Thursday, December 6, 2018

උඩගෙදර කතා 37 (කරප්පං)

                                "කරප්පං... "

අපෙ වෙද මහත්තයා             3  කොටස.

"මයෙ දුව නාන එන අතරේ අර දරුවා ඇවිත් ගියා ඔන්න. " මයෙ බඩ හෝස් ගාල පත්තු වුනා.
"හදිස්සියකටද?"
"නෑ.. නෑ අම්මලා එව්වා කියල කැවිලි වගයක් ගෙනත් දීල තේ වතුර එකක්වත් බොන්නැතුව ගියා. වැඩලු.."
"ඇයි එහෙම කෑම ජාති..? අපෙ අම්මා."
"ඔයෙ ඒ ඇත්තෝ කටයුත්තට මනාපයි කියල පෙන්නපු හැටිනෙ මයෙ දුව."
"ඒක මට නං එදාම පෙන්නුවා.."
"ඒ කොහොමද?"

"ළිඳ ගාවදි මං මූණ හෝදංට වතුර ඇන්න දුන්නානෙ. ඒ වෙලාවේ ඒ අම්මා කිව්වා.. අයෙ ආව වෙලාවක මේ පැත්තෙංම ගිහිං මයියංගනේ වැඳගන්ට.. නෑ නෑ වැඳගන්න ඕන කියලයි.. මිදුල දිගේ එද්දී අර මල් වැල පෙන්නල.. අයෙ ආව වෙලාවක මේකෙං පැලයක් ගෙනියන්න ඕන කියලයි."
"ඉතිං මයෙ දුව පැලයක් ගලවල දෙන්ට තිබ්බනෙ.."
"මං ඇහැව්වා.. 'නෑ නෑ මයෙ දුව අයෙ ආව වෙලාවක පුළුවන්' කිව්වා. මං ඉතිං බල කරංට ගියෙ නෑ.. මට ඒත් හිතුනා අයෙ එනවට කැමති නෑ කියලවත් හිතුනද කියල.."

"අප්පච්චි එදා ලෙඩෙකුට බේත් කරන හැටි ඒ පුතාගෙ තාත්තා බලාන හිටියානෙ. ඉතිං ඒ ගැන හරියට පැහැදිලලු."
"අප්පච්චිගෙ වෙදකමට පැහැදෙන එක අරුමයක් නෙවෙයි අපෙ අම්මා.

                             *                               *

              කෑම කාල ඉවරවුනා විතරයි අප්පච්චි.. තුංපෑලේ ඩිංගිරි උන්දෑ කහ කහ එනකොට. බුලත් අතකුත් ගෙනාවා.

"අපෙ ඉස්කෝලෙ මහත්තයත් යං කාමරේට.. මේ ඇත්තෝ කතා කර කර හිටියාවයි ටිකක්... මයෙ දුව.. මයෙ දුව.."

               මං හිටියේ ඈතක නෙවෙයි. එතන කතාබහ ඇහෙන දුරිං. ඇතුලේ..

"ඇඟ මුලුවස්සං කහනවා අපෙ වෙද මහත්තයා.. ඊයේ හවහ පටං ගත්තේ.. කොත්තමොල්ලි ඩිංගක් තම්බල දුන්නා. අඩුවක් නැතුවා. දැං කහල කහල ඇඟම දනවා.."
"ං.. බිම්මල් හරි මස් ජාතියක් හරි කෑවද?"
"නෑ..හ්.. අමුතු දේකට කියල ඊයේ දවාලට කටුවල ටිකක් නං කෑවා.."
"මේ කරප්පං.. බය වෙංට එපා. ඕක ඇරිල යයි..."

"මයෙ දුව මුන්දෑ එක්ක ගිහිං පිට මැද ලොකු සිංහයෙක් ඇඳගෙන එංටකෝ..ඔයෙ විටට ගන්න හුනු වලිං.. "
"මයෙ අප්පච්චී මං.. ඇහැටවත් දැකල නැති සිංහයෙක් අඳින්නෙ කොහොමදෑ.... හැමදාම දකින බළලාවත් අඳිංට බැරි එකේ.. එයා ඇන්දත් ලෝකෙත් නැති සතෙක් ඇඳෙයි.."
"අන්න හරි.. බළලා දිහා බලාන අඳිංට..
අනික ඕක ඔයෙ සතා හරියටම ඇඳෙංට නෙවෙයි.. ඇඟේ හුනු ටිකක් ගෑවෙන්ටයි ලෙඩාගෙ හිත හැදෙංටයිනෙ. පුලුවං තරමට අඳිංට, පොල් මුඩු කෑල්ලකිං. අතේ ගෑවුනොත් දැවිල්ල එයි. කොහොම හරි ගෑවිල දැවිල්ල ආවොත් ඔයෙ කඩමලූ කෑල්ලකිං හොදට පිහ දාල පොල්තෙල් ඩිංගක් ගාංට."

             ඩිංගිරි උන්දෑ ඒ වෙනකොටත් පිට පැත්තෙංම ඉයන ගෙට ගිහිං. අපෙ අම්මා ඇවිත් උන්දැට කතා කරල ගියා. මං ඇංද සිංහයා හරියටම වහු පැටියෙක් වාගේ.! හුනු වේලෙන කල් ඉඳල අපි දෙන්නම අප්පච්චි ලඟට අයෙත් ගියා..

