Wednesday, December 5, 2018

උඩගෙදර කතා 43 (තං තෙජසා 01)

                       "තං තෙජසා භවතු තෙ..." 1.

අපේ වෙද මහත්තයා    08 කොටස

            කලින් දවසේ හැන්දෑවේ ලොකු හාමුදුරුවෝ තව දෙනමක් එක්ක අපෙ ගෙදරට වැඩියා.. අප්පච්චිගෙ ආරාදනයට. මට පිරිත් කියංට.

             එදා දවල් සුදු රෙදි වලිං වියං බැඳල, වටේ අහුරල හැදුව පුංචි කොටුවේ තමයි හාමුදුරුවරුංට ආසන පනවල තිබුනේ. කොටුවේ වියනේ නා අතුයි, අර බුලත් කොල වාගේ තියෙන සිවිය කොලයි, පුවක් මලුයි එල්ලල තිබුනා. බෙහෙත් කාමරේ තියෙන, සුදු හඳුන් ලීයෙන් තැනුව බුදු පිලිමේ කනප්පුව උඩ තියල,  ලොකු මල් වට්ටියක් ඉස්සරහිං තියල. සුවඳ කූරුයි ගිනිපෙට්ටියයි තිබුනේ වෙනම.

              ආස්මී පලවෙනි තෙලෙං බැද්ද දවසේ ආව මහගෙදර නැංදම්මා කැවිලි හදංට මේ දවස් ටිකේම හිටියේ අපෙ ගෙදර. මං උන්දැට කිව්වා,
"පිරිත් ටිකක් අහංට යං නැංදම්මා.." කියල.
"මයෙ දුව මේ හදපු එව්වා සුරුවහං කොරංටත් තියෙනවා. තව එක එක වැඩ තියනවා.. කමන්නෑ මයෙ දුව යංට.." උන්දෑ කිව්වා.

              ඉවුම් පිහුම් කර කර හිටිය අයයි තව ටික දෙනෙකුයි ලොකු අක්කයි ඇර ගෙදර හිටිය ඇත්තෝ හැමෝම වාගේ සාලෙට ආවා. මල් වට්ටිය බුදු පිලිමෙට කිට්ටු කරල සුවඳ කූරුයි පුංචි පිත්තල පානයි පත්තු කෙරුවා. ලෑස්ති කරලා තිබුන දැහැත් වට්ටිය පිළිගන්නල අප්පච්චි ලොකු හාමුදුරුවංට ආරාදනා කෙරුවේ.

                තුංනූල් කෙරුව පිරිත් නූල මයෙ අතටයි අනික් ඔක්කොම අතටයි ගත්තා. ඒක කොටුවේ වියනේ එල්ලල තිබුන ගොක්කොල රව්ං දෙකක් ඇතුලෙං ලොකු හාමුදුරුවෝ මේසෙට ගත්තා. ගොක් අත්තේ කොටසක නාරටියේ බාගේකිං වලල්ලක් වාගේ රව්මක් හදල ගොක්කොල ඔතල, කොල ටික ඉහලට උස්සල කලේ කරට බැඳල හැදුව පිරිත් කලේ ඒ මැද තියල, කොල අගට ඇවරිය මලුත් එල්ලල...

                අපෙ ලොකු හාමුදුරුවෝ පිරිත් කියංට කලිං අප්පච්චියි මායි ගැන වරුණාවකුත් කරල අවවාදත් දුන්නා. කිව්වේ මට වුනාට වැඩියෙං හොඳ අනික් අයට කියල මට හිතුනා. කිව්ව සමහර එව්වා මට මතකයි.

"..... හෙට මේ දරුවා මෙතෙක් තමන්ව හදා වඩා ගත්ත මව්පියන්ගෙන් වෙන් වෙලා අළුත් දෙන්නෙක් ලඟට යනවා. අළුත් අය ඔක්කොම මේ දරුවගෙම අම්මා අප්පා සහෝදර සහෝදරියෝ කියලයි හිතා ගන්ට ඕන. ඉතින් ඒ මව් පියන් මෙතෙක් හදාවඩා ගත්ත දරුවා ඒ ඇත්තන්ගෙන් වෙන් කරන එක තව  දරුවෙක් නොකළයුතු දෙයක්... ඒ අයට තවත් දරුවෙක් ලැබුනා කියන හැඟීමක් විනා හිටිය දරුවා අයින් කරන්න ආව කෙනක් කියන හැඟීම දෙන්න එපා... " තව තව එව්වා කිව්වා. හාමුදුරුවරු තුංසූත්තරෙයි තව සූත්තර දෙකකුයි දේශනා කෙරුවා.

              කාටත් හොරෙං අපෙ අම්මා කනප්පුවේ  තිබ්බ මල් වට්ටියේ දෙයක් හංගල. ඒකත් පිරිත් වෙංට. ඇතුලට යන්තරයක් දාපු පුංචි සුරේකුයි... කහ නූලකුයි. අපෙ අම්මා ඒක නිදා ගංට යංට කලිං මයෙ ඉනේ බැංදා.. ඊට පස්සේ ඉකි ගගහ කිව්වා,
"මයෙ අම්මට රත්නත්තරේ පිහිටයි.. සියළු දෙවි දේවතාවුන්නාන්සෙලාගෙ රැකවරණයි!" කියල.

