Saturday, December 1, 2018

උඩගෙදර කතා 56 (නං... )

නං..... 01                                      

             මේ මොකක්ද කියල හිතුනා නේද?

1. ඒ ලැයිස්තුවේ නම් දහයක් විතර තිබුනා..
2. ඒ ලැයිස්තුවේ නම් මගෙ නම තිබුනා...
3. ඒ ලැයිස්තුවේ මගෙ නම තිබුනා නම්... (බලා ගංට   තිබුනා..)
4. ඒ ලැයිස්තුවේ මගෙ නමත් තිබුනා නම්... (කොයි තරම් සතුටක්ද?)

             අර්ථ කීපයකින් 'නම්' කියන වචනය යෙදෙනවා..  අපි කතා කරන කොට, මේ හැම එකේදිම 'නම්' කියවෙන තැන් වලදී 'නං' කියනවා. නැත්නම් නිකම් 'හරි නෑ.. හරි නෑ..' වාගේ. (ඒ වාගෙමයි, තැන්' .. 'තැං', 'නැත්නම්' .. 'නැත්තං', 'නිකම්'.. නිකං' කියන්නෙත්.) ගමේ නම් මේ තත්වය තව වැඩී..

              ඉහත 4. වැනි ප්‍රකාශයේ ආකාරයට අපි මේ වගේ කියනවා: "එදා මටත් යංට ලැබුනා නං!", "එදා එහෙම නොවුනා නං!"

                *                        *                        *

              දැං සතියකට විතර කලිං අපෙ දුව බලු පැටියෙක් ගෙනාවා. තනියෙං හැදෙන එයාගෙ පුතා.. ඒ කියන්නේ මයෙ මුණුපුරා ගැන හිතල.

අප්පා..කොලු පැටියට පුදුම සංතෝසයක්. කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, පාඩමුත් නෑ, 'මයෙ ලොකු අත්තා' ඕනැන්නෙත් නෑ.

               අලුත් අමුත්තට වයස සුමාන දෙකයි කිව්වට හරි පැහිල, හොඳට හැදිල. ආවදාට පහුවදා ඉඳලම සෙල්ලම. කනවා.. බොනවා.. සෙල්ලං කරනවා.. නිදා ගන්නවා.. නැගිටිනවා.. කනවා.. බොනවා.. ඔන්න දින චරියාව! දුවත් සැපට ඉඳුං හිටුං, කෑම බීම, බේත් හේත් සංපාදනය කරනවා. අපිත් හුරතල් කරනවා.. කතා කරනවා, තනි රකිනවා.. වැඩ ගොඩයි. එපාආආ කරපු වෙන රාජකාරිත් කරනවා. මෙයා දවසිං දවස හොඳට හැදිල එනවා. බලංට ලස්සන සෙල්ලං එහෙම දානවා. අපිත් එයාට හොඳට ආදරේ කරනවනෙ. වෙලාවකට මට හිතෙනවා මෙයා පුදුම වාසනාවන්තයෙක් කියල..

                ඒ වුනාට, සෙල්ලං කරල හිටියත්, කොයි තරං සැප ලැබුනත් එයා හිතනවා ඇත්තේ මෙහෙම...

"අර පුස්පදානේ අගුවේ, අයියලා අට දෙනත් එක්ක මයෙ අම්මගෙ කිරි උගුරක් බීල අම්මගෙ තුරුල්ලට වෙල ඉංට ලැබුනා නං.."

                                                      simple "s"
2018.04.01
                      

No comments:

Post a Comment