Tuesday, December 18, 2018

උඩගෙදර කතා 109 (ලිං කටෙං වැටුන එකා... 01)

ළිං කටෙං වැටුන එකා..   01. 
 

"කුහුඹුවකුගේ ඇසක් තරමේ
නුඹේ ඔය ගතටත්
හදවතක් ඇති සැඟව...

පුංචි ඇසිල්ලකට වරක්
ගැහෙනවත් ඇති රෑ දිවා
යම් රිද්මයකට...

ඉඳහිටක මොහොතක්
නතර වෙනවත් ඇති
රිද්දවුනු වෙලාවක!"

                  මල්ලී ඉරල දාල තිබ්බ කොල කෑල්ලක එහෙම ලියල තිබුනේ. කෑලි ටික එකතු කරල ඒක  බලාගංට මට ඩිංගක් මහන්සි වෙංට වුනා. මේ වචන ටික මෙහෙම ලියංට මල්ලී ඊටත් වැඩිය මහන්සි වෙල තිබ්බා. හුඟක් වචන කීප සැරේ කපල ලියල. අයෙ කපල.. අයෙ ලියල. එහෙම කරලත් ඉරල දාල.

                   මයෙ මල්ලී මෙහෙම එකක් ලිව්වේ ඇයි? ලියල ඉරුවේ ඇයි? ලියංටත් හේතුවක් ඇති, ඉරංටත් හේතුවක් ඇති...

                *                            *                          *

                   මොකද්දෝ ඉවක් නං දැනෙනවා. ඒක ඒ තරං හොඳ එකක් නෙවෙයි. එහෙම හිතංටවත් මට හිතෙන්නෑ.

                   කොල්ලා මයෙ ඉස්සරහ හෙලිකොට්ටෙං ඉන්න එක නවත්තල තවම මහ කාලෙයක් නෑ. දවසක් සරම ඉරිල.
"ඕං දුංකුඩ්ඩා එලියේ." ඉඳගෙන ඉන්නකොට මං කිව්වා. එයාට ලැජ්ජා හිතුනා. ඒක මට දැනුනා.
"ඒක ඉරුනා. අපෙඅම්මා මහල දෙන්නං කිව්වා."

                    අන්න එදා තමයි ඒ කතා නතර වුනේ. ඒ  වුනාට ඒ පැත්ත ගැන කියංට තියෙන එකක් මටම තමයි කියන්නේ. ලඟදී දවසක් කිව්වා පන්තියේ ළමයෙක්ගෙ ඒ පැත්තේ බෝලයක් වැදිල අමාරු වුන හැටි.
                   ඊටත් පස්සේ දවසක මයෙ මල්ලිට හරි වැඩක් වුනා. අප්පච්චියි මායි එක්ක හේනට ගියා. කොහොම හරි කින්තුලෙක් මෙයාගෙ ඇඟේ කාල. එයත් දැකල තියෙන්නේ පහුවදා උදේ. ඇඟ ඩිංග හොඳටම ඉදිමිල. කොල්ලා බය වුන පාර ඇවිත් ගැහි ගැහී මට කිව්වේ. මං ඉතිං හිතත් හදල පොල්තෙල් ඩිංගකුත් ගෑවා. කාටවත් කිව්වේ නෑ. ඒක මල්ලිත් දන්නවා.

                  ඔය ටිකක් කාලේකට කලිං තමයි. ඒත්  අන්න ඒ වාගේ මයෙ මල්ලී මේ මහ හපනෙක් වෙල තියෙන්නේ!

                                                       simple "s"
2018.12.19

No comments:

Post a Comment