Tuesday, December 4, 2018

උඩගෙදර කතා 95 (වයි ෆයි)

වයි ෆයි..

මං ඉස්සර ටීවී බැලුවේ චැනල් තුනයි.. තව බාගා කීපේකුත් ... අනික් ඒවා පේන්නෙ නෑ ... එහෙම නැත්තං මූණු පහක් හයක් තියෙන රූප..

ඔන්න දවසක් එස්‍ එල් ටී එකෙං කෝල් එකක්. මං හොඳ කස්ටමර් කෙනෙක් හින්දා මට නොමිලේ සේවාවන් ටිකක් දෙංට..! මොකක්දෝ ප්‍රොමෝෂන් එකක්ලු... පීඊඕ ටීවීයි වයිෆයියි කනෙක්ෂ්න්ස් නොමිලේ.. කිසිම ගාස්තුවක් නෑ.. ටීවී එකට චැනල් ගොඩාක්... මාස්පතා ඒ පැකේජ් එකට නියමිත ගාස්තුව විතරයි.. වයිෆයි කනෙක්ෂන් රව්ටර් නොමිලේ.. ඒකට රෙන්ටල් එක ගෙවංට ඕන.. ලොකු ගානක් නෙවේ..

ඉතිං ශෝක්නෙ.. මාත් ගත්තා.
දවස් දෙකෙං වැඩේ හරි... ටීවී එකේ ෆිල්ම්ස් දවස පුරා.. හොඳ ඒවා යන්නේ මාසෙකට විතර එකක්! ඒක වෙනම කතාවක්..

ඒ වගේද අපිට ආඩම්බරේ.. දැං අපිට පීඊඕ ටීවී තියෙනවා.. වයිෆයි තියෙනවා.. මගෙ ජීවිතේ හරි හයිෆයි..!

දුව මට එෆ්බීත් හදලා දුන්නා ---- මූලික පාඩං ටිකත් කියලා දුන්නා--- දන්න කියන යාලුවෝ ටිකකුත් එක්ක.. ඒකත් හරි ශෝක්නෙ...

මුලිං මුලිං වෙන අය දාන පෝස්ට්ස් බල බල හිටියා.. ලස්සන කවි, කතා, මල්, තොරතුරු, විහිළු.. මොනවද නැත්තේ අප්පා.. හදිසියකට පොල් ගෙඩියක් වගේ දෙයක් විතරයි.. ! හොඳ ඒවට ලයික් දාන්ටත් පුරුදු වුනා..

දවසක් මාත් මොකක්දෝ දැම්මා.. ශහ්.. ඒක එෆ්බී එකේ...! ඒකටත් ලයික්  දෙක තුනක් වැටුණා.

පැකේජ් එකට දෙන ඩේටා දැං මදි.. එක්ස්ට්‍රාත් ගන්නවා. ඇයි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්ස්... !

ඉස්සර උදේ ඉඳලා හවස් වෙනකල් මොනවා හරි කරපු වැඩ ඔන්න ටික ටික මගෑරෙන්ට පටන් ගත්තා..

මාලිනි ගෝරි දාන්ටත් පටන් ගත්තා.. හරි ඊරිෂියා කාරී.. මං ටැබ් එක අතට ගත්තොත් එල්ලෙන්ටම බලාගෙන... හැබැයි ඉඳහිට එයා අතට ගත්තාම.. කමෙන්ට්ස් ටයිප් කරන්නෑ.. මූණ දිහා බලං හිටියම ජොලි කෝටියයි. කියන්නෙයි.. පෙන්නන්නෙයි එෆ්බී අරහං කියලා...!

"කෑම කන්ට එන්නඅඅ..."
"පොඩ්ඩක් ඉන්ට.. පොඩ්ඩක් ඉන්ට.."
"මේක පුදාගෙන බලා ඉන්ට බෑඈඈ.."
"එනවා.. එනවාආආ.."
"මේක ගෙනත් ඔළුවේ ගහනවා ඔන්න.."
"හරි.. හරී.. මේ එනවා.."
"ඕන කුදයක් ගහ ගන්න එකයි.. මං කනවා.."
"තත්පරයයි.. තත්පරයයීඊඊ.."

                          *                              *

"මේ... ඕක කොට කොට ඉඳලා හරියන්නෑ.. පොල් ඉවරයි.. දවල්ට කන්ට ඕන නං... "
"ඊයෙනෙ..."
"ඊයේ..? දැං ඔළුවත් අව්ල් වෙලාද?"

