Wednesday, December 5, 2018

උඩගෙදර කතා 76 (වව්ලා)


වව්ලා...

               වව්ලා සිව්පා.. නෑ, නෑ..
               වව්ලා කුරුල්ලෙකි. නෑ..නෑ...
               එහෙනං මොන මඟුලද්ද.... හෝව් හෝව්... ඔලුව නරක් වෙලා ඉන්න හය වෙනි දවස හින්දා බොහොම උපේක්ෂාවෙන් වචනයක් දෙකක් ගැට ගහනවා කියල නේද පටන් ගත්තේ. හ්ම්..
                වව්ලා ක්ෂීරපායී සතෙක්. ඉතිං උපේක්ෂා තමයි... ඉගිලි ඉගිලි කොහොමද කිරි බොන්නේ? වැඩි හරියක් බිම හැලෙනවා ඇති. මං මොකටද ඒ ගැන හිතන්නේ? ඒ වුනාට ප්‍රධාන මාතෘකාව වව්ලානෙ. තරහ, නොඉවසීම, හිත විසිරීම වගේ අට අනූවක් රෝග තියෙන වෙලාවකම වව්ලෙක් අල්ලා ගත්තේ ඇයි? වෙන මොකක් ගැන ලියංටද? මතක් වෙන මොකක් ලියංට ගත්තත්,පේන දේකිං මතක් වෙන දේකිං මීටරේ හැට හැත්තෑවට නඟින එකමනෙ වෙන්නේ.
                  වව්ලා අහසේ පියාසර කළාට ඔහු කුරුල්ලෙක් නෙවේ. නෙවෙයිත් නෙවේ.. මේකා මහ මඟුල් සතෙක්... ඌට දත් තියෙනවා. කෑම බිම, ඒ කියන්නේ පලතුරු හා කුඩා කෘමීන් හොයාගෙන ඉගිලෙන්නේ රෑට. දවල් එක්කෝ නිදි.. නැත්තං ලැගුම් ගෙන ඉන්න මාවනැල්ලේ මාඔයේ කුඹුක් ගස් වල හරි කටුගස්තොට මාවැලිගඟ ඉවුරේ තැබුබියා රෝසා ගස් දෙක තුනේ හරි උඩවත්තා කැලේ මොන ගහක හරි චැරෑස් චැරෑස් ගගා පැටව් හුරතල් කරනවා. ඔය මාවනැල්ල හරහා ගිය කොලඹ ගමනෙං තමා මං මේ ජරාව බෝ කරගෙන ආවේ. අම්මටත් දුන්නා.  මියුරියල් අක්කා 'ආ ඉඳා' කියලා දමලා ගැහුවා නෙවේනෙ. ඒ මනුස්සයා තැවෙනවා. 1960 දී ඉස්කෝලේ ඉඳල ගොඩනැගිච්ච මහා සහෝදරකම.... ඔන්න ආයෙ ඔලුව කැලේ පැන්නා. වව්ලා.. වව්ලා...
              මී ඇට මෝරන කාලේ හුලු අතු පත්තු කරගෙන, කොල්ලෝ කෙල්ලෝ කාන්ඩේ එක්ක ගමේ මාඋස්සාකඳුරේ මී ඇට අහුලංට පාංදර ගිය හැටි ...මොන තරං ආශ්වාදයක් ලැබුව වැඩක්ද! ඉදිලා වැටිච්ච මී ගෙඩියි, වව්ලන්ගෙ වසුරුයි එකට කුණු වෙලා හැදුන ගඳ ඒවා මැද්දෙං මිරිකලා ගන්න මී ඇට මොන සතුටක් අපිට දුන්නද! ඒත් ඒ මිහිර හරියකට කියංට කුලරත්න ආරියවංශ මහත්තයටයි අමරදේව මහත්තයටයි අහලකිංවත් යංට පුලුවංද?
"මා වව්ලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා.. "
               වරක් ආරියවංශ මහත්තයා ගමේ යනකොට මල්ලී පිටරට ගිහින්ලු. එතුමාට එදා දැනුන පාලුව දුක.. ලු ඒ සින්දුව.  මට හිතා ගංටවත් බෑ.. දක්ෂයෙක් ලඟ රසවත් නිර්මාණ කියන ඒවා මොන තරම් පුලුල් සාගරයක්ද කියලා!
                මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙලේ හොඳම ගීපද රචක සම්මානයෙන් පිදුම් ලැබූ රන්ජිත් Ranjith Korale මහත්තයගෙන් මම ඉල්ලීමක් කරන්ට ඉන්නේ මගේ ගමේ කොරකහ, කලවැල්, රුක් අත්තන කැලෑව අතරින් කිරිඳිකැටිය කන්ද උඩින්, මියගිය මගෙ හුරතල් නංගී හොයන්න පායාගෙන එන බාල හඳක් ගැන මියුරු ගීතයක් සමන් (Saman Lenin) මහත්තයගෙ හඬින් ගායනා කරවලා දෙන්න කියලා! රංජිත් මහත්තයගෙ හැකියාව ගැන කියන්න මට ඉතිරි වෙලා නෑනෙ.
                
