Saturday, December 1, 2018

උඩගෙදර කතා 53 (හරය හා රෝයි ජී බිව්)

                     "හරය" හා "රෝයි ජී බිව්"

සුද්දත් ඇරියෙ නෑ....                අංක 05

           අවංකව කියන්න, මම මේ ලියන ඒවායේ හරයක් තියෙනවද?

           මේ කියන්නේ ඒ හරය ගැන නම් නෙවේ.. කවදාවත් හරකා උඩ ලමයෙකුට ඉන්න පුළුවන් වුනාට ළමයා උඩ හරකෙකුට ඉන්න බෑනෙ.. ඉතින් භාග ගනන් වල උඩ යට තියෙන්නේ හරයද ලවයද කියලා මතක තියා ගන්න පහසු වෙන්න අපෙ ඇත්තෝ මෙන්න මේ 'හරකා උඩ ලමයා' කියලා (අදටත් මාත් ඇතුළුව) බාල ඇත්තන්ට පෙන්නා දුන්නා. මේ වාගේ දේවල් හරියෙට අපිට තියෙනවා.

            අපෙ ඇත්තෝ එක එක දේවල් හඳුන් වන්න, මතක තියා ගන්න එහෙම, ඒවයේ මුල් අකුරු අරන් ලස්සණ වචන හරි වාක්‍ය හරි හදා ගත්තා. ලංගම... ගමක නමක් වාගේ වුනාට මේ ලංකා ගමනාගමන මණ්ඩලය කියලා නොදන්න කව්රුවත් නෑ. පස්සේ සමහර අය මේක "ශ්‍රීලංගම" කියලා වෙනස් කරන්න හැදුවට කාගෙත් කටේ රැඳුනේ පුරුදු "ලංගම" මයි!

             ආවර්තිතා වගුව පිළිවෙලින් මතක තියා ගන්න, ලීලෙකුයි නහටු මැගිලියෙකුයි ගැන කීවා: "හා හී ලීලා බෙහෙත් බීලා කාලා නාලා ඔහෙ පෙරලිලා නිදි, නහටු මැගිලින් අලි සිනහ පා සන්තෝසෙන් කල් අරී, ගමේම කොල්ලෝ කැලේ."

             "වන්බෙගුදරි " කියන්නේ ගණිත කර්ම පිළිවෙලින් කරන්න හදලා දුන්න වචනේ. (වරහන්, න්, බෙදීම, ගුන කිරීම, දන, රින)

             අපෙ රටේ පෞද්ගලික අංශයත් තම තමන්ගෙ ආයතන වල ඉංග්‍රීසි නමේ වචන වල මුල් අකුරක් දෙකක් අරන් ආර්පිකො, සෙලින්කො වගේ ජනප්‍රිය කෙටි නම් හදා ගත්තා...

             දේදුන්නේ පාට හත පිළිවෙලින් මතක තියා ගත්තේ මෙහෙම: "රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් වගේ .. ."
             අට දිශාවට.. "උපාලි ඊළඟ නැවේ ගිහින් දයා නිදිද බලා වරෙන්" වාක්‍යයේ වචනවල මුල් අකුරු පිළිවෙලින් ගත්තා.

             හ්ම්... සුද්දත් ඇරියෙ නෑ... දුන්නා ලෝකෙටම දැනෙන්න. ඒවායින් හොඳම දෑවැද්ද තමයි.. Acquired Immune Deficiency Syndrome. මොකක්ද මේ..? එයා ලෝකෙටම aids (ආධාර) දෙන "යුනිසෙෆ්"  UNICEF... (United Nations International Childrens' Emergency  Fund) වගේ නම් නෙවේ.. ඉපදිලා ඉන්න එවුන් විතරක් නෙවේ උපදින්න ඉන්න එවුනුත් අහන්නත් බය වෙන ..."ඒඩ්ස්.."(AIDS..!) .. පවා හදා දුන්නා. UNICEF ආයතනය එක්සත් ජාතීන්ගෙ සංවිධානය විහිං මුලින්ම (මහා ලෝක යුද්ධය ඉවර වුනාම) පටන් ගත්තේ අසරණ වුන ළමයින්ගෙ අධ්‍යාපනය සඳහා හදිසි ආධාර දෙන්නලු.

           සමහර ඒවයෙදි නම් හැබැයි ටිකක්  එයා කම්මැළි වුනා.., අපෙ ඇත්තෝ වගේ නෙවේ... ප්‍රධාන දිසා (North, East,West, South)හතරේ මුල් අකුරු වලින් NEWS කියලා වචනේකුත් හදාගෙන Z අකුරේ කොන් හතරේ ඒ වචනයේ අකුරු පිළිවෙලින් තියලා E අකුර හැරෙව්වා ඉර පායන පැත්තට. ඔන්න ප්‍රධාන දිශා හතර පිළිවෙලින් හදා ගත්තා... එයාගෙ අතුරු දිශා,  දෙපැත්තේ තියෙන ප්‍රධාන දිශාවල නම් ආශ්‍රයෙන්, North හා South වචන දෙක විතරක් මුලට අරන් නම් කෙරුවා..  NORTH-WEST, SOUTH-WEST වාගේ. (වයඹ වගේ වචන කියා ගන්න බැරි හින්දද දන්නෙත් නෑ!) 

              දේදුන්නේ පාට හත (red, orange, yellow,green, blue, indigo, violet) පිළිවෙලින් ඉංග්‍රීසියෙන් මතක තියගන්න විදියවල් කීපයක් බේබීස්ලට කියලා දුන්නා. Rate of York gain battle in vain.., Richard of York gave battle in vain දෙකයි, Roy G Biv කියලා නමකුයි,අනික් පැත්තට vibgyor (විබ්ජිඕර්) කියලා අළුත් වචනයකුයි හදලා දුන්නා,  කැමති එකක් තෝරා ගන්න කියලා..

FANBOYS ලගෙන් cordinating conjunctions හත (for, and, nor, but, or, yet, so) මතක් කර දුන්නා.

සෞරග්‍රහ මණ්ඩලය ඉර පැත්තේ ඉඳලා පිළිවෙලින් (mercury, venus, earth, mars, jupiter, saturn, uranus, neptune) මතක තියා ගත්තේ My very educated mother just served us noodles වාක්‍යයේ මුල් අකුරු වලින්. තව ඒවත් තියෙනවා.

Nylon නයිලොන්.. නම හදා ගත්තේ New York - London ජාත්‍යන්තරය එකතු කරලලු.

               සුද්දා නම් මේවට නම් දෙකක්ම දැම්මා.. vibgyor වගේ, වචන වල මුල් අකුරු අමුණලා හදා ගත්ත අලුත් වචන වලට acronym (ඇක්‍රොනිම්) කියලයි..  අර උපාලිගෙ කතාවේ වාගේ මුල් අකුරක් දෙකක් ආශ්‍රයෙන් හදා ගත්ත අළුත් වාක්‍ය, කවි වගේ ඒවට "mnemonic" (නෙමොනික්) කියලයි.
               සමහර විට පොඩි ඇත්තන් දන්න ඒවා.. ආපහු මතක් කරලා දුන්නේ.. !

                                                     simple "s"
2018.01.01
             

1 comment:

  1. Eddy Ate Dynamite Good Bye Eddy ගිටාරයේ තත් ටික මතක තියා ගන්න විදියක්,,,E, A ,D, G, B, E

    ReplyDelete