Friday, December 14, 2018

උඩගෙදර කතා 103 (FORTY FIVE PLUS)

"FORTY FIVE PLUS ...."

                
                    මට දැං හැත්තෑ දෙකත් පහුවෙල. ඒ ගැන මට ඇති සතුටකුත් නෑ, කණගාටුවකුත් නෑ. ඒකට විතරක් නෙවේ. කොයි දේත් එච්චරයි. ඉස්සර වාගේ නෙවෙයි, දැං ප්‍රශ්ණයක් ආවම ඕක කර තියාගෙන ඉංට මං ලෑස්ති නෑ. සරළ විසඳීමක් ඇත්තෙම නැත්තං අන්ත දෙකකිං බලල හිතෙං අයිං කරනවා. එක්කෝ වෙංට පුළුවං නරකම දේ වෙයි, නැත්තං විසඳිල සිද්දි ආපහු සාමාන්‍ය වෙයි!

                   ඒකට කියල 'දෙයියන්නේ පිහිටයි කියල පාර මැද නිදාගන්නෙත්' නෑ. අන්න ඒ හිංදයි අවුරුද්දකට හමාරකට සැරෙයක් ...

                   සමහර ඇත්තෝ කියනවා 'ලෙඩක් හැදෙංට කලිං, අර රිපෝට් එක මේ රිපෝට් එක ගත්තම නැති ලෙඩ.' කියල. මං මේ කතාවට එකඟ නෑ. ලෙඩක් තියෙනවා නං කලිං දැන ගන්න එකයි හොඳ. "තව ටිකක් කලිං ආවා නං...!" කතාව අහ ගංට ඕන නෑ. පොරොව හොයන්නැතුව අත ලඟම තියෙන නිය පොත්තෙං වැඩේ ඉවර කර ගංට පුළුවං. අන්න ඒකයි අවුරුද්දකට හමාරකට සැරයක් කොලෙස්ටරෝලුයි ලේ වල සීනියි මට්ටං බලා ගන්නේ. ලේ වල පීඩනයත් මාස් පතා. ඔය පීඩනය ගැන නං හතලිස් පහ විතර පහු වුනදා ඉඳලම සැළකිලිමත් වෙංට කියන්නේ.

                  මට කියංට ඕනෑ වුනේ නං වෙන කාරණයක්.

                  මේ දවස් සීතල වැඩී. ඉඳහිටවත් වැහිත් එනවා. එව්වා මේ අවුරුද්දේ විතරක් වෙන දේ නෙවෙයි. ඒ හිංදා කල් වේලා ඇතුව ලෑස්ති වෙංට බැරි නෑ. මෙහෙම දවස්, සෙං රෝග, පපුවේ අමාරුව එහෙම තියෙන ඇත්තංට විශේෂයෙන්ම එපාම කරපු දවස්. පනහ හැට පැන්නට පස්සේ අනික් ඇත්තෝ වුනත් පරිස්සං වෙංට ඕනෑ.

                  නානවා ති‍යා හිතංටවත් බෑ. ඒ වුනාට කීදවසක් එහෙම ඉංටද? ඇඟටපතට අමාරුවක් නැත්තං දවස් දෙක්කට සැරයක්වත් ඇඟ හෝදා ගංට නාගංට තියෙනවා නං ඇඟට පහසුයි. මද්දහනේ නං වඩා හොඳයි. ටිකක් රස්නේ වතුරෙං නං ඊටත් හොඳයි.

                   රෑ කෑම ටික ගැන විසේසෙම්ම සැළකිලිමත් වෙංට වෙනවා. අපි කොහොමවත් දවාලට වාගේ මහ බත් එකක් රෑට කන්නෙ නෑනේ. වැඩිය ඇඟ මහන්සි කරන්නෙත් නැති එකේ 'තව කටක් දෙකක්' කංට පුළුවංකම තියෙද්දී නතර කරනවා නං තමයි හොඳ. වෙන සරළ කෑමක් නං වැඩිය හොඳයි. ඒ කියන්නේ පිටි ගොඩවල් එහෙම නෙවෙයි. ගෙඩිය දෙකට කපල ගත්ත පාං පෙති දෙක්කුත් නෙවෙයි.

                   පලා ජාති වැඩිපුර කංට ඕනෑ බව ඇත්ත. ඒත් රෑට ගෝවා කොල එපා කියන්නේ වාතෙට හොඳ නැති හිංදා. කොස් දෙල් පොලොස් ඒත් එහෙම. වෙන කොල ජාතිත් එලවලුත් සැළකිල්ලෙං. මොකද සෙම් කාරක, වාත කාරක ආහාර කෝකත් රෑට හොඳ නෑ. හැන්දෑවෙල කුරුම්බා තැඹිලි දිව්ල් එහෙමත් සුදුසු නෑ. සීතල වැඩිවා. සෙම ගතිය තියෙනවා නං එහෙම අයිස් ක්‍රීම් වාගේ, ෆ්‍රිජ් එකේ තියල ගත්ත කොයි දේවත් අත්හදා බලංට යංට ඕනැන්නෙ නෑ. ඔය හීං තක්කාලි, කලුකැම්බේරිය, කලුකම්බේරිය වාගේ නං වලිනුත් හඳුන්වන තැම්බේරියා කොල තියෙනවා නේද.. දැක්ක තැනක අතාරිංට නං එපා. අර මේ දවස්වල තොල් වාගේ සියුම් තැං පුපුරනවට පංකාදුයි. කතුරුමුරුංගා කොල, මල්... ඒත් ඒ වාගේ. ඇඟ ඇතුල ඌස්ණෙයි, පිට පරිසරය සීතලයි වුනාම තමයි එහෙම පුපුරන්නේ. ඒ වාගෙම කකුල් වල ඇඟිලි කරුත් පුපුරණවා. ඒකට නං පොල්තෙල් පාං තිරයක් ගැට ගැහැව්වම හරි.

