Tuesday, December 4, 2018

උඩගෙදර කතා 98 (ඩිගිරි මාමගෙ ඡන්දය)

                       "ඩිංගිරි මාමගෙ ඡන්දය...."

              ඩිංගිරි මාමලගෙ ගම් සභාවටත් මැම්බර මහත්තුරු තෝරා ගන්ට ඡන්දේ.. මාමගෙ ගමට මැම්බර කෙනෙක් තෝරා ගන්ට මාමටත් ඡන්දෙයක් තියෙනවා.

               ඡන්දෙට ගමෙං තුං දෙනෙක් ඉල්ලනවා. දෙන්නෙක් පක්ස වලිං.. එක්කෙනෙක් සුවාදීනෙං.. පක්ස වලිං ඉල්ලන එක්කෙනෙක් දැං ඔයෙ වීසී කන්තෝරුව තියෙන ගොඩනැගිල්ලයි ඉඩමයි නොමිලේ දුන්න ගමේ වෙද මහත්තෙයා.. එයා එක කාලෙයක් වීසී එකේ චාර්මං වෙලත් හිටියා.. ඒ කාලේ දවසක් එයා ඩිංගිරි මාමලගෙ ගෙදර ලඟිං වැටිල තියෙන පාරේ ආරෝවක් බලංට ආවා. පියදාසයා ඉස්සර ඉඳලම නීති කාරයා..

"අපි පරම්පරා ගානක් ආවේ ගියේ මේ පාරෙං .. දැං මේ රනා මාමගෙ ගේ ගාවිං ඒක වහන්නේ කොහොමදෑ.. දැං මේක අපිටත් බුත්තියට සවි වෙල තියෙන්නේ, අපෙ සභාපති මහත්තයෝ.. " පියදාසයා කිව්වා මාමත් අහගෙන.
"අපෙ වෙද මහත්තයෝ.. මේ පියදාස පුතා කියන එක ඇත්ත .. මේ පාරෙං ඒ ඇත්තෝ ආවා ගියා තමයි. ඒ වුනාට මයෙ හීං එකා මේ ඉඩ ටිකේ පැල් කොටෙයක් හදා ගංට හදනවා.. ඒකට මේ පාර කෑල්ල ගංනැතුව බෑ... ඉඩ මදිවා.. අයෙ මුංට දෙංට වෙන ඉඩමක් කියල එකක් මට තියෙන එකක්‍ යැ .. මෙව්වා අපෙ පරම්පරා ඉඩං.. ඒකත් අමතක කරමුකො. පියදාස පුතාලට, ඒත් මේ මයෙ ඉඩමෙමුත් ටිකක් අහුවෙන අර උඩහ පාරත් තියෙනවනෙ.. ඒක මහ පාරට මේකට වැඩිය ලඟයි.. අපෙ මහත්තයෝ.." රනා අත්තා කිව්වා..

                  පියදාසයා තව මොනවාදෝ කියංට හැදුවා.. ඒත් චාර්මන් මහත්තයා අතිං කියල ඒක නැවැත්තුවා.. විනාඩියක් විතර කල්පනා කෙරුවා..
"පියදාස මලයා, උඹලා අර උඩහ පාරෙං පලයල්ලා..
මේ රනා ගොයියා කියන්නෙ ඇත්ත කියල උඹත් දන්නවානෙ.. හ්ම්.. දැං දෙන්නම වරෙල්ලා.. පියදාස මලයා අපිට බොංට කඩපං කුරුම්බා ගෙඩි දෙක තුනක්.. "

                  පියදාසයා ඇස්ස ගහපු දෙවෙනි කුරුම්බා ගෙඩිය දුන්නේ රනා මාමට.. සභාපති මහත්තෙයගෙ අර වචන කීපේ ඉඩං නීතිය පලාත් පාලන නීතිය ඔය ඔක්කොම තිබ්බා..

