Wednesday, December 5, 2018

උඩගෙදර කතා 100 (වාසනාවන්තයා)


"වාසනාවන්තයා...."

                   "මේ ඇත්තෝ දැන් දන්නවනෙ මම..  (...කුලයක නමක්...) රැහේ කෙනෙක් කියලා. දවසක් මගෙ තාත්තා ඉලංදාරි කාලේ මේ පැත්තේ පරණ ගමකට යනවා, මොන මොනවා හරි ඉල්ලා ගන්න. කදත් කරේ තියාගෙන තාලෙට පැද්දි පැද්දී යන මගෙ තාත්තා දිහා බලාගෙන එක ලොකු මන්දිරයක් ලඟ හිටිය දැරිවියක් සද්ද කරලා හිනා වෙනවා. ඒ එක්ක හිටිය අනික් දැරිවියොත් ඒ හිනාවට එක් වෙනවා. මේක දැක්ක තාත්තා අහිංසක විදියට හිනාවෙලා යන්න යනවා. අන්න ඒ හාමු තමයි මගෙ අම්මා."

                  මේ, මා යමක් තේරෙන කුඩා කාලයේ මහියංගනයේදී  තෙල් බේත් විකුණමින් සිටි එක් මැදි වියේ කෙනෙක්, ඔහු වටා රැස්ව සිටි අයට කී කතාවකි. ඔහු මෙය සිය අළෙවිය කෙරේ ආකර්ෂණය ලබා ගන්නට කීවාද, ප්‍රබන්ධයක්ද, ඇත්තක්ද, වර්ගයාගේ අනන්ත  හැකියාවන් පෙන්වීමට යෙදූ කැටයමක්ද යන කිසිවක් මට වැදගත් නොවුනි. ඔහු සිය කතාව ඉදිරිපත් කළ ආකාරය මගේ සිත පැහැර ගත්තේ ය. මේ මතකය මට ඒ ස්වරූපයෙන් යමක් ලිවීමට කොතෙකුත් බල කර සිටී. ඒ අනුව මම ද පහත ඇති සටහන ලියූවෙමි. සිය කතන්තරය වාක්‍ය කීපයකට කැටි කළ ඔහු මට වඩා කොතරම් දක්ෂ ද.. මම අදත් සිතමි.

               "වසර එකසිය පහලවක් තරම් වත් බොහෝ
ඉස්සර, එක්තරා ඈත පිටිසර ගම්මානයක පිරිමි දරුවෙක් උපදී. ඔහු ළදරු වියේ දී මව මිය යයි. වැඩිමහල් සොහොයුරිය ඒ වන විට දරුවෙකු බිහිකර සිටී. ඇගේ මවුකිරි සිය ළපටි සොහොයුරාට ද පෙවීමට ප්‍රමාණවත් වේ. තම වයස වසර අටක් දහයක් වෙද්දී මේ කොළු පැටියා කිසියම් හේතුවක් නිසා සොහොයුරියගේ නිවසින් පැන යයි. එසේ අනුරාධපුරයට යන ඔහු එක්තරා වෙළෙන්දෙකු භාරයේ හොඳින් හැදී වැඩෙයි. තරමක් උගෙන ගනී. වයස වසර දහ අටක් විස්සක් පමණ වෙද්දී වෙළෙඳ ගොවියා මොහුට වෙනම ම කුඹුරක් ද වෙන් කර දෙන තරමට හේ නිවැසියන්ගේ ආදරය දයාව දිනා ගනී. තරුණයා යම් මුදලක් උපයා ගන්නට තරම් දක්ෂයෙකු වන්නේ මුදලාලිගේ අනු දැනුම ද ඇතිව ය.

               එහෙත් යම් හේතුවක් නිසා, තමා සිටි නිවසටත් හරි හැටි නොකියා ඔහු අනුරාධපුරයෙන් ද  යළි නික්ම යයි. සිය සොහොයුරිය සොයා පැමිණ ඔව්න්ගේ ගොවිතැන් කටයුතුවල යෙදෙන ඔහු ආපසු අනුරාධපුරයට යාමේ අදහස අත් හරී. පසු කලෙක ඔහු සිය පොඩි ලේළියට මෙසේ කියයි.