                  සමහර වෙලාවට සීතල වැඩිකමට බඩ පුරවා දාංට බලනවා. බය නැතුව කටිං පිඹ පිඹ උණු වතුර ටිකක් බොංට. ගම්මිරිස් ඇට දෙක තුනක්, සුදුලූණු බිකක්, ලුනු කැටයක් එකට හපල ගිලල නං වැඩිය හොඳයි. ඒ වාගෙම සීතල වැඩි කමටත් කරප්පං දානවා. ඒකට නං කරංට ඕනෑ දේවල් දන්නවනෙ.

                 ඇවිදින එක හොඳම අභ්‍යාසයක්. අමතක කරංට එපා එහෙම ඇවිදිනකොට, එළිමහනේ ඉන්නකොට ඉසයි පපුවයි හොඳට වහ ගංට. මොකද චන්ද්‍රයා පපුවට එංට බලනවා, සෙම ටිකක් වැඩි වෙංට බලනවා එහෙම වැඩී. මේ දවස්වල පාන්දරට වැටෙන පින්න හරියට ඇසිඩ් වාගේ. ඔය පීනස ගතියක් පපුවේ හතියක් එහෙම ආවොත් හරි වදයක්. හචිං.. හචිං.. කුරු.. කුරු..!

                  මේ දවස් වල, ඔහොම පොඩි පොඩි තරමට ඇඟ මහන්සි කෙරුවත් හොඳට දාඩිය දානවත් හොරයි. ඉතිං එක එක කුෂ්ට ජාති හැදෙංටත් බලනවා. පිරිසිදුකම කාටත් කවදත් වැදගත් කියල අමුතුවෙං මතක් කරංට ඕන්නෑ. අර ඇඟ හෝදංට රත්කර ගන්න වතුර එකට කොහොඹ කොල මිටක් එහෙම දැම්මට කමක් නෑ.

                   අවදානම් ගන්න එකත් එච්චර හොඳ දෙයක් නෙවේ. දැං බාත් රූම් එකේ එහෙම වැටිල අතක් පයක් කැඩුනොත් බිඳුනොත් ආයෙ ලියලන්නේ එහෙම නෑ. 'අන්තිම කාලෙට මයෙ වැඩ ටික මම්ම කරගෙන ඉංට ලැබුනොත් ඇති' කියන හීනෙත් ඉවරයි.

                   ඉස්සර නං හතලිස් පහ පැන්නම රජයේ සේවකයෝ කාර්‍යක්ෂමතා කඩයිම් විභාග සමත් වීමේ අවශ්‍යතාවෙන් නිදහස් කරනවා. දැනුත් එහෙම වෙංට ඇති. ඇයි ඒ? ආණ්ඩුවත් පිළිගන්නවා හතලිස් පහ පැන්නම මතක ශක්තිය වාගේ දේ දුර්වල වෙනවා කියල..!

                  අපෙ රටේ කෙරෙන ලොකුම වැරැද්දක්ලු, බේත් බොංට අමතක කරන එක, නියමිත මාත්‍රාව වෙනස් කර ගන්න එක, නියම කරපු දින ගාන බේත් නොබී යංතං ඔලුව උස්සංට පුළුවං වෙනකොට බේත් නවත්තන එක. වයසට යනකොට මුරණ්ඩු වෙනවා කියල නෝක්කාඩුත් අහ ගන්නවා. 'දුවලට පුතාලට හොඳ පාඩමක් උගන්නන්නංකො' කියල මෙහෙම මුරණ්ඩු වුනාම අපි ඉගෙන ගන්නේ පොතක්ම. ඊට පස්සේ වැඩකුත් නෑ. පරණ පොතම වහල දාල අලුත් පොතක් පටං ගංට වෙන්නේ. යමක් අමතක කරංට බෑ. වෙනවා විනා. ඕක මතක් වෙංට විදියක් හදා ගංටයි තියෙන්නේ. දවසේ අමතක නොවී කෙරෙන වෙන වැඩකට යා කරල. අමතක වීම් හොඳටම වැඩීනෙ. අඩු ගානේ දුවගෙ පොඩි එකාටවත් කියල තියංට.

                   ආයිබෝං කියංට කලිං...

"කොත්තමල්ලි ටිකක් තම්බාගෙන බිව්වා. ඔක්කොම හරි." කියල මයෙ යාලුවා කියනකොට රටේ ඉන්න තරම් විශේෂඥ වෛද්‍යවරුන්ගෙ නම් ටිකයි, කව්රු හරි කියනවා අහගෙන ඉඳල කටපාඩම් කර ගත්ත පෙති ටිකේ නම් ලයිස්තුවයි කියවල  ආඩම්බරකමක් හදාන්ට ඕනැද?

                   අපි මැරෙනවා තමයි. ඒකටත් කලිං හිතල සතුටිං මූණ දෙංට ලෑස්ති වෙමු. ඒකට කියල පැයෙං පැයට ඕක කියව කියව ඉන්ට ඕනත් නෑ. මරණයේ අනුකම්පාව ලබා ගන්ටයැ. අපි පුලුවන් තරම් හිතත් ශක්තිමත් කර ගනිමු.

                    සුව!

                                                         simple "s"
2018.12.15

No comments:

Post a Comment