                  ඡන්දෙට අනික් පස්සෙං එන්නේ ගමේ මුදලාලි.. ඔයෙ දෙන්නගෙ කිසි අමනාපෙයක් නෑ.. ලඟදී තිබ්බ මුදලාලිගෙ දුව බැන්ද එකේ ඇස්ටෝං එකේ කෑම මේසේ විවුරුත කෙරුවෙත් වෙදමහත්තෙයලු.. මුදලාලි ඉතිං කාටත් උදව් කරන හදිස්සියක් උනාම ණයක් තුරහක් ඉල්ලා ගංටත් ඉන්න හොඳ මනුස්සයා..

                  තුං වෙනියා හිටපු ලොකු ඉස්කෝලේ මහත්තයා.. මයෙ අප්පෝ එයත් ගමට කරල තියෙන සේවේ නිමක් නෑ.. කවුරු කවුරුත් අද අකුරක් ලියන්නෙ කියන්නේ ඒ උත්තමයා හිංදා..

                  අනික ඉතිං කවුරු තේරිල ආවත් උන්නැහැට කීයක්වත් ලැබෙන එකක්යැ.. නම්බුව විතරයිනෙ.

                  ඡන්දේ දෙන්නේ කාටද කියල හිතා ගංට ඩිංගිරි මාමට තවම බෑ.. දැං මේ ඡංදේ දෙංට යන ගමං.. කාටවත් නොදී ගෙදර ඉංටත් හිතුවා.. එතකොට කාටවත් දුන්නෙ නෑ කියල හැමෝම දැන ගන්නවා.. ඒකත් පාඩුයි..

                    මහත්තුරු දුන්න කොලෙත් ඇන්න මාමා ඩැස් වලිං වට කරල තිබ්බ තැනට ගියා.. පැංසලත් අතට ගත්තා..

"මට කිසි කෙනෙක් තරහ කර ගංට ඕනෑ කමක් නෑ.. මං තුං දෙනාටම ඡංදේ දෙනවා" මාමා අවසාන තීංදුව ගත්තා.

                    හවස ප්‍රතිපල කියෝනවා බලංට ඩිංගිරි මාමත් ඉස්කෝලෙට ගියා..

වෙද මහත්තයගෙ නම කිව්වා... "ලැබූ ඡන්ද සඛ්‍යාව..    175 යි"
මුදලාලිගෙ නම කිව්වා.. "ලැබූ ඡන්ද සංඛ්‍යාව... 173 යි"
ලොකු ඉස්කෝල මහත්තයගෙ නමත් කිව්වා.. "ලැබූ ඡ්න්ද සංඛ්‍යාව... 171යි."

                     ඩිංගිරි මාමා හිතුවේ කියල ඉවරයි කියල... නෑ..
                     "ප්‍රතික්ෂේප වූ ඡන්ද .... 180 යි. මේ අනුව ..... මහතා ........ තේරී පත් වෙනවා.."

                     මුදලාලියි ලොකු ඉස්කෝලෙ මහත්තයයි ඉස්සරහට ඇවිත් වෙද මහත්තයට, අත් එකතු කරල "ආයුබොවන්" කිව්වා.. මහත්තුරුංටත් තුං දෙනාම එහෙම කිව්වා.. වෙද මහත්තයා අත් එකතු කරල රව්මක් කැරකුනා ඇවිත් හිටිය ඔක්කොටෝම පේංට..

                      ඇවිත් හිටිය කවුරුත් සංතෝසෙං. ඩිගිරි මාමත් . ! එයා හිතුවා "මාත් වෙද මහත්තෙයට දුන්නනෙ"  කියල... ඒත් මාමගෙ යටි හිතෙං ටිකක් කැමැත්ත තිබ්බා ලොකු ඉස්කෝලෙ මහත්තයා දිනනවට... !

                      හැබැයි එයා දැනගෙන හිටියෙ නෑ.. එයාගෙ ඡංදේ ඇත්තටම දිනල කියල..

                                                    simple "s"
2017.12.15

No comments:

Post a Comment