                 පුංචි කාලේ, මිනිසුන්ගෙ බෙල්ල සිදුරු කරලා ලේ උරා බොන ඩ්‍රැකියුලා හා වව්ලා ගැන අහපු කතා තවම මතක් වෙනවා. මේ වයිරස් ඇටෑක් එකක් අස්සේ මතක් කරන්නම වටින කතා! මතක් කරනවා නෙවේ.. දුර්වල හිත හොරෙන්ම දුවන්නෙ ඒ වාගේ මුඩුක්කු අස්සේමයි.
                  මාවව්ලගෙ සීයෙන් එකක් නෑ කිරි වව්ලා. හිටිය ගමං මයෙ මල් වැලෙන් වැටිලා ඉන්නවා. තටු විහිදැව්වත් අඟල් එක හමාරක් දිග පළල නෑ. මේ කිට්ටුව පිළිමතලාව ලඟ කිරි වව්ල කියලා ගම් ප්‍රදේශයක සියුම් පිත්තල කැටයම් නිර්මාණ තියෙනවා. ඒ කර්මාන්තය අභාවයට යනවලු. කොහෙද ප්ලාස්ටික් වලින් හැම බම්බුවම මාසෙක පැවැත්මට හදලා තියෙනවනෙ. ඕවා අප්පිරියා වෙන දවසක් එන්නේ නැතෑ. අනික වේගෙන් දියුණු වෙන සංචාරක කර්මාන්තයක් අපිට තියෙනවානේ. සුද්දට මේවායේ එකම උපයෝගීතාව විසිතුරු බිත්ති සැරසිලි හැටියට විතරයි. නැතිව ගෙදරට එන අමුත්තන්ට, නෑ නෑ විසිටර්ස්ලට, බුලත් හෙප්පුව පිළිගන්නන්ටවත් හුණු ටිකක් දාලා විට එක්ක තියන්ටවත් යැ. ඔය කාරණා ආන්ඩු තව තව සැලකිල්ලට ගන්ට ඕනෑ මයෙ හිතේ.
                   වව්ලගෙ මඟුල් ගෙදර ගියාම අපිත් වව්ලා වාගේ ඉන්ට ඔනැලු. ඒ කිව්වේ අපිත් අත්තක එල්ලිලා මූණට කටට ජරා කරගෙන ඉන්ට කියන එක නෙවේ. ඒ ඒ තැනට ගැලපෙන්ට සිටිය යුතුයි කියන එක. මේ එල්ලිලා ඉන්ට වෙච්ච එකමයි වව්ලට මාරාන්තික තර්ජනයක් වෙලා තියෙන්නෙත්. රෑට ගෙදර ඉස්සරහ ලයිට් කම්බි වල චැරෑස් ගාලා සද්දේ ඇහුනොත් සැකයක් නෑ, වව්ලෙක්ගෙ අවසන් එල්ලිල්ල. උඩම කම්බියේ එල්ලුනා.. අප්සයිඩ් ඩව්න් ගහනකොට කට දෙවෙනි කම්බියේ ගෑවුනා!. වව්ලා ලේසර් කිරණ ගැන ඉගෙන ගත්තට විදුලිය ගැන ඉගෙන ගෙන නෑ. පුලුවන් නං ඔය කම්බි අතර පරතරේ තව අඟලක් හමාරක් වැඩි කරා නං........... !!
මෙච්චර  අනුකම්පාවෙන් කතා කරන්ට හිතෙන්නෙ නෑ... රඹුටන් ගහක් කැණ ඉදීගෙන එන කෙහෙල් කැනක් අඹ ගහක් තියෙන කෙනෙකුට නං. ඔව්.. ඒ අයට ඒ තරම් කරදරයක් තමා.
                  මේ දවස් වල මෙහෙ කඩේ කෙසෙල් ගෙඩි වල තියා අපෙ ටැප් එකේ ආවෙත් කොහොඹ කොල ඉස්ම, බත් වෑන්ජන හැදුවෙත් ඒ වතුරෙන්... ! ප්‍රිය කරනම කොයි දේත් ඒ වාගේ. මයෙ දුව මටයි අම්මටයි කී සැරයක් කියන්ට ඇතිද "කන්ට පුලුවන් කියලා හිතෙන මොන දේ හරිත් කියන්ට.. ගෙනල්ලා දෙන්නං, හදලා දෙන්නං." කියලා. දහක් රාජකාරි මොන වෙහෙසක්වත් නොපෙන්නා රෑ දවල් කෙරුවේ. ගෙදරකට දුවෙක් ඉන්ටම ඕන... !
                   දෙපැත්ත කාගෙන ඉන්න අය අපි අතර ඉන්නේ අද ඊයේ පටන් නෙවේ. එහෙම අය හඳුන්වන්න මිනිස්සු මේ අසරණ සතාගෙ නම කියනවා. අර පැත්තට ගියාම තමන්ට ඒ පැත්තේ අයිතිවාසිකම්, ලක්ෂණ තියෙන බව කියන මේ අය, මේ පැත්තට ආවම මේ පැත්ත ගැනත් එහෙමයි. හැබැයි හැමදාම ඔය පොත හරියන්නේ නෑ. දෙපැත්තෙන්ම කැපෙනවා!
                                                  simple "s"

No comments:

Post a Comment