               ඒ යන්තරේ බැන්දට පස්සේ, 'මට කිසිදේකිං අතුරු ආන්තරාවක් වෙන්නෙ නෑ..'කියල මයෙ හිතට මහ  හයියක් දැනුනා.

               අක්කලා කොයි තරං කීවත් එදා රෑ මට නින්දක් තිබුනෙම නෑ.. සතුටට වඩා දැනුනේ.. හිත හුඟක්ම කලබල වෙල තියෙන තරම.. අලුත් ලෝකයක්, අලුත් නෑදෑ හිත මිතුරෝ, අලුත් අලුත්.. හැම දේම අළුත්.

                පහුවදා.. හ්ම්.. මගුල්දා.. මතක තියෙන්නේ දේවල් කීපයයි, ඒවත් පිළිවෙලකට නෙවෙයි. මං පාංදරම නැගිට්ටා. කට්ටියක් උයනවා.. පපඩං බදිනවා.. තේ මේසේ ලෑස්ති කරනවා.. මිදුලයි පාරයි අතු ගානවා.. එක යුද්දයයි. අල හරි.. මුං පියළි හරි.. කරවල බැදුම හරි.. මැල්ලුම හරි.. ගොටු කොල සම්බෝලේ හරි.. අච්චාරු හරි.. අරක හරි, මේක හරි.. තව පහ හයක් හරි වැටුනා. හා.. ගෙඩි ගෝවා හරි.. ඒකේ සුවඳ ගැනත් කතාව...

               ලොකු මහත්තයගෙ කට්ටිය පෝරුවයි තොරණයි හදල. තොරණේ උඩ හරස් ලෑල්ලේ මොනවා නමුත් ලියල ඇති. ගේ පැත්තට පේන්නෑනෙ. පෝරුවේ දෙපැත්තේ කුරුල්ලෝ දෙන්නෙක් මැද ඉහලට ඉස්සුන මල් දෙකක්. හරිම හැඩයි.  ඔක්කොම කෙහල් පතුරු, කොට්ට ලෑලි, ගොක්, හබරල, කොරෝටං කොල. හබරල කොලවල පොල් තෙල් ගාල... ටිඟොල් කටුත් ගෙන්නා ගත්තා මතකයි.

                තව නෑදෑ අක්කලා තුං දෙනෙකුයි මයෙ හීං අක්කයි මට ඇන්දුවේ. පස්සට පීරල ගැට ගහපු කොන්ඩෙට පුංචි මැණික් ඔබ්බපු රත්තරං කූරක්.. බෝරිච්චි අත් හැට්ටෙයි ඔසරියයි.. ඔසරියට ගැහැව්වෙත් කොණ්ඩ කූර වාගෙම රත්තරනෙං  හැදුව හාරිච්චි කට්ටක්... මාල හතයි.. ඒවා නං රත්තරං නෙවෙයි.. වතුරේ දැම්ම එව්වා. ඔය මාල අතරට සැන්ටිබෝට් මහත්තයා පෝරුවේදී බඳින මාලෙයි, කොණ්ඩෙට මොකද්දොයි එංටත් තියෙනවලු. හීං අක්කා ගෙනත් තිබ්බ පියරුත් ගෑවා මූණේ. කිවුටිකිව්රා ලු.

                  අන්දවල ඉවර වෙන කල්ම මට ඒ අය විහිළු කෙරුවා..

"මේ බලංට ඇස් දෙක. නිදිමත පිරිල.. බාගෙට පියවිල. මං බණ කියන්නැහේ කිව්වා නිදා ගංට කියල. .." හීං අක්කා කිව්වා.

"දැනුත් නංගී බණනේ කියන්නේ.. හතරකෝල්ලෙට දුවංට තියෙන හදිස්සියේ හැටියට නිංදක් යයිද..?"
"මේ අහිංසක කෙල්ලට පාඩුවේ ඉංට දීල ඔය වැඩේ කරපල්ලා.."
"අහිංසක..? හ්ම්.. එව්වා අදිං ඉවරයි ..!"

              මුං මොනවා කියවනවද මං දන්නෑ. අර ගෙදෙට්ට හිටියා වාගේ ජම්පිං පිෂ් චීත්ත ගවුං කෑල්ලක් ඇඳගෙන යංට තිබ්බා නං ඉවරයි.. ඒකත් කිව්වා නං එහෙම තව කට කැඩිච්ච කතා ටිකක් අහගංට තිබ්බා..!