"ඉවසන්ට බැරිම තැන මම දවසක් ඒ දෙමළට හොඳටම ගැහුවා. කොච්චර උස මහත වුනත් දෙපාරෙන් එයා වැටුනා. මුත්තු උස්සලා ඉසට උඩින් අරන් මෙහා පාරේ ඉඳලා එහා පාරට මං වීසි කෙරුවා. එයාට මොනවා වුනාද කියලා බලන්ටවත් මං හිටියෙ නෑ මයෙ දුව. රත්තරං පාටට පැහිල තිබ්බ මයෙ මුත්තු සම්බා කුඹුරු කෑල්ලත් දාල ඒ ආ ගමන මම දිගටම නතර වුනේ මෙහෙ."

             ආපසු පැමිණ සිය සොහොයුරියගේ ගමේ මිනිසුන් සමඟ ද හිතවත් වන මේ තරුණයා ගොවිතැන් කටයුතු වල මනා හුරුවක් පෙන්වයි. වැඩ කටයුතු නොමැති කාලයේ, තරුණයින් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන 'ලුණු පැනීම' ට ඔහු නැතිවම බැරි ක්‍රීඩකයෙක් වෙයි. දැන් ඔහු වයස වසර විස්ස පසු කර සිටී.

             දිනක් මෙසේ ගම මැද වෙලේ ලුණු පනින අතර ඔහුගේ සරමේ වාටිය ඉරී යයි. ඔහු වෙල සමීපයේම පිහිටි නිවසකට ගොඩ වන්නේ ඉදි කට්ටක් හා නූල් කෑල්ලක් ඉල්ලා ගැනීම සඳහා ය. එහි දී ඔහුට නොසිතූ අපහසුතාවකට මුහුණ දෙන්නට සිදු වේ.

'ගෙවල් වල වැඩිහිටි ඇත්තෝ නැතිවෙලාවට මෙහෙම තනියම එන්ට ලැජ්ජා නැද්ද...?' නිවසෙන් පිටතට පැමිණි යුවතියක් අසයි.
'ගෙදර වෙන කවුරුවත් නෑ කියල මං දැන ගෙන හිටියෙ නෑ.. දන්නවා නං එන්නෙත් නෑ. අනික, මෙහෙම එන්ට හොඳ නැත්තං පිරිවර එක්ක එන්ටද කියන්නේ..?' ඔහු පිළිතුරු දෙයි.

              තරුණිය කිසිත් නොකියා ගෙතුලට යයි. එහෙත්...! විකර්ණය දිගේ දෙකට නවා දෙපොටක් පිට දිගට මුදා හැරි පට ලේන්සුවක අනික් දෙපොට,   බැඳ ඇති කොන්ඩයට යටින්, බෙල්ල දිගේ ඉදිරියට ගෙන නිකට යට දී ගැට ගසාගෙන වෙන දා මෙන් ඒ යන තරුණයා දෙස හොරෙන් බලා සිටියාට සැක නැත.

               සතියක් ගත වන්නටත් පෙර තරුණයා, ඔහුගේ සොහොයුරිය  හා වෙනත් වැඩිහිටි කීප දෙනෙක් කැටුව තරුණියගේ නිවසට පැමිණේ. ඒ, ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් ඒ නිවසේ වැඩිහිටියන් ද සිටි දිනයක ය.

              වැඩිකල් නොයා, මේ ජෝඩුව නීති ප්‍රකාරව විවාහ වෙති. එය බීන්න විවාහයකි. මොව්හු, වසර පහලවක් දහසයක් ඇතුලත දූ පුතුන් හත් දෙනෙකු ලබති. ඉන් හය වැන්නා ද පිරිමි දරුවෙකු වෙයි. ඒ 'වාසනාවන්තයා' මා ය ..!"

                                                        simple "s"
2018.01.16

No comments:

Post a Comment