017.10.19

No comments:

Post a Comment