              මහත්තයලගෙ කට්ටිය ආවා. අප්පච්චි දවස් දෙකකට විතර කලිං ඉඳල සාක්කු ඔරලෝසුව විටිං විට බලංට පටං ගත්තේ. අද විනාඩියෙං විනාඩියට බලනවා ඇති. හරියටම නැකත් ගංට. ආ.. ලස්සන බටේක දාපු, අර ඉස්සර අඬ බෙර කාරයා  රජ්ජුරුවන්නේ අනාඥාවල් කියවංට ඇන්නගිය එක  වාගේ එකක් එහෙං ගෙනාව නැකත් කොලේ.

               තෙල් වලං ලිප තියන වෙලාවේ ඉඳල පිටත් වෙන වෙලාව වෙනකල් හැම දේටම ඒකේ නැකත්. මුල් තෙල් ටික මයෙ අතිං තාච්චුවට දැම්මම තෙල් පිස්සෙනවා අඩුයිලු, අච්චුවෙං කොකිස් ගැලවෙනවා හොඳයිලු, කැවිලි රස, ඇහුපෑවත එහෙමත් හොංදයිලු. ඉතිං මේ සැරෙත් මටම දාංට කිව්වා.

               නැකත් වෙලාවේ හැටියට කසාදේ රෙජිස්ටර කරල ඉවර වෙලයි තේ බොංට පිළියෙල කරල තිබ්බේ. පිටවල වත්තේ ගෙදර රිජිස්ටර් රාලහාමිට කලිංම ආරාදනා කරල තිබ්බේ.

               ඒ පැත්තෙනුයි මේ පැතෙනුයි දෙන්නගෙ මාමලා දෙන්නෙක් අපි පෝරුවට නැංගුවා. අශ්ඨක කියංට වයසක කෙනෙක් ගෙන්නල තිබ්බා. තියෙන මහප්‍රාණ ඔක්කොම දාල එයා මොනොවදෝ කියෙව්වා..

               ඒ අතරේ විටිං විට අපිට පෝරුව උඩට බුලත් කොල අතාරිටත් කිව්වා. මුදු දෙකත් මාරු කර ගත්තා. ඊට පස්සේ අපි දෙන්නගෙ ඇඟිලි දෙක පිරිත් කරල තිබ්බ නූලකිං එකට බැංඳා. කසාද බඳිනවා කියන්නේ ඒකට වෙන්ටැති. අපෙ පිත්තල කෙංඩියෙං ඒ  ඇඟිලි වලට වතුරත් වැක්කෙරුවා, තව ගාතාවක් කිය කිය.

                එහෙ අයට අම්මලාට අප්පච්චිලාට අක්කලාට වැඩිහිටියංට විසස්කට විසිපහකට බුලත් දිදී වඳිංට වුනා අපිට. ඔය අතරේ කොයි වෙලාවේදෝ මහත්තයා මයෙ කරේ එහෙං ගෙනාව මාලේකුයි ඉසේ පලඳනාවයි බැන්දේ.

                අර මාමලාම පෝරුවෙං අපි බැස්සුවෙත් නැකතකට. බහිනකොටම ලොකු මහත්තයා ලැහැත්ති කරල තිබ්බ කෙලි පැංචියෝ ටික ජය මංගල ගාථා කිව්වා.. මීරියට. "තං තෙජසා භවතු තෙ ජයමංගලාණි... " මහත්තයා ලෑස්ති කරගෙන හිටිය කවර වගයක් ඒ ළමයිංට දුන්නා. අනේ.. මට මහත්තයට කලිං කියංට ලැබුනෙ නෑ එයා ගෙට ඇතුළු වෙන වෙලාවේ කකුල් හෝදපු අපෙ බාප්පා කෙනෙක්ගෙ පුංචි පුතාටත් තෑග්ගක් දෙන සිරිතක් තියෙනවා කියල. නෑ. නෑ.. අමතක වෙන එකක් නෑ. ආ...හරි,  වතුර කොරහට දාංට මොකද්දෝ පුංචි මුද්දක් හදාගෙන එන එකක් කියවුනානෙ..

              ඊට පස්සේ අපි ටික වෙලාවක් වාඩි වෙල ඉඳල තේ මේසෙට ගියා.. ඒක වහල තිබ්බ සුදු පිරුවටේ පැත්තකට කරල විවුර්ත කෙරුවේ ලොකු මහත්තයා. මේසේ කෙටි පැත්තේ අපි දෙන්නා. අපෙ අම්මා පීරිසියක තිබ්බ වතුර වීදුරුවක් පිළිගන්නල තේ බොංට ආරාදනා කෙරුවේ. ඉස්සර වෙල එහෙං ආව අයට.. ඊට පස්සේ අපෙ අයට..

               මහත්තයා කැවුං ගෙඩියකුයි කෙසෙල් ගෙඩියකුයි කෑවා. මාත් කැවුං ගෙඩියක කෑල්ලක් කෑවා. මුලිං හිටිය ඇත්තෝ නැගිටිනකොට තව කාණ්ඩයක් වාඩි වෙවී තේ බීවා. සමහර අය මොන මොනවා හරි ඇන්න වෙන තැං වලට ගියා.
              
                                 (මතු සම්බන්ධයි.)
                                           
                                                     simple "s"
2018.03.29


No comments:

Post a Comment