                           *                               *

"අද සුබ සාදකේ රැස්වීමට යන්ට තියෙනවා නේද?"
"ඒයි මං... රව්ල කපලත් නෑ.. දවස් දෙකක්.. "
"කමක් නෑ.. දැන් නවයයි කාලයි.. නවය හමාරට නේද රැස්වීම... අදට ඔහොම යන්ට."
"මං මූණ හෝදාගෙන එනකල් මේ ෂර්ට් එක මැදලා තියන්ටකො.."
"අර ඊයෙයි  පෙරෙදයි ඇන්ද එක.. "
"කිළුටු වෙලා නැති වුනාට... දාඩිය සැර ඇති...මිනිස්සු මැද.."
"නෑ.. නෑ.. අදට ඒක ඇඳගෙන යන්ටෝඕඕ.."
මේ වාගේ දේවල් දවස් පතා..

සිකුරාදා දෙකට විතර ආව කෝල් එකකටත් මාලිනී කතා කරේ... එයා ලඟට එනකොට මං, අර මගෙ මූණ වගේ මූනක් එක්ක දාන ශෝක් විහිළුවක් බල බල හිටියේ..

"මේක බලන්ටකො..
කොහෙං මුන්ට මේ අයිඩියාස් එනවද මන්දා.."
"අයිඩියාස් තමයි.. අන්න එස්එල්ටී එකෙන් කෝල් එක.. කවද්දෝ දිනයක් කිව්වා.. ඊට කලිං ගෙව්වේ නැත්තං ඩිස්කනෙක්ට් කරනවලු."
"ඕඑම්ජී.."

මටත් දැන් පාඩං වෙලා තියෙන එෆ්බී ජාගන් එකෙම්ම උත්තරේ දුන්නා.. ෆට්ට, එල්ඕඑල්, එල, තව අදවත් මං දන්නෙ නැති ඒවත් ඒ ජාගන් එකේ තියෙනවා.

"මේ ඕයි ඔය මොන ජී එකවත් නෙවේ.. දැම්ම ටව්මට ගිහිං මේක ගෙවලා එනවා.."

මාලිනී කවදාවත් ඒ ජාගන් එකෙන් මට කතා කරලා නෑ.. දුක හිතුනත් ඉවසාගෙන කුක්කා වාගේ උත්තර බැන්දා..

"දැං ගියාට සල්ලි..??"
"මං දන්නෑ.. කැමති දෙයක් කර ගන්නවා.."

ඩිස්කනෙක්ට් කෙරුවොත්... පොඩි ගානකට ඩේටා කාඩ් එකක් දාගෙන එෆ්බී බලනවා... ලෑන්ඩ් ෆෝන් එක නැතත් හෑන්ඩ් ෆෝන් එක තියෙනවානෙ... උපහාර! දවසකට දෙකකට ටීවී නැති වුනාට මොනවා වෙනවද? මං දැං ටීවී බලන්නෙත් නෑනේ... ඔන්න ඔහෙ සඳුදා ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකෙං ගෙවනවා... අහ්.. අමතක වෙලානෙ තිබුනෙ .. අනික් බිල්.. ලයිට් වතුර මොබිටෙල් ! කරන්ට දෙයක් නෑ..ඒකෙංම කෑෂ් ඇඩ්වාන්ස් එකක් දාලා අනික් බිල් ටිකත් ගෙවන්ට ඕන.. මං හිතුවා.. ආ .. එතකොට ක්‍රෙඩිට් කාඩ් බිල? දෙයියනේ ඒකෙත් අන්තිම දවස අද..! ගෙවිය යුතු අවම ගාස්තුව වත්..

ඉතිං අද උදේ... ගිය මාසේ බිල් ටික අතනිං මෙතනිං හොයලා ගත්තා... ඒවා කිසි දෙයක් දැං පිළිවෙලකට නෑ..

පොඩි ක්‍රමයක් දාලා බිල් ටික ගෙව්වා.. යාළුවෝ කියන එවුංට මල් තියලා වඳින්ට ඕන...
මං ගෙදර ආවේ ආයෙත් හයිෆයි විදියට.. සතුටිං... !

කෑම කාලා එහෙම මට හිතුනා "වයි ෆයි" ගැන මොනවාහරි ලියන්ට. ඕක ටික දවසක් ඉඳලා හිතේ තිබුනේ.. පටං ගන්ට හෙඩිං එක නෝට් පෑඩ් එකේ ටයිප් කරා විතරයි, මාලිනි ඇවිත් ඔළුව උඩිං එබිලා බැළුවා.. වාතේ...

"වයිෆයි තමයි අන්න ටෙලිෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා.. දැං කෝල් එකක් ගන්ට ගියාමයි නෝටිස් වුනේ.. "
"ඕඑම්ජී ..." වයිෆයි තමයි ....!

                                                         simple "s"

No comments:

Post a Comment