Tuesday, December 4, 2018

උඩගෙදර කතා 90 (කොබෝලීල)

                              " කොබෝ ලීල..."

"මොකද... ?"
"ඇයි..?"
"මූණ හරි නෑ...අද.."
"අර පොඩි එකී තරහ වුනානෙ."
"අර මොකක්ද.. මලක නමක් කීවේ දවසක්... එයාද..?"
"හ්ම්... කොබෝ ලීල.."
"ඒක එයාගෙ ඇත්තම නමද...?"
"අපෝ..., නැතිව ඇති.. මං එයාගෙ නම දන්නෙ නැති හින්දා මං තියා ගත්ත එක ඒ... "
"අද මොකද වුනේ..?"
"වෙනදා වාගෙම ඊයෙත් ගියා.. චූටි ඔමරිය දාගෙන ...අපෙ ගෙදර ලඟින්... දහම් පාසල් යන්න ලෑස්ති වෙලා.."
"ඉතිං... හොඳයිනෙ... ඔයා කැමතියිනෙ.. පොඩි එකීට."
"ඔව්.. අර හීනි හිනාව දාගෙන, අපෙ ගේ ලඟින් යද්දී මං දැක්කෙ නෑ වගේ හිටියා... නිකං හිතුනට... !"
"පව් අනේ... "
"ඔව්... ආපහු යනකොට මාව දැක්කෙ නෑ වගේ එයා  ගියා.. පාරේ අනික් පැත්ත බලාගෙන."
"ඉතිං ඕක මහ ලොකු..."
"වෙනදා මං එයාලගෙ ගෙදර ලඟින් එද්දී ... හැමදාම මූනෙං කඩා හැලෙන කාන්තිය... ඔයා දැක්කා නං ...එයා උදේම දකින දවස මට වාසනාවන්තයි .. මට එහෙම හිතෙනවා..."
"ඉතිං අද...?"
"පුංචි තොල් දෙක... දසවක හඳ අනික් පැත්තට තියලා වාගේ... මමයි යන්නේ කියලා  දැන දැන මයෙ දිහා බැලුවේ වත් නෑ..."
"ගනං ගන්න එපා..."
"බෑනෙ ..."
"ඇයි..?
"මමනෙ එයාගෙ හිත රිදෙව්වේ... අපෙ ගෙදර ලඟිං යද්දී...  වෙනදට මං කියන දේකට මූණ පිපෙනවා.. මලක් වාගේ..!
"මොනවද ඒ තරං කියවන්නේ..?"
"වචනයක් දෙකක්... වැඩිම වුනොත් තුනක්.."
"මොනවද...?"
" 'කිරි කොකෙක්... , ලස්සණයි ..., මදු මලක්..., ' වගේ ඒවා... හා .... 'කොබෝ ලීල' කියලත් කියනවා"
"ඉතිං එයා මොනවද කියන්නේ...?"
"එයා.... ? හ්ම්...! මං කියලා නැද්ද?"
"නෑ .. ඇයි...?"
"අපි කියන දේ ඇහුනට... එයාට කතා කරන්න බෑනෙ.."
"අනේ දෙයියනේ..."
                                                 simple "s"
2017.10.23

No comments:

Post a Comment