"හැංදෑ වෙල අඟුන කොල මිටක් දෙකක් ඇන්න පොල් රැල් ටිකකුත් දාල හොඳට වනේ කොටංට. ඒක මිරිකල ඇන්න දෙහි බිංදු කීපෙයක් දාල බොංට. ටිකක් තිත්තයි. කට හෝදල දාල සීනි ඩිංගක් හරි හකුරු ඩිංගක් හරි කටේ දා ගංට. ඒ එක්කම වාගේ අමු පොල් කොල අහුරක් දෙකක් ගින්දර අඟුරු වලට දාල එන දුම ඇඟ පුරා අල්ලංට. හෙට උදේ කම්බිලි කෑල්ලක් පුස්සල අලු ටික දෙහි ඇඹුල් ටිකකිං... නෑ නෑ ඒක ඕනැන්නෙ නෑ එක්කෝ... ඔව්වටත් අඩුවක් නැත්තං හෙට එංටකෝ.. එහෙම වුනොත් අපි ලේ සුද්ද වෙංට අරිස්ට ටිකක් බොමු.."

             උන්දෑ ගියාට පස්සේ.. අප්පච්චි මෙහෙම කිව්වා..
"ඕක මයෙ දුව කරප්පං. ගුණ වැඩි කෑමක් බීමක් ගත්තම, සීතලේ වැස්සේ එලි මහනේ ගමං බිමං ගියාම හැදෙනවා.. ලේ දාතුව කුපිත වීමෙං. හැබැයි හේතුවක් හිතා ගංට අමාරු වෙලාවලුත් තියෙනවා....
අපෙ ඉස්කෝලෙ මහත්තයෝ.. මේ බොන කහට වතුර ටිකත් සමහර ඇත්තංට විස වෙනවා. සැරටම හැදිල කහංට ගත්තොත් සිහියත් නැති වෙල දන්නෙම නැතුව දොට්ට පිලටත් යැවෙනවා.. "
"වෙද අයියා.. එක දවසක් බල මාලු කාලා මටත් කරප්පං හැදුනා.. ඔය මාංශජනක ධාතු ක්‍රියාකාරිත්වය වැඩි වීමෙන් කියලයි ඒ කිට්ටුව දොස්තර මහත්තයෙක් කිව්වේ." ඒ තාත්තා කිව්වා.
"ඒක ඇත්ත.. බිම්මල් හරක් මස් එහෙම කෑවමත් හැදෙනවා මහතයෝ.."

                                 *                         *

"ඔන්න අපෙ අම්මා ඔය ටික තමයි එදා වුනේ.. හා.. ඒ අතරේ බෝරයා කිතුල් පැණි බෝතලේකුත් ඇන්න ඇවිත් අප්පච්චිට දණ ගහල වැඳල පිං දීල ගියා..එදා බඩේ අමාරුව සනීප කෙරුවට."
"ඒ වුනාට මයෙ දුව.. ඒ දැක්ක ටික හරියට හිතට අල්ලල. මයෙ දුව කැමති හිංදම වාගේ උඳුවලළුත් තියෙනවා ඕං.. හරියටම පදම ඇවිත් තියෙනවා. තෙල් ඩිංගක් පැණි ඩිංගක් පිටිං ගෑවිලවත් නෑ. හොඳට පැණිත් අහල.. මයෙ දුව අතිං කියවුනාද එව්වට කැමතියි කියලවත්...?"
"අප්පෝ මං එහෙම එකක් කිව්වෙ නෑ අපෙ අම්මා."

"හා... ඒ පුතාට කොහෙදෝ පිට යංට වෙලලු සුමාන දෙක්කට.. හා.. කලුතර නාගොඩ කිව්වා. පුහුණුවකටලු."
"අප්පෝ.. ඉතිං සුමාන දෙකක් ඉන්නේ කොහෙද?"
"ඒ කිට්ටුව දොඩංගොඩ කියන දිහා පුතාගෙ ලොකු අම්මා ඉන්නවලු.. එහෙ.

                තව එක ඩිංගක් වෙලා ඉංට බැරි වුනානෙ.. මහ ආඩම්බර කාරයෙක්! කමක් නෑ ඇවිත් ගිය එකත් ලොකු දෙයක්.. මයෙ හිතේ තිබ්බ දෙගිඩියාවේ හැටියට!

                පෙරේදා උදේ ආපහු යංට ලෑස්ති වෙල හීං අක්කා කිව්වා..:
"දැං ඉතිං ඔහොම හැමදාම අපෙ අම්මගෙ ඇඟේම ඉංට බැරි වෙයි.. හතරකෝල්ලෙට ගියාම..!" කියල.
හා... හා.. තව චාරිත්තලේ හැටියට.. ඒ ඇත්තන්නේ 'ගේදොර බලංට' අපි යංට ඕනෑ.. 'අඳිංට තියංට' දේත් ඇන්න නැකත් කියංට එහෙං එංට ඕනෑ.. තව කොච්චර රාජකාරි තියෙනවද.." කියල ලොකු අක්කා කිව්වා. දෙන්නම මයෙ ඔලුව අත ගගා හිනා වුනා.. ගොඩාක්..
                අම්මයි අප්පච්චියි දාල මං යයි.. !
                මාත් ඉතිං ඔහෙ බලාන හිටියා.. ඒත් 'හතරකෝල්ලේ.. ' කියන නම නං හිතේ ලියවුනා!

                        *                        *                       *

පිච්ච මල් පුසුඹ පනිවිඩ ගෙන         එනවා
රුක් අත්තනේ ඇල ලඟ ඉඳ වද     දෙනවා
සමනලියන්ට වෙන වැඩ නෑ  හිනැහෙනවා
නින්ද එපා හීනෙක මං           හිනැහෙනවා

යන එන ගමන් වල වෙහෙසක්   නොදැනේවා
අව්ව වැස්ස අහලකවත්              නොවැටේවා
දුක් වේදනාවක් හීනෙකවත්                  නේවා
හෙටවත් හිනා කට දැක ගනු        හැකිවේවා!

                                                      simple "s"
2018.03.01

No comments:

Post a Comment